විශේෂාංග

මියගිය ඥාතියා මිදුලේ මලක් වී පිපෙයි

කෙනකු මියගිය පසු භූමදානය කිරීම එදා පටන්ම ලංකාවේ හැම පැලැන්තියකම සිදු කෙරුණු සාමාන්‍ය සිරිතය. එහෙමත් කෙනකු දර සෑයක් බැඳ ආදාහනය කළේය. ඇති හැකි අය පවුලේ සුසාන භූමියේ ඔවුන් නමින් කිරිගරුඬෙන් හෝ සිමෙන්තියෙන් ස්මාරකයක් ඉදිකළත් අනෙකුත් අය පොදු සුසාන භූමියේ හැකියාවක් ඇත්නම් ස්මාරක ඉදිකළහ. ඒත් නැත්නම් ඔවුන් නමින් ස්මාරක ඉදිවූයේම නැත.

ඒත් අද වන විට මේ තත්ත්වය බෙහෙවින්ම වෙනස්ව ඇත. මිනිසුන් මියයන තරමට භූමදානය කරන්නට, ස්මාරක බඳින්නට සුසාන භූමිත් ඉඩ නැති තත්ත්වයකට පත්ව ඇත්තේය. ඒ නිසාම හැම ප්‍රධාන පෙළේ සුසාන භූමියකම වාගේ විදුලියෙන් සිරුරු ආදාහනය කෙරෙන අාදාහනාගාර ඉදිවී ඇත. ඒ නිසා අද වෙද්දී බොහෝ දෙනෙක් මියගිය පසු යැවෙන්නේ විදුලි ආදාහනාගාරයටයි. අනතුරුව එයින් ඉතිරි වන්නා වූ ‘‘භෂ්මාවශේෂ’’ සිරුරේ හිමිකරුවන් භාර ගන්නා අතර ඇතැමෙක් එම භෂ්මාවශේෂ භාර නොගන්නා අවස්ථාද නැත්තේ නොවේ.

එසේ භාරගන්නා භෂ්මාවශේෂ මිහිදන් කර බොහෝ විට ස්මාරකයන් ඉදි වූවත් ඇතැම් විට අද සුසාන භූමීන්හි එසේ ස්ථිරව ස්මාරකයන් ඉදිකරන්නට අවසර ඇත්තේත් නැත. එවිට ඔවුනට ඒ භෂ්මාවශේෂ ටිකක් සුසානයේ මිහිදන් කර එනවා හැරෙන්නට තමන්ට සිහිපත් කරමින් බල බල ඉන්නට සුසානයක් ඉදිකර ගන්නට ආසාවක් තිබුණත් අවස්ථාවක් ලැබෙන්නේ නැත. තම ඥාතියාගේ භෂ්මාවශේෂ තම නිවස අවට තබාගන්නට හැකි අලුත් අත්හදා බැලීමක් ගාල්ල, හබරාදූවේ කොග්ගල ආදාහනාගාරයෙන් මේ වන විට සිදු වෙයි. ඒ භෂ්මාවශේෂ ඇතුළත් සුන්දර මල් පෝච්චි සංකල්පයකිනි. මියගිය පුද්ගලයා සුන්දර මල් ගසක් වී ගෙවත්තේ ඉන්නවාට කැමැති ඕනෑම අයකුට මේ කටයුත්ත කරන්නට පුළුවන.

කොග්ගල ආදාහනාගාරය නම් කරන්නේ මියගිය පුද්ගලයාගේ ඥාතියකුගේ කැමැත්ත මත භෂ්මාවශේෂ ටික මල්පෝච්චියක තැන්පත් කරනු ලබයි. මේ මල්පෝච්චි කොග්ගල ආදාහනාගාරයෙන්ම අඩු මුදලකට මිලදී ගැනීමේ පහසුවත් සපයා ඇත. ඒත් නැත්නම් තමන්ට කැමැති පෝච්චියක් රැගෙන එන්නටත් පුළුවන. ඊට සිමෙන්ති, ලී, ප්ලාස්ටික් වැනි ඕනෑම දෙයකින් සෑදූ පෝච්චියක් පාවිච්චි කළ හැකියි. ඉන්පසු ඒ පෝච්චියට පස් පොහොර දමා ඥාතීන් කැමැති මල් පැළයක් එහි රෝපණය කර දෙයි. ඒ අනුව ඉද්ද, රතුරෝස, පිච්ච, සුදු, කහ, අරලිය ආදී විවිධ මල්පැළ සුසාන භූමියෙත් අැත. ගෙන එන්නටත් පුළුවන. අනතුරුව මල් පෝච්චියේ මියගිය පුද්ගලයාගේ විස්තර සඳහන් කරයි.

