විශේෂාංග

මෙවන් පියෙක් ලද දරුවන් නිවුණේ වේ

තාත්තාගෙ සුළැඟිල්ල දරුවකුට යෝධ රැකවරණයකි. දරුවන්ට නිහඬවම ආදරය කරන්නේත්, නිහඬවම දරුවන් ගැන සතුටු වන්නේත්, නිහඬවම දරුවන් ගැන දුක්වන්නේත් තාත්තාමය. දරුවන් වෙනුවෙන් විසල් සෙනෙහසක් හදවතේ ඉපදුණත් තාත්තා කිසිවිටෙකත් ඒ සෙනෙහස දරුවන්ට එළිපිට පෙන්නන්නේ නැත. තාත්තලා එහෙමය. තාත්තලා එහෙම වුණත් පසුගිය සඳුදා නුවර දී එන්. රාමරාජ් තාත්තාට නම් ඒ රහසේ හංගාගෙන සිටි ආදරය දරුවන්ට පමණක් නොව බිරිඳටත් එළිපිටම පෙන්වන්නට සිදුවුණේය. ඒ දෙනෝ දාහක් දෙනා භීතියෙන් හුස්ම අල්ලා බලා සිටියදීය. ඒ තාත්තා ඔහුගේ දිවි දෙවැනි කොට ඔවුනට පෑ සෙනෙහස ඒ දරුවන්ටත්, ඒ බිරිඳටත් තව කල් ජීවත්වෙන්නට වාසනාව උදාකර දුන්නේය.

පසුගිය සඳුදා දහවලේ රාමරාජ් බිරිඳ හා දරුවන් සමග සිටියේ නුවර නගරයේ තුන්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කාමරයකයි. රාමරාජ් කුලියට කාමරයක් ගෙන වැඩකරමින් නැවතී සිටියේ පොළෝ මට්ටමින් අඩි පනහකටත් වඩා උස මේ සිව්මහල් ගොඩනැගිල්ලේ තුන්වන මහලේය.

රාමරාජ්ගේ ගම බණ්ඩාරවෙලයි. ඔහු 2017 වසරේ පටන් නුවර නැවතී රැකියාව කරමින් සිටියේ බිරිඳ හා කුඩා පුතුන් තිදෙනා බණ්ඩාරවෙල සිටියදීය. රාමරාජ්ගේ රැකියාව වූයේ මංගල ආභරණවල රන් ආලේප කිරීමයි.

” පසුගිය සෙනසුරාදා දවසක පොඩි අය කතා කරලා ඇහුවා ඉස්කෝලේ නිවාඩු හින්දා නුවර එන්නද කියලා. මං එන්න කිව්වම එයාලා බිරිඳත් එක්ක කෝච්චියෙන් නුවර ආවා. මං මේ තුන්වැනි තට්ටුවේ තිබුණු ස්ටෝරු කාමරේ අස් කරලා ඒ ගොල්ලන්ට නවතින්න හදලා දුන්නා.”

රාමරාජ්ගේ දරුවන් පොඩිය. වැඩිමල් පුතුට වයස අවුරුදු හයකි. දෙවැනි පුතු සිව් හැවිරිදි වියේත් තුන්වැනි පුතු දෙහැවිරිදි වියේත් පසුවූහ. ඒ වනවිට රාමරාජ් හා බිරිඳ දරුවන් නුවර පාසලකට ඇතුළත් කරන්න කටයුතු හදා තිබුණි. ඒ රාමරාජ්ගේ හිතේ නුවර පදිංචිවීමේ ආසාවක් තිබූ නිසාය.

