විශේෂාංග

මේ දවස්වල හැම බත් පතේම වට්ටක්කා තියෙන්නේ ඇයි ?

අතීතයේ පටන් අප රටේ දුප්පතාගේ ආහාරය වූයේ කරවල හොද්දත් පොල් සම්බෝලයත් බතුත්ය. ඒ දිනවල එය එතරම්ම බැරෑරුම් දෙයක් නොවුණත් අද කරවල හොද්දයි පොල් සම්බෝලයි බතුයි කනවා යැයි කියන්නේ එසේ මෙසේ දෙයක් නම් නොවේ. ඒ මාළු ටිකක් ගන්නවාට වඩා කරවල කූරියෙක් ගණන් නිසාය. පොල් ගෙඩියක ගණන් ඇසූ විට දැන් පෙනෙන්නට ගන්නේ ද එලොව පොල්ය. කොළඹ නගරයේ පොල් ගෙඩියක මිල රුපියල් 95කි. එළවළු මිල ද එසේය.

එළවළු මිලේ තරම පාරිභෝගිකයන්ට කොතෙක් දුරට බලපාන්නේ දැයි වැටහෙන්නේ මේ දිනවල බත්පතට වට්ටක්කා නැතිවම බැරි එළවළුවක් වී ඇති හෙයිනි. වට්ටක්කා මිලත් වෙනදාට වඩා වැඩි වුවද පාරිභෝගිකයාගේ කෙට්ටු වුණු එළවළු මල්ලේ ඇති එළවළු දෙක තුන අතරේ වට්ටක්කා ​ කිලෝවක් දෙකක් නම් වරදින්නේ නැත.

මේ සන්තෑසියට හේතු කවරේ දැයි සොයා බලන්නට අපි පළමුව ගියේ කොළඹ මැනිං මාකට්ටුවටය. එහි එළවළු වෙළෙඳාමේ නියැළෙන රංජිත් විතාරණ මහතා එළවළු මිල ගණන් ගැන අපට මෙසේ කීවේය. අල දැන් එකසිය විස්සයි. අල ටිකක් ගණන් බැස්සා. රතු ලූනු තුන්සිය පනහයි, හාරසීයයි. බී ලූනු දෙසිය ​ පනහයි. කලින් එකසිය පනහට එකසිය හතළිහට වගේ තිබුණා. මේ දවස්වල හරි වෙළෙඳාමක් නෑ. මිනිස්සු එන්නේ නැහැ. ඉස්සර කිලෝ දෙක තුන අරගෙන ගිය මිනිහ දැන් ගන්නේ කිලෝ එකයි. වෙනදට මම කෑලි දහයක් පහළොවක් විකුණනවා. ඒත් අද දවසටම එක කෑල්ලයි විකුණ ගත්තේ. ඒත් මිල අඩු වුණත් මිනිස්සු බඩු ගන්නේ නෑ.

අතේ සල්ලි නැතිව වෙන්න ඇති. එළවළු මිල ඉහළ යෑම ගැන පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මෙසේ කියා සිටියේය. පසුගිය දවස්වල දැඩි වර්ෂාවක් තිබුණා. මේක උඩරට පහතරට දෙකටම දැඩිව බලපෑවා. සාමාන්‍යයෙන් අපේ රටේ උදේ උඩ රටට වහිනකොට පහතරටට පායනවා. පහතරටට පායනකොට උඩ රටට වහිනවා. එනිසා උඩරට එළවළුයි පහතරට එළවළුයි දෙකම නැති වුණා. එත් මේ දවස්වල යාපනයේ එළවළු තොග ලැබෙනවා. ඒ නිසා එළවළු මිල ගණන් පහළ යමින් තියෙන්නේ. ඒත් තවම කැරට්, ලීක්ස්, තක්කාලිවල මිල අඩුවෙලා නෑ. ඒත් සාමාන්‍යයෙන් අනෙක් එළවළු කිලෝවක් රුපියල් දෙසීයට අඩුවෙන් තමයි මේ දවස්වල තියෙන්නේ. එළවළුවල මිල ගණන් ඉහළ යන්නට බලපෑ ප්‍රායෝගික හේතූන් ද තිබේ. ඒ ගැන බොහෝ දෙනෙකු හිතන්නේ නැත.

