කතුවැකි

මේ කොරෝනා මර්දනයට ජනතා සහය අවශ්‍යම මොහොතය

කොරෝනා ව්‍යාප්තියේ පාලනයට මෙතෙක් ක්‍රියාත්මක කළ ක්‍රමවේදයේ වෙනසක් කිරීමට තීරණය කර ඇතැයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ. පළමු කොරෝනා රැල්ල මැඬ පැවැත්වූයේ ආසාදිතයකු හඳුනාගත් වහාම ඔහුට සම්බන්ධ පළමු පෙළ පමණක් නොව දෙවන, තුන්වන හා සිව්වන පෙළ දක්වා ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනයට ලක් කිරීමෙනි. එහෙත් බ්‍රැන්ඩික්ස් පොකුරේ පැතිරීමේ සීග්‍රතාව, එක් ආසාදිතයකුගෙන් ආසාදනය විය හැකි ප්‍රමාණය වැඩිවීම නිසා එම ක්‍රමය ක්‍රියාත්මක කිරීම අසීරු වී තිබේ. බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ සවස් වන විට 4313ක්ව තිබිණ. ඊයේ දිනයට පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 263කි.

මේ ආකාරයට ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත්, විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වීමත් නිසා ඉදිරි දිනවල ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි අපේක්ෂා කළ හැකිය. මෙම තත්ත්වය මත මින්පසු ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පමණක් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට තීරණය කර ඇති බව හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් දෙවැනි, තුන්වැනි හා සිව්වැනි පෙළ ආශ්‍රිතයන් හඳුනාගැනීම හා ඔවුන්ව අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිරෝධායනයට යොමු කිරීම සඳහා ලේඛනගත කර තැබෙනු ඇත. මෙයින් කියැවෙන්නේ වෙනදා මෙන් ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යෑමේ අදහසක් නොමැති බවය.

ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන්නට යන්නට රෝහල් පිරී යන අතර, එක් ආසාදිතයකුගේ විශාල ආශ්‍රිතයන් පිරිසකට නිරෝධායන පහසුකම් සැලසීම ඉතා අසීරු, කළ නොහැකි කටයුත්තකි. විශේෂයෙන්ම ආසාදිතයන් හා ආශ්‍රිතයන් පිරිස කොතරම් ඉහළ ගියද, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා හමුදා සාමාජික පිරිස වැඩිවන්නේ නැත. විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොරෝනා ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුව ඇත්තේ අනෙකුත් සාමාන්‍ය රෝහල් සේවාවන්ද පවත්වා ගන්නා අතරය.

මෙම තත්ත්වය මත කොරෝනා මර්දනයේදී පෙරට වඩා වැඩි බරක් දරන්නට ජනතාවට සිදුවනු ඇත. තමන්ට කිසියම් හෝ ආකාරයකින් ආසාදිතයකු හෝ සම්බන්ධයක් ඇතිවූයේ නම් වහාම ඒ බව දැනුම් දීම කළ යුත්තේ මන්දැයි අමුතුවෙන් පැහැදිලි නොකළ යුතු කාරණයකි. වැදගත්ම කාරණය වන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරෝධායනයට රැගෙන නොයන්නේ නම්, උපදෙසක් ලැබෙන තෙක් සංචරණය අත්හිටුවා නිවසේ රැඳී සිටීමය.

ඇමෙරිකාව වැනි රටවලට පවා නිරෝධායනයට ලක්විය යුතු අය පමණක් නොව ආසාදිතයන්ද, ඔවුන්ගේම නිවෙස්වල රඳවා තැබීමට සිදුවූයේ රෝහල්වලට දරන්නට නොහැකි තරම් රෝගීන් හා ආසාදිතයන් පිරිස ඉහළ ගිය බැවිනි. අප තවමත් එතරම් බැරෑරුම් තත්ත්වයකට පත්ව නැතත්, නරකම තත්ත්වයකට සූදානම් වීම ඇඟට ගුණය. කොරෝනා ආසාදිතයකු සමග කුමන ආකාරයකින් හෝ සබඳතාවක් තිබූ අයට නිවෙසට වී ස්වයං නිරෝධායනයට ලක්වන්නැයි කීවද එය හිතන තරම් පහසු කටයුත්තක් යැයි කිව නොහැකිය. එහෙත් ඒ සඳහා ජනතාව සූදානම් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් ජනතාව ඒ සඳහා පෙළගැස්සුවහොත් එය එතරම් අසීරු කටයුත්තක්ද නොවනු ඇත.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කොතරම් ජනතාව දැනුවත් කර ඇතත් ආසාදිතයන් හා ආශ්‍රිතයන් අතර වෙනස අප හරිහැටි හඳුනාගෙන නැත. මේ නිසා ආසාදිතයන් පමණක් නොව ආශ්‍රිතයන් දෙසද අප බලන්නේ වසූරිය වැනි රෝග පැතිරුණු සමයේ රෝගීන් දෙස බැලූ ආකල්පයෙනි. මේ අය සමාජයට මහා අපරාධයක් කළ අපරාධකාරයන් යන සිතුවිල්ලෙනි.

කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වල රඳවා තැබීමට කටයුතු කරන්නේ නම්, මේ සමාජ ආකල්පය තුරන් කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත. මේ ආකල්පමය වෙනස සිදු කිරීමද සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල වගකීමක් යැයි අප කල්පනා කරන්නේ නැත. ගම් මට්ටමේ ප්‍රජා නායකයන්, ගුරුවරුන්, ආගමික නායකයන්, ස්වේච්ඡා සංවිධාන හා මාධ්‍ය වෙත එහි වැඩි වගකීමක් පැවරී තිබේ. කොරෝනා පාලනයට ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත්තා සේම ඒ සඳහාද විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

එවැනි විධිමත් වැඩපිළිවෙළක් ඇත්නම්, තවදුරටත් ආසාදිතවීම හෝ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම වසං කිරීමට කිසිවකු උත්සාහ නොකරනු ඇත. එසේම යුද හමුදාවේ මැදිහත්වීමක් නොමැති රජයේ රෝහල්වල හා නිරෝධායන මධ්‍යස්ථානවල නේවාසිකයන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බවටද චෝදනා නැගෙමින් තිබේ. ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් තම අනන්‍යතා සඟවන්නට මෙම කාරණයද හේතුවක් වීමට ඉඩ නොතැබීම බලධාරීන්ගේ වගකීමකි.

නිවසක එක් පුද්ගලයකු ආශ්‍රිතයකු බවට පත්වීම යනු නිවසේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්වීමය. නිවසක සිටින සියලු දෙනා හිටි අඩියේ නිවසට කොටුවීමෙන්, ඒ සියලු දෙනාගේ දෛනික කටයුතු ඇනහිටීම වැළැක්වීමට නොහැකිය. තවමත් නිරෝධායනය වන අයට ඒ සඳහා භාවිත කිරීමට සිදුවන්නේ තමන්ගේ පෞද්ගලික නිවාඩුය. ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින විට, ඒ අයගේ මෙවැනි අවශ්‍යතා කෙරෙහිද සැලකිල්ල යොමු කළ යුතුය. මේ සඳහා තම තමන්ගේ කාර්ය මණ්ඩල සඳහා රෙගුලාසි නොතකා නිවාඩු දීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවැරීම ප්‍රමාණවත් වනු ඇත.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළුව රටේ ප්‍රදේශ ගණනාවක ඇඳිරි නීතියත් ක්‍රියාත්මකය. මේ ප්‍රදේශවල ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට සිදුව ඇත්තේ දුෂ්කරතා මධ්‍යයේය. ස්වයං නිරෝධායනයට ලක්වන අයට මෙම දුෂ්කරතාව ඊට කිහිප ගුණයකින් වැඩි බවට සැකයක් නැත. මෙයද විශේෂයෙන් අවධානයට යොමුවිය යුතු කාරණයකි.

කෙසේ වුවද, ආණ්ඩුවෙන් මේ කියන කිසි දෙයක් ඉටු නොවුණේ යැයි වගකීම් විරහිතව කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් ඇතැයි අප සිතන්නේ නැත. තමන් මෙන්ම සමාජයේ අනෙකුත් අයගේ ජීවිත ගැනද සෑම පුරවැසියකුටම වගකීමක් හා යුතුකමක් ඇති බැවිනි. කොරෝනා යනු පොදු සමාජ ව්‍යසනයක් වන නිසා ඊට මුහුණ දීමට සිදුවන්නේද තනි තනිව නොව රටක්, සමාජයක් ලෙස එකට සිටිමිනි.