” දරුවන්ට නුවර ඉස්කෝලෙකුත් හරි ගිහින් තිබුණෙ. ඒ ඉස්කෝලේ ඇතුළත් කිරීමේ විභාගෙන් දරුවො හොඳ ලකුණු අරන් තිබුණා. ඒ හින්දා විදුහල්පතිවරයා දරුවන් පාසලට ගන්න කැමැතිවෙලා හිටියා. ඒ හින්දා එයාලා ආවදාට පහුවදා ජනවාරි 06 වැනිදා උදේ පාන්දර අපි බණ්ඩාරවෙල ගියා. ඒ දරුවන් නුවර ඉස්කෝලෙට දාන්න පුළුවන් නිසා දරුවන්ගේ ඒ අවශ්‍ය බඩු භාණ්ඩ අරන් එන්න. එදාම මහ පාන්දර 07 වැනිදාට එළිය වැටෙන්න පාන්දර එකට විතර අපි ආපහු කොළඹ ආවා. ඒ ඇවිත් නැවතිලා හිටපු තුන්වැනි මහලෙ කාමරේට වෙලා අපි කට්ටියම නිදාගත්තා. “

රාමරාජ් කියන්නේ ඔහු එදින උදේ 6.30 ට පමණ අවදිව ගොඩනැගිල්ලෙන් පහළට ගිය බවයි. මේ ගොඩනැගිල්ලේ මහල් සියල්ලේම වූයේ කඩ සාප්පු සඳහා වෙන්වූ කාමරයි. එවන් කාමර නවයක් දහයක් එහි තිබුණි.

” මම ගොඩනැගිල්ලෙන් බිමට බැස ත්‍රිරෝද රථය වෙනත් තැනක නවතා යළි කාමරේට යන්න ගියේ නිදාගන්නයි. එතකොට තමයි දැක්කෙ පහළම තිබුණු බියුටි සැලෝන් එකක් තියන කඩේ කවුදෝ කඩනවා. මම ඒ බව දුරකථන මාර්ගයෙන් කීප දෙනෙකුට දැනුම්දෙමින් උඩට ගියා. එක්වරම ගොඩනැගිල්ලේ දුම් පිරෙන්න පටන් ගත්තා. ඒ එක්කම ජනෙල්වලින් ගින්දර පිටවන්නත් ගත්තා. පහළට දුවන්න ගියත් ගින්දර සහ දුම නිසා එය කරන්න බැරිව ගියා. මට මතක්වුණේ මගෙ ළමයි බේරගන්න ඕන කියලා. “

රාමරාජ් කාමරයේ ජනේලෙන් පිටත බැලුවේ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ විය. ගින්න දැක ගොඩනැගිල්ල ළඟ මිනිසුන් රැස්ව සිටිනු ඔහු දුටුවේය. ඔහු ජනේලෙන් එළියට හිස දමා මිනිසුන්ගෙන් උදව් ඉල්ලා කෑගැසුවේය.

“අපිව බේරගන්න පුංචි ළමයි ඉන්නවා” කියලා මං කෑගැහුවා ඒ අයට ඇහෙන්න. එතකොට පහළ හිටපු අය කෑගැහුවෙ ළමයි දාන්න අපි අල්ලාගන්නම් කියලා. ඒත් ඒ වෙනකොට කාමරේ දුමෙන් පිරිලා. ළමයින්ට හුස්ම ගන්න අමාරුයි කියලා මට මතක් වුණා. මං දරුවන් ඉස්සරහට ගෙනත් දරුවන්ගේ මුහුණු ජනේලයෙන් එළියට දාලා දරුවන්ට හුස්ම ගන්න සැලැස්සුවා. ඒ අතරෙත් මං හිතුවෙ දරුවෝ නෝනා නැතුව මං විතරක් බේරිලා වැඩක් නෑ. ඒ ගොල්ලන්ව බේරලා මං මැරුණත් කමක් නෑ කියලා මට හිතුණා. මං කොහොම හරි මෙයාලව බේර ගන්නවා කියලා හිතාගත්තා. “

