පිනි පලස

මේ රට නැති වෙයි කියන බය මගේ පපුවට තදින් දැනුණා

මුලින්ම සුබ පතනවා හොඳම නළුවාට

බොහොම ස්තූතියි.

ටෙලි නාට්‍ය උදෙසා ලද පළමු සම්මානය

ඔව්,  ගොඩක් අවුරුදුවල නිර්දේශ වෙලා තියෙනවා, නමුත් හොඳම ටෙලි නළුවාට හිමි  සම්මානය හිමි වුණු පළමු අවස්ථාව. මීට පෙර සමනල සංධ්වනිය වෙනුවෙන් 2016 OCIC  සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබිලා තියෙනවා.

මොකද හිතෙන්නේ

ඇත්තටම  හොඳයි, මොකද මම විශ්වාස කරනවා, ඕනෙම නළුවෙක් හෝ නිළියක් ජීවිතේ එක් වතාවක්  හරි සම්මානයක් ලැබිය යුතුයි කියලා, මොකද මේ සියල්ල ලැබෙන්නේ අපේ රංගනය  වෙනුවෙන්. ඒ නිසා මම නම් ඔස්කාර් හරි එහෙමත් නැත්නම් කෑන්ස් උළෙලකින්  ලැබුණු සම්මානයක් තරමටම මේ සුමති සම්මානය වටිනවා.

කොහොමද රෂ් ට ලැබෙන ප්‍රතිචාර

මම  හිතන්නේ දැන් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඉස්සර වගේ නෙවෙයි, Face Book, සමාජ  ජාල හරහා සෘජුව ප්‍රතිචාර දක්වන්න පුළුවන්කම තියෙනවා, ඒ ප්‍රතිචාර ඉතා  ඉහළයි, සහ ගොඩක් අය හොඳ පැත්තට තමා රෂ් ගැන කතා කරලා තියෙන්නේ,ඉතින් රෂ්  නරඹපු අය බොහෝ දෙනෙක් මේ නිර්මාණය ගැන ගොඩක් දේවල් ලියලා තියෙනවා, ඒ අතර  විවේචන අදහස් සියල්ල තියෙනවා, ඒ වගේම මේ නිර්මාණයේ තියෙන තත්ත්වයේ උසස් භාවය  සහ තාක්ෂණය, රංගන ශිල්පීන්ගේ රඟපෑම ගැන විශේෂයෙන්ම කතාවෙලා තියෙනවා. මට  මුණගැහුණු අයත් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා, මොකද අපිට ඉතිහාසයේ තිබ්බ  බයිස්කෝප් සිනමාවෙන් අපිට මිදෙන්න බැහැ, ඉතින් ඒ ඇසුරත් ඉන් එහාට ගිය  නිර්මාණයක් විදියට ප්‍රේක්ෂකයෝ රෂ් දකිනවා. ඉතින් ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර  තමා රෂ් කොතැනද තැබිය යුත්තේ කියලා තීරණය කරන්නේ, ඒනිසා දිනෙන් දින ලබන  ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සතුටුයි.

මෙතෙක්  සීමා වෙලා තිබුණු රංග පරාසයෙන් මිදෙන්න හිතුවේ ඇයි?

හොඳ  ප්‍රශ්නයක්, මෙහෙමයි මම කියන්නේ රංගන ශිල්පියෙක් විවිධත්වය කරා යන්න ඕනේ,  එතකොට තමා රසිකත්වය යාවත්කාලීන වෙන්නේ, මොකද “අලුත් අලුත් දේ නොතනන ජාතිය  ලොව නොනගී….”කියලා ලස්සන කියමනකුත් තියෙන්නේ, ඒ නිසා එතැනින් හිතන්න පටන්  ගන්නේ, මගේ වෘත්තීය රංගනය නම් අලුත් චරිත කරන්න බය වෙන්න ඕනේ නැහැ, තමන්  ගැන විශ්වාසයක් ආත්ම අභිමානයක් ගොඩ නගා ගන්න ඕනෙත් තමන්මයි, ඉතින් මම රජ  කතා ඉතිහාස කතා සහ කලාත්මක ධාරාවේ නිර්මාණවලට දායක වුණා  වගේම සිනමාව  කර්මාන්තයක් විදියට පවතින්නට ඕන කරන වාණිජ ධාරාවේ නිර්මාණවලටත් දායක වෙන්න  හිතුවා.

ඉදිරියටත් මෙවැනි චරිතවලටම ද මුල් තැන දෙන්නේ

ඔව් ඒක   අපි මේ නිර්මාණයෙන් පස්සේ තීරණය කරන්න පුළුවන්, මොකද ප්‍රේක්ෂකයෝ මොන වගේ  තැනක ද ඉන්නේ කියලා බලලා නිර්මාණ කරන්න ඕනේ, අලුතින් හිතන්න පුළුවන්  ප්‍රේක්ෂකයෝ පිරිසක් බිහි කරන්න ඕනේ, අතීතය වගේම අනාගතය දකින්නයි පුරුදු  වෙන්න ඕනේ, එතැන තමා මම ඇතුළු මහේෂ් ඇතුළු රෂ් කණ්ඩායමම ඉන්නේ.

