විශේෂාංග

මුතුරාජවෙලින් වඳ කරන වන සත්තු!

මුතුරාජවෙල තෙත්බිම අවට මහාමාර්ග අද්දර වැටී ඇති වනජීවීන්ගේ මළසිරුරු කිහිපයක් පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම පාසල් වෑන් රථ සහ පාන් අලෙවි කරන වෑන් රථ රියැදුරන්ගේ නෙත ගැටී තිබිණි. බරපතළ තුවාල සහිත මෙම මළසිරුරු මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව ජීවත් වූ බවට සැලකෙන අඳුන් දිවියා (Prionailums viverrinus) වල් බළලා (Felis chause) සහ කොළ දිවියා (prionailurus rubiginous) යන සතුන්ගේ බවට අනුමාන කරන ලදී. පසුව ඒ සම්බන්ධයෙන් අප විසින් එම ප්‍රදේශවල වැසියන්ගෙන් කරන ලද මූලික විමසීම්වලදී එම සතුන් වාහනවලට යටවී මියගිය බව පැවසුණද ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරන ලද විමසුම්වලදී හෙළිවූයේ ඊට වඩා බරපතළ දෙයකි.

එනම් එම ඇතැම් මළසිරුරු මුතුරාජවෙල ආශ්‍රිත ප්‍රදේශවාසීන් විසින් මරා දමන ලද අඳුන් දිවියන්, වල් බළලුන් සහ කොළ දිවියන්ගේ බව ඇතැම් අවස්ථාවලදී සනාථ වී ඇති බවකි. එම ප්‍රදේශයේ නිවෙස්වල කුකුළු කොටු, පරෙවි කූඩු, මාළු ටැංකි ආදියට රාත්‍රි කාලයට දඩයම් පිණිස කඩාවදින මෙම සතුන් සඳහා උගුල් අටවා ඔවුන් මරා දමන ඇතැම් ප්‍රදේශවාසීන් නීතියෙන් ගැලවීම පිණිස එම සතුන්ගේ මළසිරුරු අලුයම් යාමයේ ඊට තරමක් දුරින් පිහිටි ස්ථානවල මාර්ග අද්දරට ගෙන ගොස් දමන බව අපට දැනගත හැකි විය. පසුගිය වැසි දිනයක අලුයම් යාමයේ මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනකු පොහොර උරයක බහාලූ යමක් තම නිවස අද්දර මහමග දමා යනු තමන් නිවසේ ජනේලයකින් දුටු බව කී උස්වැටකෙයියාවේ කාන්තාවක, වැස්ස නිමා වූ පසු එතැනට ගොස් පරීක්ෂා කිරීමේදී තුවාල සිදුකරන ලද වල් බළලකුගේ සිරුරක් තමන්ට දක්නට ලැබුණු බවද කීවාය.

‘‘මේ පරිසර පද්ධතියේ ජීවත්වෙන ඔය කියන සත්ත්ව විශේෂ තුන සම්බන්ධයෙන්ම පෙරට වඩා අන්තරාකාරී තත්ත්වයක් දැන් උදාවෙලා තියෙනවා. ඔවුන් වඳවී යෑමට මතුපිටින් පේන එක හේතුවක් තමයි මේ ප්‍රදේශයේ මාර්ග කාපට් කිරීම මුල් කොට රථවාහනවල වේගය වැඩිවීම නිසා ඔවුන් රිය අනතුරුවලට ලක්වීම. නමුත් මහ පාරවල් අයිනේ දකින්න ලැබෙන ඔය හැම වනජීවියෙකුගේම මරණයට හේතුව රිය අනතුරක් බව නිශ්චිතවම කියන්නට අපට බැහැ. සමහර විට තමන්ගේ වාසස්ථාන ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන ඔවුන් රහසිගතව මරා නීතියෙන් ගැලවීමට සමහරුන් ඒ සතුන්ගේ මළසිරුරු ඒ ආශ්‍රිත වෙනත් ප්‍රදේශවලට ගෙනැත් දමනවා වෙන්න පුළුවන්. මොකද ඒ මළසිරුරු තමන්ගේ ඉඩකඩම්වල වළ දැමීමේ යම් අවදානමක් පවතින නිසා.’’

මේ සම්බන්ධයෙන් අප විසින් කරන ලද විමසුමකට පිළිතුරු දුන් පමුණුගම, බෝපිටියේ මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පරිසරවේදී අරුණ වීරසිංහ මහතා කීවේ එවන් කතාවකි. 2009 වසරේ අංක 22 දරන වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) ආඥා පනතට අනුව අඳුන් දිවියා, වල් බළලා සහ කොළ දිවියා යන මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව ජීවත්වන වනජීවීන් විශේෂ තුනම දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයන් ලෙස නම්කොට ඇත. එමෙන්ම හෙක්ටයාර් 1777කින් හෙවත් අක්කර 4390කින් යුතු මුතුරාජවෙල අභයභූමි සීමාව තුළදී හා හෙක්ටයාර් 3068 හෙවත් අක්කර 7580ක විශාල සමස්ත මුතුරාජවෙල තෙත්බිම තුළදී මෙන්ම දිවයිනේ වෙනත් ඕනෑම ප්‍ර‍දේශයකදී මෙම වනසත්ත්වයකු ඝාතනය කිරීම බරපතළ අපරාධයකි. ඒ සඳහා රුපියල් තිස් දහසකට නොඅඩු, රුපියල් ලක්ෂයකට නොවැඩි දඩ මුදලක් සහ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට බලය පැවරී තිබේ. මෑතක සිට මෙම සතුන් කුමන්ත්‍රණකාරී ලෙස ඝාතනය කිරීමට ඇතැමුන් පෙළඹී හිඳිනුයේ ඒ නිසාය.

