විශේෂාංග

මෛත්‍රී යන්නේ කොයි පාරේ පිලිපීන ජනපති ගිය පාරේ? 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා  විසින් නොබෝදා මෙරට මත්කුඩු ජාවාරමේ නියුතු පුද්ගලයින් හතරදෙනකු සඳහා මරණ දණ්ඩනය ලබාදීමට තම අනුමැතිය ලබා දුන්නේය. ශ්‍රී ලංකාව වසර 1977 සිට මේ දක්වා වසර 42ක කාලයක් තුළදී මරණ දණ්ඩනය නියම කරන ලද්දේ සංකේතීය දණ්ඩන මාදිලියක් වශයෙන් පමණි. එහිදී පුද්ගලයින් සඳහා මරණ දණ්ඩනය නියම වූවත් සත්‍ය වශයෙන් සිදුවූයේ ඔවුන් ජීවිතාන්තය දක්වා සිරගෙයට නියම වීමය.  2018 ජූලි මාසයේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙහි යෙදුන 19 දෙනකුට මරණ දණ්ඩනය ලබාදෙන බව ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය කළේ මෙම ජූලි මාසයේදීය. මෙම පුද්ගලයින් හතර දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා රජය වසර 42 ක් තිස්සේ පවත්වාගෙන ආ තත්ත්වාකාරයෙන් මරණ දණ්ඩනය අත්හිටුවීමේ (defacto moratorium) ප්‍රතිපත්තිය  අවසන් වන්නේය. ශ්‍රී ලංකාව තුළ මරණ දණ්ඩනයට ලක්කිරීම සඳහා  කොකේන් ග්‍රෑම්  2ක් ලබා ගැනීම ද ප්‍රමාණවත් වන තත්ත්වයක් තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ හොත් විශාල පිරිසක්  ආරම්භක අවදියේදී එකී දඬුවමට පත්වීමට ඉඩ ඇත්තේ මේ දක්වා මරණ දඬුවම හිමි වූ විශාල පිරිසක් එකී ලැයිස්තුව තුළ සිටින හෙයිනි.

2008 ත්, 2018 ත් අතර කාලය තුළ ගෝලීයව මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවලට වැරදිකරුවන් 4000 ක් වූ ප්‍රමාණයක් මරණ දණ්ඩනය ලැබුවේය.  2015 වර්ෂයේ දී එහි වැඩිම අගය වාර්තා වූ අතර එම වර්ෂය තුළ පුද්ගලයින් 750 දෙනකු මරණ දණ්ඩනයට පත්විය. එහෙත් 2018 වර්ෂය වන විට මෙම ප්‍රවණතාව ක්‍රමයෙන් අඩු වූ අතර 2018 තුළ දී මරණ දණ්ඩනයට ලක්කොට තිබුණේ පුද්ගලයින් 100 දෙනකු පමණි. 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහ සමුළුවේදී මරණ දණ්ඩනය භාවිත කිරීම තීරණය අත්හිටුවීම සඳහා වූ ප්‍රඥප්තිය එයට සහභාගී වූ රටවල් 120ක අනුමැතියෙන්  සම්මත වූ අතර 2008 වර්ෂයේ සිට 2017 දක්වා කාලය තුළ මරණ දණ්ඩනය ඉවත් කළ රටවල් ප්‍රමාණය 92 සිට 106 දක්වා වැඩි වී ඇත.

සැබැවින්ම මෙම මත් උවදුර මැඬලීමේ සටන පොදුවේ 2018 වර්ෂය තුළ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය තුළ  ඇතිවූ  ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැකිය. මෙම ජනප්‍රියවාදී ප්‍රවණතාවෙහි මෑතකාලීන නැඹුරුව ඇතිවූයේ  ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විදෝදෝ  විසින්  2014 දී  තම රටේ මත් උවදුරට එරෙහි සටන යළිත් සක්‍රීය කිරීමත් සමගය. විදෝදෝට මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට හැකි වූයේ එයට පක්ෂව ප්‍රබල ජනමතයක් ගොඩනැගුණු නිසාය. එමගින් උත්තේජනය ලැබූ ඔහු මත්උවදුර  එරටේ ප්‍රධානම අර්බුදය ලෙස හඳුන්වා දුන්නේය. එපමණක් නොව මත්ද්‍රව්‍ය වෙළෙඳාමට දැඩිව සම්බන්ධ සහ එයට ගොදුරු වූ රටක් වශයෙන්  ඉන්දුනීසියාව ලබා ඇති හංවඩුව  නැතිකර දැමීම සඳහා ඉන්දුනීසියාවෙන් මෙම උවදුර වහා ඉවත් කළ යුතු බව ඔහු විසින්  අවධාරණය කෙරිණි. එමතුද නොව මෙම උවදුර සාර්ථකව මැඬලිය හැක්කේ වරද කළවුන්  මරණ දණ්ඩනයට ලක්කිරීම හරහා පමණක් වන බව අවධාරණය කෙරිණි.

