විශේෂාංග

මේ බස් එක සෙමි…

නුවරඑළිය – කොළඹ බස්රිය ගම්පොළට ආ හැටියේම මගීන් කඩිමුඩියේ ඊට ගොඩ වූයේ බස් රියේ ඉදිරිපස කහපාටින් ගසා ඇති බෝඩ් එක දෙස බලාය. කොන්දොස්තර ‘ටිකට් ගන්න, ටිකට් ගන්න’’ යැයි කෑ ගැසුවේ නැත. ඔහු කෑ ගැසුවේ ‘‘සල්ලි ගන්න… සල්ලි ගන්න’’ කියාය. එක් මගියෙක් සුපුරුදු පරිදි ගම්පොළ සිට කොළඹට ගමන් ගාස්තුව වූ රුපියල් එකසිය අසූවක් කොන්දොස්තරවරයාට දුන්නේය.

‘‘ගාණ දෙසීය හැත්ත අටයි. මේක සෙමි’’ කොන්දොස්තර කිව්වේය.

‘‘සෙමි වෙන්නේ කොහොමද මේකෙ නිල්පාට බෝඩ් එකක් ගහලා තියෙන්න එපැයි.‘‘

‘‘මේ බස් එක සෙමි. ගාණ දෙසීය හැත්තෑ අටයි.’’

නිහඬ වූ මගියා කොන්දොස්තරවරයාට ඔහු ඉල්ලූ මුදල දුන්නේය. එහෙත් ඔහු නිකන් සිටියේ නැත. ජාතික ගමනාගමන කොමිසමට බස්රියේම සිට කතා කළේය. ජාතික ගමනාගමන කොමිසම කියා සිටියේ එම බස් රියට සතියක කාලයකට අර්ධ සුඛෝපභෝගී බලපත්‍ර දී ඇති බවය. ඒ බව හැඟවෙන පරිදි නිල් පැහැ පුවරුවක් ප්‍රදර්ශනය නොකළ බස්රියට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවය.

මිනිස්සු බස්රිය සාමාන්‍ය ගාස්තු ද නැති නම් අර්ධ සුඛෝපභෝගීද කියා තීරණයට යන්නේ බස් රියේ නිල් හෝ කහ පැහැයෙන් ඇති පුවරුව දෙස බලාය. ඊට අවසරපත් දී ඇත්දැයි සොයා බලන්නේ නැත. ඒ අවසර පත් තාවකාලිකද නැද්ද යන්න ගැන සොයා බලන්නේ ද නැත. ජාතික ගමනාගමන කොමිසමට මේ වරද කළ බස්රියට එරෙහිව අවසරපත් අවලංගු කිරීම හෝ වෙනත් දඬුවමක් දිය හැකිය. එහෙත් සාමාන්‍ය ගාස්තු යැයි සිතා බස්රියට ගොඩවී රැවටීමට ලක් වූ මිනිසුන්ට වූ පාඩුව පියවිය හැකිද යන්න ගැටලුවකි.

අපේ රටේ බස් රථ සේවා වර්ග 4 කි. සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගි සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා එම බස්රථ සේවා හතරයි. අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව හෙවත් බාගෙට සැප බස් සේවය නියාමනය වන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගිනි.

