විශේෂාංග

මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වූයේ රිෂාඩ් වෙනුවෙන්ද, තමන් වෙනුවෙන්ද?

අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩුවේ සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම (ඉල්ලා අස්වන බව ප්‍රකාශ වුවද, තවමත් නිල වශයෙන් ඔවුන් ඉල්ලා අස් වී නොමැති බව කියැවේ.) හයවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා එවකට විපක්ෂ පක්ෂ නායක ධුරය හෙබවූ ඒ. අමිර්තලිංගම් ඇතුළු දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනකුට පාර්ලිමේන්තුව අහිමි වීමට සමාන බව ඇතැමෙකු අදහස් පළ කර තිබේ.

1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව 1983 අගෝස්තු මාසයේ හයවැනි සංශෝධනය ගෙන ආවේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමටය.

වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සහායක් හෝ නොදක්වන බවට දිවුරුම් නොදුන් නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තම මන්ත්‍රී ධුරයන් අහිමි විය. අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වූයේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා, අසාද් සාලි හා ඒ. එල්. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමිනි. රතන හිමියන්ගේ උපවාසයේ අවංකභාවය ගැන ප්‍රශ්නයක් ඇතත්, අනෙකුත් මුස්ලිම් ඇමැතිවරුන් ඉවත් කරන ලෙස හෝ ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස උන්වහන්සේ හෝ වෙනත් කිසිවකු ඉල්ලා සිටියේ නැත.

ඒ අනුව 1983 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ආසන අහිමි වීම හා මුස්ලිම් ඇමැතිවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම (ඇත්තෙන්ම ඉල්ලා අස්වී ඇත්නම්) අතර සමානත්වයක් දැකගත හැක්කේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

මේ තර්කය නගන අයගේ උත්සාහය වන්නේ බහුතර සිංහල සමාජය විසින් විශේෂයෙන්ම අන්තවාදී සිංහල කොටස් විසින් මුස්ලිම් ඇමැතිවරුන් ත්‍රස්තවාදයේ තුරුල්ලට තල්ලු කර දැමූ බව පෙන්වා දීමය. මෙය නම් අප හැමදාම අන් ජාතීන් හා සිංහලයන් අතර ගැටුම් ඇති වූ විට වැරැද්ද සිංහලයන් පිට පටවා ප්‍රශ්නය විග්‍රහ කිරීම ම මිස අන් යමක් නොවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ‘83 කළු ජූලිය මෙන් අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවිය හැකිව තිබූ නමුත් කුලියාපිටියේ සහ මිනුවන්ගොඩ සිද්ධි දෙකකින් පමණක් එය වළක්වා ගැනීමට හැකි විය. එසේ වූයේ බහුතර සිංහලයා අන්තවාදී නොවී අාවේගශීලී නොවී, කටයුතු කිරීම නිසාය.

එහිදී සියලු මුස්ලිම් ජාතිකයන් සහරාන්ලා නොවන බව සිතන්නට ඔවුහු පෙලඹවූ සාධකයක් වන්නේ රවුෆ් හකීම්, කබීර් හෂීම් වැනි දේශපාලකයන්ය. රවුෆ් හකීම්, කබීර් හෂීම්, ඒ.එච්.එම්. ෆවුසි වැනි දේශපාලකයන් තම ජාතිකයන් ගැන කතා කරන, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නමුත් අන්තවාදීන් නොවන බවට පොදු සමාජයේ පිළිගැනීමක් තිබිණි. රිෂාඩ් බදුර්දීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි, හිස්බුල්ලා වැනි දේශපාලකයන් ගැන ඇති තරම් විවේචන එල්ල වුවත්. හකීම්ලා ගැන, කබීර්ලා ගැන අන්තවාදීම සිංහල කොටස් හෝ වචනයක් කීවේ නැත.

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ සහරාන් කල්ලිය ගැන තොරතුරු හෙළි කළ නිසා කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයකුට වෙඩි කන්නට පවා සිදු වූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහුත්, හකීම් අමාත්‍යවරයාත් කළ ප්‍රකාශ ප්‍රශ්නය නිවන මධ්‍යස්ථ ඒවාම විය.