ඒ අතරෙදී රාමරාජ්ට ඇසුණේ පහළ සිටි සෙනග දරුවන් පහළට දමන්න කියමින් කෑගසන හඬයි. ඔවුන් දරුවන් අල්ලා ගනු ඇතැයි විශ්වාසයක් ඒ මොහොතේ හිතේ ඇතිවුණත් එතැන භයානකමක් ද ඒ මොහොතේ ඔහුගේ හිතට දැනුණේය. ඒ නිසා රාමරාජ් ක්ෂණිකව හිතට ආ කල්පනාවක් අනුව ඔවුන් නිදා සිටි මෙට්ටය සහ ඝනකම් ඇඳ රෙද්ද මිනිසුන් දෙසට විසිකළේය.
ඒ මොහොතේ තාත්තෙක් ලෙස රාම්රාජ් පත්වුණේ අන්ත අසරණ අසීරු තීරණයක් ගන්නයි. ජීවිතේ බේරන්න වුවත් දරුවන් විසි කරන්නේ තට්ටු තුනක් පහළටයි. ඔහු තවත් හිතන්නේ නැතුව හිත හිරකරගෙන දරු තිදෙනාගෙන් බාලම දරුවා අල්ලා ගත්තේය. දරුවා පහළට දමන්න්ට හදද්දී ආයෙත් රාමරාජ්ගේ හිත කඩා වැටුණේය.

“අනේ තාත්තේ මාව පහළට විසිකරන්න එපා’ අයියෝ අප්පා ” කියලා පොඩි දරුවා ඇඬුවා. මං තත්පරයක් ආයෙත් දරුවා විසිකරනවද කියලා හිතනකොට පහළ සිටි අයියලා කියනවා ඇහෙනවා දරුවා දාන්න අපි අල්ලගන්නම් කියලා. මං පහළ බැලුවා. පහළ සිටි අයියලා එකතුවෙලා බෙඩ්ෂිට් එක අල්ලන් ඉන්නවා මට පේනවා. මම හිත හයිය කරගෙන ඒකට අඬන දරුවා දැම්මා. දරුවා බෙඩ් ෂිට් එකට වැටෙනකල් මට හුස්ම ගන්න බැරිවුණා. දරුවා බෙඩ්ෂීට් එකට වැටුණා මම දැක්කා. ඒ නිසා මම බය නැතිව අනෙක් දරුවන් දෙදෙනාත් පහළට විසි කළා.”

දරු තිදෙනාගේ ජීවිත සුරක්ෂිත කළ රාමරාජ්ට බැරෑරුම් ම කාර්යය තිබුණේ ඊළඟටයි. දරුවන් පොඩි නිසා ජනේලයෙන් පිටතට ඔසවා විසිකරන්නට පුළුවන් වුවත් බිරිඳට එසේ කළ නොහැක. ඒත් බිරිඳත් බෙඩ් ෂීට් එක උඩට දැමිය යුතුය. ඔහු එය සැලසුම් කර පිටතින් පහළ තට්ටුවට බැස ආධාරකයක යාන්තම් සිටගත්තේය. කිසිදා බිත්ති දිගේ බට දිගේ එල්ලී බිත්තිවලින් බැස නැතත් ඔහු ජනේලෙන් පහළ තට්ටුවට බැස්සේ බිරිඳව උඩින් බසිද්දී පහළට ගෙන ඇඳ ඇතිරිල්ල මතට දමන්නටයි. ඒත් සිදුවූයේ නොසිතූවකි. ජනේලයෙන් පහළ බසින්නට හැදූ රාමරාජ්ගේ බිරිඳගේ අත අල්ලාගෙන සිටි තැනින් ලිහී ඈ එහෙමම පහළට වැටුණේය. පහළ බසින බිරිඳ අල්ලා ගැනීමේ සූදානමින් සිටි රාමරාජ් වැටෙන බිරිඳව බිමට වැටෙන්නට නොදී වහා අල්ලාගත්තේ ඒ බිරිඳගේ පණ ඔහුගේත් පණ නිසාය.