අසල්වැසි පිලිපීන ජනාධිපතිවරයා ද ඉන්දුනීසියාව තුළ  භාවිත කළ ක්‍රියාවලිය මගින් උත්තේජනයට පත්වූ අතර මත් උවදුර මැඬලීම ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනෙහි ප්‍රධානම න්‍යෂ්ටිය බවට පත් කරගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු විසින්  විධිමත් නෛතික රාමුවට පරිභාහිරව 2016 සිට මත්ද්‍රව්‍ය භාවිතය සහ වෙළෙඳාම ආශ්‍රිත  චූදිතයින්  විසිදහසක් පමණක් ඝාතනය කිරීමට කටයුතු කොට ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. පිලිපීන ජනාධිපතිවරයාට බලයට පත්වීම සඳහා මත් උවදුර මැඬලීම පිළිබඳ ඔහු ලබාදුන් පොරොන්දුව මහෝපකාරී විය. මෙවැනි අවස්ථාවක් උදා වූයේ 2006 වර්ෂයේදී පිලිපීනය විසින් මරණ දණ්ඩනය ඉවත්කර තිබූ පසුබිමකය. පිලිපීනය යනු ආසියාව තුළ සිටින මරණ දණ්ඩනය ඉවත් කිරීමට කටයුතු කරන  සහ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලබන රටවල් නිරීක්ෂණය සහ නැවතත් මරණ දණ්ඩනය ලබාදීම  වැළැක්වීමට කටයුතු සිදුකරන ‘Second Optional Protocol to the International Covenant on Civil and Political Rights‘  යන ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල් කිහිපයෙන් එකකි. මෙම අන්තර්ජාතික ප්‍රතිපත්තිවලට අත්සන් තබා තිබුණද මත්, උවදුර මැඬලීම වැනි  කේවල කාරණයක් මතුකරමින් ඡන්ද ව්‍යාපාරයට පිලිපන් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා පිලිපීන ජනයා යොමුවීම මගින් එම උවදුර නිසා පිලිපීන ජනතාව සහ සමාජය  අත්විඳින ඛේදනීය කාංසාවන්  ප්‍රතිනිරූපණය වෙයි. සැබැවින්ම මෙය වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වයට මැනවින් අනුරූප කළ හැකිය.

ඇමෙරිකානු ට්‍රම්ප් ජනාධිපතිවරයාට පෙර සිටි ඔබාමා පරිපාලනයේ නිරන්තර දෝෂ දර්ශනයට ලක්වූ පිලිපීන ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය මැඬලීමේ ක්‍රියාවලිය ට්‍රම්ප් පාලනය මගින් මහත් වර්ණනාවට ලක්වූයේ “මත් උවදුරු පිළිබඳ ගත්, ඇදහිය නොහැකි විසඳුමක්’’ වශයෙනි. එපමණක්  නොව පසුගිය වසරේ මාර්තු මාසයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් තම රටේ මත් උවදුර වැළැක්වීම සඳහා මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබාදිය යුතු බවට තීරණය කළේය. මෙම තීරණය සඳහා එරට අධිකරණ මගින්ද විශාල සහායක් ලැබුණේය. 2018 වර්ෂයේ ජූලි මාසයේදී ඉන්දියානු පන්ජාබ් ප්‍රාන්තයද මත්උවදුර මැඬලීම සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර එහිදී “සවුදි අරාබිය සහ තායිලන්තය වැනි රටවල් මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙහි නියතු වූවන්ගේ ගෙල සිඳ දමන්නාක් මෙන්’’ පන්ජාබය තුළද එම දඬුවම ක්‍රියාත්මක කරන බව එම ප්‍රාන්ත බලධරයින් විසින්  අවධාරණය කෙරිණි.