වැස්ස කාලෙට බඩු මිල ඉහළ යනවා. එළවළු මිල ඉහළ යන්න හේතුවක් තමයි හරියට කොලිටි බඩු නොලැබෙන එක. අපි ගත්තෙ කෑලි ගාණකට. (කෑලි එකක් කියන්නේ එළවළු ගෝනියකි.) ඒ කෑල්ලෙ තියෙන කැඩිච්ච බිඳිච්ච ඒව අයින් කරල තමයි අපිට විකුණන්න වෙන්නේ. ඒ අයින් කරන කිලෝ ගාණටත් එක්ක තමයි අපි සල්ලි ගෙවන්නෙ. ඉතින් ඒ ගාණ අපි අල්ලන්නෙ කස්ටමර්ගෙන්. එළවළු ට්‍රාන්සර්පෝර්ට් කරන්න හරි ක්‍රමයක් හදල කැඩෙන බිඳෙන එක හරි අඩු කළොත් එළවළු මිලත් අඩුවෙනවා.

එළවළු මිල අඩු වුවත් පාරිභෝගිකයන් අඩුවෙන්නට හේතුව ව්‍යාපාරික ආරියපාල මහතා මෙසේ කීවේය.

දැන් පාරිභෝගිකයෝ බෙදනවා. ඉස්සර මිනිස්සු සුපර් මාකට් යන්න බයයි. ගණන් වැඩියි කියල. ඒත් දැන් ගොඩ දෙනෙක් සුපර්මාකට් යනවා. සමහරක් එළවළු ඒවායේ ලාභයි. අනිත් එක තමන්ට ඕන විදියට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩේට ඇවිත් බෝංචි ග්‍රෑම් 100 ඉල්ලන්න මිනිස්සු ලජ්ජයි. ඒත් සුපර් මාකට් ගිහින් බෝංචි කරල් පහක් වුණත් ගන්න පුළුවන්.

ඒ වගේම එළවළු පලතුරු කපල පැක් කරලම තියෙනව. ගෙදර ගිහින් උයා ගන්න විතරයි තියෙන්නෙ.

වැස්ස නිසාවත් නියඟය නිසාවත් එළවළු ගණන් යනවා යැයි කියන්නට වීම මේ සියවසේ විළිලජ්ජාව ගෙනෙන කාරණයකි. කාලගුණ දෙපාර්තමේන්තුව කියනා හැටියට ඉදිරි කාලයේ දී වැස්ස වලාහක දෙවියෝ මෙරටට දිවැස් හෙළනු ඇත. එසේ නැති වුණොත් වැස්ස නිසා බඩු ගණන් ගියා කියූ කටවලින්ම නියඟය නිසාද බඩු ගණන් ගියා යැයි කීමට සිදුවනු ඇත. අව්වට වැස්සට රටේ එළවළු මිල තීරණය කරන්නට ඉඩ දෙනවානම් රටකට ආණ්ඩුවක් කුමටදැයි සිතෙන්නට පුළුවන.

ආණ්ඩුවකට අව්ව වැස්ස පාලනය කළ නොහැකි බවත් ඇත්තය. එහෙත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහ බැංකුව ආදී එකී මෙකී නොකී රාජ්‍ය ආයතවල සම්බන්ධීකරණයක් ඇති කර අව්වට වැස්සට ර‌ටේ එළවළු මිල අල්ලෙ නැටීමට ඉඩ නොදීමට වැඩ නොදීමට වැඩපිළිවෙළක් හදන්නට ආණ්ඩුවට හැකියාව තිබේ. ලෝකයේ අද ඇති ග්‍රීන්හවුස් තාක්ෂණය අපේ රටේ ද රටේ පැළ කළ නොහැක්කක් නොවේ.

ඒ මොනවා වුණත් තමා හිසට තම අතමය හෙවණැල්ල යැයි කියන්නා සේ තම තම නැන පමණින් මිනිසුන් දැන් ගෙවතු වගාව පවත්වාගෙන ඇත. අද එළවළු වෙළෙඳාම අඩු වුවත් එළවළු හා පලතුරු බීජ අලෙවිය නම් මේ දවස්වල ජයටම කෙරෙන ව්‍යාපාරයකි. උදාහරණයක් ලෙස එකම ගහේ පාට තුනෙන්ම ගෙඩි හටගන්නවා යැයි කියමින් බෙල්පෙපර් ඇට විකුණන්නෝ දැන් දුම්රියේ ද වෙළෙඳාමට බැස ඇත.

වගාව කොයි අතින් ගත්තත් නරක නැත. තම ගෙවත්තේ අලයක් කොළයක් වවාගෙන කන්නට ඉස්සර ඇත්තෙන්ම ඉඩ කඩ තිබුණත් නාගරික ජන ජීවිතය ඒ පහසුකම නැත. තවත් පසෙකින් ගත්විට කන්නන්වාලේ කන්නට අප කැමතිත් නැත. බත් පත අතට ගනිද්දි හිතයි බඩයි දෙකම පිරෙන්නට තිබිය යුතුය. එනම් කිරට මිරිසට තෙලට මොකක් හෝ රසයකට තිබිය යුතුය. මේ දවස්වල ආසාවටවත් කිරි හොද්දක්, බිත්තර හොද්දක් කන එක ලේසි නැත. ඒ පොල් ගෙඩියක දැන් අඩුම මිල හැටක්ව ඇති නිසාය. හොඳ පොල් ගෙඩියක් රුපියල් අසූවකි. තෙලට හදන්න හිතුවත් දැන් පොල් තෙල් භාගයක් රුපියල් එකසිය හැත්තෑ පහකි.