” මගෙ අතට මොකද්ද වුණා කියලා මට දැනුණා., ඒ නෝනා වැටුණ බරට. ඒත් මං එයාව පොළවට වැටෙන්න දුන්නෙ නෑ. අල්ලලා බෙඩි ෂීට් එකට දැම්මා. ඊට පස්සෙ අතේ අමාරුව ගැන අමතක. කරලා මමත් බෙඩි ෂීට් එකට පැන්නා .”

ඔවුන් ගින්නෙන් බේරුණත් පහළට වැටෙද්දී සුළු තුවාල ලබා තිබුණේය. ඒ නිසා දරුවන් සහ රාමරාජ් ද බිරිඳද මහනුවර රෝහලට ඇතුළත් කළේය. බිමට වැටීමේදී රාමරාජ්ගේ බිරිඳගේ කකුල් තුවාල වී තිබූ අතර බිරිඳ වැටුණු වේගයටත් ඇගේ බරටත්, රාමරාජ්ගේ අතට හානිවී තිබුණි.

” මමත්, දරුවනුත්, බිරිඳත් මහනුවර මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබුවා. දැන් මගේ ටිකට් කැපුවා. මට යන්න තැනක් නැහැ. පල්ලියේ පූජකතුමෙක් මට ඉන්න තැනක් දෙනවා කීවා. ඒත් අන්තිමට මහනුවර මධ්‍යම වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතියෙන් අපිට කැප්පෙටිපොළ අනුස්මරණ ශාලාව ලබාදුන්නා. මම දෙමළ කෙනෙක්. මේ මහත්තයා කරන උදව් පණ තියෙනකම් අමතක වෙන්නෙ නෑ. ඒත් එතන අපිට දිගටම ඉන්න බෑ. ඊට පස්සෙ මං යන්න තැනක් ඉන්න තැනක් හොයන්න ඕන. මං නුවර ආවේ දියුණුවෙන්න. ඒ දියුණුව මට තිබ්බා. ඒකයි දරුවොත් එක්ක නුවර පදිංචි වෙන්න හිතුවෙ. නුවර ගෙයක් ගන්න හිතාගෙන ගෙනත් තිබ්බ බඩුමුට්ටුයි, දරුවො ඉස්කෝලේ දාන්න ගෙනාව ඇඳුම් පැලඳුම්, පොත්පත්, ලිපි ලේඛන, සපත්තු කිසිදෙයක් ඉතුරු වුණේ නෑ. ඉතුරු වුණේ මගේ පණයි ළමයින්ගෙ පණයි නෝනගෙ පණයි විතරයි..”

ඒ පණ ටික ඉතුරු වූවේත් රාමරාජ් ඒ මොහොතේ නොබියව ඥානාන්විතව කටයුතු කළ නිසාය. කවුරුන් හෝ පැමිණ දරුවන්ගේ හා

බිරිඳගේ ජීවිත බේරා දෙනතුරු ඔහු බලා සිටියා නම් අද මේ කතාව මෙසේ අවසන් වන්නේ නැත. තමන්ගේ දරුවන්ගේ හා බිරිඳගේ ජීවිත බේරුවත් රාමරාජ් බේරා ගත්තේ ජීවිත හතරකි. ඔහු කළේ සැබෑම වීර වැඩකි. මේ ගිනිගෙන දැවෙන නිවසට පිටතින් කවුරුන් හෝ ගොස් මේ ජීවිත හතර පහ බේරා ගත්තානම් අද නිසැකවම ඒ පුද්ගලයාට රාමරාජ්ට අත්ව ඇති ඉරණම අත් නොවනු ඇත. ඔහු එක රැයකින් විශාල වීර වැඩක් කළ අයෙකු ලෙස මේ රටේ පොදු ජනතාවගේ පමණක් නොව මහ ජනතාවගේත් හිත්වල අභිෂේක ලබලාය.

