කතුවැකි

මේ බලපත් ගාය නතර කරන්නට කාලයයි

ජනාධිපතිතුමාගේ නිදහස් දින කතාව මිතුරන් මතු නොව පස මිතුරන්ද තුටු පහටු කළ කරුණු කාරණා කිහිපයකින් යුක්ත විය. එතුමාගේ කතාවේ මෙසේ කියැවිණ. ‘ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කරගන්නට බාධා පමුණුවන යල්පැන ගිය නීති රීති, රෙගුලාසි, බදු ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට කටයුතු කරනවා.’ එම ප්‍රකාශය කර පැය හැත්තෑදෙකක් ගත වීමටත් පෙරාතුව මෙතෙක් ලියවිල්ලකට තැබීමට නියමිතව තිබූ ​මෝඩ පහේ මුද්‍රාවක් අහෝසි කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කෙරිණ.

ග්‍රාම නිලධාරිවරයාගෙන් පදිංචි සහතිකය ගත්තාට පසුව ඊට ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන සහ මුද්‍රාව ගැනීමේ නියමය චක්‍ර ලේඛයකින් අහෝසි කෙරිණ. ගම් වැසියාව හොඳින් දන්නා ග්‍රාම නිලධාරියා දෙන සහතිකය අනුමත කරන්නට ගමේ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන ඕනෑ බවට නියම කළේ කව්දැයි අපි නොදනිමු. එබඳු පියවරක් ගන්නට ඇත්තේ හොර ග්‍රාමසේවක සහතික නිකුත් කිරීම නතර කිරීම සඳහා මහදැනමුත්තා දුන් උපදෙසකට අනුව විය යුතුය. රටම කලඹමින් ආයුධ සන්නද්ධ කැරැල්ලකට මූලිකත්වය දුන් රෝහණ විජේවීර, ග්‍රාමසේවා සහතිකයක් පදනම් කරගෙන ගත් හැඳුනුම්පතත් සමග ගෙවල්, ඉඩම් මිලට ගනිමින් දරුවන් පාසල් යවමින් හැංගී වසර ගණනාවක් සිටි බව අපි දනිමු. ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට ආ කොටියාටද ග්‍රාම සේවා සහතිකය පදනම් කරගෙන දුන් හැඳුනුම්පතක් තිබිණි.

ග්‍රාම නිලධාරි සහතිකයට ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන යෙදීමට දී තිබූ නියමයෙන් සිදුව තිබුණේ වංචා වැළැක්වීම නොව හුදී ජනයට ඉක්මනින්, පහසුවෙන් වැඩ කරන්නට තිබූ ඉඩකඩ ඇහිරීමය. නිදහස ලබා ගෙවී ගිය කාල සීමාවට ආසන්න කාලයක් මේ මෝඩ නියමය නිසා ජාතියම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දින ගණන් රස්තියාදු වූහ. ජනාධිපතිවරයාගේ කතාව ඇසූ වැලි ප්‍රවාහකයකු කී දෙයක් මෙසේ සාරාංශ කළ හැකිය.

වැලි ඇදීමට බලපත්‍රය නිකුත් කරන්නේ එක්තරා කාල සීමාවක් තුළ නියමිත කියුබ් ගණනාවක් ඇද ගන්නයි.

ඒත් අපි ඒ බලපත්‍රයෙන් ඒ කාලය ඇතුළත අමතරත් වැලි අදිනවා. එහෙම කරන්නේ පොලිසියට ජරාව දීලා. එහෙම කරනවට වඩා හොඳයි වැලි අදින්න බලපත්‍රය දීලා ආණ්ඩුව ඒකට ලොකු බද්දක් ගන්නවා. බලපත්‍ර දුන්නත් වැලි අදින එක වැලි ඇටයක් තරම් නතර වෙලා නෑ. එතකොට ජරාව දෙන කැත සිරිතත් නැති වෙනවා. රජයට ආදායමත් එනවා.’’

සැබැවින්ම ගහක් කැපූවත්, වැලි ඇටයක් ගත්තත් බලපත්‍ර ඕනෑය. මලපහ කළත් බලපත්‍රයක් ඕනෑ බව දැනෙන්නේ වැසිකිළියක් හදන්නට ගිය විටය.

මේ බලපත්‍ර කෙතරම් දුන්නත් මේ රටේ ගහක් කොළක් ඉතිරි වී නැත. වැලි ඇටයක් බේරී නැත.
ඒ වෙනුවට සිදුව ඇත්තේ බලපත්‍ර නියම කරන හැම තැනකම අල්ලස් ගස් වැවීමය. වැලි කැටයටත් අල්ලස් ගැනීමටය.

මේ නීති රීතියෙන් තැලුණේ පොඩිවුණේ නීත්‍යානුකූල පුරවැසියාය. පුංචි කර්මාන්තයක් කරන්නට උත්සාහ කළ කර්මාන්තකාරයාය. පාරම්පරික ශිල්පියාය. මෙබඳු බලපත්‍ර රාජ්‍ය සේවයේ බොහෝ තනතුරුවල ආදායම තීන්දු කරන්නේය. විදේශ ගමන් බලපත්‍රයට ඇඟිලි සලකුණත්, ඩිජිටල් ඡායාරූපයත් යොදන විට සාමදාන විනිසුරුගේ අත්සන අහෝසි කෙරිණ. සාමදාන විනිසුරන් බලධාරින්ට පැමිණිලි කළේ තමන්ට බඩේ පාර වදින බව කියමිනි. එහෙත් අද ඩිජිටල් ක්‍රමයට ඡායාරූපය යොදා ගැනීම නිසා දහස් ගණන් පිරිසකට රට පුරා රැකියා මං පෙත් විවරය. පරිගණක තාක්ෂණය යෙදීමෙන් රැකියා අහිමි වූවන්ට ඉන් නව ජීවනෝපායන් විවර වෙන බවට ඉහත කරුණ උදාහරණ සපයයි. කඩදාසි පෝරම පුරවන යුගය පැන, අප නව තාක්ෂණ ලෝකයට පා තැබිය යුතුය. එය මේ දූෂණ වංචා මැඬලීමට මගකි. මේ බලපත් ගාය වෙනුවට යුක්තිගරුක ක්‍රමයක් රටට හඳුන්වා දිය යුතුය. ඒ ජන ජීවිතය කාර්යක්ෂමව නිදහසේ ගලා යාමටය.