පොල් ගෙඩියයි, පිටි කළ පොල් කිරියි අද ඇතැමුන් එකට මිලදී ගනී. පොල් කිරි ටික පිටි කළ පොල් කිරි හැන්දක් මිශ්‍ර කළ විට එක පොල් ගෙඩියෙන් වේල් තුනහතරකට පිරිමසා ගන්නට පුළුවන්ය.

මේ ක්‍රමයට එක පොල් ගෙඩියෙන් සතියක් කන්ට විස්මිත හැකියා ඇති ගෘහණියෝද මේ රටේ වෙසෙති.

මේ දිනවල චීනයේ කොරෝනා අපේ කුකුළු මස් බිත්තර වලටත් බෝවී ඇති හැඩය. ඒ පැවතියාට වඩා මිල අඩුවී ඇතත් එහි ඉල්ලුම ද අඩු වී ඇත. පිටකොටුවේ බැස්ටියන් මාවතේ සහ මැනිං මාකට්ටුවේ දැන් බොයිලර් කුකුළු මස් කිලෝ එකක මිල රුපියල් පන්සීයකි. කරි චිකන් කිලෝවක මිල හත්සියයකි. බොයිලර් කුකුළු මස් මෙන් නොව කරි චිකන් මිල ඉහළ ගොස් ඇත්තේ බිත්තර දමන කිකිළියන්ගේ ආයු කාලය වැඩි නිසාත් මේ දිනවල බිත්තරවලට හොඳ මිලක් ලැබෙන නිසාත්ය.

පසුගිය දවස්වල නම් මස් හුඟක් ගණන් ගියා. ඒත් දැන් ටික ටික අඩුවෙනව. ඒත් පාරිභෝගිකයෝ චිකන් ගන්න එන්නෙ නෑ. කොරෝනාවලට බයේ. බිත්තර වෙළෙඳුන් පවසන්නේ ඒ කතාවය.

මැනිං මාකට්ටුවේ බිත්තර ව්‍යාපාරික සුනිල් චන්ද්‍රසිරි මෙසේ කියා සිටියේය.

බිත්තර දහඅටයි පනහයි. පොඩි එක දාසයයි. මේ දවස්වල බිස්නස් අඩුයි. මිනිස්සු කොරෝනාවලට බයවෙලා බිත්තර කන්නෙත් නෑ. කඩවල්වලට අපෙන් ගත්ත තොග ගාණත් අඩුයි. ඒ වගේම දැන් කෑම කඩවලට ගත්ත ප්‍රමාණයත් අඩුවෙලා. රට වටේ මුහුද තිබුණත් අපේ රටේ මාළු ගිනි ගණන්ය. මෙරට සුපිරි පැලැන්තියේ වැසියන් ජිවත් වන වෝඩ් පෙදෙසේ සුපිරි අලෙවිසලකට ගොඩ වූ අපි දුටුවේ එහි සාලයෝ වැනි කුඩා මාළු ඉක්මනින් විකිණී අවසන් වන බවය. රුපියල් එක්දාස් පන්සීයට දාහට මිල වී ඇති ඉස්සන් දෙස බලා සිටින විට එතැනට අඩි උස පාවහන් පැලඳ ටකස් ටකස් ගාමින් ට්‍රොලියකුත් තල්ලු කරගෙන ආවේ තලතුනා කාන්තාවකි. ඈ ඇසුවේ පොඩි මාළු මොනවද තියෙන්නේ කියාය. අලෙවි සහයකයා සිනාවකින් මුව සරසාගෙන කාරල්ලා විතරයි මිස් තියෙන්නෙ යැයි කීවේය. ඇය ටකස් ටකස් හඬ යළි නගමින් ට්‍රොලිය තල්ලු කරගෙන එතැනින් ඉවත් වූවාය.

මස් මාළු මිල අස්සේ දඩයම් යුගයේ සිට පැවත ආ මස් රසින් නහර පිනවා ගන්නටත් ප්‍රෝටීන් අවශ්‍යතාව පසුරා ගන්නටත් ලූනු, කරපිංචා, තුනපහ, පොල්කිරි එකී මෙකී නොකී කළමනා නැතුව බඩ පුරවා ගන්නට තවත් මාර්ග සොයාගෙන ඇත.