අර්ධ සුඛෝපභෝගී සේවාව ආරම්භ වන්නේ අනූව දශකයේය. එය ආරම්භ වන විට අර්ධ සුඛෝපභෝගී සේවාවෙත් සාමාන්‍ය බස් සේවාවෙත් වෙනස්කම් දකින්නට තිබුණේය. අර්ධ සුඛෝපභෝගී බස්වල හිස රඳවන (හෙඩ්ඩ්‍රස්) තිබුණේය. බසය නතර කළ හැක්කේ සීමිත නැවතුම්වල පමණි. කාලයත් එක්ක එම බස්වල ආසනයේ ඇන්ද හෙඩ්ඩ්‍රස් එකක් නොව යකඩ බට ආවරණයක් විය. පසුව සාමාන්‍ය සේවා බස් රථවල අසුන හිස රඳවනයකින් (හෙඩ්ඩ්‍රස්) සැරසුණේය. වෙනසක් නැතුව දෙගොල්ලෝම පොල් පටවන්නට පටන් ගත්තේය. සාමාන්‍ය සේවා දුර ගමන් බස් රථද අර්ධ සුඛෝපභෝගී සේවා බස් රථ මෙන් සැරසුණේය. එහෙත් මේ දෙකේ බැලූ බැල්මට වෙනසක් නැත. සීමිත නැවතුම් කිව්වාට මේ බස් රථ නැවැත්තුවේ නියමිත බස් නැවතුම්වල පමණක් නොවේ. පාරේ සිට අත දමන අයටත්, සමහර සීමිත නැවතුම් අර්ධ සුඛෝපභෝගී බස් රථ නවත්වන්නේය. මග කොටන්නේය. තම අයිතීන්වලට විරුද්ධව කරන මේ වැරදිවලට එරෙහිව සත්තමක් දැමුවේ මගී ජනතාව නොව සාමාන්‍ය සේවා බස් රථය. ඔවුන් බස් රථ තුළ කන පැලෙන්නට සින්දු දමාගෙන යන්නේය. එකී මෙකී නොකී ගැටලු රැසක් නිසා මගී ජනතාවගේ පාර්ශ්වයෙන් අර්ධ සුඛෝපභෝගී බස් ගැන විවේචන, චෝදනා මතු විය.

​‘‘සෙමි ලක්සරි කියන්නේ බාගෙ සැප. ඇත්තටම මේ බස් එක සීමිත ආසන, ඒ වුණාට සෙනඟ හිටගෙනත් යනවා. ඒ විතරක් නෙවෙයි මේ බස් රේස් යනවා. ඒ වේගෙන් යන නිසා මාරාන්තික රිය අනතුරු වෙනවා. පොඩි දරුවෙක්ව අත දරුවෙක්ව ගෙනියන්න බෑ. යන වේගෙන් බ්‍රේක් එකක් ගැහුවොත් දරුවා විසි වෙනවා. බස් එකේ බෑග් ටික විසි වෙනවා. මේ ඔක්කෝටම වැඩිය සද්දෙ. කන පැලෙන්න සින්දු දානව. ඒකත් අහන්න ඉන්න පුළුවන් සින්දු නෙවෙයි.

‘‘මම නම් කියන්නේ සෙමි ලක්සරි බස් නවත්වන්න කියලා නෙවෙයි, අපට ඒ බස් සේවාව ඕන. මොකද මේවා නවත්වන්නෙ බස් ස්ටෑන්ඩ් කීපයක විතරයි. ඒ කියෙන්නෙ ඉක්මනට අපිට ඕන තැනකට යන්න පුළුවන්. මිනිසුන්ට ඕනේ යන්න ඕන තැනට ඉක්මනට යන්න. සාමාන්‍ය බස් එකක ගියොත් වෙලාව ඉවරයි. ඒ වගේම මහන්සියත් වැඩියි. මිනිස්සු ඒකයි සෙමි ලක්සරිවල යන්නේ. ඒක නැවැත්තුවොත් හැමෝටම සාමාන්‍ය බස්වල කාලෙ නාස්තිකරන් තමයි යන්න වෙන්නේ. මම නම් කියන්නෙ මේක අහෝසි කරන්න කියල නෙවෙයි. කොලිටි කරලා දෙන්න කියලා’’ යැයි බස් රථ මගියෙක් වූ ෂෙහාන් මාලක කියා සිටියේය.

අර්ධ සුඛෝපභෝගී වේවා, සාමාන්‍ය සේවා වේවා ලංකාවේ ලොරි චැසි බස්බොඩි රියැදුරන්ගෙන් බොහෝමයක් රියැදුරන්ට මාර්ග නීති ගැන වගේ වගක් නැත. ඔවුන්ට බස් රිය ගැනද වගේ වගක් නැත. රේස් යන අර්ධ සුඛෝපභෝගී බස් රථ ගැන අදහස් දක්වමින් පී. වසන්ත කුමාර මෙසේ කියා සිටියේය.

