විශේෂාංග

මේ තරම් රූම්ස් කොළඹ සිද්ධස්ථාන බලන්න එන අයට නවතින්නද?

නුගේගොඩ තිලක ගාඩ්න්ස් යැයි කියූ විට නොදන්නේ කව්ද? කෘතහස්ත පත්‍ර කලාවේදියකු වූ තිලකරත්න කුරුවිටබණ්ඩාර හා ඔහුගේ මල්ලී වූ සුනිල් ආරියරත්න ආදී පවුලේ සියලු දෙනාගේ ජය භූමිය වූයේ මේ නුගේගොඩ තිලක ගාඩ්න්සය. එය හරියටම පිහිටියේ නුගේගොඩ සුපර් මාර්කට එක ඉදිරිපිටය. හවසට නුගේගොඩ පසුකර යන විට ඉඳහිට කුරුවිටබණ්ඩාර මහතාගේ නිවසට ගොඩවන්නේ ඔහු අත්දැකීම් බහුල පත්‍රකලාවේදියකු නිසාය.
දිනක් කුරුවිට බණ්ඩාර මහතා බැහැ දකින්නට යන විට තිලක ගාඩ්න්ස් ආරම්භවන තැනම Rooms – කාමර පහසුකම් නමින් තඩි බෝඩ් ලෑල්ලක් සවිකොට බල්බ්ද දමා තිබුණේ නිවෙමින් පත්තුවෙමිනි. තිලක ගාඩ්න්ස් පාරේ කුරුවිට බණ්ඩාර පවුලේ සහෝදරයන්ගේ ගෙවල් ඇත්තේ එකට එකක් යාවය. කුරුවිට බණ්ඩාර නිවස වසා තිබුණු අතර පසුපසින් දර්ශනය වූයේ Rooms යන බෝඩ් ලෑල්ල පමණි. කුරුවිට බණ්ඩාර නිවසේ දොරට තට්ටු කරත් හාවක් හූවක් නැත. ඔය වැඩවලට බාධා කරන්නේ මොකටදැයි සිතාගෙන පසුදින කුරුවිට බණ්ඩාර මහතා ඇමතුවෙමි. අප සිතන් සිටියේ සිළුමිණ කර්තෘකාරකමෙන් අස් වූ පසු කුරුවිට බණ්ඩාර මහතා හොඳ ගොඩයන බිස්නස් එකක් පටන් ගෙන ඇතැයි කියාය.

‘‘නෑ… නෑ… ඒ අපේ ගෙදර නෙ‌​ෙවයි. ඔය රූම්ස් තියෙන්නේ පිටිපස්සේ තියෙන ගෙදර. හැබැයි අපි නිදාගෙන ඉන්නකොටත් ජෝඩු ඇවිල්ලා දොරට ගහනවා රූම්ස් තියෙනවද අහනවා. පුදුම විනාශයක් වුණේ.’’

අප සොයා බැලීමේදී පෙනී ගියේ මෙම නිවසේ සිටි ලංසි පුවලක් මෙම කාමර කුලියට දීමේ ව්‍යාපාරයකට මෙම ගොඩනැගිල්ල ලබා දී ඇති බවය. අනූව දශකයේදී තිලක ගාඩ්න්ස් පාරට යාබදව ඇති තට්ටු ගොඩනැගිල්ලේ උඩුමහලක ‘ලිට්ල් හට්’’ නමින් ව්‍යාපාරයක් තිබුණි. එහි තිබුණේ විශාල ශාලාවක අඩි 6,4 ප්‍රමාණයේ කුටි ලෙස ෆ්ලයිවුඩ් ලීයෙන් තැනීමෙන් තැනූ කාමර පෙලකි. ලෑල්ල ගසා තිබුණේ පොළොවේ සිට අඩියක් ඉහළිනි. ඒ එහි සිටින දෙදෙනාගේ කකුල් දෙක යටින් බැලූවිට පෙනෙන පරිදිය. එම ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්ක වෙළෙඳපොළ වූයේ පාසල් වියේ පෙම්වතුන්, පෙම්වතියන්ය. නමුත් පසුකාලීනව මෙම ව්‍යාපාරය දෙමාපිය විරෝධය නිසා වසා දමන්නට සිදු විය.

නුගේගොඩ තිලක ගාඩ්න් අසල කාමර ව්‍යාපාරය ගැන කියද්දි මෙම කාමර ව්‍යාපාරය ආරම්භයට පෙර මේ ප්‍රදේශය තනිකරම ටියුෂන් පන්ති පැතිර තිබුණ ප්‍රදේශයක් විය. කාමර ව්‍යාපාරයන් සමගම දැන් දෙමාපියන් පාසල් ළමුන් ටියුෂන් පන්ති වෙත එවීමට අකැමැති වීම නිසා සිදු වූයේ ඇතැම් ටියුෂන් ව්‍යාපාර වසා දමන්නටය.

