කතුවැකි

මූණු ආවරණයේ සැබෑ මුහුණ

වෙනදාට පොදු මගී ප්‍රවාහන සේවාවල අලෙවි වූයේ වතුර බෝතල්, පලතුරු වැනි දේය. ඒ වෙනුවට දැන් අලෙවි වන්නේ මුහුණු ආවරණ හා විෂබීජ නාශක දියරය. මෙම භාණ්ඩ මේ දිනවල අපගේ දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ඇතළත්ව තිබෙන නිසාය. පොදු මගී ප්‍රවාහන සේවා තුළ පමණක් නොව මග දෙපස පදික වේදිකාවල ද විකිණෙන භාණ්ඩයක් බවට මුහුණු ආවරණ පත්ව තිබේ. සාමාන්‍යයෙන් අපේ රටේ ඕනෑම භාණ්ඩයකට ඇති ඉල්ලුම වැඩිවන විට සිදුවන්නේ එහි ගුණාත්මකභාවය, ප්‍රමිතිය පල්ලම් බැසීමය. මුහුණු ආවරණ හෙවත් Face Mask එකටද දැන් සිදුව තිබෙන්නේ එයය.

මුහුණු ආවරණ නොමැතිව පාරට බැස්සොත් අල්ලා නඩු දමන්නට පොලිසිය සිටියත් ප්‍රමිතියෙන් බාල මුහුණු ආවරණ විකිණීම නවත්වන්නට කිසිවකු සිටින බවක් පෙනෙන්නට නැත. මුහුණු ආවරණයක නියම ප්‍රමිතිය කුමක්දැයි පොලිසියවත් හරිහැටි නොදන්නා නිසා විය හැකිය. මේ නිසා ජනතාවද කරන්නේ මොකක් හෝ අඩු ගණනකට ගන්නට ඇති එකකින් මුහුණ කට වසා ගැනීමය. මෙම තත්ත්වය මත සමාජයේ කොරෝනා පැතිරීම මේ තරමින් හෝ පාලනය වී තිබීම නම් පුදුමයට හේතුවකි.

මේ ආකාරයට ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ ගහක් ගලක් ගානේ විකිණෙන්නට තවත් හේතුවක් වී ඇත්තේ ප්‍රමිතියෙන් ඉහළ යැයි කියන ඒවායේ මිල සාමාන්‍ය මිනිසාට දරාගන්නට නොහැකි වීම නිසාය. සායනික මුහුණු ආවරණ (Surgical mask) එකක මිල රුපියල් 15 ටත්, KN 95 මුහුණු ආවරණයක මිල රුපියල් 95 කටත් මිල නියම කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කොට ඇතත් තවමත් ඒ සඳහා ගැසට් පත්‍රයක් නිකුත් වී නැත. ඒ නිසා හිතූ ගාණකට මුහුණු ආවරණ විකිණීමට තහනමක්ද නැත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මුහුණු ආවරණ ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ බහුලවීමට තවත් ප්‍රධාන හේතුවකි. ආනයනකරුවන් අසූ දෙනකුට වැඩි ප්‍රමාණයක් මේ සඳහා අවසර ඉල්ලා ඇතත් ඖෂධ නියාමන අධිකාරිය සති කිහිපයක් තිස්සේ ඒ පිළිබඳ තීරණයක් දීම ප්‍රමාද කරමින් සිටියේය. මේ නිසා මේ වන විටත් මෙරටට ගෙන්වන ලද මුහුණු ආවරණ අති විශාල තොගයක් වරායේ සිරවී තිබේ.

මුහුණු ආවරණ ආනයනය සඳහා වරින්වර විවිධ කොන්දේසි ඉදිරිපත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැන් ප්‍රකාශ කොට ඇත්තේ මින් ඉදිරියට ආනයනයට අවසර දෙන්නේ වෛද්‍ය මුහුණු ආවරණ (Medical Mask) සඳහා පමණක් බවය. එම කොන්දේසි යටතේ ආනයනකරුවන් සුළු පිරිසකට පමණක් අවසර ලබා දී තිබේ.

වෛද්‍ය මුහුණු ආවරණ ප්‍රමිතියෙන් ඉතා ඉහළ වන අතර ඒ මගින් කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වැළැක්වීමේ ප්‍රතිශතය සියයට අනූනවයයි දශම නවයක් (99.9%) පමණ වේ යැයි කියැවේ. ප්‍රශ්නය ඇත්තේ මෙම මුහුණු ආවරණයක තොග මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් හත්සියයක් පමණ ඉතා ඉහළ අගයක් ගැනීමය. මේ තරම් ඉහළ මිලකට මිලදී ගන්නා වෛද්‍ය මුහුණු ආවරණයක් මෙරට වෙළෙඳ පොළේදී රුපියල් සියයකට අඩුවෙන් අලෙවි කරන්නේ කෙසේ ද?