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය, බුර්කා තහනම මෙන්ම දොස්තර ෂාෆිට එරෙහිව එල්ල වූ චෝදනා නිසා මුස්ලිම් සමාජය තැති ගැනීමකට ලක් වූ බවත් සැබැවකි. එහෙත් එමගින් රට ගිනි ගන්නට තරම් තත්ත්වයක් ඇතිව තිබුණේද?

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනු යැයි පණිවුඩ කෙතරම් සමාජජාලා ඔස්සේ සංසරණය වුවද, තවදුරටත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වෙත ගිය සිංහල බෞද්ධයෝ ද කතෝලිකයෝද සිටියහ. බුර්කාව නැතත්, නිකාබය හෝ හිජාබය ඇඳි මුස්ලිම් කාන්තාවෝ නගරයේ දැකගත හැකි විය. කිසිවෙක් ඔවුනට හිංසා, පීඩා කරන්නට නොගියෝය. එවැනි තත්ත්වයක් අැති වූයේ රවුෆ් හකීම්, කබීර් හෂීම් වැනි පරිණත දේශපාලකයන් ගැන අපේ පොදු සමාජය තවදුරටත් විශ්වාස කළ බැවිනි. අන්තවාදී සිංහල කොටස් කුමක් කීවද, රවුෆ් හකීම්ලා, කබීර් හෂීම්ලා සමග එක්ව අප සමාජය පත්ව ඇති දුක්ඛිත තත්ත්වයෙන් ගොඩ ගන්නට හැකිවනු ඇතැයි මධ්‍යස්ථ සිංහල බෞද්ධයන් සේම කතෝලිකයෝද විශ්වාස කළහ.

එහෙත් පොදු සමාජය එලෙස විශ්වාස කළ රවුෆ් හකීම්, කබීර් හෂීම් වැනි මුස්ලිම් දේශපාලනඥයන් අමාත්‍ය තනතුරුවලින් ඉවත් වීමෙන් සිදු කළේ කුමක්ද? බහුතරයක් අසීරුවෙන් එක්ව තබා ගන්නට උත්සාහ ගනිමින් සිටි සිංහල හා මුස්ලිම් ජනතාව ඉරක් ගසා වෙන් කිරීමය. මුස්ලිම් නොවන ජන කොටස් ඔවුන් ගැන තම විශ්වාසය බිඳ දැමීමය.

රිෂාඩ් බදුර්දීන් වහාබ්වාදයට සහාය දැක්වීම යන චෝදනාව එල්ල වීමට පෙරම මෙරට ජනතාව අතර ඔහු ‘කළු’ දේශපාලකයකු වී සිටියේ ය. ඒ ඔහු මුස්ලිම් ජාතිකයකු වීම නිසා නොව ඇතැම් සිංහල දේශපාලකයන් මෙන්ම තක්කඩි දේශපාලකයකු ලෙස නාමකරණය වී තිබීම නිසාය. එනිසා ඔහු මෙරට දේශපාලනය තුළ නොසිටිය යුතු පුද්ගලයකු බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය. ඇතැම් විට මුස්ලිම් ජනතාව අතරද එවැනි මතයක් දැරූ අය සිටින්නට ඇත. එහෙත් කුමන විවේචන තිබුණ ද රාවුෆ් හකීම් හා කබීර් හෂීම් වැනි ඇමැතිවරුන් සම්බන්ධයෙන් එවැනි මතයක් රට තුළ තිබුණේ නැත.

ඔවුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් පෙන්නුම් කළේ ඔවුන්ද අයත් වන්නේ රිෂාඩ් බදුර්දීන්, අසාද්සාලි හා හිස්බුල්ලා වැනි චූදිත දේශපාලකයන් අයිති ගොඩටම බවය. එසේම එක්කෝ ඔවුන් චූදිත දේශපාලකයන්ට එල්ලවන චෝදනාවන්ට ඔවුන් වැරදිකරුවන් නොවන බවට විනිශ්චයක් ලැබීමට පෙරම තීරණය කර තිබේ. නැතිනම් වැරදිකරුවන් වුවත් තමන්ද ඒ වැරැද්ද අනුමත කරන බව ප්‍රකාශ කර තිබේ.

