පිනි පලස

මේ සම්මානය ගන්න එකම අවුරුද්දෙ නළුවෝ තුන්දෙනෙක් එක්ක රඟපෑවා

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ ‘අතරමැදියා’ නාට්‍යයේ අමන්දිගේ චරිතය නිරූපණය කළ සිළිඳු රන්වලයි. ඇයට ලැබුණ සම්මානය පිළිබඳ ඇය ‘පිනිපලසට’ අදහස් දක්වන්න
එකතු වුණා.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ඔබ. මොනවගේ හැඟීමක්ද දැනෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. මේක ඇත්තටම මට ලැබුණු සම්මානයක් විදියට මම සලකන්නෙ නැහැ. ඒක අතරමැදියා කණ්ඩායමටම ලැබුණ සම්මානයක්. නාට්‍යයට සම්බන්ධ දහ අට දෙනාගේම කැපවීම නිසා තමයි මට මේ සම්මානය ලැබෙන්නේ. මේ නාට්‍යයේ අවුරුද්දක් ඇතුළත නිෂ්පාදන තුනක් සිදුවෙනවා. මම නළුවො තුන්දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. අපි ඒ සෑම අවස්ථාවකදීම බොහොම සහයෝගයෙන්, සහෝදරත්වයෙන් වැඩ කළා. මට ලැබුණ මේ සම්මානය අපේ සහයෝගයට, සහෝදරත්වයට ලැබුණ සම්මානයක් විදියට තමයි මම දකින්නේ.

කොහොමද ඔබට අතරමැදියාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

මීට වසර හතරකට පමණ පෙර (2015) ජෙරොම් ද සිල්වා පැවැත්වූ නාට්‍ය වැඩමුළුවකදී තමයි මම ඔහුව මුලින්ම හඳුනාගත්තෙ. නමුත් කතාබහ කරන්න අවස්ථාව ලැබුණේ ‘බෝම්බයක් ඉතුරුයි’ නාට්‍යය බලන්න ආව දවසේ. ඒ දවසෙම ඔහු, ඔහුගේ නාට්‍යයට ආරාධනා කළා. මම නාට්‍ය මම නාට්‍ය පිටපත කියෙව්වා. මට හිතුණා මට ඒක කරන්න පුළුවන් කියලා. එහෙම තමයි මම ඒක භාර ගත්තෙ.

හඬකැවීම් අංශයෙන් ඔබ කොහොමද වේදිකාවට එන්නේ?

චාමික හත්ලහවත්ත මාමා එයාගෙ අලුත් නාට්‍යයට අලුත් මුහුණක් හොය හොය ඉන්නවා කියලා අපේ අම්මට දැනගන්න හම්බවෙලා තියෙනවා. මම එතකොට කවදාවත් රඟපාලා තිබුණෙ නැහැ. අම්මා කිව්වා නිකමට ඔයා ගිහින් බලන්න. සමහරවිට ඔයාට පුළුවන් වෙයි ඒක කරන්න කියලා. මම ඒ ළඟම දවසක චාමික මාමගේ ගෙදර ගිහිල්ලා දෙමළෙන් කතා කරලා, සින්දුවක් කියලා පෙන්නුවාට පස්සෙයි මට ඒ චරිතය කරන්න අවස්ථාව ලැබෙන්නේ.

මතභේදාත්මක තේමාවකින් යුතු අතරමැදියා නාට්‍යයට සම්බන්ධ වීම ආධුනික ඔබට අභියෝගයක් වුණාද?

මම නාට්‍ය පිටපත කියවද්දිම බොහොම කැමති වුණා ඒ චරිතය බාර ගන්න. මොකද ඔබ කිව්වා වගේ මගේ පළමු වේදිකා නාට්‍ය අවසන් වනවාත් සමගම තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. මතභේදාත්මක වුණත් ඒ චරිතය වර්තමාන සමාජයට ඉතාම සමීපයි කියලයි මට හිතෙන්නේ.