මේ තත්ත්වය මත වෛද්‍ය මුහුණු ආවරණ ආනයනය කරන්නට අනුමැතිය ලත් සීමිත ව්‍යාපාරිකයන් පිරිස ඒ මුවාවෙන් සායනික මුහුණු ආවරණ හා KN 95 මුහුණු ආවරණ ගෙන්වීමට කටයුතු කරනු ඇතැයි බරපතළ සැකයක් මතු වී තිබේ.

දිනකට මෙරට රෝහල්වල පමණක් මුහුණු ආවරණ අවශ්‍යතාව ලක්ෂ දෙකහමාරකට ආසන්නය. පරිසර අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව දිනකට පරිසරයට එකතුවන මුහුණු ආවරණ ප්‍රමාණය ලක්ෂ හැටක් පමණ වේ. මේ අනුව මුහුණු ආවරණ සඳහා ඇති වෙළෙඳපොළ කොතරම් පුළුල් එකක් දැයි තේරුම්ගත හැකිය. ඒ අනුව මෙය හොඳ ව්‍යාපාරයකි. ව්‍යාපාරයක් කිරීමේ අයිතිය කාටත් ඇති අතර ව්‍යාපාර කිරීමේ වරදක් ද නැත. එහෙත් කිසිවකු ව්‍යාපාර මුවාවෙන් ජාවාරම් කරන්නේ නම් ඒ සඳහා ‘බලුවැඩ’ හැරෙන්නට වෙනත් සුදුසු වචනයක් අපේ කල්පනාවට එන්නේ නැත. මේ ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරිය වහාම පැහැදිලි කිරීමක් කළ යුතුය. නැතහොත් ජාවාරම්කරුවන්ගේ මේ බලු වැඩේට ඔවුන්ගේ ඇතැමෙක්ද සම්බන්ධයක් ඇති බවට නැගෙන චෝදනා සත්‍ය බව පිළිගැනීමට අපට සිදු වේ.

මේ ප්‍රශ්නය විසඳෙනතුරු ප්‍රමිතියෙන් උසස් මුහුණු ආවරණය කුමක්ද? මුහුණු ආවරණයක් පැලඳීමෙන් සිදුවන්නේ කුමක්ද? ඒවා පැලඳිය යුත්තේ කෙසේද යන්න ගැන කතා කිරීමෙන් පලක් නැත. එසේ වුවත් මේ ගැන තවදුරටත් කාටත් තේරෙන ආකාරයට පැහැදිලි කිරීම සෞඛ්‍ය බලධාරින්ගේ වගකීමකි. කොයි මොහොතේ බැලුවත් පීසීආර්, පීසීආර් හෝ රට වහන්න, රට වහන්න යැයි කියමින් තප්පුලන වෛද්‍ය සංගම්වල ඇත්තන්ටද එය කළ හැකිය. අඩුම වශයෙන් එවැනි දැනුවත් කිරීමක් සිදුවුවහොත් ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ පැලඳීමත්, එසේ නොකර සිටීමත් අතර වෙනසක් නැතැයි තේරුම් ගැනීමට ජනතාවට හැකිවනු ඇති නිසාය.

තමන්ම ගෙදරදී මසා ගන්නා මුහුණු ආවරණ භාවිත කරන අය සිටින අතරේ දේශීයව එවැනි රෙදි මුහුණු ආවරණ නිෂ්පාදනය කෙරෙන ව්‍යාපාරද බිහිව තිබේ. එසේ වුවත් අවම වශයෙන් මුහුණු ආවරණයක් ජලය උරා නොගන්නා මතුපිටකින් සමන්විත විය යුතු බව හෝ රටේ ජනතාවට පැහැදිලි කර දීම කාගේ කාගේ හෝ යුතුකමකි. ජාතික වගකීමකි.

මුහුණු ආවරණ සම්බන්ධයෙන් කතා කරන විට ඒ නිසා සිදුවන පරිසර හානිය ගැනද වහ වහා අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ යුතුය. සාමාන්‍යයෙන් වැඩි දෙනා භාවිත කරන සායනික මුව ආවරණ නිෂ්පාදනය කෙරෙන්නේ පොලිප්‍රොපලින් වැනි නොදිරන අමුද්‍රව්‍ය භාවිත කරමිනි. දිනකට මෙවැනි මුව ආවරණ ලක්ෂ හැටක් පමණ පරිසරයට එකතු වීම කළමනාකරණය කරන්නට අප තවමත් විධිමත් වැඩපිළිවෙළක් යොදා නැත. අප කල්පනා කරන ආකාරයට කොරෝනා තත්ත්වය කළමනාකරණයට හෝ පාලනයට මෙවැනි අතුරු කාරණාද ඇතුළත් විය යුතුය. නැතහොත් කොරෝනාවෙන් අප නිදහස්වන විට තවත් අර්බුද ගණනාවක් හිමිකරගෙන සිටිය හැකි බැවිනි.