අතන මෙතන

මෛත්‍රී නාමල් එක්ක ෆොටෝ ගහලා 

පසුගිය 24වනදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීම පොල්පිතිගමදී සිදුවිය. එම අවස්ථාවට මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගි වූහ. මේ අතර එම උත්සවයට සහභාගි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි දේශපාලනඥයෙක්ද පැමිණ සිටියේය. ඒ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්නය. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විශාල ජනතාවකටද බලපාන මෙම ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාව සඳහා ඔහුටද නිල ආරාධනයක් ලැබී තිබිණි. පොල්පිතිගම ප‍්‍රදේශය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක අලි මිනිස් ගැටුම, ඉරුදෙණියාය ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලූව ආදී ගොවි ගැටලූ විසඳීම සඳහාද සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පසුගිය කාලය පුරාම විශාල අරගලයක යෙදී සිටීමත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කර ගැනීමත් අරමුණු කරගෙන නාමල් කරුණාරත්න මෙම උත්සවයට සහභාගි වීමට තීරණය කළේ ප‍්‍රදේශයේ ජනතාවගේද ඉල්ලීමකට අනුවය.

විවෘත කිරීම් අවසන්වීමෙන් අනතුරුව නිල උත්සවයට සහභාගිවීමට වේදිකාවට යමින් සිටින අතර නාමල් කරුණාරත්න දුටු ජනාධිපතිවරයා ”හා කොහොමද කචල්කාරයා” කියමින් සිනාමුසු මුහුණින් කතාබහට වැටුණි. නාමල් කරුණාරත්නද ජනාධිපතිවරයා සමඟ ගමනට එක්වෙමින් ජනතාවගේ ගැටලූ කිහිපයක් ඔහුගේ අවධානයට ලක් කළේය. අලි මිනිස් ගැටුම ඉන් එකකි. ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය ඇමතිවරයාද ඒ පිළිබඳව තමන් දැනුවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට උපදෙස් දුන් බවත්ය. එමෙන්ම ඉරුදෙනියාය ජනතාවගේ ඉඩම් අක්කර තුන්දහසකට අධික ප‍්‍රමාණයක් පිළිබඳව මතුව ඇති ගැටලූවද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කිරීමට නාමල් කරුණාරත්න පියවර ගත්තේය.

අනතුරුව උත්සවය අවසන්වන විට නාමල් කරුණාරත්න දුටු මහින්ද අමරවීර ”මෙන්න ජනාධිපතිතුමා ගොවි රජා ඇවිත් ඉන්නවා” යැයි පැවසුවේ මීට පෙර හමුවූ බව නොදැන සිටි නිසාය. ”ඔව්, ඔව් අපි මුණගැහුණා. ආ.. ඒකට කමක් නෑ. ගොවි රජා එක්ක ෆොටෝ එකක් ගමු” යැයි ජනාධිපතිවරයා කීවේ කැමරා ශිල්පීන්ට ඡායාරූපයක් ගන්නා ලෙස අතින් සංඥා කරමිනි.