අමන්දි කියන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තනය හදාරන සංවේදී සිසුවියක්. ඇය ඔන්ලයින් ප්‍රේමයක පැටලිලා පසුව ඒ තරුණයා සමග එකට විසීමට තීරණය කරනවා. ඇය පාට් ටයිම් සේවය කිරීමට කොෆි ෂොප් එකකට යනවා. ඇයගේ සේවා ස්ථානයට පැමිණෙන පුද්ගලයෙක් නිසා ඇය ඇගේ ජීවිතය ගැන ප්‍රශ්න කරනවා ඇගේ පෙම්වතාගෙන්. නිකමට හිතන්න ඔන්ලයින් ආදර කතා, නීතියෙන් විවාහ නොවී එක්ව වසන යුවළවල්, පාට් ටයිම් ජොබ්, සම්බන්ධතා බිඳවැටීම් වගේ දේවල් අපිට කොයිතරම් ඇහෙනවද කියලා. මට ඒ චරිතය අභියෝගයක් වුණ නිසාම තමයි මම ඒක භාරගත්තෙ. නාට්‍ය පිටපතේ ඉඳන්ම වෙනසක් තියෙනවා කියලා හැඟුණ නිසා බොහෝම කැමත්තෙන් ඉදිරිපත් වුණා.

රඟපෑමට ඔබ ආධුනික වුණත්, බොහෝ කල් සිට අපිට ඔබේ හඬ ඇසෙනවා.
හඬකැවීම් අංශයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?

හඬකැවීම නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද මගේ අම්මා හඬකැවීම් කරනවා මං පුංචි කාලෙ ඉඳන්ම බලාගෙන හිටියා. මම හඬකැවීම් කරන්න පටන් ගන්නෙ අවුරුදු තුනේ ඉඳන්. හඬකැවීම් පටන් අරන් දැන් අවුරුදු විස්සක් වෙනවා. ‘මුතු අහුරේ’ සුංගුල්ට හඬ කවන්නෙත් මම.

මේ වෙද්දි ඔබේ උනන්දුව සහ කැමැත්ත හඬකැවීම් අංශයටද?

ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ වෙද්දි මට වේදිකාව ගැන කැමැත්තක් ඇතිවෙලා තියෙනවා. මම මුලින් දැනගෙන හිටියේ නෑ මට රඟපාන්න පුළුවන් කියලා. මම ඒ සම්බන්ධයෙන් කිසිවක් හදාරා නැහැ. මම දැන් හිතනවා නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕන කියලා. හඬකැවීම් වුණත් මං වුවමනාවෙන් යොමුවුණ අංශයක් නෙවෙයි. මට පුංචි දවස්වල ඉඳන්ම ලැබුණු දෙයක්.

ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

මට තියෙන්නේ හරි පොඩි පවුලක්. මගේ පවුල කියන්නේ මගේ අම්මා. ඇය තමයි මට මුලින්ම රඟපාන්න උනන්දු කළේ. ඇය දෙන නිදහස නිසා තමයි මම මේ තරම් දුරක් ආවෙ. මගේ හෙවණැල්ල වගේ ඉඳන් මට ශක්තියක් වෙන්නෙ මගේ අම්මා. අධ්‍යාපන කටයුතුත් එක්ක නාට්‍ය පුහුණුවීම් කටයුතුත් නිදහසේ කරන්න මට පුළුවන් වුණේ ඇය නිසා.

අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නේ කුමන ක්ෂේත්‍රයක් සම්බන්ධවද?

විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා හා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ.

අනාගතයේ ඔබ වෘත්තීය ලෙස කුමන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නද බලාපොරොත්තු වෙන්නෙ?

ශ්‍රී ලංකාවේ වෘත්තියක් ලෙස කලාවට තවමත් නිසි තැනක් ලැබෙන්නේ නැහැ. කලාව ජීවිත​ෙය ලොකු කොටසක් වුණාට ඒ මගේ ප්‍රධාන වෘත්තිය නෙවේ. හැමදාමත් කලාවේ රැඳී සිටියට මම අධ්‍යාපනය ලබන අංශයේ රැකියාවකට යොමුවේවි.

වෙනත් කලා නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවාද?

තවම නම් නැහැ. ආරාධනා ලැබුණත් මම භාර ගන්නේ මට ගැළපෙන සහ මට යමක් කළ හැකියි කියා මට සිතෙන නිර්මාණ සඳහා පමණයි.

සෝබා ඩී. කෝලියවංශ

ඡායාරූපය – ක්‍රිෂාන් කාරියවසම්