‘‘දැන් යාපනය, අනුරාධපුරය වගේ දුර බැහැර අය කොළඹ වැඩක් කරගන්න එන අයට නවතින්න තැන් තියෙනවා.
ඒ අය ඉතාම අඩුයි. මේක සංවිධානාත්මක ව්‍යාපාරයක්. දැන් ප්‍රදේශයම දුරාචාර ගුහාවක්.’’

අද ඔබ පිටකොටුවේ සිට මීගමුවට ගියත්, ගම්පහට ගියත්, ​මොරටුවට ගියත්, ගොඩගමට ගියත්, පාර දෙපැත්තේම දැකගත හැක්කේ Rooms, Rooms, Rooms, බෝඩ් ලෑලිය. ඔය අප කියූ නගරවලින් එහාට ගියත් කුලියට දෙන කාමරවල අඩුවක් නම් නැත.

බ්‍රහස්පතින්දා උදේ වරුවේ මේ තැන් 15 කට පමණ ගියේ කාමරයක් කුලියට ගන්නා මුවාවෙනි. පොදුවේ මේ බොහෝ කාමර කුලියට දෙන තැන්වල ආහාර අලෙවියක් සිදුවන්නේ නැත. මේ බොහෝ කාමර කුලියට දෙන තැන පැය 24 ම විවෘතව ඇත. උණුවතුර ස්නානයට ඇති කාමර, වායු සමනය කළ කාමර, ඇඳේ නිදාගත් විට විවිධාකාර කෝණවලින් සවිකළ දැවැන්ත කණ්ණාඩි සවිකළ කාමරවල මිල ගණන් වැඩි වේ. වාහනයක් කාමරය ළඟටම ගෙන ගොස් පිටතින් එයට ඇතුළුවිය හැකි දොරක් ඇති කාමරද්‍ මිල අධිකය.

කාමරයක මිල ගණන් විමසා එහි සිටි කතාවට ටිකක් බර ‘සමනලයකු බඳු’ කළමනාකරුවකුට කාමරයක් වෙන්කර තබන ලෙස කියා ගතමන්ට් එකක් අත තබා කතාවට වැටුණෙමි.

‘‘ගොඩක් කපල් එන්නේ ෆුල්ෆේස් හෙල්මට් දාලා. කෙල්ල නම් කීයටවත් හෙල්මට් එක ගලවන්නේ නැහැ. මෙහෙ කාමරයක් රු. 1750 යි. ගොඩක් වෙලාවට ඉතුරු සල්ලි ගන්නවත් පරක්කු වෙන්නෑ. කෙල්ල පුළුවන් තරම් මෙතැනින් පලා යන්න කොල්ලව පොලඹවන්නේ කලබලයෙන්. කාර්වලින් බහින නෝනලා නම් ගොඩක් අය තොප්පි දානවා. මොට්ටැක්කිලිය වගේ ඔළුවට රෙද්දක් දාගෙන එන්නේ. මූණ අඳුනගන්න බැරි විදියට තඩි පාට කණ්ණාඩි දාගෙන බිම බලාගෙන තමයි තත්පර ගාණකදී කාමරේට යන්නේ.’‘

කාමරයකට යන විට වාහනයකින් අඩු ගණනේ මෝටර් සයිකලයකින්වත් ගමන් කරන්නට බැරි අයට පිහිටට එන්නේ ත්‍රිරෝද රථයයි. මේ කාමර කුලියට දෙන තැනක් ආසන්නයේ හයර් දුවන ටිකක් හිතවත්කමක් ඇති ත්‍රිරෝද රථ හිමියකුගෙන් මේ ව්‍යාපාරය ගැන විමසා සිටියෙමි.
‘‘අපිට වැඩිය කොමිස් එක දෙන රූම්ස් තියෙන තැනට තමයි අපි කපල් එක ගෙනියන්නේ. අපිට කොමිස් දෙන්නැති තැනකට එක්කං යන්න කිව්වොත් ඊයෙත් එතැනට පොලිසිය පැන්න කියලා බය කරනවා. සමහර වෙලාවට කිලෝ මීටරයක්වත් යන්නැතිව රු. 500 ක් හයර් එකට ගන්නවා. සමහරු රු. 100 ක් ගන්න කියනවා. මොනාද මහත්තයා ඔයගොල්ලන්ට පොලිසිය පනින්නැති තැනක් හොයලා දුන්නමත් හයර් එක ගෙවන්න ඇඹරෙනවා කිව්වම ලැජ්ජාවට කෙල්ල බෑග් එක ඇරලා රු. 500 ක් දෙනවා.’’

