පිනි පලස

මිනිත්තු 10කින් පොකට් ගහපු – රෙක්ස්

රෙක්ස් කොඩිප්පිලි සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන්න රංගන ශිල්පියෙක්. ඒ වගේම සිනමාවේ එදා මෙදා තුර දුෂ්ටයන් විරල වූ බැවින් ඔහු දුෂ්ටයාට පමණක් පණ පෙවීය.
මේ රෙක්ස් කොඩිප්පිලි සිනමාවේ දුෂ්ටයා වූ හැටි…

මම කුඩා කාලයේ ඉඳන්ම චිත්‍රපට නැරඹීමට ලොකු ආශාවක් තිබුණ කෙනෙක්.

විශේෂයෙන්ම මම ඒ දවස්වල බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපට. ඒත්… මට කවදාවත් නළුවෙකු වෙන්න ඕනේ කියලා සිහිනයක් නම් තිබුණේ නැහැ. පාසලින් පසු මම හමුදා සේවයට බැඳුණා. ඊට පස්සේ කාලෙක මම සලාකා ව්‍යාපාරයට එක්වුණා. එතැනදී මට ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ඔස්වල්ඩ් ජයසිංහ මහතාගේ මගපෙන්වීම ඔස්සේ, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා හැඳින ගැනීමට අවස්ථාව ලැබුණා.

එතැනින් පස්සේ තමා මගේ සිනමා ගමන ආරම්භ වුණේ. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඔහුගේ කතුරු මුවාත්, චිත්‍රපටයේ පොකට්කරුගේ චරිතය කරන්න මට කතා කළා. මම මුලින්ම නම් කැමති වුණේ නැහැ ඒ නිසා මම බෑ කිව්වා. මොකද ඒ වෙද්දී මම විවාහවෙලා අපිට දරුවෙකුත් හිටියා. ඒ වගේම තමා මම මූලිකත්වය දීලා තිබ්බේ ව්‍යාපාර වැඩ කටයුතුවලට. ඒත් පස්සේ ඉතින් කොහොම හරි මම මේ පොකට්කරුගේ චරිතය කළා.
එදා මට එහෙම ලොකු විශේෂත්වයක් දැනුණේ නැහැ. මොකද මට තිබ්බේ මිනිත්තු 10ක් වගේ කෙටි කාලයක දිවෙන චරිතයක් ඉතින් ඒක එක පාරින්ම කරලා මම ආවා.

ඊට පස්සේ සති දෙකකට විතර පස්සේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතායි කුමාරදාස වාකිෂ්ඨ මහතායි දෙන්නම ආවා. මාව හොයාගෙන ඇවිත් කිව්වා ඔයා පොකට්කරුගේ චරිතය නම් හොඳට කරලා තියෙනවා. ඒත් ඒක අපිට අයින් කරන්න වෙනවා කියලා. මම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට එයාලා කිව්වා ඒක අයින් කරන්නේ ඔයාට චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතය දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම කතුරු මුවාත් චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතය කළා.

ඒ වගේම තමා මම රඟපෑ මේ කතුරු මුවාත් චිත්‍රරපටය තිරගත වෙන්න කලින් මම තව චිත්‍රපට 4ක් කළා. ඒ මම ඒ චරිතයට කළ සාධාරණයට ලැබුණු ප්‍රතිචාරය තමයි.

අමතක නොවන අත්දැකීම තියෙන්නේ ලොකුම හිනාව චිත්‍රපටයේ, මොකද ඒකෙ යතුරු පැදියක ධාවනයක යෙදෙමින් සටන්කාමී මාරාන්තික රංගනයක් මම කළා. එතැනදී උණබම්බු පටවපු ලොරියක් උඩින් මෝටර් සයිකලයක් පන්නා මෝටර් සයිකලයට යට වීමෙන් මගේ කකුල තුන් පලකින් කැඩී, මාස නවයක් කොළඹ මහ රෝහලෙහි ඥානසේකර වෝඩ් එකේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඒ ෂූට් එක එදා ඕනෙමයි කිව්වේ ලොකුම හිනාව චිත්‍රපටයේ නිෂ්පාදක ඊ. ඒ. පී. එදිරිසිංහ. කොහොම වුණත් ඒ චිත්‍රපටය තිරගත වීමට පෙර සේරම හෝල්වල එහි පූර්ව ප්‍රචාරක පටය යෑමත් එක්කම සිනමා රසිකයන් මේ චිත්‍රපටය එනතෙක් මග බලන් හිටියා.