ඊට  අනුරූපව  බංගලාදේශය සහ ශ්‍රී ලංකාව  රාජ්‍යයන්ද මත් උවදුර නම් සමස්ත ජාතියම විනාශ කරනු ලබන උවදුරින් රට බේරාගත යුතුය  යන වාගාලාපය පෙරදැරිව ඒ සඳහා මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම හෝ දැනට ක්‍රියාත්මක එකී දණ්ඩනය වඩාත් සක්‍රීය කිරීම සඳහා කටයුතු කරමින් සිටී. මෛත්‍රීපාල ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපතිවරයාගේ මත්කුඩු ජාවාරම වැළැක්වීම සඳහා සිදුකරන සටන හරහා අභිප්‍රේරණයට පත්වූ බව සිතිය හැක්කේ ඔහු විසින් නිරන්තරයෙන් පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත උපුටා දක්වමින් කතා කළ නිසාය. එමතුද නොව ඔහු විසින් එරටේ සංචාරයකද නියුක්තව පිලිපීන ජනාධිපතිවරයා හමුව ඒ පිළිබඳ උපදෙස් ලබා ගත්තේය.

සැබැවින්ම ඉහත සෑම රටක්ම මත් උවදුරු මැඬලීම සඳහා රාජ්‍ය මැදිහත්ව අනුගමනය කළ ක්‍රියා පිළිවෙතට අදාළ පොදුගුණාකරයක් හඳුනා ගතහැකිය. දේශපාලනික අර්බුදකාරී සහ ආපදා  තත්ත්වයන්වලදී රාජ්‍ය නායකයන් විසින් තමන්ට ගිලිහෙමින් පවතින ජනප්‍රියතාව වර්ධනය කරගැනීම සඳහා යම් යම් තීරණාත්මක දේශපාලන තීන්දු තීරණ ගැනීම ගෝලීය දේශපාලන ප්‍රවණතාවක් වන අතරම  දකුණු ආසියානු කලාපීය දේශපාලනය තුළ එය වඩාත්  කැපී පෙනෙන ලක්ෂණයකි.

ජනප්‍රියවාදී රජයයන් සතු ප්‍රධානම අංග වන්නේ එය එහි ජනතාව සමග පවතින සහපැවැත්ම සහ එය ජනතා ප්‍රතිචාර කෙරෙහි දක්වන අවධානයයි. අනෙක් අතට එකී රජයන් විසින් අනුගමනය කරනු ලබන ජනප්‍රියවාදී ප්‍රතිපත්තිද ජනතා සහයෝගය සහ කැමැත්ත පදනම් කරගනිමින් සහ එය ලබා ගැනීම සඳහා සකසනු ලැබීමද විශේෂයකි. එමෙන්ම දේශපාලන නායකයන් විසින් මෙවැනි වඩා ජනප්‍රියවාදී තීරණ මහජන ඡන්දයක් අභිමුඛයේ ගැනීම වඩාත් බහුල භාවිතාව වී ඇත.

මෙවැනි තත්ත්වයන් ඉන්දුනීසියාව සහ බංගලාදේශය වැනි රටවල වඩාත් බහුලව භාවිත වී ඇත. මෙම ප්‍රපංචය පොදුවේ හඳුන්වනු ලබන්නේ “දණ්ඩන ජනප්‍රියතාව’’ ලෙසිනි (penal populism) එනම් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී වඩාත් ප්‍රබල ගණයේ අපරාධ යුක්ති ප්‍රතිපත්ති සැකසීම සඳහා  ජනතා සහාය ලබා ගැනීම මුලික භාවිතාවක් වී ඇති බවය. වඩාත් දරුණු ගණයේ අපරාධ සඳහා  දඬුවම් ලබාදීම සඳහා දණ්ඩන ජනප්‍රියතාව  උත්ප්‍රේරකයක් වී ඇත. මෙහිදී  අපරාධ වැළැක්වීම  සඳහා  සහ  ගැටලුවලට අභිමුඛ වීම සඳහා එමගින් සපයන දායකත්වය සහ එහි ප්‍රාමාණිකතාව  පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ජනතාවගේ අභිමතය පමණක් සැලකිල්ලට ගෙන ඇති බව පෙනේ. අනෙක් අතට ජනප්‍රියවාදී කතිකාව බොහෝ විට විධිමත් සාධක, විද්වත් අදහස් මෙන්ම අන්තර්ජාතික සම්මත නොතකා හරිනු ලබන අතර එය ක්‍රියාවට නැංවීමට සහ නෛතික කිරීම සාධාරණීයකරණය කිරීම සඳහා සැලකිල්ලට  ගැනෙන්නේ ජනතා මතය පමණි.

