විශේෂාංග

මිනිස් ජීවිත බේරූ මරාගෙන මැරෙන බෝම්බකාරිය

අයිෂා නිහඬවම ටික දුරක් ඉදිරියට ඇවිදගෙන ගියාය. ඇයට මිනිසුන් මරා දමන්නට උවමනාවක් නැත. එහෙත් ඇය අසරණය. කරන්නට දෙයක් නැත.

බඳ වටා බැඳ තිබුණු බෝම්බයේ බර නිසා ඇවිද ගන්නටවත් බැරි තරම්ය. ඩෙටනේටරය දෙසට ඇඟිලි තුඩු යවමින් ඇය සිතුවේ එක දෙයක් ගැන පමණය.

“මේකෙන් ගැලවෙන්නේ කොහොමද..?”

තම කුඩා බඳ වටා බැඳ ඇති මේ පටිය ගලවා ගන්නා ක්‍රමයක් ඇය දන්නේ නැත. ගලවා ගන්නට උත්සාහ කරන්නටත් බයය. කොහොමත් ඇයට මරණය නියතය.

“කමක් නෑ. මං කොහොමත් මැරෙනවනෙ.. අනිත් අයවවත් බේරන්න ඕන.. මං කිසිම කෙනෙක් නැති තැනකට ගිහින් මේක පුපුරව ගන්නවා..”

ආයිෂා සිතා ගත්තාය.

ආයිෂා දොළොස් හැවිරිදි දැරියකි. වයඹ දිග නයිජීරියාවේ ඈත ගම්මානයක උපන් ආයිෂාට ජීවිතය එතරම් සුවපහසු එකක් වූයේ නැත. ඒ ගම්වල හැම කෙනකුටම වාගේම ආයිෂාගේ ජීවිතයද දුප්පත් කමින් පීඩිත වී තිබිණි.

එහෙත් දුප්පත් කමටත් වඩා අයිෂාලාගේ ජීවිත පීඩනයට පත් කළේ යුද්ධයයි. බොකෝහරාම් ඉස්ලාමික ත්‍රස්ත කණ්ඩායම නිසා දැන් වසර අටක් තිස්සේම නයිජීරියාව යුද පිටියකි.

ඒ යුද්ධයෙන් වැඩියෙන්ම බැට කන්නේ නයිජීරියාවේ අහිංසක සිවිල් මිනිසුන්ය. කුඩා දැරියක වීමම නයිජීරියාවේදී මරණයට අත වැනීමක් විය. බොකෝහරාම් ත්‍රස්තයින් බොහෝ විට තමන්ගේ මරාගෙන මැරෙන බෝම්බකාරියන් බවට පත් කරගත්තේ බලහත්කාරයෙන් ගම්වලින් අල්ලා ගන්නා ලද කුඩා දැරියන්වය.

මේ ලෙසින් පැහැරගන්නා දැරියන් බොහෝ විට වයස අවුරුදු පහළොවටත් අඩු දැරියන්ය. ඉන්පසු බලහත්කාරයෙන්ම ඔවුන්ගේ සිරුරට බෝම්බ ගැට ගසන ත්‍රස්තයෝ, ඔවුන්ගේ සිරුරු වැසෙන සේ දිගු කළු ලෝගුව අන්දවා සෙනග ගැවසෙන තැන්වලට ඒ දැරියන්ව යවන්නේ බෝම්බය පුපුරුවාගන්නැයි තර්ජනය කරමිනි. පසුගිය වසර ගණනාවක් තිස්සේ නයිජීරියාව පුරා තැන් තැන්වල සිය ගණනක් බෝම්බ ප්‍රහාරයන් බොකෝහරාම් ත්‍රස්තයින් විසින් එල්ල කරන ලද්දේ මේ ආකාරයටය.

ඒ අවාසනාවන්ත ඉරණම ආයිෂාවද සොයාගෙන පැමිණි දිනයක් විය.

ඒ දිනයේදී ආයිෂාලාගේ ගම්මානයටද බොකෝ හරාම් ත්‍රස්තයින් කඩා වැදුණහ. මුළු ගම්මානයම වෙඩි හඬින් භීතියට පත් කළ ත්‍රස්තයෝ, පණ බේරාගන්නට ඒ මේ අත දුව යන මිනිසුන්ව අල්ලා කපා කොටා මරා දැමූහ. මේ ප්‍රහාරයෙන් ආයිෂාගේ අම්මාද මිය ගියාය.