ඊට පස්සේ රඟපෑ චරිත අතර මුවන්පැලැස්ස කදිරා, රක්තාහි ධානු ලෙස හිස බූ ගා කළ රංගනය, බයිසිකලේ කළු මහත්තයා, චන්දීරා සක්කර මාමා, කොටි වලිගයේ සාජන්ට් සිල්වා, ක්‍රිස්තු චරිතය පිලාන්, යනාදී චිත්‍රපටවල කැපීපෙනෙන රංගනයන් නිරුපණය කළා. අද වන විට චිත්‍රපට 225 කට පමණ රංගන දායකත්වය සපයලා තියෙනවා.

ගොඩක්ම මට ලැබු​ණේ දුෂ්ට චරිත. සටන් චරිත ඒ වගේම එකිනෙකට වෙනස් විවිධ චරිත ලැබුණා. ඔය අතරේ පෙම්වතාගේ චරිතය නම් කරලා තියෙන්නේ හතර පස් වතාවක් විතර, මුලින්ම පෙම්වතාගේ චරිතය කළේ, ලස්සන දවසක් චිත්‍රපටයේ ඒ වගේම මුලින්ම රිදී තිරයේ පෙම්වතිය වුණේ ශ්‍රියානි අමරසේන.

ඒ වගේම මට ගීත ගායනයටත් හැකියාව තිබුණා, ඒ කුඩා කල ඉඳන් ගීත ගායනයටත් මා තුළ විශේෂ ඇල්මක් තිබුණ නිසා. 50 දශකයේ අග භාගයේදී ගුවන් විදුලි ආධුනික ගී තරගයකින් මා දෙවැනි ස්ථානය ලැබුවා. එහිදී ප්‍රථම ස්ථානය හිමි වූයේ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියටයි. ඒ වගේම සාගරිකා චිත්‍රපටයේ එන කකුළුවා නටන්නේ දිය රත් වෙනතුරු ගීතය ගායනා කළෙත් මම.

චිත්‍රපට නිෂ්පාදනයටත් මම යොමු වුණා, ඒ අනුව බයිසිකලේ චිත්‍රපටය තුළින් තමා චිත්‍රපට නිෂ්පාදනයට ආවේ. ඊට පස්සේ ගොඩක් අය මට කතා කළා නිෂ්පාදන කටයුතු කරන්න එන්න කියලා. ඒත් මම හවුලේ වැඩ කරන්න කැමැත්තක් දැක්වුවේ නැහැ.

සිනමාවෙන් පස්සේ මම පුංචි තිරයට එන්නේ ටයිටස් තොටවත්ත මහතාගේ රන් කහවනු ටෙලි නාට්‍යයෙන්. අද වෙද්දී ටෙලි නිර්මාණ 200කට පමණ දායකවෙලා තියෙනවා. ඒ අතර දීර්ඝ මාලා නාටක 10 කටත් රංගනයෙන් දායක වී තිබෙනවා. අදටත් මම සිනමාවේ පුංචි තිරයේ මට ලැබෙන චරිතවලින් තෝරා ගත් චරිත අතරින් ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. එදා වගේම අදත් මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඇගයීම් සම්මාන ගැන මතක් කරනවා නම් ඉතින් සරසවි සම්මාන, ඕ.සී.අයි.සී., රයිගම්, සුමති කලා භූෂණ සම්මානත් ඇතුළුව මගේ රංගනය උදෙසා පිරිනැමුණු ඇගයීම් පිළිබඳව මා අවංකව තෘප්තිමත්. ඒ නිසා අදටත් ජීවිතය දෙස සුබවාදීව බලන ගමන් ලැබෙන නිර්මාණ අතරේ ජීවිතය සමබරව ගලා යනවා.

අනූෂා රණසිංහ