විශේෂාංග

මුහුණු පොතේ තහංචිය

පසුගියදා වැගන් ආර් රථ ගැන අප පළ කළ ලිපියේ සඳහන් කළේ ලංකාවේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ආහාර, වස්ත්‍ර, නිවාස නොව වැගන් ආර් බවය. එහෙත් පසුගිය 21 වැනි ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සමගම ඊටත් වඩා මූලික අවශ්‍යතාවක් ලංකාවට ඇත්තටම ඇති බව අපට ඒත්තු යන්නට විය. ඒ මූලික මිනිස් අවශ්‍යතාව වනාහි ‘‘ෆේස්බුක්’’ නම් වෙයි.

21 වැනි ඉරුදින උදේ එක පිට එක බෝම්බ පිපිරෙන විට මේ යහපාලන ආණ්ඩුව කළ එකම වැඩක් ඇත්නම් ඒ ‘‘ෆේස්බුක්’ තහනම විය යුතුය. ප්‍රවෘත්ති පාලනයේදී වන්නේ බලධාරියකු විසින් රජයට අවාසිසහගත හා මහජන කැලඹීම් ඇතිවිය හැකි ප්‍රවෘත්ති ඉවත් කිරීමය. මෙසේ ඉවත් කළ කොටස්වලට හරහට ‘බලධරයා විසින් කපන ලදී’ යනුවෙන් පළ කළත් එදා ඇත්ත පත්‍රය එය පළ කරන ලද්දේ ‘බලධරයා විසින් උලාකන ලදී’ යනුවෙනි. පසුගිය 21 වැනිදා එල්ල වූ ප්‍රහාරයේදී ආණ්ඩුව සියලු වැඩවලට පෙර කළ කාර්යය නම් ෆේස්බුක් තහනමය. එය මුළුමනින්ම සන්නිවේදන මාධ්‍යයක් මුළුමනින් තහනම් කිරීමකි, වාරණයකි.

අදහස් ප්‍රකාශ කිරීම වනාහී මූලික මිනිස් අයිතිවාසිකමකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් ලෙසද සැලකේ. එකී අයිතිවාසිකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික ප්‍රඥප්තියේ මුලින්ම සඳහන් වන කරුණකි. පළමුවැනි ලෝක සංග්‍රාමය අවදියේ ජර්මනියේ පැවති පුවත් තහංචි ඉතා දැඩි වූවත් එය ජනතාවට නොදැනෙන මට්ටමක තිබූ බව ඉතිහාසයේ සඳහන්ය. එය සිදු කර ඇත්තේ ජනතාවට නොහැඟෙන ලෙස ඉතා සියුම් ලෙසය. පසුගිය 21 වැනිදා බෝම්බ ප්‍රහාරයත් සමග රජය ඍජුවම ප්‍රවෘත්ති පාලනයක් සිදු නොකළත් ඍජුවම ‘‘​ෆේස්බුක්’ තහනම් කිරීම ‘ෆේස්බුක්’ හෙවත් මුහුණු පොත මෙරට ජන සමාජයට කොතරම් බලපෑමක් කරන බලගතු තත්ත්වයක සිටීදැයි පැහැදිලිව තහවුරු වූ අවස්ථාවකි.

මේ තහනම ගැන ෆේස්බුකියේම මෙවැනි සටහනක් විය.
සමාජ ජාලා තහනම ඉවත්කරයි
– රජය
එහෙම එකක් තිබුණද?
– ජනතාව

මෙයින් පෙනී යන්නේ කුමක්ද? රට අභ්‍යන්තරයේ පුවත් පාලනයට රජය ​‘ෆේස්බුක්’ තහනම් කළාට ලෝකයෙන් ෆේස්බුක් තහනම් කළ නොහැකි බවය. රජය ෆේස්බුක් තහනම් කරද්දී ‘මුහුණු පොතට’ යා හැකි ක්‍රමවේදයන් දත් අපේ ජනතාවට රජයේ ක්‍රියාමාර්ගය පුස්සක් විය.

පුවත්පත් නිදහසේ ආදි කර්තෘවරුන් ලෙස එදා සලකන ලද්දේ එංගලන්තයේ අැත්තන්ය. යුද්ධ කාලයේ ‘පුවත් නිදහස’ ගැන ලතෝනි දුන් පුද්ගලයකු නම් ‘වින්ස්ටන් චර්චිල්ය’ එහෙව් වින්ස්ටන් චර්චිල් කළ ක්‍රියාවක් නම් ‘ඩේලි මිරර්’ පත්‍රය වසා දැමීමය. එහෙත් ඩේලි මිරර් වසා දැමීම ගැන වගකීම භාර ගැනීමට තරම් චර්චිල් නිර්ව්‍යාජ විය. ඔහු ඊට හේතු පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරන ලදී.

