විශේෂාංග

මෙහෙම ගියොත් හඳෙන් හාල් ගේන්න වේවිද?

උතුරේ ප්‍රශ්නය මෙන් දශක ගණනාවක් දිගට ඇදෙන ප්‍රශ්නයක් ලංකාවේ තවත් ඇත්තේ නම් ඒ හාල් මිල ඉහළ යාම බව කිවහොත් එහි වරදක් නැත්තේය.

අද පමණක් නොව හැත්තෑවෙ මහ මැතිවරණ සමයේදීත් ජාතික ප්‍රශ්නය වූයේ හාල්ය. එකල හාල් කතා කොතරම් නැගලා ගියාදැයි කිවහොත් ගාලු නගර සභාවේ පැවති රැස්වීමකදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කීවේ තමා ‘‘හඳෙන් හරි හාල්’’ ගෙනත් ජනතාවට කන්න දෙන බවය. . මැතිනිය මේ කතාව කියා දශක පහක් ගෙවී යන මේ මොහොතේ යළිත් වරක් ‘‘හඳෙන් හරි හාල්’’ ගෙනත් දීමට සිද්ධ වන තත්ත්වයක් උද්ගත වී ඇත්තේය. මේ දවස්වල හාල් මිල ඇත්තේ හඳෙනුත් එහාය.

කොතෙක් ගණන් ගියේදැ’යි කිවහොත්, හැම වර්ගයකම සහල් කිලෝවක් රුපියල් සියය ඉක්මවා ගියේ ය. සුපිරි සම්බා වර්ගවල සහ බාස්මතී වර්ගවල කිලෝවක මිල රුපියල් 160 – 170 දක්වා ගණන් ගියේ ය.

මේ නිසා රජයේ මැදිහත්වීමෙන්,  දෙසැම්බර් 19 වැනිදා සිට සම්බා සහ නාඩු සහල් සඳහා පාලන මිලක් නියම කෙරෙන්නේ, ජනතාව ‘හාල්’ කියාගත නොහැකි තරමට ම අසරණ වී සිටියදී ය. එහෙත් තවමත් ඇතැම් සිල්ලර වෙළෙන්දන් සම්බා සහ නාඩු හාල් විකුණන්නේ ද ‘එකසිය ගණන්වලට’ ය. එහෙත් දෙසැම්බර් 19 වැනිදා නිකුත්  කෙරුණු 2154/19 ගැසට් නිවේදනය අනුව කීරි සම්බා ත්, සූදුරු සම්බාත් හැර සුදු හෝ රතු සෑම සම්බා වර්ගයක් ම විකිණිය යුත්තේ කිලෝව රුපියල් 98 ට ය. මොට්ටයිකරුපන් සහ ආට්ටකාරී හැර අනෙකුත් සුදු හෝ රතු නාඩු වර්ග ද විකිණිය යුත්තේ කිලෝව රුපියල් 98 ට ය.

මෙම පාලන මිල අනුගමනය නොකරන සිල්ලර වෙළෙන්දන්, තොග වෙළෙන්දන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ හැකි වන අතර ඒ වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියත්, පොලිසියත් එක්ව දිවයින පුරාම වැටලීම් කරනු ද දැකගත හැකි ය.

‘‘හාල් පාලන මිල ගැසට් එක ආවයින් පස්සෙත්, සමහර මුදලාලිලා සම්බා නාඩු හාල් කිලෝව එකසිය ගණන්වලට විකුණනවා… ඒ අයව අත්අඩංගුවට ගන්න මේ දවස්වල අපි රට වටේම වැටලීම් කරනවා… මේ වෙනකොට දවස් පහක් විතර ඇතුළත කඩවල් 22,000 ක් විතර පරීක්ෂා කරලා වෙළෙන්දො 700 කට විතර නඩු පවරලත් තියෙනවා…’’ පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේ ය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හදිසියේ ම නාරාහේන්පිට සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවලට ගොස් වැඩි මිලට සහල් විකුණන වෙළෙන්දන් පිළිබඳ සොයා බැලුවේ ය.

එහෙත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන ආකාරයට ජනාධිපතිවරයා හෝ නිලධාරීන් සිල්ලර කඩගානේ ගියාට හාල් මිල ප්‍රශ්නයට සාධාරණය ඉෂ්ට වන්නේ නැත.

