විශේෂාංග

මේ එන්නේ පපඩම් වත්ත බැදෙන සුවඳයි

මන්දාරම් වලාකුළු අහස පුරා ඇදෙද්දී තොටළඟ, බෝගහ ආසන්නයෙන් අපි කොන්ක්‍රීට් පඩිපෙළ බැස පපඩම් වත්තට ඇතුළු වූවෙමු. ඒ පපඩම් වත්තෙන් අපට ලැබෙන කර කර ගා රසට හැපෙන පපඩමේ රස රහස් සොයාගෙනය.

අපට ලැබුණු පෙරමං සලකුණු ඔස්සේ කුතුහලය පිරි දෑසින් සොයා ගිය පපඩම් කම්හලේ වහලය ස්ලැබ් එකකින් නිමැවී තිබුණේය. කම්හල තුළ වූ ජීවී අජීවී සියල්ලම පිටි කුඩු වසාගෙන තිබුණද පිරිසුදුතාව එහි කැපී පෙනුණේය. යමරාමෙට ක්‍රියා කරන යන්ත්‍රසූත්‍ර අස්සේ එහි සේවක මණ්ඩලය කඩි ගුලක් මෙන් ඇවිස්සී තිබුණේය. ඒ සේවකයන් අතරින් එක් අයෙක් අප හමුවට ආවේය. ඔහු නිහාල්ය.

දහසකුත් එකක් රාජකාරි අස්සේ කාර්යබහුලව සිටියත් ඔහු අපිට පපඩම් ඉතිහාසය කියා දෙන්නට සැරසුණේය.

‘‘ඉන්දියාවේ මලයාලම් කට්ටිය තමයි ලංකාවට පපඩම් අරන් ආවෙ. සුද්දො රට අල්ලන් හිටපු කාලෙ වගේ. ඒ ගොල්ලො ඒක දාලා ආපහු ඉන්දියාවට ගියා. එතකොට ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගත්ත අය රැකියාව නවත්තන්නෙ නැතුව කරගෙන ගියා. දැන් ඒක කරගෙන යන්නෙ මේ මලයාලම් අයගෙන් ඉගෙන ගත්ත අයගෙනුත් ඉගෙන ගත්ත අයයි. ඒ කියන්නෙ තුන්වැනි හරි හතරවැනි හරි පරම්පරාව. පපඩම් කියන්නේ අත් ගුණේ එක්ක හැදෙන කෑමක්.’’
පපඩමකට රසයත්, ගුණයත් එකතු කරන්නේ උළුඳු පිටිය. මුල් කාලයේ බහුලව ගත්තේ උළුඳු පිටි වුවද අද වන විට තත්ත්වය වෙනස් වී ඇත. ඒ පපඩම් සෑදීමට පාන්පිටිත්, උඳු පිටිත් මිශ්‍ර කරන තත්ත්වයට පත්වී ඇති නිසාය. ඊට හේතුව උළුඳු පිටිවල මිල ඉහළ යෑම නිසාය. උළුඳු පිටියෙන් පමණක් පපඩම් හැදුවොත් මිල වැඩිය. එවිට උළුඳු පිටි යෙදූ පපඩම් මිලදී ගැනීම සාමාන්‍ය මිනිස්සුන්ට ඔරොත්තු නොදෙයි.

පපඩම් සෑදීමේ පළමු පියවර, ඊට අවශ්‍ය ජල මිශ්‍රණය සකස් කරගැනීමය. එහිදී මුලින්ම කරන්නේ ජලයට ලුණු දමා උතුරුවා ගැනීමය. පසුව එය ගොද ගොද ගා උතුරාගෙන එන විට ආප්ප සෝඩා ටිකෙන් ටික ඊට මිශ්‍ර කරයි. එලෙස ආප්ප සෝඩා ටිකෙන් ටික මිශ්‍ර නොකර එකවර සියල්ල දැමුවහොත් එම මිශ්‍රණය හෝස් ගා විසිවේ. මේ ආකාරයෙන් සකස් කරගත් ආප්ප සෝඩා, ලුණු, ජලය මිශ්‍රණය භාවිත කරන්නේ පසුදාය. එනම් එම ජලය නිවීමට දවසක් පමණ තබයි.

