විශේෂාංග

මේ කාලේ හැටි

දැන් ජනාධිපතිවරණයට දින නියම කර තිබේ. නොවැම්බර් 16 දාට පසු සිද්ධ වන්නේ කුමක්දැයි තෝරා බේරාගෙන නිශ්චිතව කිව නොහැකි වුවත් අද සිට නොවැම්බර් 16 වැනිදා වන තෙක් සිද්ධ විය හැකි දේ ගැන අතීත අත්දැකීම් ඇසුරෙන් තේරුම්ගත හැකිය.

මුලින්ම මේ රටේ ජනාධිපතිවරණයක් පැවැත් වුණේ 1982 දීය. ජේ. ආර්. ජයවර්ධන – හෙක්ටර් කොබ්බෑකඩුව රෝහණ විජේවීර ආදීන් ඉදිරිපත් වූ ඒ ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් එකොළොස් දෙනා අතරින් අද ජීවතුන් අතර ඉන්නේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පමණකි.

කොතරම් විධායක බලයක් හෙබවූවත් ජනපතිවරයාගේ අවසාන ධුර කාලය ළංවන විට මහා විපර්යාසවලට මුහුණ පෑමට සිදුවෙයි. විධායක ජනාධිපති ධුරය රටට හඳුන්වා දුන් ජේ.ආර්.ගේ දෙවන ධුර කාලය පටන් ගත්තේ 1982 දීය. පළමු ධුර කාලයේ විවෘත ආර්ථිකය රටට හඳුන්වා දී නව ව්‍යවස්ථාවක් ගෙනත් මහවැලි බඳු යෝධ සංවර්ධන වැඩ කර පාර්ලිමේන්තු මන්දිරද, ශ්‍රී ජයවර්ධනපුර නම් නව නගරයද, නිදහස් වෙළෙඳ කලාප, පූජා භූමි සංවර්ධන වැඩසටහන් ද දියත් කළ ජේ. ආර්ට 1983 න් පසු මුහුණ දෙන්නට සිදු වූයේ මහා ඛේදවාචක ගොන්නකටය. මුල් ධුර කාලයේ කළ දෙයට සමාන දෙයක් කරන්නට ඔහුට දෙවන ධුර කාලයේ නොහැකි විය. එයට එක් හේතුවක් වන්නේ ධුර කාලය අවසානයට ළංවන විට දැවැන්ත වැඩකට යෙදෙන්නට සිතක් හෝ ශක්තියක් රාජ්‍ය නායකයාට නොතිබීමය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලයේ අවසාන වූයේද ඇයට මෙම ඉරණමට මුහුණ දෙන්නට සලස්වමිනි. 1994 න් ඇරඹි ඇගේ පාලන කාලයේ මුල් අවධියේ සාමය තහවුරු කිරීමට යාපනය නිදහස් කර ගැනීම ආදියට යොමු වුවද ඇයගේ දෙවන ධුර කාලයේ එබඳු දෙයක යෙදීමට සිතූ බවටවත් සාක්කියක් ඉතිහාස පොතේ නැත්තේය.

ධුර කාලය නිමා වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණය කැඳවූ මහින්ද රාජපක්ෂ එසේ කිරීමට හේතුව මෙසේ විස්තර කළේ ය.