ඒ ගැන ඔහු ගල්ගමුවේ පැවැති ගොවි හමුවකදී මෙසේ ද කීවේ ය.
‘‘ජනාධිපතිතුමයි නිලධාරීනුයි සිල්ලර කඩගානේ ගියාට හාල් මිල අඩු වෙන්නෙ නෑ… හාල් මිල අඩු කරන්න නම්, මහා පරිමාණ මෝල් හිමියන් හංගගෙන ඉන්න වී තොග එළියට ගන්න ඕනෑ… ඔවුන්ගේ ඒකාධිකාරය මෙල්ල කරන්න ඕනෑ…’’

‘‘හාල් හිඟයක් තියෙන කතාව නං අපි විශ්වාස කරන්නෙ නෑ… ඒක බොරුවක්… මේ වෙලාවෙත් මෝල් හිමියන්ගෙ ගබඩාවල ඇති තරම් වී තියෙනවා… ඒවා එළියට එන්නෙ නැති හින්දයි හාල් මිල මෙච්චර ඉහළ යන්නෙ…’’ මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන ද පැවසුවේ ය.

මේ ආකාරයට ගොවි සංවිධානත්, වෙළෙඳ සංවිධානත්, හාල් මිල වැඩිවීම සම්බන්ධයෙන් එකාවන් ව චෝදනා කරන්නේ හාල් මෝල් හිමියන්ට ය.

සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුද්දක් තුළ යල මහ දෙකන්නයට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36 ක් පමණ නිෂ්පාදනය වේ. එහෙත් දේශීය වශයෙන් වාර්ෂිකව පරිභෝජනයට ගැනෙන්නේ වී මෙට්‍රික් ටොන් 24 ක් පමණි. එහෙයින් නිතරම මෝල් හිමියන් සතුව වී මෙට්‍රික් ටොන් 10 ක් 12 ක් පමණ පැවතිය හැකි බවට අනුමාන කිරීම ද සාධාරණ ය.

ඒ අනුව නාමල් කරුණාරත්නලා පවසන කතාව ඇත්තක් නම්, මේ වන විටත් මහා මෝල් හිමියන් සතුව තිබෙන අහස උසට ඉදිකළ ‘සයිලෝ ගබඩා’ නළවල වී කිලෝ ලක්ෂ ගණනක් නිරුපද්‍රිතව තිබිය හැකි ය. එහෙත් ඇත්තෙන් ම වී ගබඩාවල රහස් ඒවාට ඉහළින් ඉගිලෙන කුරුල්ලකුටවත් හසුවන්නේ නැති තරම් ය. ඒ විශ්වාසවන්තම සේවකයන් කිහිපදෙනකු හැර කිසිවකුටවත් ඒවා ඇතුළට යාමට ඉඩ නොදෙන නිසා ය.

අලෙවි කිරීම සඳහා මෝලට වී ගෙන යන ලොරි රථ රියැදුරන්ට පවා ‘ගේට්ටුව ළඟදී’ යතුරු භාර දී ලොරි රථවලින් බැස යාමට සිදුවේ. ඉන් අනතුරුව එම ලොරි රථ ගේට්ටුවෙන් ඇතුළට ගෙන යන්නේ ‘මෝලේ සිටින විශ්වාසවන්තම සේවකයන්’ විසිනි.

එහිදී ද වීවල බර කිරන්නේ ‘ලොරි පිටින් ම’ ය. මුලින් ම වී පැටවූ ලොරිය කිරා ඉන් අනතුරුව වී ඉවත් කර ‘හිස් ලොරියේ’ බර කිරනු ලැබේ. ඉන්පසුව වී සමග ලොරියේ බරින් හිස් ලොරියේ බර අඩු කර විකිණුම්කරුවන්ට අයවිය යුතු ‘වී මිල’ ගෙවා ‘බිල්’ කඩනු ලැබේ. මේ ආකාරයට මිලදී ගන්නා වී තොග ‘සයිලෝ ගබඩා’ වෙත යවනු ලැබේ. වානේ තහඩුවලින් තනා ඇති ‘සයිලෝ’ ගබඩාවල වී කිලෝ ලක්ෂ ගණනින් අවුරුදු ගණන් නිරුපද්‍රිතව ගබඩා කර තැබිය හැකිය. ඇතැම් මෝල් හිමියන් මේවාට ‘කපුරු කැට’ වැනි ‘බෙහෙත් කැට’ දමා කෘමීන්ගෙන් වන හානි මුළුමනින් ම මර්දනය කර තිබෙන බව ද හෙළිදරව් වී තිබේ.

