කතුවැකි

මෙරට සුළු ජනයා බ්‍රිතාන්‍ය දේශපාලනයේද ඇමක් වීම

​බ්‍රිතාන්‍යයන් 1948 මෙරටින් ඉවත්ව ගියේ වෙනත් රාජ්‍යයකින් ආක්‍රමණයක් ඇති වුවහොත් අපට ආරක්ෂාව ලබා දීමට ඉදිරිපත් වන බව පවසමිනි. ඒ අපට ඇති ආදරයක් නිසා නොව අප රට තවදුරටත් ඔවුන්ගේ රාජ්‍යයට අයත් භූමියක්ව තිබූ බැවිනි. තවදුරටත් අපගේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රැජන වූ නිසා ඔවුන්ට ඒ සඳහා අයිතියක්ද තිබිණ. කෙසේ වෙතත් 1948 න් පසු අපේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණේ වෙනත් කිසිදු රාජ්‍යයක් අප ආක්‍රමණය කරන්නට නොපැමිණි බැවිනි.

මෑත කාලීනව අපට දක්නට ලැබුණේ ඔවුන්ගෙන් ආරක්ෂාව ලබන්නට නොව ඔවුන්ගෙන් ආරක්ෂා වන්නට සිදුව ඇති තත්ත්වයකි. බ්‍රිතාන්‍යය මෑත කාලීනව අප රට සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුව පෙනී යන්නේ අප රට 1972 දී ස්වෛරී රාජ්‍යයක් වූ බව ඔවුන් තවම නොදැන සිටින බවකි. අප තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් යැයි ඔවුන් සිතන බවකි.

මේ නිසා අප තවමත් බ්‍රිතාන්‍ය කොලනියක් නොවන බව වර්ෂ 2009 දී එවකට බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩ්න් බ්‍රවුන්ට සිහිපත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට සිදු විය. ඒ සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් මොහොතේ මෙහෙයුම් අත්හරින ලෙසට උපදෙස් දෙන්නට පැමිණි අවස්ථාවේදීය. ශ්‍රී ලංකාව යනු තවදුරටත් බ්‍රිතාන්‍ය කොලනියක් නොවන බවත්, අපටද බ්‍රිතාන්‍යයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම අසුනක් ඇති බවත්, ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

එහෙත් බ්‍රිතාන්‍යය ඒ බව පිළිගන්නට සූදානම් නැත. ඔවුන් කළේ තවත් බටහිර රටවල් කිහිපයක් ද සමග එක්ව මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීමය.