ජනාධිපතිගේ ධුර කාලය අවසානය ළං වෙනකොට රටේ කිසි ලොකු වැඩක් කරන්න ඉඩක් නෑ. විදේශ ආයෝජකයෝ ජනාධිපතිගේ ධුර කාලය අවසාන වෙනකොට ඒ රටේ ආයෝජනය කරන්න එන්නෙත් නෑ. ඒ නිසයි වසර දෙකක් ඉතිරිව තියෙද්දී ඡන්දෙට ගියේ. එයින් පස්සේ එකවර වසර අටක ධුර කාලයක් ලැබෙන නිසා රටේ ගොඩක් දේවල් කරන්න බය නැතිව රජයක් ඉදිරිපත් වෙනවා.’’
සැබැවින්ම රාජ්‍ය නායකයාගේ ධුර කාලය මැදට වඩා අගට ළං වන විට රටේ බොහෝ දේ නිෂ්ක්‍රිය වෙයි. මුලින්ම රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ආණ්ඩුවේ අණ කොතකා හරී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනවා නම් ආණ්ඩුවක් පත් වූ අලුත මිස පසුව ගෙනෙන්නට බැරි යැයි නීති විශාරදයෝ පෙන්වා දෙන්නේ ඒ නිසාය. සවස තුනෙන් පසු වැඩක් භාර නොගන්නා ආණ්ඩුවේ කන්තෝරුවල ඉන්නා ඉහළ නිලධාරින් ජනාධිපතිගේ ධුර කාලය අවසනදී වැඩකට අත ගහනවා වෙනුවට කරන්නේ කර ඇරීමය.
මෙබඳු දෑ අසන ජනතාව අනේ අපොයි කීවද ඡන්දයක් ළං වන විට ඔවුන්ගේ හැසිරීමද එයාකාරය. අරලියගහ මැදුර රැකියා දීමේ තිප්පොළක් වීම නිසා ඉන් අවට වාහන තදබදයෙන් පිරී ඇති බව ජනාධිපතිවරයා කීවේ තමන්ද පත්වීම් දෙන උත්සවයකදීය. මේ වන විටත් ලංගම වර්ජනයේය. වෛද්‍යවරුද, පරිපාලක නිලධරින්ද සඳුදා සිට වර්ජනයට එක් වන්නේය. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ පසුගිය බදාදා විරෝධතා පා ගමනක යෙදී කොළඹ වැසූහ. රණවිරුවෝ තවමත් කොළඹ කොටුවේ ස්ටේසම ළඟය.

මේ සංක්‍රාන්ති කාලයේ ආණ්ඩුවෙන් වැඩක් කරගත නොහැකි බව කම්කරුවෝද, වෘත්තිකයෝ ද දනිති. එහෙත් ඔවුන් මේ වර්ජන හා විරෝධතාවල යෙදෙන්නේ ආණ්ඩුවට බලපෑම් කළ හැකි හොඳම වෙලාව මෙය වන නිසාය. බලය තිබෙන විට ජනතා සටන් නොතකා හරින ආණ්ඩුව ඡන්දයක් ළං වන විට ඒ විරෝධතා සලකා බලන තැනකට යොමු වෙයි. එසේ කරන්නේ ජනතා විරෝධයේ වාසිය ප්‍රතිවාදියාගේ මල්ලට වැටෙනු ඇතැයි යන බියටය. ආණ්ඩුවට මතු නොව විපක්ෂයටද තීරණාත්මකව බලපෑමක් කළ හැක්කේ මේ කාලයේ පවත්වන විරෝධතාවලිනි. විපක්ෂයද තම ප්‍රතිපත්ති පොරොන්දු පත්‍ර සකසන විට මේවා සැලකිල්ලට ගන්නා අතර බලයට ආ විගස මේවා විසඳන බවට පොරොන්දු දෙති.

එගොඩටද, මෙගොඩටද දෙගොඩටම අත වැනිය හැක්කේ මේ කාලයේ කරන විරෝධතාවලින් බව ජනතාව දනිති.

මෙබඳු දේ අවංක බව සදාචාරය පැත්තෙන් ගත් කල අමිහිරි විය හැකිය. එහෙත් ඒ දේශපාලනයේ හැටිය. මොන ආණ්ඩුව ආවත් එකම ජාතික සැලැස්මකට වැඩ කරන්නට ජාතික න්‍යාය පත්‍රයකට වැඩ කරන්නට පෙළ ගැසෙනතුරු රටට මුහුණ දෙන්නට වෙන්නේ මේ වංචනික බවටය. ජනතාවට වන්නේ එගොඩටත්, මෙගොඩටත් අත වනන්නටය. එගොඩත්, මෙගොඩත් ගම් යා කරලා පාලම නම් ජාතික සැලැස්ම සාදනතුරු සිහිය විකල් වූ කෙනෙකු නියා අපිත් බලා සිටිමු.