කතුවැකි

මේ අපේ අනාගතය වෙනුවෙනි

මේ අපේ අනාගතය වෙනුවෙනි

යළි පාසල් ආරම්භ කරන අවස්ථාවක පාසල් දරුවන් සම්බන්ධයෙන් ගත යුතු ඉතාමත් සාධනීය පියවරක් අගමැතිවරයා අධ්‍යාපන බලධාරින්ගේ අවධානයට යොමු කර තිබේ. ‘‘පාසල් විවෘත කිරීමේදී දරුවන්ගේ රෝග හඳුනාගැනීමට විශේෂඥ වෛද්‍ය සහාය ගන්න’’ යනුවෙන් ඊයේ අපි එම පුවත වාර්තා කළෙමු. අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාසල් යළි විවෘත කිරීම හා පාසල් දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පැවැති සාකච්ඡාවකදීය.

ඉදිරි දිනයක දරුවන්ටද කොවිඩ් එන්නත ලබාදිය යුතු බවට සැකයක් නැත. ඇතැම් විටෙක දරුවන්ට එන්නතක් ලබාදෙන්නට තීරණය කර ඊට අවශ්‍ය විධිවිධාන යෙදෙන අවස්ථාව වන විට කොවිඩ් වයිරසය රටින් තුරන් වී තිබෙන්නටද ඉඩ තිබේ. එහෙත් දරුවන්ට කොවිඩ් එන්නත දුන්නත්, නැතත් පාසල් ආරම්භ වූ පසු හෝ හැකිනම් ඊට පෙර හෝ ඔවුන් සඳහා වෛද්‍ය සායන පැවැත්වීම නම් අනිවාර්යයෙන්ම කළ යුතුය.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ සිට අප හැම දෙනාටම ජීවත් වීමට සිදුව ඇත්තේ කොරෝනා වයිරසය සමගය. එතැන් සිට මේ දක්වා ඉතාමත් කෙටි කාලයක් හැර දරුවන්ට පාසල් යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. පාසල් යන්නට අවස්ථාවක් නැතිවීමෙන් දරුවන්ට සිදු වූ ලොකුම පාඩුව ඉගෙනීම යැයි බොහෝ දෙනා කල්පනා කරන නමුත් ඊට වඩා වැදගත් බොහෝ දේ මේ කාලය තුළ ඔවුන්ට අහිමි විය. සම වයස් කණ්ඩායම් ඇසුර, ක්‍රීඩාව, සාමූහිකත්වය පිළිබඳ හැඟීම ආදී බොහෝ දේ ඒ අතර විය.

​කොවිඩ් වයිරසය පිළිබඳ භීතිකාව, සංචරණ සීමා, ආදායම් අහිමිවීම්, අවිනිශ්චිතභාවය ආදී කරුණු නිසා වැඩිහිටියන්ද පසුවන්නේ බලවත් මානසික පීඩාවකිනි. වැඩිහිටියන්ගේද තත්ත්වය එසේ නම් දරුවන් ගැන කවර කතාද? පාසල් වැසීමෙන් පොත් කට පාඩම් කිරීම දරුවන්ට සිදුවන ලොකුම පාඩුව යැයි කල්පනා කරන දෙමාපියන්, ගුරුවරුන් හා ටියුෂන් මුදලාලිලා​ගේ​ ඔන්ලයින් ඉගැන්වීම දරුවන්ගේ මානසික පීඩාව දෙගුණ තෙගුණ කරන්නට හේතු වී තිබේ.

සංචරණ සීමා කාලයේ ඇතැම් දරුවන් මානසිකව පමණක් නොව ශාරීරිකවද පීඩාවට පත්වන බව කියන සිදුවීම් වාර්තා වෙමින් තිබේ. පාඩම් කරන ලෙසට මවගේ බලපෑම නිසා දැරියක සියදිවි නසාගත් පුවතක්ද පසුගිය දිනෙක වාර්තා විය. මේ ආකාරයට දරුවන් ලිංගික හිංසනයන්ට පවා ගොදුරුවන බව වාර්තා වී තිබේ. එසේම ව්‍යායාම නොමැතිකම, ආහාර ගැනීම වැඩිවීම ආදී කරුණු හේතුකොටගෙන දරුවන්ගේ තිබෙන ඇතැම් රෝගී තත්ත්වයන් වර්ධනය වී තිබිය හැකි අතර ඇතැම් දරුවන් මේ කාලය තුළ ස්ථුලතාව වැනි රෝගාබාධවලට ගොදුරුව සිටින්නටද ඉඩ තිබේ.

