කතුවැකි

මේ වෛරසයෙන් රට බේරා ගන්නේ කවදාද?

කොරෝනා වෛරසයෙන් ආසාදනය වීම නිසා ලෝකයෙන් හුදෙකලා කරන ලද චීනයේ වූහාන් නගරයේ කොටුවී සිටි ශ්‍රී ලාංකික සිසුන් මව්බිමට ගෙන ඒමේ ක්‍රියාන්විතය කාගේත් පැසසුමට ලක්වෙමින් තිබේ. වෛරස් ආසාදනය වාර්තා වූ මුල් පැයේ සිට මුළු රටම කම්පාවට පත්ව සිටියේ වූහාන් හී කොටුවී සිටි මේ සිසුන් සම්බන්ධයෙනි. ඔවුන් මුදාගෙන නිරුපද්‍රිතව ගෙන ඒමේ මෙහෙයුමට සක්‍රියව මැදිහත් වූයේ සෞඛ්‍ය අංශ, ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ පමණක් වුවත් එය මුළු රටම දායක වූ මෙහෙයුමකි.

මුළු රටම වූහාන් හී සිටි සිසුන් මුදා ගැනීමේ මෙහෙයුමට හදවතේ ප්‍රාර්ථනයකින් හෝ සම්බන්ධ වූයේ ඔවුන් ‘‘අපේ දරුවන්’’ වූ නිසාය. මේ අන්දමට අප කාගේත් අවධානයට ලක්විය යුතු අපේ දරු පරම්පරාවම බිලිගන්නා භයානක වෛරසයක් ගැන විදුර වික්‍රමනායක ඇමැතිවරයා පසුගිය දිනෙක වැදගත් හෙළිදරව්වක් කළේය. මේ භයානක වෛරසය අන් කිසිවක් නොව කලක් තිස්සේ මේ රටේ තරුණ පරම්පරාවට අකල් මරණ අත්කර දෙමින් සිටින මත්ද්‍රව්‍ය මාරයාය.

විදුර වික්‍රමනායක අමාත්‍යවරයා කියා තිබෙන්නේ හොරණ ප්‍රදේශයේ සෑම පාසලක් අසලම මත්ද්‍රව්‍ය අලෙවිකරුවකු සිටින බවය. අපගේ නිරීක්ෂණය නම් හොරණ පමණක් නොව දිවයිනේ සෑම පාසලක්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හොඳ ගොදුරු බිම් බවට පත්ව ඇති බවය. මේ නිසා මත්වීම සඳහාම කන නා නාප්‍රකාර බුලත් විටේ සිට- ලෝකයේ දැනට ඇති ප්‍රබලම මත්ද්‍රව්‍ය දැන් පාසල් සිසුන්ට රට කජු අයිස්ක්‍රීම් වැනිය.

වත්මන් ජනාධිපතිවරයා පත්වීමෙන් පසු රටේ බො​හෝ දේ වෙනස් වී තිබේ. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම වෙනස් වී ඇති බවක් පෙනෙන්නට නැත. මේ ඊයේ පෙරේදා ද බණ්ඩාරගම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 192ක අති විශාල තොගයක් හමුවිය. මේ තරම් විශාල ප්‍රමාණ හසු වුවත් රටේ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති බව පෙනෙන්නට නැත. එසේ වන්නේ ආරක්ෂක අංශවලට හසුවන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් රට තුළ සංසරණය වෙමින් පවතින නිසාය.

මත්ද්‍රව්‍ය ජාවාරම තුළ සුළු ප්‍රමාණයක් හසුවන්නේත් – විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළට එන්නේත් – එකම සැලසුමේ ම පියවර ලෙසය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු මෙරටට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන එන විට ඒ ගැන ඔත්තුව දෙන්නේද තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඒ සඳහා ඔහුගේ ගාස්තුව අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසකි. මේ මත්ද්‍රව්‍ය – රට පුරා බෙදා හැරුණත් ආරක්ෂක අංශවලට හසුවන්නේ නැත. හසුවුණත් ඒ සුළු ප්‍රමාණයකි. එසේ හසුවන්නේද මත්ද්‍රව්‍ය බලධාරීන්ට – කලින් කලට නඩුවක් ලබාදීම සඳහා පමණකි.