ඔවුන්ගේ අදහස කුමක් වුවද එය මුස්ලිම් ජනතාව සිංහල පොදු ජනතාවගෙන් වෙන් කරන්නට, දුරස් කරන්නට හේතු නොවන්නේද? උතුරේ මෙන්ම දකුණේද ආයුධ සන්නද්ධ ව්‍යාපාර බිහිවන්නට සිංහල, දෙමළ දේශපාලකයන් වගකිවයුතු වන්නා සේම මුස්ලිම් අන්තවාදය පැතිරෙන්නට මුස්ලිම් දේශපාලකයන් වගකිව යුතුය.

උතුරේ හා දකුණේ මෙන් නොව මුස්ලිම් අන්තවාදය පැතිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික නායකයන්ද වගකිව යුතුය. ඔවුන් මේ අන්තවාදයට සහාය දුන් බවක් ඉන් නොකියැවේ. නමුත් මේ ගැන නෑසූ කන්ව සිටීම සේම අන්තවාදීන් මර්දනය කරන්නට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවෙන් මුස්ලිම් දේශපාලකයන්ට සේම ආගමික නායකයන්ටද නිදහස් විය නොහැක.

මුස්ලිම් අැමැතිවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට තීරණය කළේ ‘83 කළු ජූලිය වැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වීම වළක්වා ගැනීමට බව රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා බීබීසී ලෝක සේවයට ප්‍රකාශ කොට තිබිණි. නමුත් අැත්ත වශයෙන්ම එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබුණේ නම් ඔවුන් කළ යුතුව තිබුණේ වගකීම්වලින් නිදහස් වීමද? තනතුරුවල සිටිමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමද? අපගේ අදහස වන්නේ එවැනි තත්ත්වයක් තිබුණේ නම් දැන් මේ ඇමැතිවරුන්ගේ තීරණය නිසා ඒ තත්ත්වය උග්‍ර වූ බවය.

මුස්ලිම් අන්තවාදයක් රට තුළ පැතිර යමින් තිබියදී මුස්ලිම් දේශපාලකයන් ඒ නොඇසූ කන්ව සිටියේ ඔවුන් එය අනුමත කරන නිසා නොවේ නම්, තමන්ගේ ඡන්ද ගොඩ රැක ගැනීමට විය නොහැකිද? එසේම මේ අවස්ථාවේ ඔවුන් තම තනතුරුවලින් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරන්නේද, ඊළඟ මැතිවරණයේදී තමන්ගේ මන්ත්‍රී ධුරය රැක ගන්නට නොවේද? හේතුව කුමක් වුවද, එහිදී ඔවුන් අනියමින් උදව් කර ඇත්තේ අන්තවාදයට නොවේ යැයි කිව හැකිද? ඒ අර්ථයෙන් බලන විට නම් ‘83 දී අමිර්තලිංගම්ලා පාර්ලිමේන්තුවෙන් පිටවීම සහ මුස්ලිම් අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත්වන බව ප්‍රකාශ කිරීම අතර සමානත්වයක් තිබේ.

‘83 දී අමිර්තලිංගම් ඇතුළු දෙමළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටමං වූයේ උතුරේ අන්තවාදය ඔවුන් පිළිගත් බැවිනි. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔවුන්ද ත්‍රස්තවාදයේ ගොදුරක් වෙමින් සිංහල, දෙමළ ජනතාව ඇතුළුව සමස්ත රටම ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමය.

දැන් මේ මුස්ලිම් අමාත්‍යවරුන්ද සූදානම් වන්නේ එවැනිම ඛේදජනක තත්ත්වයකට රට ගෙන යෑමට නොවේද? එවැනි තත්ත්වයක් ඇති වන්නේ නම් සිංහල අන්තවාදී කොටස් සේම ආණ්ඩුවද ඊට වගකිව යුතු බව තර්කයක් නැත. එහෙත් ඒ හා සමානවම මුස්ලිම් දේශපාලකයන්ද ඊට වගකිව යුතුය.

කුලශ්‍රී කාරියවසම්
ඡායාරූපය – ප්‍රදීප් දඹරගේ