පිනි පලස

මේ ගේම ෆේල් වෙන්නේ නැහැ

උස අඩි හයක්, ගැඹුරු කටහඬක්, ආකර්ෂණීය පෙනුමක්… බැලූ බැල්මට කඩවසම් බවේ උපරිමය කියාපානවා. සිංහල සිනමාවේ මෙහෙම නළුවෝ ඉන්නේ කීප දෙනයි. ඉන් එක්කෙනෙක් තමයි අශාන් ඩයස්…

වේදිකාව, සිනමාව හා රූපවාහිනිය යන ත්‍රිත්වයම හොඳ ප්‍රමිතියකට අනුව මෙහෙයවන ඔහු සමග මොහොතක් දොඩමලු වුණා…

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. උරුමයක පෙළහැර කියලා මුද්‍රා නාට්‍යයක වැඩ කරනවා. මේකට තනිකරම ලාංකිකයෙක් හැටියට කරන උතුම් වැඩක් හැටියට තමා සම්බන්ධ වෙන්නේ.

වේදිකාව කියන්නේ මට හුරුපුරුදු තැනක්. මොකද මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ වේදිකාවෙන් තමා මම මගේ කලා කටයුතු ආරම්භ කරන්නේ. හැබැයි කවදාවත් වෘත්තීයමය වශයෙන් නළුවෙක් වෙනවා කියලා හිතුවෙ නැහැ.

හැම දෙයක් ගැනම මට තිබුණේ ලොකු උණක්. එක දෙයකට හිත යොමු කළා නම් මට ඒක මත්තෙම ඉන්න ඕන. ඉස්කෝලේ හොඳට ක්‍රීඩා කළා. දුර පැනීම හා තුන්පිම්ම තමා කළේ. දුර පැනීමේ සමස්ත ලංකා වාර්තාව සතු කරගන්න මට හැකිවුණා.

මගේ අයියයි, මල්ලියි දෙන්නත් හොඳට ක්‍රිකට් ගැහුවා. දෙන්නම 19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා. මල්ලි සඳුන් ඩයස්. ඔස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ලංකාවේ දේශපාලනය විසින් රටට ක්‍රීඩා කිරීමේ ආසාව නැති කරලා දාපු නිසා තමයි එයා වෙන රටකට ක්‍රීඩා කරන්නේ.

මමත් ලංකාවේ ඉඳන් කිසිම දෙයක් කරන්න නොසිතන්නේ මේ නිසාම තමයි. මමත් කාලෙකදි ලංකාව අතහැරලා ඔස්ට්‍රේලියා යනවා ගෘහනිර්මාණ ශිල්පය ඉගෙන ගන්න. එතැන ඉඳන් ලංකාවට එන වාරයක් වාරයක් ගානේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.

මුලින්ම රඟපාන්නේ සිංහල වේදිකා නාට්‍යවල නෙවේ. ජෙරමි ද සිල්වාගේ ඉංග්‍රීසි වේදිකා නාට්‍යය තමා මගේ ජීවිතය වුණේ. අවුරුදු හයක් විතර මම ඔහු සමග වැඩ කරනවා. ඊට පස්සේ ​ඔස්ට්‍රේලියාවේදි ‘ස්වාමිපුරුෂයන්ට පාසලක්’ කියන වේදිකා නාට්‍යයේ රඟපානවා.

ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල රඟපෑවට සිංහල සිනමාව ගැනත් ලොකු ආසාවක් තිබුණා. මම මුලදි කිව්වා වගේ රඟපාලා මුදලක් අතට ගන්න පුළුවන් වෙයි කියලා නම් කවදාවත් හිතුවෙ නැහැ. හැමෝම හිතාගෙන උන්නේ ගෘහනිර්මාණ ශිල්පියෙක් වෙයි කියලා.

2008 අවුරුද්දේ තමා අහම්බෙන් සිනමාවට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ. වේදිකා නාට්‍යයක් බලන්න ආපු චන්ද්‍රරත්නම් මාව ‘අලිමංකඩ’ චිත්‍රපටයට සම්බන්ධ කරගන්නවා. හැබැයි මට මේ චිත්‍රපටයේ ලැබෙන්නේ ඉතා කුඩා චරිතයක්. නමුත් නිර්මාණය උසස් නිසා මම වැඩේ භාරගත්තා. මෙහි ප්‍රධාන චරිතය කරන්න උන්න සෞම්‍ය ලියනගේ බැහැ කියපු නිසා අහම්බෙන් මට ප්‍රධාන චරිතය ලැබෙනවා.

ඔය දවස්වල මම ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා. මාස 6ක් කෝස් එක පස්සට දාලා අලිමංකඩ රූපගත කිරීම්වලට සහභාගි වුණා.

ඉන්පසු 2011 වර්ෂයේ චන්ද්‍රරත්නම්ගේ ‘කොමන් මෑන්’ කියා ඉංග්‍රීසි චිත්‍රපටයේත් රඟපෑවා. ඔය වෙනකොට චිත්‍රපට උණ හොඳටම ඔළුවට ගහලා තිබුණේ. බොහෝ දෙනා අතරට මාව අරගෙන ගියේ ‘සිරිපැරකුම්’ චිත්‍රපටය.

