brand logo

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය කරනවා

12 October 2020

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ගත හැකි ගතයුතු සියලු පියවර ආණ්ඩුව විසින් ගෙන ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය. කොවිඩ් 1 හා 2 රැළි පාලනය කළ සේම කොවිඩ් තෙවැනි රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව ද ඔහු කීවේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් ක‍ළේය. එහිදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය කොවිඩ් ආසාදිතයන් 478 දෙනෙකු හඳුනාගෙන රෝහල්ගත කර ඇති බවයි. ඔවුන්ගේ සමීපතමයන් පී.සී.ආර්. පරීක්ෂණවලට සහ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවද ඇය කීවාය. දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට වහා පියවර ගන්නා ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග එහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය. රාජ්‍ය හා පෞද්ගලික අංශ සමග එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදුකළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි. මිනුවන්ගොඩ විවිධ සේවා සමුපකාර ප්‍රාදේශික විවෘත කිරීමටත්, පොදු ආයතන වල ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ගමට යැවීමටත් මෙහිදී තිරණය කළේය. සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවුණේ මාස කීපයකට පසුව බව පෙන්වා දුන් ඇමැතිවරයා එය පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට රජය සිය පූර්ණ ශක්තිය යොදවා ඇතැයිද කීවේය.
 

More News..