‘‘ඔය ලොරි චැසි බස්වලට මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් හදන්න ලොකු ගාණක් යන්නෙ නෑ. කැඩිච්ච බාර් එකක් හදන්න 10,000 ක්, 15,000 ක් යයි. යකඩ බෆර් එක ගැලෙව්ව ගැහුවා. ඒගොල්ලොන්ට ඒක ප්‍රශ්නයක් නෑ. ඒකයි ඔහොම කෙයාලස් විදිහට පාරෙ යන්නෙ. කවදාකවත් බැලුන් බස් (අති සුඛෝපභෝගී බස්) එකක් ඔහොම යනවා දැකලා තියෙනවද?

බාගෙට සැප බස්වල තරම කෙතරම්දැයි කිවහොත් ජාතික ගමනාගමන කොමිසම මගින් 10,000 ක සහභාගිත්වයෙන් කළ සමීක්ෂණයකදී මගීන්ගෙන් 53% ක්ම කියා සිටියේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ගැන සතුටට පත්විය නොහැකි බවය.

අර්ධ සුඛෝපභෝගී බස් රථ මෙසේ කෙරෙන්නන්වාලේ ජනතාව මුළා කළාට අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසර පත්‍ර ලැබෙන්නේ මේ කියන කරුණු සම්පූර්ණ වූ පසුවය. අර්ධ සුඛෝපභෝගී බස් රථයක හිස රඳවන (හෙඩ්ඩ්‍රස්) ආසන තිබිය යුතුය. තිර රෙදි තිබිය යුතුය. ආසන ගාණට මගීන් රැගෙන යාම, නම් කරන ලද සීමිත නැවතුම්වල පමණක් නැවැත්වීමද ඊට අදාළය.

ආසන හා තිර රෙදි සම්බන්ධයෙන් පරීක්ෂා කර ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඊට බලපත්‍ර දෙයි. එහෙත් සීමිත නැවතුම් හා ආසන ගාණට පමණක් මගීන් රැගෙන යාම ගැන ජාතික ගමනාගමන මණ්ඩලයට සහතික විය නොහැකිය.

අසීමිතව මගීන් පටවාගෙන හිතුන හිතුන තැන නවත්වන සෙමි ලක්සිරි බස් ගැන ජාතික ගමනාගමන කොමිසමේ ජංගම පරීක්ෂණ නිලධාරින් සිටින්නේ විමසිල්ලෙනි. ඒවා විමර්ශන අංශ විසින් විමර්ශනය කර වරදක් ඔප්පු වුවහොත් ඊට දඬුවම දෙන්නේය. ගමන්වාර කාල සීමාවන් අත්හිටුවීම, බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීම රියැදුරු කොන්දොස්තර බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීම වැනි දඬුවම් ඒ අතර වේ.

අපේ සෙමි ලක්සරි බස් සැප ගැන විවේචන ඇත්තේ හුදීජන මගී ජනයාගෙන් පමණක් නොවේ.

‘‘සෙමි ලක්සරි බස් ගැන ප්‍රශ්න විසඳනවා කියන්නේ බාලගිරි දෝසය. බලපත්‍ර ජාවාරම්කාරයොයි, බස් හිමිකාරයොයි එකතුවෙලා ඇමැතිට බලපෑම් කරනවා. මේවට විරුද්ධව නීති ගෙනාවම සෙමි ලක්සිරි, මගීන්ව කොල්ල කනවා. මේ බස් සේවය නිසා මාරක අනතුරු ඉහළ යනවා. මොකද මේ ගොල්ලෝ රේස් යන්නේ. අර්ධ සුඛෝපභෝගී කිව්වට ඕකේ වෙනස මොකක්ද? ජනෙල්වල රෙදි කෑල්ලක් එල්ලල විතරයි. අනිත් එක ආසන ගාණට මිනිස්සු ගෙනියන්න කිව්වට ඒ ගොල්ලෝ කට කපල සෙනඟ පටවනවා.