එහෙත් ගමෙන් පලාගොස් දිවි ගලවා ගන්නට ආයිෂාටත්, ඇගේ මල්ලීටත්, තාත්තාටත් හැකි විය.

එහෙත් ඔවුන්ටත් ඒ හැටි වාසනාවක් ඉතිරිව තිබුණේ නැත. පලා යමින් උන් මේ තිදෙනාව මගදීම බොකෝහරාම් ත්‍රස්තයින් විසින් අල්ලා ගනු ලැබිණ.

ආයිෂාගේ තාත්තාව ඔවුහු එතැනදීම මරා දැමූහ. තාත්තාව මරා දැමූ ත්‍රස්තයෝ දරු දෙදෙනා පැහැරගෙන අසල වනාන්තරයේ වූ බොකෝහරාම් කඳවුර වෙත ගෙන ගියහ.

පහුවදාම “මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු” බවට පත් වෙන්නට ආයිෂාගේ හත්හැවිරිදි පුංචි මල්ලීට සිදුවිය.

“ඔයා මේ යන්ඩ හදන්නෙ ලෝකෙ තියෙන හොඳම තැනට..”

ආයිෂාගේ මල්ලීගේ සිරුර වටා බෝම්බය ගැට ගසමින් ත්‍රස්තයා කීවේය.

“ඒ කියන්නෙ අපිව ආපහු ගෙදර එක්කගෙන යනවද..?” “බෝම්බය” හෝ “මරාගෙන මැරෙන ප්‍රහාරය” යන වචන ගැනවත් අවබෝධයක් නොතිබුණු ඒ පුංචි දරුවා ඇසුවේය.

“නෑ.. ගෙදරටත් වැඩිය හොඳ තැනකට.. ස්වර්ගයට.. නරක මිනිස්සුන්ව මරලා දැම්මම ඔයා ස්වර්ගයට යනවා..”

ඔවුහු එසේ කීහ. ස්වර්ගයට යාම කෙසේ වෙතත් ඒ බෝම්බයෙන් මල්ලීගේ පුංචි සිරුර කැබලි කැබලිවලට කැඩී යන බව ආයිෂා නම් දැනගෙන උන්නාය. එහෙත් ඇය අසරණය. ඇයට කරන්නට හැකිවූයේ නොනවත්වා වැලපීම පමණකි. එයින් පසුව මල්ලී ගැන ආරංචියක් ලැබුණේ නැත. ආයිෂාව කඳවුරේ උන් එක් ත්‍රස්තයකු වෙත ගෙන යනු ලැබිණ.

“කෙල්ල නියමයි…”

කුඩා ආයිෂාගේ හිසේ සිට දෙපතුලට කෑදර බැල්මක් හෙළූ ඒ ත්‍රස්තයා කීවේය.

“අද උඹ මාව කසාද බඳිනවා. මං කියන විදිහට වැඩ කරන්ඩ ඕන..”

ත්‍රස්තයා රලු ලෙසින් ආයිෂාට කීවේය.

ආයිෂා දැන උන් විදිහට නම් “කසාද බඳිනවා” යනු ඉස්කෝලේ ගමන ඉවර වීමය. ඇයට එහෙම කරන්නට කැමැත්තක් නැත. ඇය පාසැල් යන්නට හරිම කැමතිය.

“බෑ.. මට බෑ.. මට කසාද බඳින්න බෑ..”

ඇය දිගින් දිගටම හැඬුවාය. ත්‍රස්තයාට කේන්ති ගියේය.

“උඹට මේකට වන්දි ගෙවන්ඩ වෙයි..”

ඔහු ආයිෂාට තර්ජනය කළේය.

“හෙටම මේකිව “මිෂන්” එකකට යවනවා..!”

ඔහු එතැන උන් සාමාන්‍ය බොකෝහරාම් ත්‍රස්ත සෙබළාට අණ දුන්නේය.

ඉතින් පහුවදාම ආයිෂාට ඇවිදින බෝම්බයක් බවට පත් වීමට සිදු විය.

දැන් ඇය මේ ඉදිරියට ඇවිදගෙන යන්නේ ඒ බෝම්බයත් සිරුරේ බැඳගෙනය. මේ හරියේ මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් ගැවසෙති. හමුදා කඳවුර ඇත්තේ ඊට ඔබ්බෙනි.

කාත් කවුරුවත් නැති පාළු හරියකට යන්නට නම් හමුදා කඳවුරත් පසු කොට තවත් දුර යා යුතුය.

