විශේෂාංග

මිනුවන්ගොඩ කොරෝනා රට වටේ රවුම් ගැසූ හැටි

පසුගිය 06 වැනිදා මෙරට පළවූ පුවත්පත්වල පළමුවැනි පිටුවේ වැඩි අවධානයක් හෝ වැඩි ඉඩක් නොදුන් පුවතක් විය. ඒ ‘කන්දකාඩුවේ නිරෝධායනය වූ අවසන් පුද්ගලයාත් පිටව යයි’ යනුවෙනි.

පසුගිය මාස හයක කාලය තිස්සේ රට කොරෝනාවෙන් බැට කෑ තරමේ හැටියට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ අවසන් පුද්ගලයාත් පිටව යෑම ලොකු පුවතක් විය යුතුව තිබුණි. ඒත් ඒ ‘ආඩම්බරය’ එකී පුවතට නොලැබුණේ ඊට දින දෙකකට පෙර දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීමයි. මේ නිසාම එදා සියලුම පුවත්පත්වල වැඩි ඉඩක් දී තිබුණේ නිරෝධායන නීතිය ගැසට් කරන ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාට උපදෙස් දීම පිළිබඳ පුවතයි.

මිනුවන්ගොඩ, යකහටුවේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කළ දිවුලපිටිය, බෝමුගම්මන ග්‍රාමසේවා කොට්ඨාසයේ පදිංචි කාන්තාවකට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට සොයා ගැනුණේ පසුගිය 03 වැනිදාය. ඒ වනවිට ජන මනසින් කොරෝනා බිය තුරන වෙමින් නැතහොත් ජනතාව තම හිතින් කොරෝනාව අතහරිමින් තිබූ කාලයයි. බොහෝදෙනා පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදීත් මුව ආවරණය මුහුණේ නොව සාක්කුවේ දමාගෙන යාමට තරම් කොරෝනාව හෑල්ලුවට ගෙන තිබූ කාලයයි.

ලෝ ප්‍රකට බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ මිනුවන්ගොඩ යකහටුව ශාඛාවේ සේවක සේවිකාවෝ එක්දහස් පන්සීයක් පමණ සේවය කරති. පසුගිය 03 වැනිදා එම ආයතනයෙන් පළමු රෝගියා හමු වූ බවට වාර්තා වීමත් සමගම එදින රාත්‍රිය වනවිටම එකී සේවය කරන අයගෙන් හත්සිය පනහක් පමණම ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කර තිබුණි. එසේම එම කම්හල පිහිටි මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් ආසාදිත කාන්තාව පදිංචි දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයටත්, එම කම්හලේ සේවක සේවිකාවන් වැඩි ප්‍රමාණයක් සේවය කරන වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරිනීතිය පැනවීමටද රජය පියවර ගත්තේය.

දිවුලපිටියේ කාන්තාව උණ රෝග ලක්ෂණ නිසා ඊට දින කිහිපයකට පෙරදීත් පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණි. ඒ අතරතුරේදී ඇති වූ ශ්වසන ආබාධයක් නිසා ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගත් ඇය අහඹු ලෙස පීසීආර් පරීක්ෂණයකට යොමු කෙරුණේ රෝහලෙන් පිටව යන මොහොතේදීය. මෙකී කාන්තාව කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වූයේ එහිදීය. පසුව ගම්පහ රෝහලේ අධ්‍යක්ෂවරයා කියා තිබුණේ ගම්පහ රෝහලේදී මෙම ආසාදිත කාන්තාව සොයාගත් රෝහල් කාර්ය මණ්ඩලය විශේෂ ඇගැයීමක් කරන බවයි.

මේ අතරේදී දිවුලපිටියේ කාන්තාවගේ පවුලේ අයට පීසීආර් පරීක්ෂණ කළ අතර ඇගේ දියණියට හැර පවුලේ සෙසු අයට කොවිඩ් ආසාදනය වී නැති බවට එහිදී හෙළි විය. එසේම ඇය පසුව මාධ්‍යයට කියා තිබුණේ තමන්ට ප්‍රථම තමන් සේවය කරන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් විසි දෙනකුට පමණ උණ වැලඳී තිබුණු බවයි. එහෙත් ‘හදිසි ඕඩරයක්’ බව කියමින් ආයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදෙමින් ඔවුන් දිගටම සේවයේ යොදාගත් බවත් මෙම කාන්තාව සඳහන් කර තිබුණි.

