කතුවැකි

මීහරක්, ගොංතඩි හා ජෛව බෝම්බ

මේ රට සුද්දා විසින් යටත් කරගෙන සිටි යුගයේ ජාතික, ආගමික නිදහස වෙනුවෙන් කොතෙක් කරුණු කීවත් නෑසු කන්ව සිටි ජනතාව අනගාරික ධර්මපාලතුමන් විසින් අමතනු ලැබුවේ “මී හරකා”, “ගොං තඩියා” වැනි ඉතාමත් කර්කශ මෙන්ම අපහාසාත්මක යෙදුම්වලිනි. මේ දිනවල නිරෝධායනය ප්‍රතික්ෂේප කරන, සෞඛ්‍යය අංශවලට බොරු කරමින් සැඟවී සිටින්නට උත්සාහ කරන අමනයන්ද ඇමතිය යුත්තේ ඒ වදන්වලිනි. ඔවුන් මේ රටටත්, ජනතාවටත් දැන දැන කරන අපරාධය දකින විට සිතෙන්නේ ධර්මපාලතුමාගේ ආමන්ත්‍රණය ඔවුන්ට සනීප වැඩි බවය.

මුලින්ම නිරෝධායනය ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ අමනකමත්, උද්දච්ඡකමත් ප්‍රදර්ශනය කළේ ඉතාලියෙන් පැමිණි පිරිසකි. තත්ත්වය බරපතළ වූයේ වෛරසය ආසාදනය වූ පසුත් සෞඛ්‍ය අංශ පවා රවටමින් සැඟව සිටින්නට උත්සාහ කළ කිහිප දෙනකුම හමුවීමෙන් පසුවය. පළමුවෙන්ම මේ මී හරක් වැඩේ කර තිබුණේ දෙහිවල පැත්තේ මැණික් ව්‍යාපාරිකයකු යැයි කියන අයෙකි. ජාඇල පැත්තේ ද තවත් එවැනිම ගොං තඩියකු ගැන වාර්තා විය. ඉන් පසු නිරෝධායනය ප්‍රතික්ෂේප කරන අමනයකු ගැන වාර්තා වූයේ මහියංගණය ප්‍රදේශයෙනි. මේ තකතීරුවා ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව සෞඛ්‍ය බලධාරින්ට එරෙහිව මානව හිමිකම් නඩු පවරණ බවට තර්ජනය කරනුද දුටුවෙමු. මේ පන්නයේ වෘෂභ ධේනුවක් ගැන බණ්ඩාරගම පැත්තෙන් වාර්තා වී තිබේ. වෛරසය ආසාදනය වූ ඇය දින කිහිපයක්ම කාගේත් ඇස්වලට වැලි ගසමින් කරක් ගසා ඇතත් දැන් සියල්ල හෙළි වී තිබේ.

ජෛව විද්‍යාත්මක බෝම්බ ලෙස කටයුතු කරන පුද්ගලයන් ගැන අප අසා ඇත්තේ විද්‍යා ප්‍රබන්ධවලය. දැක ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ ශානරයේ චිත්‍රපටවලය. මේ ප්‍රබන්ධවල පවා මෙවැනි කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන් හෝ සමාජ විරෝධීන් වැනි උන්මත්තකයන්ය. අපගේ අදහස නම් චිත්‍රපටවල එන එම චරිත හා දැන දැනම නිරෝධායනයෙන් සැඟව සිටින්නට උත්සාහ කරමින්, අඩුම වශයෙන් තවත් දෙතුන් සියයකට කොරෝනා වෛරසය බෝ කළ අය අතර වෙනසක් නොමැති බවය. එළිදරව් නොවූ මෙවැනි ත්‍රස්තවාදී චරිත තවත් සිටින්නට පුළුවන.