අවසාන යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බවත්, යුද අපරාධ සිදු වූ බවත් තහවුරු කරන්නට චිත්‍රපට නිර්මාණය කළේ බ්‍රිතාන්‍යයේ බීබීසී රූපවාහිනියයි. ජගත් මානව හිමිකම් කමිටුව හමුවේ අපට යුද අපරාධ චෝදනා නැගෙන විට ඊට සාක්ෂි ලෙස ඉදිරිපත් වූයේ මේ චිත්‍රපටය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය වසරේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහව ධුරයෙන් පහ කළ විට ඊට එරෙහි වූ විදේශ රටවල් අතර බ්‍රිතාන්‍යය පෙරමුණේම සිටියේය. තමන් පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව කීවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව වූයේ තමන්ට අවනත පාලනයක් දිගටම මේ රටේ පවත්වා ගැනීමය. එහෙත් ඔවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් අප රටේ ජනතාව බටහිර ගැති පාලනය අවසන් කර තිබේ. එහෙත් බ්‍රිතාන්‍යය තවමත් අප රට දෙකඩ කර හෝ ඔවුන්ගේ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමේ උත්සාහය අත්හැර දමා නැත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණ එළඹෙන දෙසැම්බර් 13 දා පැවැත්වීමට නියමිතය. මීට පෙරත් ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ මෙන්ම ආණ්ඩුවේ කටයුතුවලදී අප රට මාතෘකාවක් වී තිබූ නමුත් මෙවර එය ඔවුන්ගේ ප්‍රධාන පක්ෂ දෙකේම මැතිවරණ පොරොන්දු බවට පත්ව තිබෙනු දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ දෙමළ හා මුස්ලිම් සුළු ජනවර්ගයන්හි අයිතීන් දිනා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය සමග එක්ව කටයුතු කරන බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ඔවුන්ගේ මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුළත් කර තිබේ. කම්කරු පක්ෂය ඉතාමත් වෘත්තීයමය හා විනයානුකූල අන්දමට කියන මේ කාරණය එරට පාලක කොන්සර්වේටිව් පක්ෂය ඊට වඩා විවෘතව හා ඍජුව ප්‍රකාශ කර ඇත. ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ සංහිඳියාව, ස්ථාවරත්වය හා යුක්තිය ළඟා කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර උත්සාහයන්ට අපගේ සහාය අඛණ්ඩව ලබා දෙන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව හා මැදපෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද පැවති කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය ලබාදෙනු ලැබේ යනුවෙනි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය මේ ගැන එම පක්ෂයෙන් විමසීමක් කළ විට පවසා ඇත්තේ රාජ්‍ය දෙකක් යන යෙදුම අප රටට අදාළ නොවන බවය. මේ පිළිතුර දැක්කොත් ‘බුවා’ නැත්නම් ‘එබුවා’ පන්නයේ පිළිතුරක් බව පැහැදිලිය. ඒ පිළිතුර අවංක පිළිතුරක් යැයි පිළිගත්තත් යළි ඔවුන් බලයට පැමිණි පසු එම ප්‍රතිපත්තියේම පිහිටා කටයුතු කරනු ඇති බවට ඇති සහතිකය කුමක්ද?

එය කුමක් වුවත් වැදගත්ම ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශවලට ඇතුළත් කරන්නට ඔවුන්ට ඇති ගාය කුමක්ද යන්නය. අප දන්නා තරමින් අප රටවල ප්‍රශ්න නොමැති වූවාට ඔවුන්ට විසඳාගන්නට ඇති තරම් ප්‍රශ්න තිබේ. මේ මස මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබෙන්නේද යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය නිසා ඇති වූ අර්බුදය හේතුවෙනි. මේ අර්බුදය නිසා ආණ්ඩුව තුළ මෙන්ම පක්ෂවල අභ්‍යන්තරයේද ප්‍රශ්න පිට ප්‍රශ්නය. ඊයේ පෙරේදා ද ත්‍රස්තවාදියකු ලන්ඩන් නගර මධ්‍යයේ පිනුම් ගැසුවේය.

මෙවැනි ප්‍රශ්න තිබියදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ දෙක අප රටේ සුළු ජන අයිතීන් දිනා දෙන්නට ඡන්ද පොරොන්දු දෙන්නේ ඇයි? ඒ, ඔවුන් ලොව පුරා සියලු ජාතීන්ගේ සමානාත්මතාව, සහජීවනය හා සාධාරණත්වය වෙනුවෙන් යැයි කෙනකු සිතන්නේ නම් ඒ තරම් මෝඩයකු තවත් සිටිය නොහැක.

ඔවුන්ට අප රටේ සුළු ජාතිකයන් ගැන මේ තරම් පතළ මහා කරුණාවක් පහලව ඇත්තේ එරට සිටින ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ සහ දකුණු ඉන්දීය දෙමළ සංක්‍රමිකයන්ගේ ඡන්ද ඩැහැ ගැනීමටය.

බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්ත්වයද එසේ වෙද්දී අප කතා කරමින් සිටින්නේ බලය ලබා ගැනීම සඳහා වාර්ගිකත්වය හෝ ආගමික විශ්වාස තුරුම්පු ලෙස භාවිත කිරීමේ නොදියුණුකම ගැනය. දැන් අප සොයාගත යුත්තේ මේ අශිෂ්ටසම්පන්න දේශපාලන භාවිතය බ්‍රිතාන්‍යය අපෙන් ඉගෙන ගත්තාද, අප ඔවුන්ගෙන් ඉගෙන ගත්තාද යන්නය.