දෙවැනි පියවරේදී කලින් දා සකස් කරගත් උළුඳු පිටි, පාන් පිටි හා කලින් දා සකසා ගත් ජලය යන සියල්ල යන්ත්‍රානුසාරයෙන් අනා සකස්කර ගනියි. යන්ත්‍රයේ පිටි එළියට ඒමට ඇති ස්ථානයේ (Output) එකිනෙකට ළංව පිහිටි රෝල් දෙකකි. ඒ අතරින් තැලී එළියට එන පිටි මෝලිය එක්තරා ආකාරයක සෘජුකෝණාස්‍රාකාර හැඩයක් ගන්නා අතර අතේ නොඇලෙන මෘදු බවින් යුතු ස්වභාවයක් ගනියි. ඉන්පසුව මේ පිටි මෝලිය දිගැටි පටි ආකාරයට කොටස් කර ගනියි. පුංචි දරුවන් ක්ලේ මැටි රෝල් කරනා ආකාරයට රෝල් කර ගන්නා මේ පිටි මෝලිය දිගෙන් වියත් දෙකක් පමණ වේ. ඉන්පසුව එය කොටස්වලට කපා ගනියි. එය සම්පූර්ණයෙන්ම පාහේ කරන්නේ ඔවුන්ගේ අතේ මිම්මට වන අතර ඒ මිම්ම ටක්කෙටම නිවැරදිය.

ඉන්පසු සිදු කරන්නේ පපඩමක රවුම් හැඩය ඊට ලබාදීමය. ඒ සඳහා යොදා ගන්නා යන්ත්‍රය ඉතා වේගයෙන් ක්‍රියා කරන තැටියක් පිටි ගුලිය මත වදින්නේ සීල් තැබීමට යොදාගන්නා යන්ත්‍රයක් ලෙසින්ය. ඒ යන්ත්‍රය ආධාරයෙන් සාදාගන්නා පිටි රොටිය ප්‍රමාණයෙන් වීදුරු කෝප්පයක කටක ප්‍රමාණය ගනියි.

පපඩම් කලාවේ අමාරුම කාරිය පටන් ගන්නේ ඉන්පසුවය. වීදුරුවක කටක ප්‍රමාණය ගත් පපඩම නියම පපඩමක ප්‍රමාණයට වැඩවීම එම කාර්යය වේ. පාන් පිටි ඇතිරුව මේසයක් මත පපඩම් අට්ටියක් දමා එය වැඩවී‍ම් කාර්ය කිරීමට අත්දැකීමත් පළපුරුද්දත්, ඉවසීමත්, මහන්සියත් එක පදමට මිශ්‍ර විය යුතුය.

ඉන්පසුව ඇත්තේ පපඩම් වේළා ගැනීමය. ඒ සඳහා සමහරු සූර්ය දෙවි පිළිසරණ පතයි. වැහි මන්දාරමත්, සුළං කෝඩයත් බලා සාස්තර කීමට සමතුන් සිටින්නේ ගමේ යැයි බොහෝ දෙනා සිතුවද එකී සාස්තරේ ටක්කෙට කිව හැකි ඇත්තෝ පපඩම් වත්තේද සිටිති.

‘‘බඩවෙච්ච වලාකුළක් දැක්කම අපිට හරියටම කියන්න පුළුවන් වහියිද නැද්ද කියලා. හොඳ අව්වක් වැටුණොත් නම් විනාඩි විස්සෙන් බඩු ටික වේලුව, වැඩේ ඉවරයි. සමහර කාලෙට හිටගෙන… හෝදන්න පුළුවන් ගාණට වහිනව. එදාට ඉතින් වැහි දෙයියන්ගෙ මවු ගුණ සිහි කරනවා. බැණුම්වලට බඩ පිරෙන්නෙ නෑනේ. ඒක නිසා ලොක්කගෙන් කීයක් හරි එදාට ණයට ගන්නවා. වහිනවයි කියල හැමදාම ණයට කන්න බෑනෙ. එතකොට කොහෙන් හරි කුලියක් මලියක් හොයාගන්නවා.

