brand logo

මුදල් ඇමති ඉන්දියාවෙන් සහාය ඉල්ලයි

15 January 2022

ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා

ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා පවත්වා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ සබඳතා අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිෂන්කර් මහතා අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බවය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය විදේශ සබඳතා අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිෂන්කර් මහතා සමග අද (15) අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබේ. මීට අමතරව ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලබාගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇත. මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පස්වරුවේ මල්වතු විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ඔහු ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවය. මේ අතර රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක සිට අත්‍යවශය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී තිබෙන බව වාර්තා වෙයි. "කවුද ගිහින් ගණන් කළේ 1,700යි කියලා. ලැයිස්තුවක් තියෙනවා ද?. අපිට ඒක විසඳ ගන්න පුළුවන්." ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. මේ අතර තිරිඟුපිටි මිල අධික ලෙස ඉහළ යාමත් සමග මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ, තම රැකියා කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවය. තිරිඟුපිටි මිල අධික ලෙස ඉහළයාම හමුවේ අම්බලන්තොට නගරයේ වෙළෙඳසැල්වල පාන් හිඟයක්ද මතුවී තිබේ. මේ අතර වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. පෙදරේරුවන් පවසන්නේ මේ හේතුවෙන් තම රැකියාව පවා අහිමිව ගොස් ඇති බවය.
 

More News..