කොග්ගල ආදාහනාගාරයේ නම් මේ ස්මාරකය අවශ්‍ය නම් රැගෙන යන්නටත්, අනවශ්‍ය නම් මෙහි තබා යන්නටත් පුළුවන.
ගෙදර රැගෙන ගියහොත් ඥාතියා සිහිවටනයට සාත්තු සප්පායම් කරන්නට ජීවත්වන පිරිසට හැකියි. එහි පිපෙන මලක් දෙස බලා මියගිය කෙනා ‘මලක් වී සුවඳ හමන බව’ හෝ සිතා හිත හදා ගන්නටත් පුළුවන. වසර ගණනක් යද්දී ඒ මල්ගහ විනාශ වුවත් ඒ හා සමාන තව මල් ගසක් ඒ සිහිවටන මල් පෝච්චියේ පැළ කරගන්නටත් පුළුවන. එය පරිසරයටද සුන්දරත්වයක් එක්කරනා කටයුත්තක් වන්නේය. ඉඩ නැති භූමියේ මියගිය පසු උරුමකම් කියන්නට යන හතර රියනටත් ඉන්පසු ආයුබෝවන් කියන්නටත් හැකියාවක් ඇත.

මේ අලුත් සංකල්පය හඳුන්වා දී ඇත්තේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ) සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාය.
‘‘අපි අලුත් දේවල් ජනතාවට හඳුන්වා දිය යුතුයි. අපි වගේ අය එහෙම තීන්දු තීරණ ගත්තාම තමයි මේ රටේ ජරාජීර්ණ වූ දේශපාලනය සංස්කෘතිය යහපත් වෙන්නේ. ඉවත දමන මිනී අළුවලින්ද සමාජයට, රටට සංස්කෘතියට යමක් පරිසරයට සෙතක් සිදුකරන්නට හැකි නම් මෙය වැදගත් වෙනවා. මේ නිසා තමයි අප මෙය ඇති කළේ, අපේ මන්ත්‍රී මණ්ඩලයම. ඒ වාගේ සභාවේ ලේකම් හා නිලධාරින්ද විශේෂයෙන්ම ආදාහනාගර සේවක මහත්වරුන්ද මෙයට සහයෝගයක් දක්වනවා. ඒ නිසා මෙය සාර්ථකවම සිදුකරගෙන යනවා.’’

මේ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු භාරව සිටින්නේ ජී.එච්. චමිල ප්‍රියංකර කුරුළු මහතාය. ‘‘මේ වන විට මේ කටයුත්ත සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රතිචාරයක් මියගිය ඥාතීන්ගෙන් ලැබී තියනවා. ඇත්තටම අප ආදාහනාගාර භූමියේ මේ වැනි මල් පෝච්චි 200ක් තැම්පත් කළ මිනී අළුවලින් සකස් කර ගත් මල්පැළ පෝච්චි ආදාහනාගාරයේ ලස්සනට තැම්පත් කර තියනවා.

මෙයට අමතරව පොදු සුසාන භුමිවලද මේවා ඥාතීන්ගේ කැමැත්ත මත තැන්පත් කර තියනවා. විශාල පිරිසක් තම ඥාතියාගේ මිනී අළු සහිත මල් පෝච්චි ගෙදරට රැගෙන යන අවස්ථා වැඩියි. මෙය ඇත්තටම ජනතාවට කරන සේවාවක් වගේම මියයන පිරිසටද සිදුකරන ගරුත්වයක් වශයෙන් දැක්විය හැකිය. මෙය අලුත් වැඩසටහනක්. මෙය ලංකාවේ ප්‍රථම වතාවට අපේ හබරාදූව සභාවෙන් තමයි සිදු කරන්නේ.

මරණකරුවාගේ නම උපන් දිනය, මිය ගිය දිනය මිහිදන් කළ දිනය. මිය ගිය පුද්ගලයාගේ ඡායාරූපයක්ද මෙම සිහිවටන ඵලකයක් වැනි මල් පෝච්චියේ එක් පැත්තක සකස් කර තියනවා. මෙය සත්තකින්ම අලුත් සංකල්පයක්, අලුත් දෙයක්, ජනතාවට සේවයක් වෙනවා. සභාවට ගරුත්වයක් වශයෙන් තමයි අපි දකින්නේ.’’

නිර්මාණාත්මක මිනිසුන් අතරේ මෙවැනි නිර්මාණාත්මක දේශපාලනඥයින් සිටී නම් අපේ රට කොතරම් සුන්දර වනු ඇත්දැයි මේ සංකල්පය ලංකාව පුරාම සුසාන භූමිවල සිදු කළ දවසකට හැඟෙයි. සුසාන භූමියේ කිරිගරුඬ හෝ සිමෙන්ති සොහොන් කොත් වෙනුවට එකම මල් යායකින් බබළන්නට ගත් විට මැවෙන සුන්දරත්වය ඔබටත්, එදාට විඳගන්නට ඉඩ ලැබෙනු ඇත.

සත්සරණී තෙන්නකෝන්
සුනෙත් ගාල්ලගේ