විශේෂාංග

මෙහෙම ගියොත් කහ ගන්නත් බැරියෝ

රටේ ආහාර ඉල්ලුමට සරිලන සේ අත්‍යවශ්‍ය ආහාර තොග ආනයනය කිරීමත්, ඒ සඳහා විවිධ මාදිලිවල වෙළෙඳ උපක්‍රම භාවිත කිරීමත්, කොළඹ පිටකොටුවේ ව්‍යාපාරික ස්වභාවයයි. කොළඹ ‘පිටකොටුව’ යයි කීවාට, ඇත්තටම ආහාර තොග වෙළෙඳාම් කෙරෙන්නේ එහි ‘හතරවැනි සහ තුන් වැනි හරස් වීදියේ’ ය. කොළඹ රටේ ‘ප්‍රයිවේට් බස් කොන්දොස්තරවරුන්’ විසින් ‘ඔටුව-පිටෝටුව’ (කොටුව-පිටකොටුව) යයි සිල්ලර ව්‍යවහාරයට ලක් කෙරුණ ද, පිටකොටුව යනු ලංකාවේ බලවත්ම ආර්ථික කේන්ද්‍රයයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ආනයනය, දේශීය වශයෙන් නිෂ්පාදනය වන ආහාර තොග පිට පළාත්වලින් ගෙන්වා ගැනීම, ආහාර තොග මහා පරිමාණයෙන් ගබඩා කිරීම සහ කොළඹින් පිට පළාත්වලට බෙදා හැරීම යන බහුවිධ වෙළෙඳ ක්‍රියාවලිය, බොහෝ කලක පටන් ම පිටකොටුවේ හතරවැනි හරස් වීදියේ පෞද්ගලික වෙළෙන්දන් වටා කේන්ද්‍රගතව තිබෙනු පෙනෙයි. මේ දිනවල ඔවුන්ගේ වෙළෙඳාම් සම්බන්ධයෙන් කිසියම් විවේචනාත්මක කතාබහක් ඇවිළ යනු අසන්නට ලැබේ. හතරවැනි හරස් වීදියේ ඇතැමෙක්, තත්ත්වයෙන් බාල ආහාර වර්ග තොග පිටින් ගෙන්වා ඇතැයි යන්න, ඒ කතාබහයි. ඒවා ගෙන්වා ඇතැයි කියන්නේ, හොර රහසේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලිනි. ඔවුන් එසේ කර ඇත්තේ, රජය මෙරට නිපදවිය හැකි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම්කර ඇති පසුබිමක ය. එය විශේෂ කාරණයකි.

කොළඹ පිටකොටුවේ ‘හතරවැනි හරස් වීදිය’ වඩාත් ප්‍රකටව ඇත්තේ සහල් ඇතුළු ධාන්‍ය වර්ග, ලූනු අර්තාපල්, දුරු-මිරිස්, කරවල, ටින් මාළු, පාන් පිටි සහ පරිප්පු ආදී අත්‍යවශ්‍ය ආහාර වර්ග තොග වෙළෙඳාමට ය. ඒවා පිටරටින් ගෙන්වීම් සහ රට පුරා බෙදා හැරීම් කෙරෙන්නේ එතැනිනි. ඒ අර්ථයෙන් ගත් කල, එය මුළු රටට ම ‘කන්ඩ දෙන’ වෙළෙඳ වීදියයි. ඔවුන්ගේ මහා පරිමාණ ආහාර වෙළෙඳ බල පරාක්‍රමය හමුවේ හුදී ජනයින් පමණක් නොව, ආණ්ඩු පවා පාරිභෝගිකයන් බවට පත් වන්නේ නිතැතිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉකුත් වසරේ දෙසැම්බර් පස් වැනි දා ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් නව නීති මාලාවක් පැනෙව්වේ ය. එයින් දේශීයව වගා කළ හැකි ආහාර සහ කුළු බඩු භෝග ගණනාවක් පිටරටින් ආනයනය කිරීම තහනම් කෙරිණි. ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා සහ වසාවාසි, ඉඟුරු, කහ, කරාබුනැටි, උඳු ආදිය ඒ අතර විය. ආණ්ඩුව මෙවන් තීරණයකට එළඹ තිබුණේ දේශීය ගොවියා ශක්තිමත්කර නිෂ්පාදනය වැඩිකර ගැනීමේ අරමුණෙනි. එසේ ම, මෙරට තුළ පහසුවෙන් වගා කළ හැකි බව භෝග ආනයනය කරන්නට යන ඩොලර් වියදම පිරිමසා ගැනීමේ අරමුණෙනි.

නව නීති මාලාව පැනවෙන අවස්ථාව වන විට, ආනයනික ආහාර භෝග සමග තරග කළ නොහැකිව අපේ ගොවීහු දුර්මුඛව සිටියහ. ඔවුන්ගේ නිෂ්පාදන සඳහා නිසි මිලක් නොවීය. වෙළෙඳපොළක් ද නොවීය. එබැවින් ඔවුහු ඒවා වගා කිරීම අත්හැර දමා සිටියහ.

රජය දේශීයව නිපදවිය හැකි ආහාර සහ කුළුබඩු භෝග ආනයනය තහනම් කිරීමෙන් පසුව ඒවා වගා කරන ගොවීන්ට හොඳ කාලයක් උදා වන්නට පටන් ගත්තේ ය. දේශීය භෝගවලට හොඳ ඉල්ලුමක් සහ මිලක් ද වැටිණි. අපේ ගොවීහු සතුටට පත් වූහ.