ඒ අනුව මෙසේ ගබඩා කර තැබෙන වී තොග හාල් බවට පත්වී පාරිභෝගිකයන් වෙත පැමිණීමට අවම වශයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වේ. කිලෝව රුපියල් එකසිය ගණනකට මිලට ගෙන බතට උයාගන්නා හාල් හුණ්ඩුවේ කතාව ඒ තරම්ම සරල නොවන්නේ එහෙයිනි.

මේ අතර කවුඩුල්ල, යාය හත, රාජාංගණය ආදී ගොවි සමිතිවල ගොවියන් මාධ්‍යයට අනාවරණය කළේ, හාල් මිල කොතෙක් ඉහළ ගියත් මෝල් හිමියන් තමන්ගෙන් වී මිලට ගන්නේ රුපියල් 40 ක් , 50 ක් වැනි අඩු මිලකට වන බව යි.

‘‘අම්මා මුත්තගේ කාලෙ ඉඳන් ගොවියො හැටියට අපි හැම කන්නයකට ම ණය වෙනවා… අස්වැන්නෙන් ණය ගෙවනවා… මෝල්ලු මේක දන්න හින්දා හැමදාම අපෙන් අඩුවටම වී අරං යනවා… හාල් මිල වැඩි වුණාම මෝල්ලු පෝසත් වෙනවා මිසක් කුඹුරු වල කඹුරන ගොවියාටවත් ඒ මිලේ වාසිය ලැබෙන්නෙ නෑ… අපේ ගණන් මිනුම් තැබීම අනුව හැම හාල් කිලෝ එකකින් ම රුපියල් විස්සක් විසිපහක් යන්නේ මෝල් හිමියන්ට… මේක තනිකර මාෆියාවක්…’’ යැයි පැවසුවේ යාය හතේ ජයතිස්ස ගොවි මහතා ය. ලංකාවේ ලොකුම හාල් මෝල් හිමිකරුවන් දෙන්නා ඉන්නෙ පොළොන්නරුවේය. එක් අයෙක් ඩඩ්ලි සිරිසේනය.

අරලිය හාල් ඔහුගේය. හැරත් ඔහු හිටපු ජනපතිවරයාගේ මල්ලීය. ඩඩ්ලි හැරුණුකොට අනෙක් ලොකුම හාල් වෙළෙන්දා නිපුන හාල් හිමිකරු සිරිපාල ගම්ලත්ය. ඔහුත් දේශපාලනඥයෙකි. අරලිය, නිපුන හැරුණු විට  ඊළඟට සිටින ලොකුම හාල් හිමිකරුවා රත්න සහල්ය. ලංකාවේ හාල් පාලනය කරන්නේ මේ තිදෙනා බවට හැමදාම චෝදනා එල්ල වේ.

එහෙත් ඔවුන් පවසන්නේ වෙනත් කතාවකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අරලිය සහල් මෝලේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මෙසේ පැවසුවේ ය.

‘‘මේ දවස්වල නාඩු සම්බා වී තොග ඉවරයි… අපේ ගබඩාවල තියෙන්නෙ සීමිත ප්‍රමාණයක්‌ විතරයි… ළඟ එන උත්සව සමයට නම් කොහෙත්ම ප්‍රමාණවත් නැහැ… මේ තියන හිඟය පියවන්න පිටරටින් වත් හාල් ටිකක් ගෙන්වනවා නම් හොඳයි… එහෙම නැත්නම් අපේ වෙළෙඳපොළට අලුතින් හාල් එන්න තව මාස දෙකක්‌ වත් යයි…’’

කෙසේ වෙතත් හාල් පිටරටින් ගෙන්වීම අවුරුදු කිහිපයක් තිස්සේ ම රජයට අතිවිශාල වියදමක් ව පැවති බව පෙනේ. ඒ අනුව පසුගිය අවුරුදුවල ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, ඉරානයෙන්, නවසීලන්තයෙන්, චීනයෙන් පමණක් නොව බංග්ලාදේශයෙන් පවා හාල් ආනයනය කළේය. ඒ වෙනුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 130 ක් 135 ක් පමණ වැය කළේ ය. ගණන් සාදා බලන විට පිටරටින් හාල් ගෙන්වන්නට යන මේ මුදලින් අවුරුදු පතා රෝහල්, විශ්වවිද්‍යාල ගණනාවක් සාදන්නට තිබුණි.