‘‘දවල් කාලයේ එළිපහළියට නාවත් ශරීර ප්‍රමාණය, හැඩය, වයිරම වගේ දේවල් අනුව මේ සත්තු වෙන් වශයෙන් හඳුනා ගන්න ඉස්සර මේ පළාත්වල හිටපු ගැමියන්ට යම් හැකියාවක් තිබුණා. නමුත් අද කාලේ ජීවත්වෙන අයට ඒ දැනීම නැහැ. පාසල් වෑන්වල යන ළමයි පාර අයිනේ මේ වගේ සතකුගේ මළකුණක් දැක්ක හැටිය ‘අර පූසගෙ ලොකු’ වගේ දෙයක් තමයි කියන්නේ. ඒ ළමයි විතරක් නෙවෙයි සමහර විට ඒ වාහනේ ඩ්‍රයිවර් මහත්තයවත් සතා මොකාද කියන්න හරියට දන්නෙ නැහැ.’’

මෙම වනජීවී ඝාතන සම්බන්ධයෙන් අපට මූලික තොරතුරු සැපයූ පාසල් වෑන් රථ රියැදුරු මහතෙක් එසේ කීය. එමෙන්ම මෙලෙස මෙම සතුන් මරා දැමීම සම්බන්ධයෙන් ඝාතන කොන්ත්‍රාත්තු භාරගන්නා පුද්ගලයන් සහ කණ්ඩායම්ද මෙම ප්‍රදේශවල හිඳින බවට තමන් තුළ සාධාරණ සැකයක් පවතින බවක් ඔහු කීවේය. එම පුද්ගලයන්ගෙන් සමහරෙක් මීගමු කලපුවේ ධීවර වෘත්තියේ යෙදී මත්ස්‍ය අස්වැන්න අහිමිව අසරණ වූවන් බවද කියනු ලැබේ.

සත්ත්ව විද්‍යාවට අනුව බළල් පවුලට (felidae family) අයත් සත්ත්ව විශේෂ හතරක් අප රටේ ජීවත් වෙති. එම පවුලේ ප්‍රධානියා Leopard යන ඉංග්‍රීසි නමින් සහ panthera pardus kotiva යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන කොටියාය. නමුදු එම සත්ත්ව විශේෂය මෙම මුතුරාජවෙල තෙත්බිම් පද්ධතියෙන් වාර්තා නොවේ.

අඳුන් දිවියා, හඳුන් දිවියා නමින් හැඳින්වෙන මෙම බළල් පවුලේ දෙවැනි විශාලතම සාමාජිකයා මෑතක් වනතුරු මුතුරාජවෙල තෙත්බිම් රජදහනේ නිරුපද්‍රිතව රජකම් කළද සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් අද වන විට මෙම අඳුන් දිවියකු මෙම පරිසර පද්ධතියෙන් ‘බේතකටවත්’ සොයා ගත නොහැකි වී තිබේ.

සාමාන්‍ය බළලකුට වඩා වැඩුණු ශරීරයකින් යුතු අඳුන් දිවියකු කිලෝග්‍රෑම් 7-16 අතර බරකින් යුතු අතර ශරීරයේ දිග සෙ.මී. 65-85 අතර වෙයි. වර්තමානයේ මෙන් අකල් මරණයකට ලක් නොවුණහොත් අවුරුදු දහයක පමණ ආයු කාලයක් මෙම වනජීවියාට හිමිය.

බළල් ලක්ෂණවලට වඩා කොටි ලක්ෂණ වැඩිපුර පෙන්වන සිරුරකින් යුතු අඳුන් දිවියා ඒකචාරී නිශාචරයෙකි. මසුන්, කුරුල්ලන් සහ කුඩා ක්ෂීරපායින් දඩයම් කොට ආහාරයට ගන්නා මොහු ජලයේ පිහිනමින් දඩයම් කිරීමටද හපනෙකි. ඝනවන් පඳුරුවලින් වැසීගත් වදුල ඇති ස්ථාන, ගස් බෙන, දිරාගිය රුක් කඳන්වල සැදුම්ලත් කුහර සේම ගල් පර්වතවල පැළුම් සහිත ස්ථානවල දිවා කාලයේ සැඟවී හිඳින අඳුන් දිවියා රාත්‍රි අඳුරේ ඉන් පිටතට පැමිණ ගැමියන්ගේ කුකුළු කොටුවලට ඉව නොඅල්ලන බවට සහතික වීමට මට නුපුළුවන.

