කතුවැකි

මුහුදු මහා විහාරය උගන්වන පාඩම්

ඓතිහාසික මුහුදු මහ විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතය අක්කර 30 ක් ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි විෂ්‍ය භාර අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ මුහුදු මහා විහාරයට අයත් භූමියේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නිසා මතුව පවතින ආරවුලට විසඳුමක් වශයෙනි. කලක් තිස්සේ ඇදි ඇදී යන මේ ප්‍රශ්නය යළි පුවත් මවන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ මුහුදු මහා විහාර භූමියේ තිබූ අනවසර මායිම් කණු ඉවත් කිරීමත් සමගය.

වසර දෙදහසකට වඩා ඉතිහාසයක් ඇති මුහුදු මහා විහාර භූමිය අතීතයේ අක්කර දෙසීයක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත වූ බව කියැවේ. ඒ ඉඩම් ප්‍රමාණය කෙසේ වෙතත් 1950 දශකය ආරම්භවන විට එය අක්කර 72 කින් යුත් භූමියක්ව තිබූ බව සහතිකය. අප එසේ කියන්නේ මුහුදු මහා විහාරය අක්කර 72 ක් ලෙස දක්වමින් 1951 වසරේ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බැවිනි.

එස්. එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා අක්කර 30 ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට යන්නේ 1951 දී අවම වශයෙන් අක්කර 72 ක් තිබූ භූමියකි. අක්කර 72 ක් තිබූ භූමියක් අක්කර 30 ක් දක්වා අඩු කරමින් ගැසට් නිවේදන නිකුත් කරන්නේ ඇයි?

මුහුදු මහා විහාර රක්ෂිතයට අත්ව ඇති අභාග්‍ය සම්පන්න ඉරණම, එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර තුළ සැඟව තිබේ. විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසන පරිදි 1996 දී ජයභූමි ඔප්පු මගින් ද මෙම භූමියේ ඉඩම් බෙදා දී තිබේ. එසේ නම් මුහුදු මහා විහාර රක්ෂිතය විනාශ වන්නේ අනවසර පදිංචිකරුවන් නිසාම නොවන බව ඉන් පැහැදිලි වේ.

මුහුදු මහා විහාර රක්ෂිතය විනාශ වීමට දේශපාලකයන්ද, නිලධාරින්ද වගකිව යුතු නමුත් ඉස්මතුව පෙනෙන්නේ එහි සිදුකෙරෙන අනවසර ඉදිකිරීම් ගැන පමණය. ඊට හේතු වී තිබෙන්නේ මේ අනවසර පදිංචිකරුවන් සිංහල බෞද්ධයන් නොවීම නිසා විය හැකිය. මේ ආකාරයට සිංහල බෞද්ධයන් නොවන පිරිස් බෞද්ධ සිද්ධස්ථාන භූමියක බලහත්කාරයෙන් පදිංචි වීම අහම්බයක් නොවන බව බොහෝ දෙනාගේ අදහසය. එවැනි විරෝධයක් රට තුළ මතු වන්නේ කුරගල පුදබිම, ගුරුකන්ද රජමහා විහාරය වැනි බෞද්ධ සිද්ධස්ථානවලද මේ ආකාරයටම අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් විසින් අනවසර ඉදිකිරීම් කර තිබෙන බැවිනි.

කිසිවකු විසින් හිතාමතාම සිංහල බෞද්ධ වේවා, වෙනත් ඕනෑම වාර්ගික ආගමික සලකුණු වේවා මකා දමන්නට කටයුතු කරන්නේ නම් එය සමාව දිය නොහැකි වරදකි. ඇත්තෙන්ම එවැනි අය ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්විය නොහැකි, මේ භූමියේ ජීවත් වීමට පවා සුදුසු නොවන අයය.

පුරාවිද්‍යාත්මක ස්ථාන අප රැක ගත යුත්තේ වාර්ගික හෝ ආගමික පදනමකින් නොව, ජාතිකත්ව පදනමකිනි. කුමන ආගමකට ජාතියකට අයත් දෙයක් වුවත් ඉන් නිරූපණය වන්නේ මේ රටේ ඉතිහාසයයි. අනාදිමත් කාලයක සිට සිංහල, බෞද්ධයන් බහුතරය වූ රටක බෞද්ධ පුරාවිද්‍යා භූමි ස්ථාන, වස්තූන් බහුල වීම අනිවාර්ය කාරණයකි. එසේ වුවත් එවැනි පුරාවිද්‍යා ස්ථාන සිංහල බෞද්ධයාට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයාටම අයත් වූ දේපොළය. අප සැමගේ උරුමයන්ය.