ඒ අතරේම බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියානුවන් පිරිසක් පැමිණි බවටත්, ඉන්දියාවෙන් රෙදි තොගයක් ගෙන්වූ බවටත් කතාවක් පැතිරී ගියත් එම ආයතනය එය තරයේම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඔවුන් පසුව කියා සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉන්දියා ශාඛාවක සේවය කළ පිරිසක් ලංකාවට ආ බවත්, ඔවුන් ගෙන්වා ගත්තේ නිරෝධායන නීතිරීතිවලට සම්පූර්ණයෙන්ම යටත්ව බවත්ය. එසේම ඔවුන් ඒ වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බවද එම ආයතනය ප්‍රකාශ කර තිබුණි.

පසුගිය මාර්තුවේදී කොවිඩ් වයිරසය මෙරටට බලපෑම් කිරීම ආරම්භ වූ පසු රටෙන් හමු වූ තිස් දෙවැනි කොවිඩ් පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර විය. මෙම කොවිඩ් පොකුර නිසා වේයන්ගොඩ සියනෑ සහ මීරිගම හාපිටිගම යන විද්‍යා පීඨ වහා වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ. මිනුවන්ගොඩ මේ කොවිඩ් පොකුර කොයි තරම් ව්‍යාප්ත වූයේද යත් මිනුවන්ගොඩින් කිලෝමීටර් සිය ගණනක් දුරින් වූ යාපනයේ සේවය කරන නාවික හමුදා සෙබළුන් පනස් දෙනකුත් නිරෝධායනයට යොමු කිරීමට සිදුවිය. ඒ දිවුලපිටියේ කාන්තාවට ප්‍රතිකාර කළ ගම්පහ රෝහලේ හෙදියක් යාපනය දක්වා ගමන් කළ දුම්රියෙන්ම මෙම නාවික සෙබළ පිරිසද යාපනයට ගොස් තිබීම නිසාය.

මේ අතර පසුගිය 05 වැනිදා වන විටම දිවුලපිටියේ ආසාදිත කාන්තාව​ගේ දියණිය ඉගෙන ගන්නා දිවුලපිටිය ඥානෝදය විදුහලේ සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අනූ එක් දෙනකුද ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබුණි. එසේම මේ වනවිටත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජයද සිය උපරිමයෙන් කටයුතු කරමින් තිබුණි. කොවිඩ් පාලන කාර්ය සාධක බළකායේ සභාපති, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ තත්ත්වය පාලනය කිරීම සඳහා අලුතින් නිරෝධායන මධ්‍යස්ථාන දහයක් පහළොවක් අතර ගණනක් ස්ථාපනය කිරීම සඳහා රජය සූදානමින් සිටින බවයි. එසේම වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍ය හට ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ මෙවර කොවිඩ් වයිරසය සමාජගත වීමේ ඉඩකඩ පෙර වතාවට වඩා ඉහළ බවයි.

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර කොයි තරම් දුරට ගියේදැයි කිවහොත් අනුරාධපුර ශ්‍රී මහා බෝධි මළුවටත්, රුවන්වැලිසෑ මළුවටත් මුව ආවරණ නැති කිසිවකුට පැමිණීම තහනම් කෙරිණි. එසේම සෞඛ්‍ය නීති නොපිළිපදින්නවුන්ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමට නොදෙන බවද එහි පාලකයන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණි. ගම්පහ ප්‍රදේශයේ සිට යාපනය විශ්වවිද්‍යාලයට ගිය සිසුන්ටද මේ අතරතුරේදී පීසීආර් පරීක්ෂණ කර තිබුණත් ඔවුන්ගෙන් කිසිවකුටත් වයිරසය ආසාදනය වී නැතැයි පසුව හෙළිවිය. ඒ සමගම කන්තලේ සිට ගම්පහ නගරයට ආ සිසුන් කීප දෙනකුගේම පවුල්වල අයද ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි.

මේ සිදුවීම් වනවිට ඉන්දියාවේ ඒ.පී. ද බ්‍රවුන්ස් නමැති නැව කාර්ය මණ්ඩලයේ දාහත් දෙනකුද සමග කොළඹ වරායට පැමිණ තිබූ අතර ඔවුන්ගෙන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළිවීම නිසා එම දාහත් දෙනාම වරයේ කන්ටේනර් පෙට්ටියක් තුළම නිරෝධායනයට ලක් කිරීමටද සෞඛ්‍ය බලධාරීහු කටයුතු යොදා තිබිණි.

මෙසේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර රටපුරා පැතිර යද්දී කළුබෝවිල රෝහලේ සිටි කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන ගිය බවට අසත්‍ය පුවතක් මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කළ කළුබෝවිල ප්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයෙක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදාගෙන මුළු රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ වයස අවුරුදු දහසයක සිසුවෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේද පසුගිය 06 වැනිදාය. එදිනම ප්‍රකාශයක් නිකුත් කළ වසංගත රෝග විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ දිවුලපිටියෙන් හමු වූ කාන්තාව බ්‍රැන්ඩික්ස් පොකුරේද පළමු ආසාදිතයා නොවන බවයි. එසේම සැප්තැම්බර් 20 වැනිදා සිටම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන්ට උණ වැලඳී තිබූ බවට හෙළිවූ බවද ඔහු කියා තිබුණි. මෙම හෙළිදරව්වත් සමගම බ්‍රැන්ඩික්ස් රෝගී වූ බව කියද්දිත් තමන්ගෙන් බලෙන් වැඩ ගත් බවට සේවකයන්ගෙන් ආයතනයට විරුද්ධව චෝදනා ගලා එන්නට විය. මේ නිසාම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් වයිරසයට ගොදුරු වීම හා එය පැතිර යාම වළක්වා නොගත්තේද යන්න සොයා බැලීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඊ.පී.සී. දාබරේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී කේ.බී.ජී. ප්‍රේමදාස යන අයගෙන් යුත් කමිටුවක්ද පත් කළේය.

තත්ත්වය මෙසේ තිබියදී නැවත දැනුම් දෙනතුරු උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියෙන් වැළකී සිටින ලෙසද රජය සහ සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඒ අතරම බස්නාහිර පළාතෙන් පිට සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් හාරසිය අනූපස් දෙනකුගෙන් අඩක්ම ඔවුන් ආයතනයට ලබාදී තිබූ ස්ථිර ලිපිනවල පදිංචිය නැති බවද හෙළිවිය. මේ නිසාම ඔවුන් සෙවීමේ බුද්ධි මෙහෙයුමක්ද ආරම්භ කළ අතර යුද හමුදාපතිවරයා විශේෂ නිවේදනයක් කරමින් කියා සිටියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කිසිම අයකු මේ මොහොත වනවිට එක්කෝ රෝහලක, එසේත් නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයක හැර නිවසක සිටිය නොහැකි බවට තරයේම කියා සිටියේය. මෙම පිරිස් සමාජයේ නිදැල්ලේ හැසිරීමෙන් වයිරසය රට පුරා තව තවත් පැතිර යාහැකි බැවිනි. ඒ සමගම ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, පල්ලෙවෙල, යක්කල, දිවුලපිටිය, සීදූව ආදී පොලිස් වසම්වලට ඇඳිරි නීතිය පැන වූ අතර ඉහළ මාර්ගයේ දුම්රියන් බටුවත්ත දුම්රිය පොළෙන් පසුව යත්තල්ගොඩ දුම්රිය පොළ වනතුරු ගම්පහ, වේයන්ගොඩ, මීරිගම හා අඹේපුස්ස යන ප්‍රධාන දුම්රිය පොළ ඇතුළු දුම්රිය පොළ දාහතකම නැවැත්වීමද අත්හිටවූයේය.

මෙසේ දිගින් දිගටම හමුවන ආසාදිතයන් ගණනත් සමගම වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. ශ්‍රීධරන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ තත්ත්වයට මුහුණ දීම සඳහා දිසා සහ ප්‍රාදේශීය රෝහල් දෙසිය පනහක් සූදානම් කරන ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය. එහෙත් පසුගිය බදාදා වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා තිබුණේ තමන්ගේ චක්‍රලේඛයට කිසිම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරියකුගෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

මේ අතර මීරිගම පොලිස් වසමට අයත් කූරිකොටුව සහ මාලිගාතැන්න යන ගම්මාන දෙකට සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ එළුවාපිටිය යන ගම්මාන තුන හුදෙකලා කෙරිණි. ඒ එම ගම්මානවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අය සිටීම නිසාය. මින් එළුවාපිටිය පන්සලක භික්ෂූන් වහන්සේලා සිව්නමකටද කොවිඩ් ආසාදනය වී තිබූ බව හෙළිවී තිබිණි.

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ සේවය කළ අයකුට කොරෝනා ආසාදනය වීම නිසා එම පොලිසියේ සියලු දෙනාම නිරෝධායනයට යොමු කෙරුණු අතර එම පොලිස් නිලධාරීන් අතරින් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනයට යොමු කෙරුණු පොලිස් රියැදුරෙක් ඉන් පලාගොස් කළුතර රජවත්ත ප්‍රදේශයේ නිවසක් අසල බීමතින් වැටී සිටියදී එම නිවැසියන් විසින් පොලිසියට භාරදී තිබුණි. මෙහි ප්‍රතිඵලය ලෙස එම නිවැසියන්ටද ස්වයං නිරෝධායනයට වීමට සිදුවූ අතර පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කෙරිණි.