එපමණක් නොව යම් පාලකයකු මහජන ඡන්දයක් අභිමුඛයේ මෙබඳු ගණයේ පොරොන්දුවක් ලබාදීමට ප්‍රතිචාර වශයෙන් ගොඩනැගෙන ජනතා ප්‍රසාදය කෙරෙහි සැලකිලිමත්ය. එපමණක් නොව එයට අනුරූප පුද්ගල පෞරුෂයක්ද ගොඩනගා ගැනීමට ඔහු  උත්සාහ කරයි. ඔහු කෙතරම් දේශපාලනිකව දුර්වල නායකයෙක් වුවද  එබඳු අරෝපිත පුද්ගල පෞරුෂයක් හරහා  සමාජ අපගාමී ක්‍රියාවලට වඩාත් ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර දක්වන, යුක්තිය විසඳලීමට තත්ත්පර සහ ප්‍රතිඥාවෙහි ප්‍රතිමූර්තියක් මෙන්ම බලවත් නායකයකු සතු අධිකාරීත්වයක් හිමි චරිතයක් ලෙස පෙනී සිටියි. එහෙයින් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ මෑත කාලීන දේශපාලන භාවිතය අවබෝධකොට ගත යුත්තේ මෙවන් පසුතලයකය.

අනෙක් අතට, සමාජ අපගාමී ක්‍රියාවන් සඳහා දඬුවමක් වශයෙන් මරණ දණ්ඩනය සහ හිංසාකාරී දණ්ඩනයට ලක්කිරීම මගින් මත්ද්‍රව්‍ය වෙළෙඳාම වැළැක්වීම සඳහා සුවිශේෂී දායකත්වයක් ඇති නොකරන බව අධ්‍යයනය  මගින් හෙළිවෙයි. ඊට ප්‍රතිපක්ෂව එවැනි දණ්ඩන මඟින්  සුවිශේෂී සෞඛ්‍ය සහ සමාජීය හානියක් සිදුවන බව නම් ප්‍රත්‍යක්ෂයක් බවට පත්ව ඇත. මෙහිදී මත්කුඩු ජාවාරම අපරාධමය ගැටලුවක් ලෙස පමණක් ලඝුකොට සිතීම හරහා එය ඉතා දැඩි දණ්ඩනයන් පමණක් භාවිතකරමින් විසඳීමට හැකි බව එම පාලකයින්ගේ විශ්වාසය වී ඇත. මෙවැනි ඉතා සංකීර්ණ සහ සමාජ දේශපාලනික දේහය තුළ කිඳා බැස ඇති ගැටලුවක් මරණ දණ්ඩනය වැනි ඉතා පහසු විසඳුමකින් පමණක් විසඳන්නට යන්නේ නම් ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුය. මෙහිදී පාලකයින් විසින් දඩමීමා කරගනු ලබන්නේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනතා රුචිකත්වයයි. එහෙත් ඒ පිළිබඳ පවතින ජනතා මතයද හුදු කල්පිතයක් බව අවබෝධ වෙයි.

2013 Death Penalty Project නම් වැඩසටහන මගින් මරණ දණ්ඩනය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා ආසියානු රටක් තුළ සිදුකළ වඩාත්ම විස්තරාත්මක වාර්තාව පළ කළ අතර එමගින් මැලේසියානු ජනතාවගේ අදහස් විචාරය කෙරිණි. මෙම අධ්‍යයනය මගින් මරණ දණ්ඩනය පිළිබඳ මහජනයා දක්වන ආකල්පවල නම්‍යතාව මතුකර දක්වන ලදී. එහිදී අධ්‍යයනය සඳහා සහභාගී වූ පුද්ගලයින්ගෙන් සියයට 74ත්, 80ත් අතර ප්‍රමාණයක් පොදුවේ  එය අනුමත කළ අතර එක් එක් සිදුවීම් ආශ්‍රයෙන් වෙන වෙනම ඒ පිළිබඳව විමසීමේදී මරණ දණ්ඩනයට ලක්කළ යුතුද යන්න විමසීමේදී එම ප්‍රතිශතයෙහි එකතුව සියයට 29ක් දක්වා පහළ බැස්සේය.