මුහුදු මහා විහාරය සැලකෙන්නේ විහාර මහ දේවිය ගොඩ බට ස්ථානය ලෙසිනි. එහෙත් එම භූමිය ඓතිහාසිකව වටිනාකමක් දරන්නේ ඒ නිසාම නොව එය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙසද පැවති නිසාය. අතීත ආගමික සිද්ධස්ථානයක් යනු ඒ යුගයේ සංස්කෘතිය යළි කියවාගත හැකි, වසා දමා ඇති ග්‍රන්ථයක් වැනි ස්ථානයකි. අප මුහුදු මහා විහාර රක්ෂිතය රැකගත යුත්තේ ඒ නිසාය. තවමත් කිසිවකුගේ ඇස නොගැටුණු පුරාවස්තු ඒ භූමියේ තිබෙන්නට පුළුවන.

මේ නිසා මෙම ඓතිහාසික පුරාවිද්‍යා භූමිය තවදුරටත් විනාශ කිරීම වහා නැවැත්වීමට පියවර ගත යුතුමය. එසේම මෙතෙක් එය විනාශ කිරීමට කටයුතු කළ සෑම කෙනකුටම එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහිදී අනවසර පදිංචිකරුවන් පමණක් නොව නීත්‍යනුකූලව මෙම භූමිය කැබලිවලට කඩා ජනතාව පදිංචි කරවා ඇත්තේ කවුරුන්ද යන්න සෙවීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.

සෙවිය යුතු තවත් කාරණයක් තිබේ. මුහුදු මහා විහාරය වැනි පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ වන තැනට කරුණු යෙදෙන්නේ කුමක් නිසාද යන්නය. අපේ රටේ පුරාවිද්‍යා ස්ථාන යැයි කී විට සිහිවන්නේ නිවසක අබලි ද්‍රව්‍ය දමන ස්ථානය වැනි ස්ථානය. පුරාවිද්‍යාවට දෙපාර්තමේන්තුවක් ඇතත් එයද රටේ වැඩි දෙනාගේ අවධානයට ලක් නොවන දෙපාර්තමේන්තුවකි. අඩුම වශයෙන් ආණ්ඩුවත් ඒ දෙපාර්තමේන්තුව ගැන එහෙමට සොයා බලන්නේ නැත. මේ නිසා ඒ දෙපාර්තමේන්තුවද සිටින්නේ පුරාතන ඊජිප්තු මමියක් ලෙසය.

මේ ස්වභාවය වෙනස් කරන්නේ නිදන් හොරු, කැලෑ පාළුවන් හෝ අනවසර පදිංචිකරුවන් විසිනි. එහෙත් ඒ ටික දිනකටය. යළිත් පෙර සේමය. හාවක් හූවක් නැත. පුරාවිද්‍යාව යනු අපේ අතීතය ගැන අපට කියන කැඩපත යැයි කීවාට ඒ කැඩපතෙන් බලන්නට කිසිවකුට අවශ්‍යතාවක් නැත. මේ නිසා මුහුදු මහා විහාරය වැනි ස්ථානවල පමණක් නොව රට පුරාම අවධානයට ලක් නොවූ, ඒ නිසාම විනාශ වී යමින් ඇති පෞරාණික ස්ථාන කොතරම් තිබේද?

වෙනත් රටවල පුරාවිද්‍යාව යනු ඔවුන්ගේ ජාතික න්‍යායපත්‍රයේ ප්‍රමුඛ අංගයකි. ඒ නිසා පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය, කැණීම්, ඒ ඔස්සේ පර්‌යේෂණ අඛණ්ඩව සිදු වේ. ඒ නිසා ඔවුන්ගේ ඉතිහාසයටද ස්ථතික දෙයක් බවට පත් නොවී ගතිකයක් බවට පත්ව තිබේ.

පුරාවස්තු රැක ගැනීමට අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට යමකුට ඇත්තටම අවශ්‍යතාවක් ඇත්නම් අනුගමනය කළ යුත්තේ එවැනි පියවරය. එසේ නොමැතිව අපේ උරුමයන් අන්‍ය ජාතීන් හෝ අන්‍ය ආගමිකයන් විනාශ කරනවා යැයි කියමින් ඔවුන්ට එරෙහිව අප අවි අමෝරා ගැනීමෙන් පමණක් ඒ අවශ්‍යතාව ඉටු වන්නේ නැත.