ඉන්පසු සෝමරත්න දිසානායකගේ ‘සරිගම’ චිත්‍රපටයත් කළා. මම හිතන්නේ රඟපාපු හැම චිත්‍රපටයක්ම සාර්ථක වෙච්ච නිසා හොඳ ගමනක් නිර්මාණය වුණා.

හැබැයි ලංකාවේ ඉන්න එක මගහැරුණ නිසා වැඩ මිස් වුණා. අවසානයේ ලැබෙන ඉල්ලුමත් එක්ක මට හිතුණා ඉගෙනීම අවසන් කරලා වෘත්තියෙන්ම සිනමාවට එන්න. ගෘහනිර්මාණ ශිල්පය ගැන උපාධිය අල්මාරියෙ තැන්පත් කරලා පූර්ණකාලීන නළුවෙක් හැටියට ලංකාවට ආවා.

එතැන ඉඳන් චිත්‍රපට කීපයකම රඟපෑවා. සුපර්ණා, විසංගමනය, 1970 ලව් ස්ටෝරි, ආයු, විජයබා කොල්ලය වැනි හොඳ චිත්‍රපට ලැබුණා. මීට අමතරව ඉන්දික ෆර්ඩිනැන්ඩස්ගේ හා ලක්මාල් ධර්මරත්නගේ චිත්‍රපට දෙකකත් වැඩ කළා. ඔක්කොම චිත්‍රපට දහයක් කළා. තව 5ක් තිරගත වෙන්න තියෙනවා.

ගොඩක් දෙනෙක් අහන්නේ ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කරලා එක්කොම අතහැරලා දාලා ඇවිත් ලංකාවේ වෘත්තීය කලාකරුවෙක් හිටියට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. ඇත්තටම අමාරුයි. විශේෂයෙන්ම මම මාර අභියෝගයකට මුුහුණ දෙන්නේ. මොකද මම හැම නිර්මාණයක්ම භාරගන්නේ නැහැ. හොඳ නිර්මාණ විතරයි අරගන්නේ. හොඳ නිර්මාණ විතරක් භාර අරගෙන වෘත්තීත්වය තියාගන්න මාර අමාරුයි. නමුත් නිවේදකයෙක් ලෙසත් කටයුතු කරන නිසා කොහොම හරි රෝල ගහගන්නවා.

මොකද සියල්ල අත්හැරලා මම මෙතැනට ආවේ ආපහු හැරෙන්න බලාගෙන නෙවේ.
ලංකාවේ සිනමාව එකම තැනක තිබුණේ. විජේ, සනත්, රවින්ද්‍රලාගෙන් පස්සෙ කිසිම කෙනෙක් මතුවෙන්නේ නැහැ. හැබැයි එන අලුත් නිර්මාණ දිහා බලනකොට නියම දක්ෂ තරුණ නළුවෝ රැසක් ඉන්නවා කියලා පෙනුණා. මටත් මුලින්ම විශ්වාසයක් තිබුණේ නැහැ මේ මන්දගාමී සිනමාවට ඇවිත් ගේමක් ගහන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි මේ ඉන්න දක්ෂ නළුවෝ ටිකටත් මේක එපාවෙලා ගියොත් සිනමාවේ ඉතිරි ටිකත් ඉවරයි නේද කියලා හිතුණා.

අවසානයේ ඕනම දෙයක් වෙයි කියලා සියලු දේවල් අත්හැරලා මමත් ඒ ගොඩටම වැටුණේ එකතුවෙලා ගේමක් ගහලා සිංහල සිනමාව තව චුට්ටුක් උඩට ගන්න. ඒක නිසා ඕනම කට්ටක් කන්න මම ලෑස්තියි. මොකද මට ඉස්සර ඉඳලම මේ උණ තියෙනවා. දෙයක් කරනවා කියලා හිතාගත්තොත් කොහොම හරි කරනවා. ඒක නිසා මේ සිංහල සිනමාව දාලා ගිහින් මම මගේ ගේම් එක ෆේල් කරගන්නේ නැහැ.

මම කියන්නේ අද හොඳ නළු නිළි පිරිසක් ඉන්නවා. කර්මාන්තය තමා ෆේල්වෙලා ඉන්නේ. පාලකයෝ තාමත් නින්දේ. චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට බෙදාහැරීමේ පිළිවෙළක් නැහැ. නිර්මාණයක් කරලා අවුරුදු හය හතක් පෝලිමේ ඉන්න වෙනවා. අඩුම ගාණේ පාඩුවට හරි තමන්ගේ නිර්මාණය පෙන්න්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්. අඩුම ගාණේ පීඩනයවත් අඩුවෙයි.