පසුගිය දිනෙක කොරියාවේ ගිනිගෙන දැවෙන නිවසක් තුළට ගොස් වයස අවුරුදු 90 ක මවක් බේරා ගත් අපේ ශ්‍රී ලාංකිකයකු ඒ රට ඉහළින්ම අගය කළේය. ලක්ෂ ගණනක මුදල් ත්‍යාගයක් දී පසුව එරට පුරවැසිභාවය දෙන්නට තරම් ඒ රටට අපේ රටේ හසලක නිමල්සිරි බණ්ඩාර වීරයෙක් වුණේය. ඊටත් පෙර ප්‍රංශයේ උඩුමහලකින් වැටෙන දරුවෙකු බේරාගත් විදෙස් තරුණයෙකු ද ප්‍රංශ රජය ඉහළින් අගය කර එරට පුරවැසිභාවය ලබා දී තිබුණේය. ඒත් ගින්නෙන් ජීවිත හතරක් බේරාගත් අපේ රටේ රාමරාජ්ට අද ඉන්නට තැනක් හෝ නැත.

රාමරාජ්ගේ තත්ත්වය එසේවද්දී මේ ගින්න පිළිබඳව නගරයේ ජනතාව මහනුවර මහ නගර සභාවටත්, ගිනි නිවන ඒකකයටත් තදින් දොස් පවරන්නට වූහ.

“ගින්න නිවන්න ගිනි නිවීම් රථ එන්න පැයකට ආසන්න කාලයක් ගත වුණා. මහනුවර ගිනි නිවීම් ඒකකයේ සිට සිද්ධිය වූ ස්ථානයට ඇත්තේ කිලෝමීටර් දෙකක් පමණයි. ඒ කිලෝමීටර් දෙක එන්න පැයක් පමණ ගතවුණා. ගිනි නිවීම් ඒකකය කරන දේ ඒ වෙලාවෙ ජනතාව කරලා ඉවරයි. ඉතිං මොකටද මහනුවරට ගිනි නිවීම් ඒකකයක්….? ඉස්සර ගිනි නිවීම් ඒකකයට අල්ලපු වැටේ තිබුණු මහජන පුස්තකාලය ගිනි ගෙන විනාශ වන තෙක් ආරක්ෂා කරගන්න බැරි වුණු ගිනි නිවීම් ඒකකයක් මේ මහනුවර තියෙන්නෙ. ගිනි නිවීම් ඒකකය තියෙන්න ඕනෙ මහනුවර නගරය මැද. නමුත් අද ඒවා නගරයෙන් සැතපුම් දෙකක් දුරින් ස්ථාපිත කර තිබෙන්නේ. ඒ නිසා ගින්නක් ආවහම සොරිම සොරි තමයි.”

එහි ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා මහනුවර ගිනි නිවීම් ඒකකය භාර ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා ඇමතු විට ඔහුගෙන් ලැබුණේ මෙවන් උත්තරයකි.

