විශේෂාංග

මිනිස් මොළයේ සෛල දීසියක වවති

මිනිස් මොළයේ සෛල දීසියක වවති

මිනිස් ඉතිහාසය වෙනස් කරන ඉන්දියාවේ අලුත්ම සොයා ගැනීම

ස්නායු රෝග නිසා වසරක් පාසා පීඩාවට පත්වන පිරිස බොහෝය. ලෝක සෞඛ්‍ය සංවිධානය 2006 වසරේදී කියා සිටියේ ස්නායු ආශ්‍රිත විවිධ මට්ටමේ රෝගාබාධ හේතුවෙන් ලෝ පුරා වෙසෙන බිලියනයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි. ඒ නිසා ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ මනුෂ්‍ය පැවැත්මට ඉතා වැදගත් ය. එවැනි ඉතා වැදගත් පර්යේෂණයක් පිළිබඳව තොරතුරු පසුගියදා වාර්තා විණ.

එම පර්යේෂණය සිදු කර තිබෙන්නේ ඉන්දීය ජාතික සෞඛ්‍ය ආයතනයට අනුබද්ධව අධ්‍යයනයන් සිදු කරන පර්යේෂකයන් පිරිසක් විසිනි. මිනිස් ශරීරයෙන් බැහැර ස්ථානයක ස්නායු සෛල වර්ධනය කරගන්නට මේ පිරිස සමත් වී ඇත.

එම ස්නායු සෛල වර්ධනය කරගෙන තිබෙන්නේ පරීක්ෂණාගාරයේ භාවිතයට ගැනෙන පටක රෝපණ දීසියක් තුළය. එසේ වර්ධනය කරගත් සෛල මානව ස්නායු සෛලවලට බෙහෙවින් සමාන බව පර්යේෂකයෝ සඳහන් කරති.

පර්යේෂණය සඳහා මූලිකත්වය ගත් වෛද්‍ය යෝගිතා අඩ්ලඛා පර්යේෂණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් කියා සිටින්නේ මෙවැන්නකි.

“… නැවත යථා තත්ත්වයට පත් කළ හැකි, මිනිස් මොළයේ ආකෘති සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් වෙලා තිබෙනවා. ඉන්ඩියුස්ඩ් ප්ලුරෝපොටෙන්ට් ස්ටෙම් සෙල්ස් (Induced Pluripotent Stem Cells) යනුවෙන් හැඳින්වෙන සෛල වර්ගය ස්නායු සෛල බවට පත් කරගන්න අපට හැකි වුණා.

එම සෛල, ස්නායු සෛල බවට වර්ධනය කර ගැනීම සිදු කරගත්තේ පර්යේෂණාගාරවල භාවිත වන දීසියක් ඇතුළේ. නැත්නම් පටක රෝපණ දීසියක් ඇතුළේ. එහෙම වර්ධනය කරගත් සෛල මානව ස්නායු සෛල මෙන් ක්‍රියා කරනවා. …”

මේ අන්දමට වර්ධනය කරගත් ස්නායු සෛල භාවිතයට ගනිමින් මිනිසා මුහුණ දෙන ස්නායු රෝග පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් සිදු කිරීමට හැකි බව වෛද්‍ය යෝගිතා පෙන්වා දෙන්නී ය.

ඔටිසම් වැනි රෝග තත්ත්වවලට ලබාදෙන ප්‍රතිකාර පිළිබඳව අධ්‍යයනය කිරීමට, වර්ධනය කරගත් ස්නායු සෛල යොදා ගැනීමට පුළුවන් බව ඇගේ අදහසයි. මිනිසා පදනම් කරගත් ආකෘතියක් (human-based model) වර්ධනය කරගත් ප්‍රථම අවස්ථාව මෙය බව ද ඈ සඳහන් කරන්නීය.