මීට වසර ගණනකට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වල් බළලා රඳවා ඇති කූඩුවේ ඔහුගේ නමට යටින් ‘නපුරු සතෙකි’ යනුවෙන් වරහන් තුළ සඳහන් කොට තිබුණු අයුරු මට මතකය.

ඊට හේතුව බාහිර පෙනුමින් සාමාන්‍ය බළලකුට සමාන බැවින් කුඩා දරුවන් එම කූඩුව තුළට ඇඟිලි දමන්නට යෑමෙන් ඔහුගේ සපාකෑම්වලට ලක්විය හැකි නිසා වියහැක. දැනුදු ඒ සඳහන එලෙසම තිබේදැයි නොදනිමි.

වල් බළලා (Jungle Cat) යන නමින්ම ඉංග්‍රීසියෙන් හැඳින්වෙන මෙම සත්ත්ව විශේෂය කිලෝග්‍රෑම් 03-16ක බරින් සහ සෙන්ටිමීටර් 50-94 දිගින් යුතුය. බාහිර පෙනුමින් ගෘහස්ථ බළලුන්ට සමාන වුවද ඔවුනට සාපේක්ෂවද උස් වූ පාද සහ කෙටි වලිගය මොවුන්ගේ අනන්‍යතා ලක්ෂණ අතර වෙයි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේදී කළු සහ දුඹුරු වර්ණයන්ගෙන් සහ දකුණු ප්‍රදේශයේදී රතු සහ කහ වර්ණයෙන්ගෙන් යුතු මෙම බළලුන්ද නිශාචර ඒකචාරී සත්ත්ව විශේෂයකට අයත්ය. ගස් නැගීමේ තමන් සතු සුවිශේෂ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තුරු මත ඇති කුරුලු කැදලිවලට සේම නිවෙස්වල ඇති පරෙවි පෙට්ටිවලටද පිවිසීමේ පහසු හැකියාවක් මොවුනට තිබේ. මෙම අබිරහස් සතුන් අකාලයේ මරා දැමීමට එයද එක් හේතුවකි.
එමෙන්ම මුතුරාජවෙල ප්‍රදේශයේ අටවන උගුල්වලට පසුගිය කාලය තුළ මොවුන් විශාල ප්‍රමාණයක් හසුව ඇත්තේ තමන් ප්‍රිය කරන ජීවී ආහාර සොයා මිනිස් වාසස්ථාන වෙත සංක්‍රමණය වීමේ වරදට බව පෙනේ.

තත්ත්වය මෙසේ තිබියදී අනාදිමත් කාලයක සිට මුතුරාජවෙල තෙත්බිම තම රජදහන බවට පත්කරගෙන සිටි මෙම වනජීවීන්ට වර්තමානයේ ශීඝ්‍ර ජනාවාසකරණයට ලක්වූ තම වාසභූමි තුළදීම කුමන්ත්‍රණකාරී අබිරහස් ඝාතනවලට ලක්වීමට සිදුව ඇත්තේ කුමක් නිසාදැයි යන්නද අප මෙහිදී විමසා බැලිය යුතුය. ඕනෑම වනජීවියකු සාම්ප්‍රදායික වාසස්ථාන තෝරාගනු ලබනුයේ අදාළ ප්‍රදේශයේ ස්වාභාවිකව පවත්නා ආහාර සුලබත්වය අනුවය. එමෙන්ම මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව මහා පරිමාණයෙන් සිදුවන නීතිවිරෝධී ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයන් මුල් කොට තම සාම්ප්‍රදායික වාසභූමි අහිමි වන ඉහත සඳහන් වනජීවීන් තමන්ට ඒවායෙන් සපුරාගත නොහැකි ආහාර අවශ්‍යතාවන් තකා මෙලෙස ගම්වැදීමේ කිසිදු අරුමයක් නැත.

මුතුරාජවෙල මෙම මහා පරිමාණයෙන් සිදුවන බිම් සංහාරය පිළිබඳව කරුණු විමසා බැලීමට පසුගිය 2018 මාර්තු 22දා හිමිදිරියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහි පැමිණ එම පරිසර සංහාරය මැඬලීම පිණිස අවශ්‍ය උපදෙස් අදාළ අංශවලට ඒ මොහොතේම ලබාදෙන ලදී. නමුදු ඒවා හුදෙක් හිස් වදන් පමණක් විය. මුතුරාජවෙල සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබාදීමට ඔහු නියෝග කළ මුත් අද ඒ ආරක්ෂාවද මුළුමනින්ම අතුරුදන්ව මුතුරාජවෙල පෙරටත් වඩා බරපතළ ලෙසින් පරිසර සංහාරකයන්ගේ ජයබිමක් බවට පත්ව ඇත.

අප රටට සේම මුළු ලොවටම මාහැඟි සම්පතක්ව පවතින මෙම වනසත්ත්ව විශේෂ මෙලෙස අබිරහස් මරණවලට ලක්ව සදහටම වඳවී යෑමට එයද එක් හේතුවක් බව නිසැකය.

තිලක් සේනාසිංහ