පසුගිය දිනක බියගම ප්‍රදේශයේ තරුණයෙක් සිය ඥාතීන්ද කැටුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ මනාලියක් බැලීමට ගොස් තිබුණි. එම තරුණිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තැනැත්තියක් වූ අතර ඇයටද වයිරසය ආසාදනය වී ඇති බවට පසුගිය නව වැනිදා හෙළිවීම නිසා ඇය බැලීමට ගිය මනාලයා ඇතුළු දාහතර දෙනකුටද දින දාහතරක් ස්වයං නිරෝධායනය වීමට සිදුවිය. එසේම පසුගියදා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තරුණියක් විවාහ කරගත් වේයන්ගොඩ තරුණයකුට මධුසමය පසෙක තබා නිරෝධායනයට යාමට සිදුවූයේ අලුත් මනාලියට කොරෝනා ආසාදනය වී ඇති බවට පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වීමත් සමගය. අලුත් මනාලයාට පමණක් නොව, විවාහයට අත්සන් කළ විවාහ රෙජිස්ට්‍රාර්වරයාටත්, සාක්ෂියට අත්සන් කළ දෙදෙනාටත් නිරෝධායනය වීමට සිදුවී තිබිණි.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා අලුයම පහේ සිට නැවත දැනුම් දෙනතුරු කටුනායක ප්‍රදේශයටද ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබුණි. ඊට පැහැදිලි හේතුවක් ප්‍රකාශ වී නොතිබුණත් කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් හමුවීමත් එහි කොවිඩ් පොකුරක් බිහිවීම වැළැක්වීමත් මෙහි අරමුණ වූවා විය හැකිය.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා වනවිට කොවිඩ් තත්ත්වය මතුගම ප්‍රදේශයටද පැතිරී තිබිණි. ඒ කොවිඩ් ආසාදිත වූ බවට හඳුනාගත් ජාතික රෝහලේ සේවය කරන මතුගම ප්‍රදේශයේ හෙදියක් දිනපතා මතුගම සිට සේවයට පැමිණීම නිසාය. එසේම මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආරම්භ වෙද්දීම වසා දැමූ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් කිරීමටද පසුගිය 15 වැනිදා වනවිට රජය පියවර ගෙන තිබිණි.
කොවිඩ් දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වෙනවාත් සමගම ලංගම හා පෞද්ගලික බස් සේවාවන්හි මගීන් ගෙන යාම යළිත් ආසන ගණනට සීමා කෙරිණි. මේ නිසා බස් ධාවනයෙන් තමන්ට පාඩු සිදුවන බව කියන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නවත්වන බවටද අනතුරු අඟවා ප්‍රකාශ කර තිබුණි. එහෙත් සෙසු බස් සංගම් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ එම තීරණයට පැහැදිලි එකඟතාවක් දක්වා තිබුණේ නැත.

පසුගිය 03 වැනිදා ගම්පහ රෝහලෙන් පළමු කොවිඩ් ආසාදිත කාන්තාව සොයා ගැනීමත් සමගම මොන තරම් ශීඝ්‍රයෙන් එය රටපුරා පැතිර ගියාදැයි කිවහොත් දින දහයක් දොළහක් කාලයක් තුළදී රටේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසි එකකින්ම ආසාදිතයන් හමුවී තිබීම තත්ත්වයේ බැරෑරුම්කම හොඳ හැටි කියාපාන්නේය. මාර්තු මාසයේ ලංකාවේ මුල්ම කොවිඩ් රෝගියා හමුවීමත් සමගම මේ දක්වා හමු වූ සමස්ත ආසාදිතයන් ගණන පසුගිය 15 වැනිදා වනවිට වාර්තා වූයේ පන්දහස් එකසිය හැත්තෑවක් හැටියටය. ඒ මාර්තු මැද සිට සැප්තැම්බර් අග වනතුරුය. පසුගිය තුන්වැනිදා සිට පහළොස් වැනිදා දක්වා දින දොළහක් තුළ එම 5170ට බ්‍රැන්ඩික්ස් පොකුරෙන් එකතු වූ ගණන 1591කි. තත්ත්වයේ බැරෑරුම්කම ගැන කීමට එම සංඛ්‍යාලේඛන හොඳටම ප්‍රමාණවත් බව නැවතත් සිහිපත් කළ යුතුය. තත්ත්වය එසේ වුවත් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන පන්දහස ඉක්මවූවද තවමත් ලංකාව සිටින්නේ කොවිඩ් මරණ අවම රටවල් අතරින් හතරවැනි තැන බවයි.

උපාලි තිලකරත්න