මේ අර්ධ සුඛෝපභෝගී බස් නිසා සාමාන්‍ය බස් රථ කොටනවා. මොකද ඒ බස් රූට් එක තවත් බස් රූට් කපනවට. පානදුර ​- කොළඹ සෙමි ලක්සිරි බස් රූට් එක තවත් ලෝකල් බස් රූට් තිහක් විතර කපාගෙන යන්නේ. ඒවගෙන් සෙනඟ කැඩුනහම අනිත් බස් සෙනඟ එනකන් කොට කොට ඉන්නවා.

මේ තරම් දුක්විඳගෙන බාගෙට සැප හොයන සෙමි ලක්සරිවලට ජනතාව ඇදෙන්නේ ඇයිද යන්නද ගැටලුවකි. මන්දයත් සාමාන්‍ය ගමන් ගාස්තුවෙන් 1.5 ක මිලක් අයකරයි. සුඛෝපභෝගී බස් රථයක් දෙගුණයක මිලක් අයකරයි. වැඩියෙනුත් ගෙවා හිටගෙනත් යන්න විවිධ හේතු ඇත.

සෙමි ලක්සරි බසයක් නවත්වන්නේ සීමිත නැවතුම්වල නිසා ඉක්මනට යා හැකි වීම එක හේතුවකි. සමහර මාර්ගවල රාත්‍රී 7.00 න් පසු කෙටිදුර බස් රථ හිඟය. පුත්තලමේ සිට අනුරාධපුරය දක්වා දිවෙන බස් රථ නැත. හබරණින් එහා ත්‍රිකුණාමලයට බස් රථ අඩුය. ඒ සමහර ප්‍රදේශවල මාර්ගවලට බස් රථයකට පිරවිය හැකි තරම් සෙනඟක් නැති නිසා ඒවායේ බස් රථ ධාවනයට කෙටිදුර බස් රථ කැමැති වන්නේ ද නැත.

සෙමි ලක්සරි බස් රථ තුළ ගොඩනැගී ඇති උප සංස්කෘතියත් මෙම බස් රථවලට ජනයා ඇදෙන්නට හේතු වී ඇත. විශේෂයෙන්ම නියමිත වේලාවට ධාවනය වන නිසා මේ බස් රථවලටම පුරුදු වූ කාර්යාල සේවකයන්, පාසල් ගුරුවරුන් ආදී පිරිසක් සිිටිති. හිටගෙන යන මේ අයගෙන් සාමාන්‍ය ගමන් ගාස්තුව අය කරන්නට තරම් කොන්දොස්තරලා කාරුණිකය. විශේෂයෙන්ම ටියුෂන් පන්ති සිසුන්ටද අඩු ගාණට ගමනාගමන පහසුකම් දෙන්නට කොන්දොස්තරලා කාරුණිකය.

මෙවැනි ප්‍රායෝගික ගැටලු රාශියක් නිසා ද ජනතාව සෙමි ලක්සිරි බස් රථ වෙත ඇදෙයි.

මෙම සෙමි ලක්සරි බස් රථ සේවාව අහෝසි කිරීමට යෝජනාවක් ඇති අතර ඒ සම්බන්ධයෙන් ද ඇත්තේ ගැටලුකාරී බවකි. ඒ මේ වන විටත් සෙමි ලක්සරි බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කර තිබීමය.

ලංකාවේ බස් ධාවන මාර්ග 113 ක් පුරාවට සෙමි ලක්සරි බස් 432 ක් ධාවනය වේ. සෙමි ලක්සරි බසයේ බාගෙ සැප නැති කරන්න හෝ වැඩි කරන්නට දැන් කාලය පැමිණ ඇත.

මධුෂාණි කොඩිතුවක්කු