අප රට තුළ කොරෝනා වෛරසය පැතිරෙන්නට එකම හේතුව මේ අය නොවෙතත් ඔවුන් ප්‍රධාන හේතුවක් වූ බවට විවාදයක් නැත. මේ අය නිසා අද දහස් ගණනක් රෝහල්වලය. හෝටල්, පොලිසි පමණක් නොව රෝහල් පවා මේ අය නිසා අකර්මණ්‍යය වී තිබේ. ඒ මේ තක්කඩියන් ගැවසුණු සියලු තැන් නිරෝධායනයට ලක් කරන බැවිනි. මේ සැඟවුණු ත්‍රස්තවාදීන් රට පුරා කරක් ගසමින් තවත් සිය දහස් ගණනකට වෛරසය බෝ කිරීම වැළැක්වීමට රට පුරා ඇඳිරි නීතිය පැනවීමට සිදුවිය. මේ නිසා මුළු රටේම කටයුතු අඩපණ වී ඇත. රටේ සියලු දෙනාට හාල් කිලෝවක්, පොල් ගෙඩියක්, බෙහෙත් පෙත්තක් ගන්නට පෝලිම්වල දුක් විඳින්නට සිදුව තිබේ. රට පුරා වෛරසය පැතිර ගියහොත් කුමන තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත්ද? ඉතාලියට සිදුව ඇති දේ දෙස බැලීමෙන් එය තේරුම්ගත හැකිවනු ඇත.

රටත්, ජනතාවත් මේ තරම් අවදානමකට ලක් කළ දෙහිවල, ජාඇල, කළුතර මෙන්ම තවමත් හෙළිදරව් වී නැති මීහරක් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇතත්, අපගේ අදහස නම් මේ අයට සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් කිරීම ප්‍රමාණවත් නොවන බවය. අප රටේ නඩු අසා යුක්තිය ඉටු කරන්නට කල්පයක් තරම් කල්ගත වන බව කව්රුත් දන්නා කාරණයකි. අනෙක් අතට එතරම් කාලයක්ද ගත කර සාමාන්‍ය දඩයක්, අත්හිටවූ සිරදඬුවමක් වැනි සරල දඬුවමක් පනවන්නේ නම් මේ අයට එරෙහිව නඩු විමසීමෙන්ද පලක් නැති බව කිව යුතුය.

මේ අයට දිය යුත්තේ රජකාලේ දඬුවම් බව අප ඊයේද සටහන් කළෙමු. ඒ රජ කාලේ දේශද්‍රෝහීන්ට දුන් දඬුවම වූයේ උල තැබීමය. නැතහොත් හිස ගසා දැමීමය. අද කාලේ ඒවා කරන්නට නොහැකි නම් මේ අයගේ දේපොළ රාජසන්තක කර ජීවිතාන්තය දක්වා සිරගත කිරීම හෝ කළ යුතුය. මේවාට නීති නොමැති නම් අලුතෙන් නීති පනවා හෝ වහ වහා දඬුවම් කළ යුතුය. ඒ බව ප්‍රසිද්ධියටද පත් කළ යුතුය. ඒ අනෙකුත් අයටද පාඩමක් ඉගෙන ගැනීමටය.

දඬුවම් කිරීමට අවශ්‍ය වූ විටෙක නීති පනවා දඬුවම් කළ ඉතිහාසයක් අපට තිබේ. ඉතාලි ගුවන් යානයක් පැහැර ගත් සේපාල ඒකනායකට දඬුවම් කෙරුනේ ඒ ආකාරයටය. පසුගිය කාලයේ රාත්‍රියේත් උසාවි විවෘතව පැවැතියේ ‘අවශ්‍යතාව‘ මතය. මිනී මරුවන්ට, ත්‍රස්තවාදීන්ට මෙන්ම කුඩු කාරයන්ටද අප රටේ දෙන දඬුවම වන්නේ මරණ දඬුවමය. එහෙත් දැන් ඒ දඬුවම පොතට පමණක් සීමා වූ නීතියකි. මේ අවස්ථාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දැයි ජනතාවගෙන් විමසුවහොත් බහුතරයක් ඊට කැමැත්ත පළ කරනු ඇත.