නවතම ප්‍රවෘත්ති

මෙරට පළමු කොවිඩ් රෝගියා හමු වී අදට වසරයි

දින තුනක් එකම ඇඳුම ඇඳගෙන සිටි ඇය ආපු දවසේ සිටම අපි එක්ක කතා කළේ නැහැ. ඈ අසලට ගොස් කතා කරන්නත් කවුරුත් බය වුණා. ඇය ඇඳගෙන සිටියේ කළුපැහැති ගවුමක්. අපි මුළු වාට්ටුවම හිස් කරලා තිබ්බා. ඊට පස්සේ ‘මිස් ඇවිත් මගේ බය නැති කළා. මම හිතුවේ කොවිඩ් 19 හැදුණම මම මැරෙයි කියලා. මාව මෙහෙම කාමරයක දාලා තියෙන්නේ මැරෙන්න කියලා හිතුවා.’ යැයි අසලට ගිය ඇය මා සමග පැවැසුවා.

මේ පළමුවරට මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදනය වූ චීන කත වූ ‘ලූඕ යෑන්’ ‘Luo Yan’ ගැන ඇයට ප්‍රතිකාර කළ පළමු හෙද නිලධාරිනිය වූ කුමාරි අමරසේන අරුණ සමග මතකය අවදි කළ ආකාරයයි.

චීනයෙන් මෙරටට පැමිණ සිටි ‘ලූඕ යෑන්’ ‘Luo Yan’ නමැති කාන්තාවට පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදා කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ගත්තේය.

ලංකා සංචාරය අතරතුරදී ඇය රෝගී වී ජනවාරි මස 25 වැනිදා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත්​ කෙරිණි.එසේ ඇතුළු වූ පසුව ඇයට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව තහවුරු විය.

පසුව ඇය ​ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ඒකලනය ඒකකය වෙත ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

යෑංට කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වීම නිසා ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට එය වෙනස් ආකාරයක අත්දැකීමක් විය. එයට හේතුව මෙරටදී කොවිඩ් 19 වැලඳුණු රෝගියකුට එතෙක් ඔවුන් ප්‍රතිකාර කර නොතිබූ නිසාය.

ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ හෙද කාර්ය මණ්ඩලයට හා වෛද්‍යවරුන්ට ඇය සමග කතාකිරීමට භාෂාවද හරස් විය. ඒ ඇය චීන බස පමණක් දැන සිටීම නිසාය.

පසුව ඇය සමග අදහස් හුවමාරු කර ගැනීමට හැකි වූයේ ජංගම දුරකථනයේ වූ භාෂා පරිවර්තන ඇප් එකකිනි.

මුලින්ම ඇයට ප්‍රතිකාර ලබාදීමට ගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ඒකලන අංශයේ හෙද නිලධාරිනියක වන කුමාරි අමරසේන සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ විසිනි. එසේම ජාතික ​බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රධාන හෙද පාලිකාව වන ගීතානි උඩුගමකෝරාළගේ මග පෙන්වීම අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඒකලන ඒකකයේ හෙද නිලධාරී කාර්ය මණ්ඩලය ‘යෑන්’ට අවශ්‍ය සියලු වෙද හෙදකම් ක්‍රමානුකූලව කළහ.

කෙසේ වුවද ‘යෑන්’ට පළමුවෙන්ම කතා කළ හෙද නිලධාරිනිය වන කුමාරි අමරසේනට ඇය සමග අදහස් හුවමාරු කර ගැනීම තරමක් අපහසු විය.

ඇය ප්‍රකාශ කරන්නේ ‘යෑන්’ රෝහල්ගතවූ පළමු දින තුනක පමණ කාලයක් කිසිදු වචනයක් හෝ කතා නොකළ බවය.

‘යෑන්ට ප්‍රතිකාර කළ ආකාරය පිළිබඳ ඇය මෙසේ ප්‍රකාශ කළාය.

‘‘ඇය රෝහලට පැමිණි දවසේ ඇය ළඟට ඇවිත් කතා කරන්න හැමෝම බය වුණා. එක දිගට ඇය ඇඳගෙන හිටිය කළු ගවුමක් නිසා මට හිතුණා ඇය ළඟ අඳින්න ඇඳුමක් නැතුව ඇති කියලා. ඒත් ඒක ගැන අහන්න භාෂාව හරස් වුණා. මම ඒ වෙලාවේ පොලිතින් ඒප්‍රන් එකක් ඇඳගෙන, මාස්ක් දාගෙන, අත්වැසුම් දාගෙන ඇය සිටින ස්ථානයේ වීදුරුවට තට්ටු කරලා අතින් පෙන්නුවා (සංඥා මාර්ගයෙන්) මට ඇයට කතා කරන්න ඕන කියලා. ඇය ඒ වෙලාවේ දුරකථන ඇමතුමක හිටියේ. ඇයගේ යෙහෙළියක් සමග. ඒ යෙහෙළියට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. ඊට පස්සේ ඇය යෙහෙළියට ඇසෙන සේ ස්පීකර් ෆෝන් දාලා මට ඇය සමග කතා කරන්න අවස්ථාව සැලසුවා.

ඒ වෙලාවෙ මම යෙහෙළියට කිව්වා. ‘යෑන්’ට තියෙන අපහසුකම්, ඇඟට දැනෙන අසනීප තත්ත්වයන් ගැන අහලා කියන්න කියලා.