ශාරීරික රෝගාබාධ පියවි ඇසින් පවා දැකගත හැකි නමුත් මානසික පීඩාවන් දැකගත හැක්කේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ටය. දරුවන්ගේ රෝග පීඩා හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම සඳහා තම සංගමයේ පූර්ණ සහය ලබාදෙන බව ළමා රෝග විශේෂඥ සංගමය අගමැතිවරයාට පොරොන්දු වී තිබේ. ඒ ගැන එම සංගමයට අපගේ ස්තුතිය පුද කරන අතරේ මෙහිදී දරුවන්ගේ මානසික පීඩා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බව මතක් කරන්නේ අපේ සමාජය තවමත් මානසික රෝග සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් අවධානයක් යොමු නොකරන නිසාය.

ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය පාසල් විවෘත වූ පසු දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සොයා බලන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව ඇතත් ඒ සඳහා මූලික පියවර ගත යුත්තේ අධ්‍යාපන බලධාරින්ය. පාසල් පටන් ගත් වහාම දරුවන් යළිත් විභාග තරගයට යොමු කරන්නට පෙර ඔවුන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

යළි පාසල් විවෘත වූ පසු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද කිසියම් වෙනසක් සිදු කළ යුතු බව අපගේ අදහසය. කොරෝනා වසංගතය පැතිරෙන්නට පෙර තිබූ විෂය නිර්දේශ, පාඩම්, විභාග ආදිය ඒ ලෙසම කළ යුතුද, නැතහොත් කිසියම් වෙනසක් කළ යුතුද යන්න විමසා බැලීම අධ්‍යාපන බලධාරින්ගේ වගකීමකි. අප යෝජනා කරන්නේ විෂය නිර්දේශවල සිට ඉගැන්වීමේ රටාවේ මෙන්ම විභාග පටිපාටියේ පවා කිසියම් සංශෝධනයක් සිදුවීම වඩා යෝග්‍ය බවය. අපගේ අධ්‍යාපන ක්‍රමය ගොඩනැගී ඇත්තේ දැනුම ඉලක්ක කරනවාට වඩා විභාග ඉලක්ක කරගෙනය. මේ නිසා විෂය නිර්දේශ ලිහිල් කිරීම, විභාග ලකුණු සීමා අඩුකිරීම වැනි කිසියම් ප්‍රතිසංස්කරණයක් මගින් සිසුන්ගේ දැනුමට පාඩුවක් සිදුවීමට හැකියාවක් පවතිනු ඇතැයි කිව නොහැකිය.

අපේ අධ්‍යාපන බලධාරීන් මෙවැනි වෙනසක් සම්බන්ධයෙන් මේ දක්වා කල්පනා කර හෝ ඇත්දැයි අප දන්නේ නැත. එසේ නැතිනම් අප කියන්නේ තවත් ප්‍රමාද නොකර ඒ සඳහා සූදානම් වන ලෙසය. නැතහොත් සිදුවනු ඇත්තේ පාසල් වසා දමා ඇති කාලයේ බලවත් සේ පීඩාවට ලක්ව සිටින දරුවන් මත තව තවත් පීඩනයක් පතිත වීමය.

මේ කුමන වෙනස්කමක් සැලසුමක් සකස් කළත් එය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ පාසල් යළි විවෘත කිරීමෙන් පසුවය. පාසල් යළි විවෘත කරන්නේ කවදා දැයි තවමත් නිශ්චිත නැත. මේ නිසා පාසල් යළි විවෘත කරන තෙක් නොසිට වහා කළ යුතු වෙනස්කමක්ද තිබේ. ඒ ඔන්ලයින් ඉගැන්වීම සම්බන්ධයෙනි.

ඔන්ලයින් ඉගැන්වීම, පන්ති කාමරයේ ඉගැන්වීමට විකල්පයක් වුවත් එයද පන්ති කාමරයේ ඉගැන්වීම තරමටම දරුවන්ට වදයක් වී ඇති බව අප මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. එහෙත් මේ ක්‍රමය මුළුමනින්ම නවතා දැමිය යුතු යැයි අප කියන්නේ නැත. කළ යුතුව ඇත්තේ ඔන්ලයින් ඉගැන්වීම කිසියම් ප්‍රමිතියකට නියාමනයකට යටත් කිරීමය. යළි පාසල් විවෘත කළ පසු ඔන්ලයින් ඉගැන්වීම නිරායාසයෙන්ම නවතින නිසා ඒ ගැන දැන් කලබල විය යුතු නැතැයි ඇතමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් යළි පාසල් විවෘත වීම කවදා සිදුවන්නේ දැයි නිශ්චිත නොමැති තත්ත්වයක් තුළ තව කොපමණ දවසක් මේ ක්‍රමයට ඉගැන්වීමට සිදුවිය හැකි දැයි දන්නේ කවුද? පාසල් හෙට විවෘත කිරීමට තීරණය කළත් අද හෝ ඔන්ලයින් ඉගැන්වීම ප්‍රමිතිකරණයකට ලක් කිරීම නම් කළ යුතුම කාර්යයකි.