මේ අතර වී අලෙවි මණ්ඩලයෙන් ද කන්නයක් පාසා මිල දී ගනු ලබන වීවලින් වැඩි ප්‍රමාණයක් ‘සත්ත්ව ආහාර වශයෙන්’ මුදාහරින බවට ද චෝදනා එල්ලවෙමින් තිබේ. බොහෝ විට එසේ මුදාහරින අඩුමිල ‘සත්ත්ව ආහාර’ ද නැවත ‘පිට පාරෙන්’ වැඩි මිල හාල් බවට හැරී නැවතත් වෙළෙඳපොළට පැමිණෙන බවට ද ප්‍රසිද්ධ චෝදනාවක් තිබේ. මෙකී ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරිය දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත්, ඇගේ ලේකම්වරිය පැවසූ ආකාරයට පසුගිය සතිය පුරාම ඇය දිගින් දිගටම සිටියේ ‘රැස්වීම්’වල ය.

මේ අතර ගිය සතියේ රැස් වූ ජීවන වියදම් කමිටුව, හාල් මෝල් හිමියන් සතුව පවතින වී තොග මිලදීගෙන හෝ පවතින වෙළෙඳපොළ හිඟය මැඬ පැවැත්වීමට යෝජනා කළේය. කැබිනට් මණ්ඩලයේදී යෝජනා වූයේ රජයේ මැදිහත්වීමෙන් සහල් මෝල් කිහිපයක් ආරම්භ කිරීමට ය.

එහෙත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග ම රජය මැදිහත් වී නිෂ්පාදනය කළ ‘ශක්ති සහල් ව්‍යාපාරය’ මුළුමනින් ම කඩාවැටුණු බවත්, එහෙයින් යළිත් මහා මෝල් හිමියන්ගේ ‘හාල් ඒකාධිකාරය’ යළි හිස එසවූ බවත් ය.

‘‘අපේ ආණ්ඩුව යටතේ ශක්ති සහල් නිෂ්පාදනය කරන්න ගත්තේ හාල් මෝල් ඒකාධිකාරයට විකල්පයක් හැටියට යි… සමුපකාරය, වී අලෙවි මණ්ඩලය, පාරිභෝගික අධිකාරිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර් යේෂණායතනය, කුඩා මෝල් හිමියන් වැනි ආයතන ගණනාවක එකතුවකින් රජයේ වී තොග සහ සහල් තොග කළමනාකරණ කමිටුවක් හදල තිබුණා… මේකෙන් තමයි ශක්ති සහල් නිෂ්පාදනය කළේ… මේවා සතොසට වගේම අනෙකුත් තොග කඩවලටත් යැවුණා… ඒක හින්දා යම් මට්ටමකට හරි හාල් ඒකාධිකාරය අඩපණ වෙලා තිබුණා… නමුත් අලුත් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ මේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම ඇනහිටියා…’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියයි.

කෙසේවෙතත් අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසන ආකාරයට හාල් මිල අඩුකිරීම සම්බන්ධයෙන් ‘පාලන මිලක්’ නියම කර තිබෙන්නේ කෙටිකාලීන පියවරක් වශයෙනි.

‘‘හර්ෂ ද සිල්වා කියන බ්‍රෑන්ඩ් එක ගැන නම් අපි දන්නෙ නෑ… හැබැයි මධ්‍යම සහ කුඩා මෝල් හිමියන්ට මුදල් දීලා තියෙනවා වී තොග අරගෙන හාල් නිෂ්පාදනය කරන්න… ඊට අමතරව රජය මැදිහත් වෙලා හාල් මෝල් ඉදිකිරීම, පෞද්ගලික අංශයේ වගේ විශාල ගබඩා ඉදිකිරීම වගේ දිගුකාලීන පියවර කිහිපයකුත් ගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා…’’ අනුර යාපා අමාත්‍යවරයා ‘අරුණ’ට පැවසුවේ ය.

රජය විසින් ඉදිරියේදී ‘තබනු ලබන’ මෙයාකාරයේ කෙටි හා දිගු පියවර අවසානයේදී වත්, ‘හාල් මාෆියාවට’ ස්ථිරසාර විසඳුමක් ලැබේ නම් යහපත් ය. එසේ නොවන්නට අද දවසේ ‘පෙරදිග හාල්කෑල්ල’ බවට පත් වී තිබෙන ශ්‍රී ලංකාව  නැවත වතාවක් සහලින් ස්වයංපෝෂිත වූ ‘පෙරදිග ධාන්‍යාගාරයක්’ බවට පත්කරගැනීම සිහිනයක් ම විය හැකි ය.

සුරේඛා සමරසේන