විශේෂාංග

මෙදා අනුරපුරේ ගියවරට වඩා පැරණිම දන්සල් දෙකයි අඩු! දන්සල් 120න් හැට පහක් බත් දන්සල්

ලොව පැරණිතම සැලැසුම් සහගත නගරය ලෙස සැලකෙන්නෙ අනුරාධපුරයයි. එකල්හි සිටම පොසොන් සමය අනුරාධපුර සැණකෙළි සමය ලෙස රජු විසින්ම සලකා ජනතාව සමග විවිධ විනෝද ඉසව් සිදුකර තිබේ. පණ්ඩුකාභය රජ පරපුරේම දේවානම්පියතිස්ස රජ දවස නිර්මල බුදු දහමේ ගෞරවනීය සම්ප්‍රාප්තිය සිදුවීමෙන් ලංකා භූමිය සම්බුද්ධ ශාසනයට කීප වරක්ම පූජා කෙරුණු පිංබිමකි. මිහිඳු මහා රහතන් වහන්සේ බුදු දහම රැගෙන ලක්දිවට පැමිණෙන්නෙ අනුරාධපුර මිහින්තලයටය. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රීමහා බෝධිය වඩමවා රෝපණය කරන්නේද අනුරාධපුරයේය.

දෙවන පෑතිස් රජු ථූපාරාම දාගැබ නිර්මාණය කරන්නෙ අනුරාධපුරේය. පසුව දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකරන්නේද අනුරාධපුරයේය. එදා රජ දවසේ පොසොන් සමයෙ රජමාලිගා පරිශ්‍රයට සමීපව විනෝද වන්නට රට පුරා සෙනග පැමිණියා සේම මිහිඳු හිමියන්ගේ සම්ප්‍රාප්තිය සමග එදා මෙදා ලක්ෂ ගණනක් ජනතාවෝ පොසොන් පොහොය මුල් කරගනිමින් අනුරාධපුරයට පැමිණෙන්නාහ.

පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සාමාන්‍ය බැතිමතුන් සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 15කට ආසන්නය.
පොසොන් පෝදා උඩ මළුවේ, රුවන්වැලි සෑ මළුවේ, මිහින්තලයේ ඇතුළු සිද්ධස්ථාන සියල්ලේ සිල් සමාදන් වන ලක්ෂයකට අධික උවසු උවැසියනට උදය දිවා දාන සකසා පූජාකිරීම් කරන්නේද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බිම් හි මිනිස්සුය. පිරිසකට පහසුකම් සැලසීම ඒ පිරිසට පමණක් කළ හැක්කක් නොවේ. එබැවින්දෝ අතීතයේ සිටම පොසොන් දන්සල් රැසක්ම රටේ නන්දෙසින් එන දානපතියන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ජලය, කිරිබත්, කෝපි, තේ, වෙනත් ආහාර, බත් ආදී බොහෝ දෙනාගේ සා පිපාසා නිවන ඒවාය.

ඒවායින් ඇතැම් අඛණ්ඩව කෙරෙන දන්සල් අවුරුදු හැට හැත්තෑවක් පැරණිය. බොහෝමයක් වසර පනහට වැඩි හෝ ආසන්නය. අනුරාධපුයේ ජාතික පොසොන් උළෙල පැවැත්වීම නිමිත්තෙන් රටේ වෙනත් දිස්ත්‍රික්කවල දන්සල් කමිටු දන්සල් සමිතිද අනුරාධපුරයේ ක්‍රියාත්මකය. අනුරාධපුර නගර සීමාවේ පමණක් දන්සල් 120ක් ක්‍රියාත්මය. ඒ හැත්තෑව සඳහා නගර සභා අනුමැතිය ලබාදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය හිමිවේ. දන්සල් 120න් 65 ම බත් දන්සල් ය. වසර ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩව ඔවුන් අනුරාධපුරයේ දන්සල් පවත්වති.

1971 සිට අඛණ්ඩව අනුරාධපුර පොසොන් බත් දන්සලක් පවත්වන හිරියාල බත් දන්සල මෙවරත් අනුරාධපුර රණවිරු සෑ ඉදිරිපිට සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. එහි ආරම්භකයා කුරුණෑගල මකුල්ලෑවේ මාර්ටින් ජයවර්ධන මුදලාලිය. මාර්ටින් ජයවර්ධන දනට පිනට මහත් ලැදියාවක් දැක්වූ පොල් වෙළෙඳාම හා පොල් කොහු ව්‍යාපාරයෙන් ධාර්මිකව ඉපැයූ ධනය ඇත්තෙකි. ඔහුගේ ඇවෑමෙන් දන්සල නොනවත්වා ඔහුගේ දරුවන් විසින් අද කරගෙන යනු ලබයි. මාර්ටින් ජයවර්ධන මුදලාලිගේ දරුවන් 4 දෙනෙකි. වැඩිමලා දුවක් වන අතර දෙවැන්නා හෙන්රි ජයවර්ධනගේ උපතත් සමගම මාටින් මුදලාලි අනුරාධපුර පොසොන් බත් දන්සල 1971 දී ආරම්භ කර ඇත. හිරියාල පොසොන් දන්සලේ වයසත් හෙන්රිගේ වයසත් සමානය.