රඟපාපු චරිත දිහා බලලා මම හුඟක් සතුටු වෙනවා. අලිමංකඩ චරිතයට මම හුඟක් කැමතියි. විජයබා කොල්ලයේ චරිතය බලනකොට මීට වඩා කරන්න තිබුණානේ කියලා හිතෙනවා. මම විජයබා කොල්ලය පොත කියෙව්වේ චරිතයට ආවට පස්සේ. මම ඉස්කෝලේ කාලේ ඉංග්‍රීසි සාහිත්‍ය කළ නිසා සිංහල පොත් මට මගහැරුණා. ඉස්කෝලේ යන කාලේ පොත කියවලා තිබුණා නම් මම මාර ගේම්ක දෙනවා. නමුත් සුනිල් සර් එක්ක වැඩ කරන්න ලැබීම වාසනාවක්. ලංකාවේ සිනමාව වැටිලා තිබුණ කාලෙක විජයබා කොල්ලය දාලා ආයෙත් ප්‍රේක්ෂකයෝ සිනමාශාලා වෙත ගෙනාවා. එහි කොටස්කාරයෙක් වෙන්න ලැබීම මට ගෞරවයක්.

සිනමාවෙන් මම රූපවාහිනියටත් ආවා. ගොඩක් අය මගෙන් අහනවා සිනමා නළුවෙක් හැටියට නම හදාගෙන රූපවාහිනියට ආවේ කියලා.

සිනමාවට කලින් මම රූපවාහිනියේ උන්නා. අවුරුදු හයක් මම එම්.ටී.වී. එකේ නිවුස් කිව්වා. ඒක නිසා රූපවාහිනිය හා මාධ්‍ය කියන්නේ මට හොඳට හුරුපුරුදු තැනක්.

අනිත් එක දෙවැනි සැරේට මම රූපවාහිනියේ භාරගත්තේ දෙරණ ටීවී තාත්වික වැඩසටහන.
මට මුලින්ම නම් විශේෂයක් තිබුණේ නැහැ තාත්වික වගේ රියැලිටි වැඩක් හරියට කරන්න පුළුවන් වෙයි කියලා. මම පටන් ගත්තෙත් කරලා බලමුකෝ කියලා. මොකද ලංකාවේ රියැලිටි කියන්නේ හුඟක් බොරු. වැඩේ කරන්නේ කලින් ප්ලෑන් කරලා.

නමුත් දෙරණ තාත්වික හරහා අපි ඒක වෙනස් කළා. වෙන දේ ඒ ආකාරයටම පෙන්නුවා. වලියක් ගියා නම් ඒකත් පෙන්නුවා. රියැලිටිවලට තිර රචනාවක් නැහැ. තාත්වික කියන්නෙත් ඒ මොහොතේ වෙන දේ ඒ ආකාරයටම පෙන්නුවා. තිර රචනාවක් නැති ඔරිජිනල් රියැලිටි වැඩසටහනක්.

ඇත්තටම තාත්වික එකේ අභියෝග දකිනකොට මටත් තරගකරුවෙක් වෙන්න හිතුණු වාර අනන්තයි.
ඔය අතරේ ධනුෂ්ක රත්නායකගේ හේලි කියන ටෙලි නාට්‍යයත් භාරගත්තා. මම කලින් ඔහුගේ වෙස් නාට්‍යය බැලුවා. ඔහු නියම වැඩකාරයෙක්. අශාන් ඩයස් කියන චරිතයට හානියක් නොවන නිසා මම ඒ චරිතය භාරගත්තා.

මුළු ජීවිතේම දැන් රඟපානවා. මම හිතන්නේ රංගනය කියන කැසිල්ල උපරිමයෙන්ම මට බෝවෙලා තියෙන්නේ. නමුත් මම කැමතිම චරිතය මට ලැබිලා නැහැ. ප්‍රවීණ හා දක්ෂ තරුණ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කළා. කරපු හැම චරිතයක්ම විශේෂයි. නමුත් අතිශයෝක්තියෙන් කතා කරන්න චරිතයක් මට තාම ලැබිලා නැහැ. ඒ චරිතය එනකම් මම මග බලාගෙන ඉන්නවා.

ලංකාවේ සිනමාව දැන් හරි වෙනස්. සුකුමාල ප්‍රේමවන්තයගෙන් සිනමාවෙන් මිදිලා. ක්‍රියාදාම වීරයෝ සිනමාව ආක්‍රමණය කරලා. මම හිතන්නේ හේමාල් රණසිංහ තමා ඒ වෙනස කරන්න මුල්වුණේ.
බිමල් ජයකොඩි, දර්ශන් ධර්මරාජ් වැනි නළුවෝ රඟපානවා බලාගෙන ඉන්නත් ආසයි. අපේ පරපුර කරන මේ වෙනස මම අත්විඳිනවා. සියලු සැප සම්පත් හා ඉගෙනගත් දේවල් අත්හැරලා මමත් මෙතැනට ආවේ එහි​ ​කොටස්කාරයෙක් වෙන්න.. අපි මේ ගේම ගහනවා… අනිවාර්යයි.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්