එහෙත් විවෘත වෙළෙඳ පොළේ කහ සහ උඳු ආදියෙහි මිල ගණන් වේගයෙන් ඉහළ ගියේ ය. වෙළෙඳපොළ ඉල්ලුම සපුරා ලීමට තරම් නිෂ්පාදනයක් දේශීයව සිදු නොවීම ඊට හේතුව විය. ඇතැම් කුළුබඩු වර්ගවල උග්‍ර හිඟයක් හට ගත්තේය. වර්තමානය ගත් විට, කහ සහ උඳු විවෘත වෙළෙඳ පොළේ නැත. මේ තත්ත්වය සැලකිල්ලට ගත් රජය, කහ සඳහා කිලෝ ග්‍රෑමයකට රුපියල් 750ක පාලන මිලක් ද පැනවී ය. එසේ වුව ද, කිලෝව රුපියල් 750ට විකිණෙන ‘කහක්’ කොහේවත් නැත. එසේම, වැඩි මිලට හෝ ගන්නට කහ නැත. (ගාල්ලේ පදිංචිව සිටින ලියුම්කරු, ජූලි 03 වැනි දා සවස කහ කුඩු ග්‍රෑම් පනහක් මිලයට ගත්තේ රුපියල් එකසිය පනහකට ය. කඩ හිමියා එය ද ලබා දුන්නේ වටපිට බලා හොර රහසිනි.)

‘කහ’, ආහාර සැකසීම පිණිස ද, ආගමික කටයුතු පිණිස ද භාවිත කෙරෙන්නකි. ‘උඳු’, වඩේ, තෝසේ ඇතුළු ආහාර සෑදීමට ද, පපඩම් කර්මාන්තයට ද ගන්නා භෝගයකි. එම ක්ෂේත්‍රවල විශාල පිරිසක් ඒවා නිෂ්පාදනය කරමින් ජීවිකාව සලසා ගනිති. කහ සහ උඳු හිඟ වීමත්, මිල ඉහළ යාමත් නිසා ඔවුන් දැන් අසරණව සිටිති.

දේශීයව වගා කළ හැකි ගම්මිරිස්, කහ, උඳු, ඉඟුරු, බී ලූනු, අබ, කුරක්කන් සහ සියඹලා ආදී ආහාර භෝගයන් ආනයනය තහනම් කිරීම ඉතා යහපත් කටයුත්තකි. එයින් ඒවා වගා කරන දේශීය ගොවීන්ට සෙත සැලසෙයි. අනෙක, අසීරුවෙන් උපයා ගන්නා විදේශ විනිමය ද පිරිමැසෙයි. එහෙත් ආනයන තහනමක්, එක්වර ම පැනවීම සුදුසු දැයි කල්පනා කළ යුතුව තිබිණි.

ආනයන තහනම පැනවිය යුතුව තිබුණේ, තහනමට ලක්කල භෝග වර්ග දේශීයව නිෂ්පාදනය කිරීමේ පුළුල් වැඩ පිළිවෙළක් ද සමගිනි. එවැන්නක් සිදු වූවා නම් ‘මිල ඉහළ යාමේ’ හෝ ‘හිඟයක් ඇති වීමේ’ ඉඩකඩ ඇහිරී යයි. අනෙක, යම් භෝගයක් සිටුවා ඵල දරන තත්ත්වයට වර්ධනය වීමට ද කාලයක් ගත වේ. වර්ෂාව ආදී බාහිර සාධක ද ඒවාට බලපායි. වෙළෙඳපොළෙහි කහ සහ උඳු ආදී ආහාර භෝග හිඟ වීමෙන් පෙනී යන්නේ එවන් කාරණා ගැන සැලකිල්ලකින් තොරව ආනයන තහනම පැනවුණු බවයි.

කහ සම්බන්ධයෙන් ගතහොත්, දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා, වාර්ෂිකව වියළි කහ මෙට්‍රික් ටොන් 4700ක් පමණ පිට රටින් ආනයනය කරන්නට සිදු වේ. අපේ රටට කහ ආනයනය කෙරෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.

වසරකට මෙට්‍රික් ටොන් 4700ක කහ තොගයක්, රට ඇතුළෙන් ම නිපදවා ගන්නා ආකාරය ගැන කල්පනා කරන්නට තිබුණේ තහනම පනවන්නට පෙර දී ය. අපට ඒ සඳහා ගොවි බිම් සහ ඇඹරීමේ තාක්ෂණය තිබේ ද? යන්න, මෙහි දී සලකා බැලිය යුතුව තිබිණි. එවැන්නක් නොවූ බව, රට පුරා අසන්නට ලැබෙන උග්‍ර කහ හිඟයෙන් පැහැදිලිය.

ජාවාරම ගැන තතු දන්නා අය පවසන අන්දමට, අර්තාපල්, බී ලූනු සහ වියළි මිරිස් කරල් ඇසුරුම් තුළ සඟවා ‘කහ’ සහ ‘උඳු’ ආදී ආනයනය තහනම් භෝග පැකට් හොරෙන් ගෙන් වීම, ජාවාරමෙහි ස්වභාවයයි. වරායෙන් සහ රේගුවෙන් පන්නා ගත් පසුව, විවෘත වෙළෙඳපොළේ දී කහ කුඩු කිලෝවක් රුපියල් 3750ක මිලකට අලෙවි වෙයි. ආනයන තහනමට හසුව වරායේ හිරවී ඇති කන්ටේනර් 56න් වැඩි හරියක ම ඇත්තේ, කහ සහ උඳු බව දැන ගන්නට තිබේ. මේවා ගෙන්වා ඇතැයි කියන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලිනි. විශේෂත්වය වන්නේ මේවා නිසි ප්‍රමිතියකට නැතිකමයි.