“අප්පච්චි මේක බොහෝම භක්තියෙන් කළේ. ගමේ අප්පච්චිගේ හිතවතුන් නෑයන් 50 දෙනෙක් එකතු කරගෙන හිරියාල පොසොන් දන්සල් කමිටුව හදාගෙන. අප්පච්චි අතදරු මාව අරගෙන ඇවිත් මේ දන්සල පටන් ගත්තේ. අප්පච්චි මිය පරලොව ගියායින් පස්සේ අපි මේක අඛණ්ඩව කරගෙන යනවා. සාමාන්‍යයෙන් හාල්මිටි 50ක විතර බත් දීලා. විසිපන්දහසක් තිස්දහසක් දෙනාගේ කුස පුරවලා අප වාර්ෂිකව අප්‍රමාණ සතුටක් ලබනව.

රුවන්වැලි සෑ පෙත් මගේ අඛණ්ඩව පොසොන් පොහොය වෙනුවෙන් පිදෙන දන්සල් කීපයක්ම තිබේ. ඒ අතර 1956 සිට කරගෙන ආ දන්සලක් වන්නෙ හෝමාගම දන්සලය. හෝමාගම පාරම්පරික වෛද්‍ය ඩී.ඩබ්.මාරසිංහ මහතා සහ පී.ඩී. රොමානිස් මුදලාලිත් පී.ඒ. පියසේකර යන තිදෙනා මූලිකව හාල් මිටි 8කින් බත් උයා ව්‍යාංජන සකසා මේ දන්සල 1956 ආරම්භ කර ඇත. මාරසිංහ වෙද මහතාගේ ඇවෑමෙන් ඔහුගෙ පුත් වෛද්‍ය එස්.ජේ. මාරසිංහ මහතාත් පියසේකර මහතාගෙ ඥාති පුත් දමිත සංජීව යන දෙදෙනා මූලිකව මෙම දන්සල
කරගෙන යති.

“මම උපදින්න අවුරුදු දෙකකට කලින් තාත්තලා මේ දන්සල දෙන්න පටන් අරන් තිබ්බේ. මට උපතින්ම මේ දන්සල කරන වැඩේ උරුම වුණා. ඒකාලෙට වඩා අපි දන්සල දියුණු කරලා තියෙන්නෙ. හාල්.මිටි 50ක් 60ක බත් අපි 30000ක් වගේ පිරිසකට දෙනවා.

ජාඇල කණුවන කුරුඳුවත්ත ප්‍රදේශයේ පිරිස් විසින් සංවිධානය කරන අනුරාධපුර පොසොන් බත් දන්සල මෙවර පැවත්වෙන්නේ 56 වන වරටය. එය පොසොන් පෝදා රුවන්වැලිසෑ දොළොස්මහේ දන්සල පිටුපස පැවැත්වීමට නියමිතය. 1963 එම දන්සල අරඹා තිබේ. එය නම්කර ඇත්තේ සිරි සංඝබෝධි රාජ දන්සල් නමිනි. වර්තමානයේ එම දන්සලේ නියමුවා එම්.සී. වික්‍රම කළුආරච්චි මහතාය.

“මේ දන්සල් කාර්යය අරඹා තිබුණේ අපේ සීයා සිරිපාදේ හැරමිටිපානේ බත් දන්සලක් දෙමින්. පස්සෙන් පහු සීයා සහ අපේ තාත්තලා එකතුවෙලා අනුරාධපුරයට මේ දන්සල අරං ඇවිත් තියෙන්නෙ 1963දී. එතැන් පටන් නොනවත්වා පොසොන් පෝයට මේ දන්සල දෙනවා. එහෙම දන්සලක් දෙන්න අනුරාධපුරයට ඇවිත් ඉද්දි තමයි අපේ සීයා මියගියෙත්. ඉතින් අපි නොනවත්වා මේ දන්සල දෙනවා.