වෛද්‍ය යෝගිතා අඩ්ලඛා

මොළයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කිරීම සඳහා විද්වතුන් අදටත් යොදා ගන්නේ මෘත දේහයක ඇති මොළය ය. ඇතැම් අවස්ථාවලදී සත්ත්ව මොළය යොදාගෙනත් පර්යේෂණ සිදු කෙරේ. මෘත දේහයක ඇති මොළය හෝ සත්ත්ව මොළය හෝ යොදාගෙන කරන පර්යේෂණවලින් ස්නායු සෛලවල සංකීර්ණ ස්වභාවය අධ්‍යයනය කරන්නට විද්වතුන්ට ඉඩ සැලසෙයි. එසේ වුවත් ප්‍රතිකාර ක්‍රම පිළිබඳව තේරුම් ගැනීමට සහ ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීමට සිදු කෙරෙන පර්යේෂණ සඳහා මෘත දේහයක ඇති මොළය හෝ සත්ත්ව මොළය හෝ යොදා ගැනීම සාර්ථක නොවේ.

ඒ අන්දමට නිපදවා ගන්නා බොහෝ ඖෂධ වර්ග සත්ත්ව මොළය සම්බන්ධයෙන් සාර්ථක බවක් පෙන්නුම් කරයි. එහෙත් මිනිසුන් යොදාගෙන සායනික මට්ටමෙන් කෙරෙන ප්‍රතිකාරවලදී එම ඖෂධ සාර්ථක නොවේ. මේ නිසා මිනිස් මොළයට සමාන ආකාරයේ ආකෘතියක් සකසා ගැනීමේ අවශ්‍යතාව ස්නායු පිළිබඳ අධ්‍යයනයන් සිදුකරන විද්‍යාඥයන්ට තදින්ම දැනුන බව වෛද්‍ය යෝගිතා කියන්නීය . වෙනසකට භාජන නොවුණු සෛල හෙවත් “ස්ටෙම් සෙල්” (stem cell) යොදා ගැනීමේ තාක්ෂණය එයට ඇති සාර්ථකම විසඳුම බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

Top Potential Uses of Stem Cells to Treat Disease - Docwire News

“… මේ තාක්ෂණය පසුපස තිබෙන අදහස, රෝගියාගේ රුධිරය ගෙන එය “ඉන්ඩියුස්ඩ් ප්ලුරෝපොටෙන්ට් ස්ටෙම් සෙල්ස්” නමැති සෛල වර්ගය බවට පත් කර ගැනීමට හැකිවීමයි. එම සෛල මානව කලලයක තිබෙන මූලික සෛලවලට (සෙටෙම් සෙල්ස්) බොහෝදුරට සමානයි. …

“ස්ටෙම් සෙල්ස් ” යොදාගෙන ද්විමාන සහ ත්‍රිමාන ආකෘති සකසා ගන්න ඉඩ ලැබෙනවා. මොළයේ ත්‍රිමාන පටක විද්‍යාගාර දීසියක වර්ධනය කරගන්න පුළුවන්. මොළයේ එවැනි ත්‍රිමාන ආකෘති, සැබෑ මිනිස් මොළයේ ස්වරූපයට සමානයි. එනිසා සත්ත්ව මොළයක් යොදාගෙන ඖෂධ අත්හදා බැලීමේ අවශ්‍යතාවක් එවිට මතු වන්නේ නැහැ. …” යනුවෙන් ද වෛද්‍ය යෝගිතා කියන්නීය.

3D Bioprinting of Living Tissues

මූලික සෛල හෙවත් “ස්ටෙම් සෙල්” යනු සියලුම පටකවල ප්‍රභවයයි. එම මූලික සෛල අස්ථි, හෘත් පේශීන්, ස්නායු සහ අනෙකුත් දේහ අවයව ලෙස විභේදනය වී වර්ධනය වේ. හානි වූ පටක අලුත්වැඩියා කිරීම සඳහාත් වෛද්‍යමය පර් යේෂණ සඳහාත් මූලික සෛල යොදා ගැනීමට පුළුවන් බව සනාථව ඇත. මූලික සෛල යෙදවුම තාක්ෂණයක් වශයෙන් ද මේ වනවිට වර්ධනය වෙමින් තිබේ.

එම මූලික සෛල කේන්ද්‍ර කරගත් තාක්‍ෂණය රෝග ආකෘති සැකසීම, සංකීර්ණ අවයව අධ්‍යයනය, සහ ඖෂධ අත්හදා බැලීම ආදී බොහෝ කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි බව දැක් වේ.

මංජුලා විජයරත්න