විශේෂයෙන් කොළඹ අපේ නිරීක්ෂණයට ලක් වූ මේ කාමර කුලියට දෙන ව්‍යාපාරය හිතන තරම් පහසු ව්‍යාපාරයක් නොවේ. එයට මුලින්ම පළාතේ ග්‍රාමසේවක අත්සන් කළ යුතුය. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එය ලියාපදිංචි කර ගැනීම ඇති හැකි හා දේශපාලන බලය ඇත්තන්ට පමණක් කරගත හැකි දේශපාලන ව්‍යාපෘතියකි. ඊට පස්සේ එන්නේ ප්‍රදේශවාසීන්ගේ, ගමේ පන්සලේ, ප්‍රභූවරුන්ගේ විරෝධතාවන්ය. ඔය ඔක්කෝටම පසු වැඩේට බහින්නේ ප්‍රදේශයේ කප්පම්කරුවන්ය. මේ මොන හත් ඉලව්ව ෂේප් කරගත්තත් පළාතේ පොලිසියට දොළපිදේනියක් දී ෂේප් කර නොගතහොත් මේ ‘රූම්ස්’ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් හමාරය. පොලිසියේ ගතමන්ට් එක නොලැබුණ තැන පොලිසියෙන් විත් මෙම කාමරවල අධ්‍යාපන කටයුතු හා දේශපාලන කටයුතු ලෝක දේශපාලන ප්‍රවණතා ගැන සාකච්ඡාවට එන ජෝඩු අත්අඩංගුවට ගෙන උසාවි දැම්මොත් කාමර ව්‍යාපාරය නොහොත් රූම්ස් බිස්නස් එක කම්බස් වනවා සිකුරුය. ඊටත් වඩා කාමරයක් කුලියට ගන්නා ජෝඩුවක් වස පානය කළහොත් හෝ එක් පාර්ශ්වයක් හෘදයාබාධයක් වැලඳී මියගියහොත් වසර ගණනාවක් මෙම රූම්ස් ව්‍යාපාරයේ කළමනාකරුට උසාවිවල බඩගෑමට සිදුවීමද අපට මෙම ව්‍යාපාරය අධ්‍යනයේදී පෙනී ගිය කරුණුය.

රූම්ස් ව්‍යාපාර​යේ දැඩි ව්‍යාප්තියක් අප දැක්කේ වත්තල මුහුද ආශ්‍රිත ප්‍රදේශයේය. පෙම්වතුන්ගේ දිනයට තමන්ගේ කාමරවලට එන ලෙස විසිතුරු ලෙස සැකසූ බැනර් පවා තවමත් එම ස්ථානවල දැකගත හැකි විය. එම බැනරයේ තිබුණේ Short Period 500/= ලෙසය.

මෙම කාමර ව්‍යාපාරයේ වැඩිම බිස්නස් ඇත්තේ දවල් 12 ත්, 1.30 ත් අතර සහ සවස හතරෙන් පසුවය. දහවල් 12 ත්, 1.30 ත් අතර බිස්නස් වැඩි කන්තෝරුවල කෑම පැය නිසාය. මෙම කන්තෝරුවල අනියම් සබඳතා ඇති ජෝඩු ප්‍රයෝජනයට ගන්නේ මේ වේලාවය. ඉරිදා දිනයේ උදේ 6 සිට ටියුෂන් යන ජෝඩුවලින් කාමර පිරී ඉතිරි යන බව අපට එක් කළමනාකරුවකු කිව්වේ සතියේ දිනවලත් පාසල් ඇඳුමෙන් නම් තම හෝටලයට ඇතුළු වීමට අවසර නොදෙන බව කියමිනි.

ඉස්සර නම් Rooms කියූ සැණින් අප මතකයට ආවේ කටුනායක ආයෝජන කලාපය, රත්මලාන ආදී ප්‍රදේශ ආශ්‍රිතව පැවති කාමර ජාවාරමය. එහෙත් අද මුළු කොළඹම මෙම ව්‍යාපාරය ඩැහැගෙන ඇත්තේ ධන බලයත්, දේශපාලන බලයත් හරහා විය යුතුය. කොළඹ මේ තරම් රූම්ස් තියෙන්නේ වැඳපුදා ගන්නට මේතරම් සිද්ධස්ථාන තියෙනවාදැයි අපෙන් අසා සිටියේ කෝට්ටේ පුද්ගලයකු මෙම Rooms, බෝඩ් එකක් ඡායාරූපගත කරමින් සිටියදීය. මෙම කාමර ගාස්තු රු. 500 සිට 5000 නම් ඉක්මවූයේ නැත. සමහර තැන් අපට කිව්වේ රුපියල් දෙතුන්දාහක් ගෙව්වාට එන ජෝඩු විනාඩි 20ක් කාමරයේ රැඳී නොසිටින බවය. මේ එක් ආයතනයක ඡායාරූපයක් ගැනීමට යද්දී එහි කළමානකරු අපට විරුද්ධ වූයේ පොඩි මිනිස්සු යන තැන් ගැන නොලියා පුළුවන් නම් තරුපහේ හෝටල්වලට යන ජෝඩු ගැන ලියන ලෙස ය. ඇති හැකි අය යන රූම් එකෙත් තරුපහේ රූම් එකෙනුත් කෙරෙන්නේ අවසානයට කාමාතුරයන්ට කැදලි තැනීම නොවේදැයි අවසානයේ අසන්නට අපට සිදුවේ.

වජිර ලියනගේ