මහේෂ් රෂ් හරහායි සිනමාවට එන්නේ, කොහොමද මහේෂ් කියන අධ්‍යක්ෂවරයා දකින්නේ

මෙහෙමයි,  මහේෂ් කියන්නේ අලුත් අධ්‍යක්ෂවරයෙක් තමයි, නමුත් මට වැදගත් වෙන්නේ මට  ලැබෙන චරිතය සහ ඒ තුළ මට කරන්න තියෙන දේ විතරයි. හොඳම උදාහරණය මම සිනමාවට  එන්නේ ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ සිනමාකරුවෙක්ගේ නිර්මාණයක් තුළින්,  හැබැයි රෂ් එකට කලින් තිරගත වුණු ආලෝකෝ උදපාදී එක අලුත්ම අධ්‍යක්ෂවරයෙක් වන  චත්‍ර වීරමන්ගේ, ඒ නිසා අධ්‍යක්ෂවරයාගේ කීවැනි නිර්මාණයද කියනවට වඩා මම  බලන්නේ නිර්මාණයේ ගුණාත්මකභාවය. ඒ වගේම ආත්ම විශ්වාසයෙන් පිරිපුන් තරුණ  නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්න මම හරි කැමැතියි, මම මහේෂ් ව දකින්නෙත් එවැනි  නිර්මාණකරුවෙක් විදියට. ඒ වගේම අධ්‍යක්ෂවරයා සමග හොඳ අවබෝධයකින් අපිට රෂ්  නිර්මාණය කරගන්න පුළුවන් වුණා මතගැටුම් නොතිබ්බාම නෙවෙයි, නමුත් ඒ තුළින්  වඩාත් සාර්ථක දේ රෂ්ට හිමි වුණා, ඒ වගේම මහේෂ්ගේ හිතේ තිබ්බ රෂ් සිනමාවට  ගෙන්න මම කැපවුණා කියලා මහේෂ් දන්නවා. පහසුවෙන්න ඇති මා එක්ක වැඩ කරන්න  ලැබීම, මොකද රෂ් තරම්ම මම දඩබ්බර නැති නිසා.

මට වඳින්න එපා, කලාවට වඳින්න… මේ ප්‍රකාශය ඔබ කියන්නෙත් එදා ඉඳන් සිනමාව තුළ ජීවත් වෙන සැබෑ රසිකත්වයට (කළු අයියට )

ඒ රසිකත්වය දකිද්දී මොකද හිතෙන්නේ

ඇත්තටම  කිව්වොත්, චිත්‍රපටයක් රස විඳින්න තරම් නිදහස් මානසිකත්වයක් තියෙනවද කියන  ප්‍රශ්නයත් අද තියෙනවා අපි ඇත්ත කතා කරනවා නම්, හැබැයි මේ හැම දේම  පවත්වාගෙන යන්න ඕනේ, ඒ වගේම එදා වගේ නිර්මාණ බිහිවෙනවද කියන එකත් අපි  හිතන්න ඕනේ, මම දකින්නේ නැහැ සිනමා රසිකත්වයේ වරදක්, නමුත් තුන්වැනි ලෝකයේ  රටවල් විදියට අපි අපේ මූලික අවශ්‍යතා ඉටු කරගෙන තමා රසවින්දනය විනෝදාස්වාදය  ගැන හිතන්නේ. ඒක ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් බැලුවම හරිම සාධණීය අවාසියක්. ඒ  වගේම මාධ්‍ය සහ සිනමාව අතර සබඳතාවත් අද ඇති වෙලා තියෙන තත්ත්වයට බලපානවා. ඒ  විතරක් නෙවෙයි නගරයකට ගිහින් කඩා වැටුණු ගොඩනැගිලි දිහා බැලුවොත් ගොඩක්  දුරට ඒ සිනමා ශාලාවක්, ඉතින් එක හේතුවක් කියන්න බැහැ, මම දකින විදියට  ප්‍රේක්ෂකයා තුළ තාමත් සිනමාව කෙරෙහි උනන්දුව තියෙනවා, හැබැයි සිනමාව  කර්මාන්තයක් විදියට පවත්වාගෙන යද්දී අර්බුද තියෙනවා. ඒ නිසයි එදා ට වඩා අද  රසිකත්වය ඈතයි වගේ දැනෙන්නේ.