සමහරු පපඩම් වේලන්නේ වහලය මතය. තවත් අය කැලණි ගං දෑලේ ඉවුරු මතය. පපඩම් වත්තේ හැදෙන පපඩම් හිරු සරණින් වේළන්නේ කර්මාන්තශාලාවේ කොන්ක්‍රීට් වහලය මතය. පේළියට පිළිවෙළට බිම අතුරා වේළන පපඩම් වැහි කෝඩයක් ආ සැණින් එතැනින් ඉවත්කර ගෙතුළට ගන්න තරම් ඔවුන් දක්ෂය.

යන්ත්‍රානුසාරයෙන් පපඩම් වියළන අයට නම් ඉර දෙවියන් හෝ වැසි දෙවියන් කුමක් කළත් ඉන් ඇතිවන වෙනසක් නැත.

පපඩම් සෑදීමට සකස් කළ කිලෝ එකොළහක පිටි මෝලියකින් පපඩම් කිලෝ පහළොවක් පමණ සකසා ගත හැකිය. පපඩම් සෑදීමට ගන්නා ලුණු හා වතුර මෙන්ම පපඩම් වැඩවීමටත්, ඇලීම වළකා ගන්නට යොදන පිටි ආදිය එකතු වූ විට කිලෝ පහළොවක ප්‍රමාණයක පපඩම් සකස් වේ. පපඩම් ප්‍රමාණය අනුව පිටි කිලෝ එකකින් සෑදිය හැකි පපඩම් ප්‍රමාණය වෙනස් වේ. සාමාන්‍යයෙන් කිලෝ එකක පිටි මිශ්‍රණයකින් පපඩම් 60ක් පමණ සැකසිය හැකිය.

පපඩම් කලාවට ගැහැනු, පිරිමි භේද නැත. ඒ නිසා දෙපාර්ශ්වයේම පිරිස පපඩම් සෑදීමේ කාර්යයේ යෙදෙති. එහෙත් කාන්තාවක් දිනකට සෑදිය යුතු පපඩම් ප්‍රමාණය කිලෝ විස්සක් වන අතර, ඇයගේ දිනයක කුලිය රුපියල් දාහකි. දිනකට රුපියල් එක්දහස් හයසීයක පඩි ලබන පුරුෂ පාර්ශ්වය දිනකට පපඩම් කිලෝ හතළිහක් සැකසිය යුතු වෙයි.

එදවස සෙක්කුවත්ත ලෙසින් හැඳින්වූ පපඩම් වත්තේ කලකට පෙර පපඩම් කර්මාන්තශාලා පහ හයක් තිබුණද දැන් ඉතුරුව ඇත්තේ කර්මාන්තශාලා දෙකක් පමණි.

‘‘දැන් ඉන්න ළමයි ඉගෙන ගන්නෙ නෑ. අනිත් එක දැන් මිනිස්සුන්ගෙ අතේ සල්ලි නෑ. බත් එකට පපඩමක් තියන්නෙ බත්වේල සරු වෙන්න. දැන් බත්වේල සරු කරන්න තියා බඩේ හුළං නොපිරෙන්න (ගැස්ට්‍රයිටිස්) බත් කටක් කන්න නෑනෙ. යුද්දෙන් පස්සෙ නම් මිනිස්සු අතේ ටිකක් සල්ලි තිබ්බා. දැන් ඉතින් මේ ආණ්ඩුව ආවත් හරි රටම මස්තබාල්දුයිනෙ. මනුස්ස අතකින් හදන පපඩමක රස ගන්න කෝටි ගණන් වියදම් කරල ගන්න මැෂිමකට බෑ. ඒක නිසා වෙන දේවල් වගේ මේ කර්මාන්ත මැෂින්වලින්ම කරන්න බෑ. අලුතෙන් ළමයි ඉගෙන ගන්නෙත් අපි හැමදාම ජීවත් වෙන්නෙත් නෑ. අපි ඉන්නකම් මේ කර්මාන්තෙ තියෙයි. ඊට පස්සෙ ඉතින් මේ රටේ අනෙක් දේවල්වලට වෙච්ච සෙතේම තමයි මේකටත් වෙන්නෙ.’’
පපඩම් වත්තේ සිටිනා සමහරුන්ගේ පාරම්පරික රැකියාව වන්නේ පපඩම් සෑදීමය. ෆරීඩාද එවැන්නියකි.