පසුව යෙහෙළිය මෙම විස්තර ‘යෑන්’ට පැවසූ පසු ‘යෑන්’ මට ඇගේ ජංගම දුරකථනයේ තිබූ භාෂා පරිවර්තන ඇප් එක පෙන්නුවා.

ඒ අනුව ඇය ඒ හරහා මාත් සමග අදහස් හුවමාරු කරගත්තා. ඇය මුලින්ම මගෙන් ඉල්ලුවේ තේ (Black Tea) එකක්. ඒ වගේම උණුවතුර සහ අපි ඇඳගෙන සිටිනවා වගේ පිජාමා ඇඳුමක්. නමුත් අපි ළඟ තිබුණේ ලොකු ඇඳුම්. ඒවා කාර්ය මණ්ඩලයට පමණක් තිබුණු ඒවා.

ඊට පස්සේ කොහොම හරි ඇයට අවශ්‍ය දේ අපි ලබාදුන්නා. ඉන් අනතුරුව අපේ කාර්ය මණ්ඩලය සහ මා සමග ඉතා සුහදව කටයුතු කළා.

‘‘මිස් ඇවිත් මගේ බය නැති කළා. මම හිතුවේ කොවිඩ් -19 හැදුණාම මම මැරෙයි කියලා. ඒ වගේම මාව මෙහෙම කාමරයක දාලා තියෙන්නෙ මැරෙන්න කියලා හිතුණා’’ ඒ වෙලාවේ මම කිව්වා අපි එහෙම කරන්නේ නැහැ. අපි ඕනම ලෙඩෙකු සනීප කරලා තමයි යවන්නේ කියලා. ඇය පෙබරවාරි 14 වැලන්ටයින් දවසේ මට ආදරය ප්‍රකාශ කරලා ජම්බු ගෙඩිවලින් හදවතක රුවක් නිර්මාණය කරලා තිබුණා. ඇය පෙබරවාරි මාසේ 19 වැනිදා රෝහලෙන් පිටවෙන්න යන දවසෙත් මාව බදාගෙන ඇඬුවා. හැමෝටම ආදරෙන් හිටියා. ඇය ඒ වෙලාවේ කිව්වා අපි හැමෝටම තෑගි අරගෙන අපිව බලන්න ආයෙත් එනවා කියලා.

‘එසේම ‘යෑන්’ට ප්‍රතිකාර කළ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ ‘අරුණ’ට මෙසේ කීය.

‘‘ඇය 25 වැනිදා තමයි රෝහල් ගත කළේ. එයා ලංකාවට එන්නත් කලින්, තමන් හා පාටියකට සහභාගි වූ ගොඩක් දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව ඇය ප්‍රකාශ කළා. ඒ අනුව තමයි අපි සැක කළේ මේ කාන්තාවටත් කොවිඩ් ආසාදනය වෙලා ඇති කියලා.

දකුණු ආසියාවෙන් පළමුව කොවිඩ් රෝගියෙක් වාර්තා වුණේ නේපාලයෙන්. ඊට දවසකට පසුව තමයි මෙම කාන්තාව රෝහල්ගත වුණේ.

ඇය රෝහල්ගත වන විට අපිට ඇයව පරීක්ෂා කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. පී.සී.ආර්. කරන්න පුළුවන් විදිහට මම ඇතුළට ගිහින් ඇගේ ජෛව සාම්පල ලබාගත්තා. පසුව එය පරීක්ෂා කිරීමට වෛද්‍ය පර්‌යේෂණ ආයතනයට යැව්වා.

ආසාදිත කොවිඩ් වාර්තාව ලැබුණු පසුවත් ලේ වාර්තා නැතුව තමයි අපි ප්‍රතිකාර කළේ. ඇය ඇවිත් දවස් 5කින් පමණ ඇගේ රෝග ලක්ෂණ අඩු වුණා. මම තමයි ඇයට මුල සිට ප්‍රතිකාර කළේ. මොකද වෛද්‍යවරු විශාල පිරිසක් ඇයට ප්‍රතිකාර කරන්න ගියේ නැහැ රෝගයේ තිබුණු බරපතළකම නිසා. මුලින් කිව්ව වගේ ඇයට මුලින්ම දුන්නේ ඉන්ෆ්ලුවෙන්සාවලට ලබාදෙන ප්‍රති වයිරසයක් සහ නියුමෝනියාවට ලබාදෙන බෙහෙත් වර්ග කිහිපයක්. අවසන් සති දෙකේ ඇයට අමාරුවක් තිබුණේ නැහැ. ඇයට පී.සී.ආර්. පරීක්ෂණ හයක් පමණ කළා. අවසන් පී.සී.ආර්. පරීක්ෂණවලින් නෙගටිව් වූ පසු ඇයට රෝහලෙන් පිටවීමට අවස්ථාව ලබාදුන්නා. ඇය අපේ කාර්ය මණ්ඩලයට ස්තුති කළා.’’

කෙසේ වුවද මෙරට කොවිඩ් -19 ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලු දෑ ගෙන්වීමට කටයුතු කළේද ‘යෑන්’ට කොවිඩ් -19 ආසාදනය වීමෙන් පසුව බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

‘ලූඕ යෑන්’ පසුගිය වර්ෂයේ පෙබරවාරි මස 19 වැනි දින මෙරටින් නික්ම ගියා. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිද ඇයට සුබ පැතීමට එක් වූවා. මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් රෝගියාට සුබ පැතුවද ඇයටද කොවිඩ් -19 ආසාදනයවීම දෛවයේ සරදමක් වැනිය.

වරුණි පෙරමුණ