මේ අනුව පෙනී යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ජාවාරම්කරුවන්ගේ හා පොලිසියේ හවුල් ව්‍යාපාරයක් වී ඇති බවය. පසුගිය සෙනසුරාදා (01 වැනිදා) පොලිස් නිල ඇඳුමෙන්ම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු උතුරේ මාන්කුලමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් පුවතක්ද වාර්තා වී තිබේ. මේ පුවත එතරම් අරුමයක් නොවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පවුලේ හිතවතකු වී ඔවුන් ප්‍රිය සාදවලට පවා සහභාගි වූ පොලිස්පතිවරයකු ද අපට සිටි බැවිනි.

පොලිසිය පමණක් නොව, නීතිඥයන්, ගුරුවරුන්, ටියුෂන් ගුරුවරුන් ආදී අයද මේ ජාවාරමට සම්බන්ධ බව විදුර වික්‍රමනායක ඇමැතිවරයා හොරණ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කොට තිබිණ. ඇමැතිවරයා කියන මේ අය පමණක් නොව බන්ධනාගාර නිලධාරීන් පවා මේ ජාවාරමේ හවුල්කරුවෝ වෙති. පසුගිය දිනෙක බණ්ඩාරගමේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරටට ගෙන්වා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පාතාලයේ අයෙකි. පාතාලයන්ට බන්ධනාගාරයේ සිට මේ ජාවාරම් මෙහෙය වන්නට නිදහස ලැබී ඇත්තේ කාගේ පිහිටෙන්ද?

අපේ රටේ ඕනෑම නරක දෙයක කෙලවරට යන විට සිටින්නේ දේශපාලකයාය. හොඳ දේවලට බලහත්කාරයෙන් හෝ පෙනී සිටින දේශපාලකයා මත්ද්‍රව්‍ය ජාවාරම තුළ සිටින්නේ කිසිවකුට නොපෙනෙන පරිදිය. දේශපාලකයන් විසින් මෙරට මත්ද්‍රව්‍ය ගෙන එන්නේ යැයි කිව නොහැකි නමුත් – ඔවුන් ඊට සම්බන්ධ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන අනුග්‍රහය දැක්වීමෙනි. දේශපාලකයා හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා අතර ඇත්තේ කනා සහ කොරා අතර ඇති සම්බන්ධය වැනි සම්බන්ධයකි.

අප රටේ නීතියට අනුව ග්‍රෑම් දෙකකට වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම මරණ දඬුවම පැනවිය හැකි වරදකි. නීතියේ එසේ ඇතත් – මරණ දඬුවම ප්‍රා​යෝගිකව ක්‍රියාත්මක නොවන නිසා මේ දක්වා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ කිසිවකුට මරණ දඬුවම ලැබී නැත. තමන්ගේ ධුර කාලය අවසන් වන්නට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළ නමුත් එවැන්නක් සිදුවූයේ නැත.

මත්ද්‍රව්‍ය චෝදනාවට මරණ දඬුවම දිය යුතු යැයි කියන්නේ. එම දඬුවම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වනු ඇතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් ග්‍රෑම් දෙකක මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි එක් අයෙක් නොව සියලුදෙනා එල්ලා මැරුවත් මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කළ නොහැකිය. හෙරොයින් වැනි මත්ද්‍රව්‍යයෙන් රට නිදහස් කර ගන්නට නම් එල්ලා මැරිය යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් හා ඊට ආධාර අනුබල දෙන පොලිසිය, බන්ධනාගාරය මෙන්ම දේශපාලනයේ නිරත අසමජ්ජාතීන්ය. ඔවුන් එල්ලා මැරීම කෙසේ වෙතත් ලෝකයට නිරාවරණය කිරීමට හෝ හැකි නම් එයම ජයග්‍රහණයක් වනු ඇත.