එපමණක් නොව මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී වරදකරුවකු බවට පත් පෙර වැරදි නොමැති කාන්තාවක් සඳහා මරණ දණ්ඩනය දිය යුතු බව පැවසුවේ එකී පිරිසෙන් සියයට 9ක් තරම් වූ සුළු ප්‍රමාණයකි. එහෙයින් පොදුවේ මරණ දණ්ඩනය කැමැත්ත දැක්වුවද මරණ දණ්ඩනයට ලක්කරන  වරදකරුවන්ගේ අපගාමී චර්යාව පිළිබඳ නිසි වැටහීමකින් සහ විගණනයකින් එකී දඬුවම ක්‍රියාත්මක කිරීම සුදුසුය.

ඉහතදී සඳහන් කළ මැලේසියාව තුළ සිදුකළ ජනමත විමසුම සිංගප්පූරුව තුළද සිදුකළේය. සිංගප්පුරුව තුළ සිටින අතිබහුතරයක් වූ පිරිසක් මත්කුඩු ජාවාරම මැඬලීම සඳහා මරණ දණ්ඩනය වඩා සුදුසුම පිළියම බවට විශ්වාස කරයි. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ඔවුහු වඩා විධිමත් අධිකරණ ක්‍රමයක් යටතේ මෙය තවදුරටත් සාර්ථක විය හැකි බවටද අදහස් දැක්වූහ.  අධිකරණ ක්‍රියාවලිය තුළ පවතින කඩතොලු නිසා  අපරාධවලට සබඳතාවක් නොදක්වන පුද්ගලයින් මරණ දණ්ඩනයට ලක්කිරීම මෙන්ම  මරණ දණ්ඩනය දේශපාලනික විරුද්ධකරුවන් මැඬලීමේ මෙවලමක් ලෙස භාවිත වීමේ අවදානමක්ද පවතී. මත් උවදුර මැඬලීම සඳහා වන සටන ආදී ප්‍රවේශ මත්කුඩු ජාවාරම සහ භාවිතයෙහි ඇති සංකීර්ණ ස්වභාවය වඩා සරල ආස්ථානයක් වෙත කැඳවාගෙන යයි. මෙවැනි මතයකින් නොමග ගිය පොදු ජනයා සිතීමට පෙලඹෙන්නේ ඉතා දැඩි නීතී පැනවීම මෙන්ම මරණ දණ්ඩනය පැනවීම මගින් මත්කුඩු ජාවාරම මුලිනුපුටා දැමිය හැකි බවකි. එහෙත් මරණ දණ්ඩනය යනු ඒ සියල්ලක්ම ඉටුකරදෙන මැජික් බුලට් එකක් නොවන බව අප මතක තබා ගත යුතුය.

දණ්ඩන මාදිලියක් වශයෙන් මරණ දණ්ඩනයට ලක්කිරීම  ගෝලීයව අඩුවෙමින් පැවතියද තවමත් පුද්ගලයින් දහස් ගණනක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිවලට චූදිතයෝ බවට පත්ව  ලොව පුරා අඳුරු සිරමැදිරි තුළ මරණීය වේදනාව ඉක්ම වූ ඛේදයක් අත්විඳිමින් සිටිති. එපමණක් නොවේ ගණනය කිරීම්වලට අනුව මෙම මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිවලට චූදිතයින් බවට පත්වන්නේ මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳාම් ජාලයෙහි පහළම ස්ථරවල සිටින ආර්ථික හා සමාජීයව දුර්වල පුද්ගලයින් වන අතරම. ඔවුනට වඩා විධිමත් මෙන්ම ප්‍රාමාණික නීතිමය ආවරණයක් සපයා ගැනීමට නොහැකි වී ඇත.

දිනේෂ් දේවගේ