අඩිය ඉක්මන් කර ඉදිරියට ඇදෙන ආයිෂාට ඇඬුම නවත්වා ගන්නට බැරිය. තවත් විනාඩි කිහිපයකින් හෝ පැයකින් දෙකකින් තමාගේ ජීවිතය අහිමි වන බව ඇයට හොඳටම විශ්වාසය. ඉතින් ඇය ඇඬුම් නවතා ගන්නේ කොහොමද..? ඇයට අම්මා මතක් වී ඇඬුම් එයි. ඊළඟට තාත්තා මැරුණු හැටි මතක් වෙයි. බෝම්බය පිපිරී කෑලි කැඩී විසිරෙන මල්ලීගේ මොලකැටි සිරුර මතක් වෙයි.. තවත් සුළු මොහොතකින් තමාටද ඒ ඉරණමම අත් වෙන බව බව මතක් වෙයි.. මේ සියල්ලම නිසා ආයිෂා එක දිගටම ඇඬුවාය. අඬමින්ම වේගයෙන් ඉදිරියට ගියාය.

“ඇයි දරුවෝ ඔයා මේ අඬන්නෙ..?”

ඇය අඩමින් යනු දුටු එක් වැඩිහිටියෙක් ඇයගෙන් අසන්නට නැවතුණේය. ඇය කළේ පිළිතුරක් නොදී ඉදිරියට දිවීම පමණකි.

හැකි තරම් දුර දිවූ ඇය වෙහෙස නිසාම නතර වන විට පේන මානයේ වූයේ හමුදා කඳවුරය. ත්‍රස්තයින් තමාව එව්වේ මේ කඳවුර පුපුරුවා හරින්නටය. ඇයට තවත් තදින් ඇඩේන්නට විය.

කඳවුර අසල මුරකාවලෙහි උන් සෙබළු මේ අඬන දැරියව දුටුවහ. ඔවුහු දැරිය දෙසට එන්නට වූහ.

තමන් දෙසට එන හමුදා සෙබළුන් දුටු ආයිෂා බියපත් වූවාය. ඇය ඈත තියාම කෑ ගසා කතා කළාය.
“අනේ මගේ ළඟට එන්න එපා.. උන් මගේ ඇගේ බෝම්බයක් බැඳලා තියෙන්නෙ.. ඒත් මට ඕගොල්ලන්ව මරන්න ඕන නෑ.. මං අර ඈතින් තියෙන කැලේට ගිහින් මේක පුපුරවා ගන්නම්.. අනේ මගේ ළඟට එන්න එපා..”

ආයිෂා හමුදා සෙබළුන්ට ඇහෙන්නට කෑ ගැසුවාය.

මුහුණට මුහුණ බලාගත් හමුදා සෙබළු මදකට නැවතුණහ. දැන් ඔවුන් තමන්ට වෙඩි තබනු ඇතැයි සිතූ ආයිෂා තදින් ඇස් දෙක පියා ගත්තාය. වෙඩි හඬක් ඇසෙන තුරු බලා උන්නාය. එහෙත් එවැන්නක් ඇසුණේ නැත.

එහෙත් කටහඬක් ඇසුණි. ඒ හඩ කාරුණිකය.

“බය වෙන්න එපා දරුවෝ.. අපි ඔයාව බේරගන්නම්..”

ඒ හමුදා සෙබළෙකි.

“ඔහොම ම බිම දිග ඇදෙන්න.. මූණ බිම අතට..”

ඔවුහු ඇයට කරන්නට අවශ්‍ය දේ ගැන උපදෙස් දුන්හ. ඇය කීකරුව ඔවුන් කී දේ කළාය. සෑහෙන පරිශ්‍රමයකින් පසු බෝම්බය ඇගේ සිරුරින් ඉවත් කොට නිශ්ක්‍රිය කොට දැමිණ.

ආයිෂාව බේරාගත් හමුදා සෙබළුන් විසින් ඇයව අවතැන් වූවන්ගේ කඳවුරක රැකවරණයට භාර කරන ලදී. අද ඇය ඒ අවතැන් කඳවුරේ කල් ගෙවන්නීය.

ආයිෂා.. ඒ දොළොස් හැවිරිදි පුංචි දැරිය, ස්වර්ගය ගැන නොසිතා මිනිසුන්ගේ ජීවිත ගැන සිතුවාය. ස්වර්ගය සැබවින්ම අයිති එවැන්නන්ටය.

නිම්මි මුදිතා හේරත්