ඇය අපිට හමුවූයේ පිටකොටුවේ ෆ්ලෝටීන් මාකට්ටුව ඉදිරිපිටදීය.

කොහොමද කන්නේ. එළවළු කන්න බෑ. ගිනි ගණන්. කොහොම හරි එළවළුවක් ගත්තා කියමු. ඒක ලුණු දාල තම්බන් කන්න බෑනෙ. තෙල් දාන්න ලූනු ඕනෙ. කිරට හදන්න පොල් ඕනෙ. එහෙමයි කියල නොකා ඉන්නත් බෑනෙ. පිටි කළ පොල්කිරි තමයි මම ගත්තෙ. ඒකත් හැබැයි ගණන්. ඔය කඩල පරිප්පු ටිකක් තෙල්දාලා සොසේජස් කරලක් දෙකක් එක්ක ළමයින්ට කන්න දෙනවා. ඇය කියද්දි වැඩෙන දරුවෙකුට ලැබිය යුතු පෝෂණය ගැන මට කල්පනා විණි.

දැන් ගෙදර උයන එක අත්හැර කඩෙන් කෑම ගැනීම අපේ රටේ සාමාන්‍ය දෙයකි. එහෙත් කඩේ කෑමත් දැන් ඉස්සරට වඩා වෙනස්ය.

අපේ වයිෆ් බඩ ආප්ප කන්න ආසයි. මල්ලි ඔය ආප්පෙ බඩ ටිකක් දාන්නකො. රෑ කෑම කඩයකට ගොඩ වී සිටි මට හොඳින් ඇඳපැලඳගත් මැදිවියේ අයකු කී එම කතාව ඇසින. ආප්ප හතරක් ගත් ඔහු කඩිමුඩියේ යන්නට ගියේය.

මොන බඩ ආප්පද? ඔය මනුස්සයා ඉස්සර බිත්තර ආප්ප හතරකුයි ප්ලේන් ආප්ප හතරකුයි අරගන්නවා. දැන් බිත්තර ආප්ප ගණන්නෙ. ඉස්සර ගාණට බිත්තර ආප්ප දෙන්නත් බෑ. ඒක නිසා ප්ලේන් ආප්ප අරන් යනවා. ආප්ප බාස් කිව්වෙ ළඟ සිටි අය දෙස බලායි.

ඒ මොකද ඒ,

එහෙම තමයි දැන් එළවළු වාගේ හැමදේම ගණන් නිසා මිනිස්සු බඩු ගන්නේ අඩුවෙන්. ඉස්සර ෆුල් කොත්තුව අරන් ගිය කෙනා දැන් ගෙනියන්නෙ හාෆ් එකක්. ඉස්සර බිත්තර පරාටා ගෙනිච්ච අය දැන් නිකන්ම පරාටා එකට බැහැල. මිනිස්සු අතේ සල්ලි නෑ.

ආප්ප බාස් කීවේය.

මේ සියල්ල අතරේ එළවළු මිලට බඩුමිල එරෙහිව මොළෙන් ගේමක් ගහන අපේ කාර්යාල මිතුරියන් සිටින්නේය.

මම මගේ ෆෝන් එකට බඩු මිල අඩුකරන එක ගැන මැසේජ්​ ගෙන්න ගන්නවා. ඔය හැම සුපර් මාර්කට් එකකින්ම ඔෆර් දුන්නම ඒවා ගැන ෆෝන් එකට එස්.එම්.එස්. එනවා මං ගණන් අඩු කළාම ඒ ඒ තැන්වලට ගිහින් මට ඕන බඩු ගන්නවා. මම බඩු ගන්නෙත් ගණන් අඩුම තැන්වලින්.

ඈ කියන විදිහට ඇය ලූනු අල ගන්නේ එක සුපර් මාර්කට් එකකිනි. මස් ගන්නේ වෙනත් සුපර් මාර්කට් එකකිනි. එස්.එම්.එස්. බල බලා ඒ සුපර් මාර්කට්ටුවෙන් මේ සුපර් මාර්කට්ටුවට මාරු වී බඩු ගැනීම ආර්ථික ප්‍රශ්නයට ඇගේ විසඳුමයි.

හැමෝම ජීවත් වෙන්නට කරන්නේ අරගලයකි. තම තම නැණ පමණින් ඇති හැකි පමණින් ඒ ගේම ගැසිය යුතුය. ජීවත්වීම උදෙසා කළ යුතු ඒ අරගලයේ මිල දැන් දැන් ඉතා ඉහළය.

මධුෂාණි කොඩිතුවක්කු