රටේ එකමුතුභාවය අඩපණ කරන පුවත් පළකිරීම, ජාතිවාදය අවුස්සන විකට චිත්‍ර පළ කිරීම චර්චිල්ගේ තක්සේරුව අනුව ඩේලි මිරර් තහනමට හේතු විය. ඩේලි මිරර් එකල කම්කරු සහය දැක්වුයේ කම්කරු පක්ෂයටය. එම පක්ෂයේ නායක ‘ඇට්ලි’ද තහනමට පක්ෂපාත විය. නමුත් මෙරට සමාජ ජාලා තහනම් කළ මුල් වාරයේ මෙරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරමින් සිටියේ මෙම තහනම නිසා මුළු ව්‍යාපාර ලෝකයම අපහසුතාවට පත් වූ බවය. ඒ අවස්ථාවේ හිටපු ජනපතිතුමාට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන ‘නිච්චියක්’ වූයේ නැත.

මෙරට ප්‍රවෘත්ති පාලනයේ සදාතනික ස්මාරකයක් කොල්ලුපිටියේ අැත. ඒ ගෝල්ෆේස් දෙසට යන විට ගාලුපාරේ අරලියගහ මැදුරට ටිකක් මෙහා මුහුද පැත්තේයි. එම ස්මාරකය දඹරාවේ රතනසාර හිමියන් සිහිවීමටය. හත් හවුල් ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ 1965 මාර්තු 23 වැනිදාය. අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඩඩ්ලි සේනානායකය. හත් හවුල් ආණ්ඩුව ‘රට සභා පනත’ ගෙන එන්නේ ජනවාරි 08 වැනිදාය. 1966 ජනවාරි 08 වැනිදා ඊට එරෙහිව රටපුරා රාජ්‍ය අංශයේ දැවැන්ත වැඩවර්ජනයක් සංවිධානය. විය. එද හත්හවුල් ආණ්ඩුව කළේ අද මෛත්‍රී පාලනය කළාක් මෙන් හදිසි නීතිය පැනවීමය.

1966 ජනවාරි 08 වැනි දින රට සභා පනතට එරෙහිව විරෝධතාකරුවන් රැස්වී ඇත්තේ විහාරමහා දේවි උද්‍යානයටය. සිරිමාවෝ බණ්ඩාරනායක, ඇන්. ඇම්. පෙරේරා, ඩී. ඒ. රාජපක්ෂ, ටී. බී. ඉලංගරත්න ආදීන් මේ විරෝධතාවට එක් වී ඇත. එතරම් ප්‍රසිද්ධ පුද්ගලයකු නොවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර රැස්වීමට සහභාගි වූයේය. දඹරාවේ රතනසාර හිමියන් කොල්ලුපිටියේදී වෙඩිකෑවේ විහාරමහාදේවි උයනේ සිට ආ විරෝධතා රැලියේදී ය. රජය වහාම හදිසි නීති බලතල මත එදා ප්‍රවෘත්ති වාරණය අද අපට සිහිකරවන්නේ මෙදා ‘‘ෆේස්බුක්’’ තහනමයි.

2018 මාර්තුවේදී ඇති වූ දිගන සිදුවීමේදී ජවිපෙ ගැන මුස්ලිම් ජාතිකයකු කළ ප්‍රකාශය ‘ඉතිහාසගත’ විය යුත්තකි. මේ ප්‍රකාශය කරන ලද්දේ ආචාර්ය අමීර් අලී විසිනි. අමීර් පැවසූ පරිදි අසූව දශකයේදී ලංකාවේ මුස්ලිම් විරෝධයක් ඇතිකරන ලද්දේ ජවිපෙ විසිනි. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක ස්වරූපයෙන් ආරම්භ කළ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ ක්‍රියා පිළිවෙතකට ඉන්පසු හෙළඋරුමය හා බොදුබල සේනාද එක්වූ බව අමීර් අලී චෝදනා කළේය.

ලෝක ජනසන්නිවේදන ප්‍රවණතාව හමුවේ ශිෂ්ට සම්පන්න ලෝකයේ මෙවැනි ෆේස්බුක් තහනම් විග්‍රහ කෙරෙන්නේ අකාර්යක්ෂම (Inefficient) තත්ත්වයක් ලෙසිනි. ප්‍රවෘත්ති මාධ්‍යයේ මූලික පදනම ‘ඉක්මනය’. පුවත්පත් මුද්‍රණයට, විද්‍යුත් නාළිකාවකින් ‘බ්‍රේකින් නිව්ස්’ දෙන්නට පෙර පොදු ජනතාව ‘​ෆේස්බුක්’ වැලඳ ගත්තේ මේ පුවත් දැන ගැනීමේ පිපාසය නිසාය. රජය ෆේස්බුක් තහනම් කිරීමෙන් සිදු වූයේ ඊට වඩා භයානක අතිශයෝක්තියෙන් යුතු කටකතා සමාජගත වීමය.

ෆේස්බුක් තහනමට වඩා හානියක් එයින් සමාජයට සිදු විය. කළ යුත්තේ ෆේස්බුක් තහනම නොව එය රාජ්‍ය නියාමනයක් මගින් සත්‍යවාදී මාධ්‍යයක් බවට පත් කිරීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වජිර ලියනගේ