මේ දිනවල රෂ් නිසා කතාබහට ලක්වෙනවා වගේ තමා දේශපාලන වේදිකාව තුළත් ඔබව දකිනවා…මොකක් ද මේ අලුත් ගමන nකිසිම  වෙනසක්වත් අලුත් ගමනක්වත් නැහැ, එතැන තියෙන්නේ මට කකියන අදහස් ටිකක්  තිබ්බා කිව යුතුයි, මේක අපේ රට මේක නැති වෙයි කියලා බයක් දැනුණා, ඒ නිසා ඒ  නැති වීම ආරක්ෂා කර ගන්නයි මට ඕනේ වුණේ, මේ රටට යහපතක් වුණා කියන්නේ මට  යහපතක් වුණා කියන එක. හැබැයි මේ රටට හානියක් වෙන තැනක මම ඉදිරියටත් පෙනී  හිටියි, හැබැයි ඒ කොහොමද කොයි ආකාරයෙන් ද කියලා මම දන්නේ නැහැ, මොකද අපිට  මේ ජීවිතය ඇතුළේ තව අවුරුදු ගාණයි තියෙන්නේ සැරිසරන්න, ඒ කාලය තුළ මම  වෙනුවෙන් නෙවෙයි, බහුතරය වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා නම් ඒ දේ කළ යුතුයි  කියන තැන මම ඉන්නේ, අපි පොඩි කාලේ දැක්ක සුන්දර රට කෙමෙන් කෙමෙන් අපෙන්  ගිලිහෙනවා කියලා අපිට දැනෙනවා, ඒ දැනිලත් කලාකරුවා නිර්පාක්ෂිකයි කියලා  ගෙදරට වෙලා ඉන්න බැහැ. අපි එක තැන පල්වෙන රටක් සහ ජාතියක්, අපේ රටේ මහා  සංස්කෘතියක් තියෙනවා, මහා ජාතියක් ඉන්නවා ඒක අමතක කරන්න බැහැ, ඕනෙම රටක  තියෙනවා මහා සංස්කෘතියක්, ඒක තමා රටේ හදවත, මේ අද වෙන්නේ අපේ මහා සංස්කෘතිය  බිඳ වට්ටන යුගයක්, දේශපාලනය, ජන්දය කියන ඒවා ඔළුවෙන් අයින් කරගන්න, වෙන්නේ  මහා සංස්කෘතිය අහිමි කරලා අපේකම අහිමි කරමින් පවතින යුගයක්, ඒ නිසා  බුද්ධියෙන් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.

උද්දික හිතන විදියට කොතැනින් ද මේක පටන් ගන්න ඕනේ…

මුලින්ම  ආකල්පවලින්, මොකද ලෝකය දිහා පොඩ්ඩක් බලන්න, ශීඝ්‍රයෙන් වර්ධනය වෙන රටවල්  කොච්චර තියනෙවා ද, උදාහරණයකට ගන්න කෙන්යාව, ඒ රටේ ආර්ථික වර්ධන වේගය 7% ක්.  ඒවගේම තමා බංග්ලාදේශය, තේ පොල් රබර් කියන අපේ ප්‍රධාන කෘෂි භෝග අපනයනයෙන්  අපෙන් ගිලිහෙද්දී ඒවා අත්පත් කරගන්නේ ඒ රටවල්. ඒ නිසා අපිට තාමත් පුළුවන්  අපේ රට දියුණු කරගන්න, අපේ දේ රැකගන්න.

කලාකරුවෙක් විදියට, එහෙමත් නැත්නම් රටේ පුරවැසියෙක් විදියට සමාජයට දෙන්නේ මොන වගේ පණිවිඩයක් ද?

මම  කියන්නේ මේ අපේ අපි ඉපදුන රට, ඉස්සර පිට රට වලට ඕනේ වුණේ, කවදා හරි ලංකාව  වගේ වෙන්න, ඒත් අද මොකද අපිට වෙලා තියෙන්නේ, ඒ නිසා මම කැමතියි මේ රටේ  පුරවැසියෙක් විදියට ආයෙත් අපේ රට ගැන එදා වගේ කතා කරනවා දකින්න, අපිට  පුළුවන්, දැන් බලන්න නාසා ආයතනය ගත්තම එතනත් ඉන්නවා අපේ ශ්‍රී ලාංකිකයන්.  අපේ උගතුන් වියතුන් බොහෝමයක් මේ වෙද්දී ඉන්නේ පිටරට ඒ අයගේ දැනුමින් පවා  අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ලෝකයේ දියුණුවත් එක්ක අපිටත් ගමන් කරන්න පුළුවන්,  උත්සහ ගන්නයි ඕනේ, උපන් බිමට ආදරයක් ඇති කරගන්න ඕනේ, අපේ දේ අගයන්න ඕනේ, මම  හිතනවා එතකොට අපිටත් පුළුවන් ලෝකයත් එක්ක තරග කරන්න, ඉතින් අපි ඒ දේ කරමු,  ඒක තමා මට කියන්න තියෙන්නේ.

අනුෂා රණසිංහ
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්