පල්මඩ මීරිගම පිරිස් විසින් සංවිධානය කරන ජයන්ති මහා බත් දන්සලද 63 වතාවට මෙවරත් පොසොන් පෝදාට කලින් දිනයේද පොසොන් පෝදාද අනුරාධපුර පුෂ්පදාන සමිතිශාලාවේ පැවැත්වේ. මෙම දන්සල සඳහා පල්මඩ, මීරිගම, කොටියාකුඹුර ආදී ප්‍රදේශයන්ගේ ජනතාව දායකත්වය සපයයි. එම දන්සල් කමිටුවේ වසර 25ක් සභාපතිත්වය දරා කටයුතු මෙහෙයවන ලද සෝමපාල විතානගෙ මහතා මිය පරලොව ගොස් මේ පොසොන් පෝදාට දින 9කි. සෝමපාල මහතා දන්සලහි නායකත්වය ගෙන තිබෙන්නේ ඔහුගේ මවගේ ඇවෑමෙනි. දැන් එම දන්සල සෝමපාල මහතාගේ පුත් නලින් රෝහණ කුමාරගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

කටුගස්තොට ගුරුකැටේ වත්ත පුබුදු එක්සත් පොසොන් බත් දන්සල මීට වසර 45කට ප්‍රථම ගුණපාල මහතාගේ බිරිඳගේ මව ඇම්.වී.සෝමාවති මහත්මිය විසින් ඇරඹූවකි. මෙවර අනුරාධපුර පොසොන් කලාපයේ දන්සල් කලාපය තුළ පොසොන් පෝය දාත් ඉන් පසු දිනත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. කේ.ඩී.ජී ගුණපාල පුබුදු එක්සත් පොසොන් දන්සල් කමිටුවේ වර්තමාන සභාපතිවරයාය. එම දන්සල කටුගස්තොට, දුණුවිල, බොල්ලේගොඩ, අඹතැන්න ආදී ප්‍රදේශයන්හි ජනතාව මේ දන්සල සඳහා මූලිකව කටයුතු කරන්නෝය.

2013 වසරේ පොසොන් දන්සල් අතර තරගයක් පැවැති අතර එහිදී හොඳම දන්සලට සම්මාන ලැබ දඹදිව වන්දනා චාරිකා දිනාගත් අනුබුදු පොසොන් දන්සල සංග්‍රහ සමිතිය මෙවරද තම දන්සල අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යය අසල භූමියේ පැවැත්වීමට නියමිතය. මෙම දන්සල ක්‍රියාත්මක කරවන්නේ ගිරිඋල්ල ප්‍රදේශවාසීන් එක්වීමෙනි. මෙවරද දැවැන්තම දන්සල ලෙස හඳුන්වාදිය හැක්කේ එම දන්සලය. එය වසර 28ක් පුරා ක්‍රියාත්මක අතර හාල් මිටි 100කට ආසන්නව බත් සකසා පිළිවෙළට හා අපූර්ව තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් කටයුතු පහසු කරගනිමින් ක්‍රියාත්මකය. හාල් කිලෝ 80ක් පමණ ඉදුන සාස්පාන් කුඩා රේල් පීල්ලක් දිගේ ආහාර ගබඩාව දක්වා ප්‍රවාහනය කෙ‌රේ.

එකවර 350කට ආහාර ගත හැකි එහි තදබදයක් නොවනසේ එක් අයෙක් ඇතුළු වනවිට අයෙක් පිටවන සේ සංග්‍රහ ‌කෙරේ. කෑම බෙදෙන පිඟානක් දෙතැනකින් සේදී අවසන උණුවතුරෙන්ද සේදී ට්‍රොලියකින් ආහාර ලබාගන්නන් වෙත රැගෙන ඒ වර්තමානයේ ගිරිඋල්ල අනුබුදු පොසොන් දන්සල් සංග්‍රහ කමිටුවේ ලේකම් ලෙස කේ.පී. සෝමපාලත්, ජේ.එම්.ඩබ්.බී. ජයකොඩි මහතා සභාපති ලෙසත් සංවිධායක ලෙස සේනක ජයකොඩිත් භාණ්ඩාගාරික ලෙස සුරන්දි ජයකොඩිත් නියමු කාර්යයන් කරනු ලැබේ.

මේ පැවැත්වෙන්නේ බෞද්ධාගමික සැමරුම් දිනයක් වුවද මෙවර අනුරාධපුරයේ සාන්ත ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ සංවිධානයෙන්ද සව් කැඳ දන්සලක් දෙමින් කිතුනු ජනයාද මේ ආගමික සංස්කෘතික උළෙලට එක්ව සිටී.

අනුරාධපුරයේ පැවැත්වෙන දන්සල් 120 අතරේ අවුරුදු හතළිහක, පනහක, හැටට ඊටත් වඩා කාලයක් තිස්සේ කරගෙන එන දන්සල් ද තිබෙන්නට පුළුවන. එසේම ගියවර පැවැත්වූ පැරණිම දන්සල් දෙකක් මෙදා පවත්වන්නේ නැත. කෙසේ නමුදු ඒ වෙනුවට අලුත් දන්සල්ද ලියාපදිංචි වී තිබේ.

පොසොන් වන්දනාවේ එන ඔබට ඔබ ගමන ආරම්භ කළ තැන් පටන් අවම තරමේ කිලෝ මීටරයකට එකක් වන්නට හෝ කිසියම් දන්සලක සත්කාරය විඳින්නට ලැබෙනු ඒකාන්තය.

ජයන්ත සුබසිංහ