‘‘මම බැඳල පපඩම් වත්තට ආවෙ. මගෙ මහත්තයාගෙ රස්සාව පපඩම් හදන එක. එයාගෙ තාත්තා, සීයා, හැමෝම කළේ පපඩම් රස්සාව. අපේ පුතාලා හතරදෙනා කරන්නෙත් මේ රස්සාව. අපි පරම්පරා හතරක් තිස්සෙ දැන් පපඩම් හදනවා.
දැන් කාලෙ නම් පපඩම් හදන්න කවුරුත් ඉගෙන ගන්නෙ නෑ. ගොඩක් මහන්සි වෙන්න වෙන ජොබ් එකක් මේක. දැන් කාලෙ අයට ඕන ලේසියෙන් හම්බ කරන්න. දැන් අවුරුදු දහයක පහළොවක ඉඳන් කරන මිනිස්සු තමයි තාමත් මේක කරන්නෙ.’’

ලංකාවේ අපේ කටට හුරු පපඩම් රස ඉහත කී ලෙසින් වුවද පපඩම් කන්නේ අපිත්, ඉන්දියාවත් පමණක් නම් නොවේ. පපඩම් ලොවේ රජු වූ ඉන්දියාවේ අසල්වාසීන් වූ බංග්ලාදේශය සහ නේපාල වැසියෝත් පපඩම් රසයට ප්‍රිය කරන්නෝය.

ලංකාවේ අපත්, අපට පපඩම් හඳුන්වා දුන් ඉන්දියාවේ කේරළවාසීන් පපඩම් කද්දී තමිල්නාඩුවත් කන්නේ අප්පලාම්ය. පංජාබීන් හා ගුජරාටීන් කන්නේ පැගාඩය.

පරිප්පු, කඩල, සහල්, මෙනේරි, අර්තාපල් ආදී අමුද්‍රව්‍ය යොදා සාදන පපඩම් රස අපේ අසල්වාසී රටවල ජනතාව දනිති. ඒ අතර බංග්ලාදේශ ජනතාව කොස් පපඩම් සාදති. තාරප්පලාම් නමැති වෙබ් අඩවිය පපඩම් සෑදීමේ වට්ටෝරු 70ක් පිළිබඳ සඳහන් කරයි. ඉන්දියාවේ ඉතා ජනප්‍රිය කෙටි ආහාරයක් වන මසාලා පපඩම් සාදන්නේ තක්කාලි,ලුණු, කුළුබඩු ආදිය පපඩම මත ඉස රසවත් කරයි. පනීර් පපඩම් තුළ බහා ඇත්තේ තම්බා පොඩිකළ අර්තාපල්, අමු මිරිස්, සිහින්ව ලියාගත් ඉඟුරු ආදියයි. ඉන්දියානුවෝ පපඩම් හොද්දකද රස බලති. ඒ ඉඟුරු, සුදුලූනු, කහ, කොත්තමල්ලි, අමු මිරිස් ආදියේ අනුහසින්ය. රෝට් පපඩම්, සමෝසා පපඩම්, පැණි පූරි පපඩම්, පරාටා පපඩම්, ජිලේබ් පපඩම් මෙන්ම මල්, තරු කැට, ත්‍රිකෝණ ආදී අනේකවිධ හැඩයේ පපඩම්ද අනේක විධ වර්ණයේ පපඩම්ද පපඩම් ලෝකයේ දැකිය හැකිය.

ඉන්දියාවේ පපඩම් කර්මාන්තය පවතින්නේ ගෘහස්ථවය. එය සවිබල ගැන්වෙන්නේ වළලු දැමූ අත්වලින්ය. ලංකාවේද පාරම්පරික පපඩම් කර්මාන්තය පවතින්නේ ගෘහස්ථවය. නැතිනම් පපඩම් වත්තේ මෙන් ගම් මට්ටමින්, බිම් මට්ටමින්ය. මොනවා වුණත් කර කර ගා රසට හැපෙන පපඩම තරම් ඒ ජීවිත රසවත් නැත.

මධුෂානි කොඩිතුවක්කු
ඡායාරූප – ක්‍රිෂාන්