“ගිනි ගන්නා දේවල් භාවිත කරන වෙළෙඳසලක් තිබේ නම් එයට ඉහළින් කිසිවෙකු පදිංචි වීමත් තහනම්. මේ ගින්න හටගත් පසු පිටතින් යම් අයෙක් කතාකර ගිනි නිවීම් ඒකකයට පණිඩිඩය දීලා තිබෙන්නේ. මේ ගිනි ගැනීම් ගිනි නිවන ඒකකය දකින්නේ නැහැ. කවුරු හරි කියන්න ඕනෙ. නමුත් මේ අවස්ථාවේ සිදුවී ඇත්තේ දැනුම් දීමේ ප්‍රමාදයක්. ගින්නක් හටගත්විට ගිනි නිවීම් ඒකකයටත්, වෙනත් හදිසි ආපදාවකදීත් කොතැනටද කතා කරන්නෙ කියලවත් සමහර ව්‍යාපාරිකයින් සහ ජනතාව දන්නේ නැහැ. නමුත් මේ ප්‍රමාදයන් වළක්වා ගැනීමට පැරණි ගිනි නිවීම් ඒකකය ළඟ යළි ගිනි නිවීම් ඒකකය ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ වගේම නගරයේ ගින්නක් ඇතිවූ විට කඩිනමින් ඒ ගින්න නිවා දැමීමට වේවැල්පිටිය ක්‍රීඩාංගණය අසල තාවකාලික ගිනි නිවීම් ඒකකයක් ස්ථාපිත කරන්නත් අප කටයුතු කරනවා. අද ගිනි නිවීම් ඒකකයට ඉන්න සේවක සංඛ්‍යාව ඉතා අඩුයි. පනහක් සිටිය යුතු ගිනි නිවීම් ඒකකයේ දැන් ඉන්නේ සේවකයින් තිස් දෙකයි. ඉතිරි ගිනි නිවීම් සේවකයින් බඳව ගන්න භාණ්ඩාගාරය අනුමැතිය දෙන්නේ නැහැ. ප්‍රභූ ආරක්ෂාව වගේ කටයුතුවලදිත් ගිනි නිවීම් රථ ලබා දිය යුතු වනවා. මේ ඉන්න සීමිත සේවකයින් පිරිස බෙදා වෙන්කරලා දැම්මා කියලා එයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් මහනුවර පෞරාණික දේපළ සුරැකීමේ සංවිධානයේ ලේකම් අනුර කුමාර ගෝනාවල මහතා කිවේ මෙවැන්නකි.

“මේ නගරයේ බොහෝ ගොඩනැගිලිවල සැලසුම් අනුමත කළ පසු ඒ සැලසුමට අනුව මේ ගොඩනැගිලි ඉදිකර තිබෙනවද කියා පසුවිපරමක් සිදුවන්නේ නැහැ. නීත්‍යනුකූලව වෙළෙඳසල ඉදිකර තිබෙනවද කියා නගර සභාව පරීක්ෂා කරන්නේ නැහැ. යම් වෙළෙඳසලක ගින්නක් හටගත් විට එය පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද නැහැ. කොටින්ම කියනවා නම් හදිසි ගින්නක් හටගත් අවස්ථාවකදී ඒ ගින්න නිවා දැමීමට ගිනි නිවීම් රථවලට යන්න තිබෙන පටු මාවත් සියල්ලේම අවනසර ඉදිකිරීම් ඉදිකරලා. දේශපාලන හිතවත්කම් මත මේ අවසර ඉදිකිරීම් සිදු කරනවා. නගර සභාව කියනවා මේවා නාගරික සංවර්ධන අධිකාරියේ කියලා. නාගරික සංවර්ධන අධිකාරිය කියනවා මේවා නගර සභාව කාලෙ සිදුවුණු දේවල් කියලා. ආයතන එහෙට මෙහෙට බෝලෙ පාස් කරනවා මිස මේවායේ වගකීම ගන්න කවුරුත් නැහැ. නමුත් මේ ආකාරයට වෙළෙඳසල් තුළ පවුල් පිටින් පදිංචි වීමට අවසර දීමත් වැරදියි. මින් ඉදිරියටවත් මෙවන් කටයුතු පිළිබඳව බලධාරින් ඇස් හැර බැලිය යුතුයි.

කෙසේ වුවද කඳුළින් ලියැවෙන්නට ඉඩ තිබූ රාමරාජ්ලගේ කතාව ඔහුගේ නුවණත් එඩිතර බවත් නිසා වෙනස් වී ලියැවුණේය. මේ මොහොතේ ඔහුට වුවමනා වී ඇත්තේ යළි නැගිටින්නට අත දෙන්න කරුණාවේ, පරිත්‍යාගයේ අතකි.

සත්සරණී තෙන්නකෝන්.

ගයා වන්නිආරච්චි