විශේෂාංග

මිතුරුව එතොත් දුහුවිලි වුව වැලඳ ගමු

විදේශ බලපෑම් නොතකා අපේ රටට නොනැවී ඉන්නට බැරිද යන ප්‍රශ්නය යළිත් කරළියට පැමිණ තිබේ. ලංකාවේ හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන ඇමෙරිකානු රජයේ විරෝධතාව නිසාය, එබඳු ප්‍රශ්නයක් කරළියට පැමිණ තිබෙන්නේ.

දැන් ඇමෙරිකාවට, බැණ වැදුනාට වැඩක් නැත. වැදගත් වන්නේ ඇමෙරිකාව ආදී බලවත් රටවල් කරන මෙබඳු තර්ජන නොතකා නොනැමී රටේ උරුමය රැකගෙන වැඩ කරන්නට අප සමත්දැයි සොයා බැලීමය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය බඳු රාජ්‍යයන්හි බලපෑම් ගණනකට නොගෙන ස්වාධීනව හිස ඔසවා සිටීමේ ඉතිහාසයක් අප රටට තිබේ.

ඇමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ බලපෑම් ගැන නොතකා රටේ ජනතා හිතසුව වෙනුවෙන් නිර්භය තීන්දු ගත් රාජ්‍ය නායිකාව වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. 1960 දී ලොව මුල්ම අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වූ ඇය එතෙක් ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය සමාගම් සතුව පැවති තෙල් හා ගෑස් සමාගම් ජනසතු කළාය. ෂෙල් ආදී දැවැන්ත ජාත්‍යන්තර සමාගම් ජනසතු කරද්දී ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ආදී රාජ්‍යයන් ලංකාවේ තේ ආදී දෑ මිලට නොගන්නා බව කියමින් තර්ජනයේ දබරැඟිල්ල මැතිනියට උරුක් කළෝය. එකල සෝවියට්දේශය ආදී රාජ්‍යයන්හි සහාය මැතිනියට ලැබුණද ඇය ඇමෙරිකාවට එරෙහිව එබඳු තීන්දු ගත්තේ ලංකාවේ ඉහළම උසාවිය ලෙස බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය පිළිගන්නට සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ රාජ්‍යය කරමින්ය. ඇය ජනතා පරමාධිපත්‍යය තහවුරු කෙරෙන මෙබඳු තීන්දු ගත්තේ තන්වැසි නුවණෙනි. අද ගහක් ගලක් ගානේ පවත්වාගෙන යන විදේශ රාජ්‍ය සබඳතා පාඨමාලාවක් හදාරා තිබුණේ නම් මෙබඳු දෑ නොකරන්නටද ඉඩ තිබුණි. ඊළඟට එවක, බ්‍රිතාන්‍ය මෙරට මහ කොමසාරිස් වූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් 1989 ජනාධිපතිවරණයේදී හම්බන්තොට හොර ඡන්ද දමනු තමන් දුටු බවට පොලිසියට පැමිණිලි කළේ ය. තානාපතීන් බැඳී සිටින වියානා සම්මුතියට අනුව ගැල්ඩ්ස්ටන් මෙරටට නුසුදුසු පුද්ගලයකු ලෙස නම් කරමින් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා වහාම ඔහු නෙරපා හැරියේය.

මෙරට දෑට හොට දමන්නට පැමිණි තානාපතීන් කීප වතාවක්ම, එක්සත් ජාතීන්ගේ සංගමයේ සේවය කොට ඇති ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිවරයාගෙන් අවවාද ලැබුවේය. ඇමෙරිකාව බ්‍රිතාන්‍යය, නෝර්වේ ආදී විදේශ බලපෑම්වලට යට නොවූ වැදගත් අවධිය හතරවැනි ඊළාම් යුද්ධ සමයය. රජය එදා එල්ටීටීඊයට එරෙහිව ප්‍රහාර ඇරඹුවේ ජාත්‍යන්තර සටන් විරාම ගිවිසුමක් මෙරට ක්‍රියාත්මක වෙද්දීය. රටේ අග්‍රාමාත්‍යවරයා වුව හමුදා බලප්‍රදේශවලින් ඔබ්බට යන්නේ නම් නෝර්වේ රාජ්‍යයේ අවසරය හා නිරීක්ෂණය ඔස්සේ යා යුතු විය. එබඳු ජාත්‍යන්තර නිරීක්ෂණ, නියෝග, එකඟතා තිබියදීත් එවක රජය ත්‍රිවිධ හමුදාව යොදවා නැගෙනහිර පළාත නිදහස් කර ගත්තේය. එයින් පසුවය සටන් විරාම ගිවිසුම ඒකපාර්ශ්විකව ඉරා දැමුවේ. යුද්ධයේ අවසාන මොහොතේ බ්‍රිතාන්‍ය ගුවන් යානාවක් කටුනායකට ආවේ සටන් පවතින ප්‍රදේශයට ගොස් විපතට පත් වූවන් බේරා ගන්නා මුවාවෙන් ත්‍රස්තවාදීන් බේරා ගැනීමටය. එහෙත් රාජ්‍ය නායකයා එය හරවා යැව්වේ උතුරට ගියොත් ගුවන් යානයට පහර දෙන බව කියමිනි. යුද්ධය නිමා වූ පසු එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාවට අවුත් නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් මියගිය තැන මල් කලඹක් තබා ගෞරව පුද කිරීමට උත්සාහ කළාය. ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් ලේකම්වරියට මෙසේ කීවේය.

‘‘ඔබ ගිහින් මල්වඩම තියන්න එපා. ඔබ බලෙන් ගිහින් ඒක තිබ්බොත් අපේ නිලධාරියෙක් ඒක කලපුවට විසිවෙන්න පයින් ගහනවා. ඔබතුමිය ලැජ්ජාවට පත් වෙන්න ඕනෑ නෑ.’’ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හැරී ගියාය.

ඒ එදාය.

අද ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයකු නම් කළ විට එය නීති විරෝධී බවට ප්‍රකාශ නිකුත් කරන්නේ ඇමෙරිකාවය. අද තානාපතීහු පාර්ලිමේන්තුවට ඇතුළුව තමන් අභිමත යෝජනාවක් එහි සම්මත වන විට ප්‍රසිද්ධියේ අත්පුඩි ගසති. DPL ලාංඡනය ප්‍රදර්ශනය කර වාහනයක යා හැක්කේ පූර්ණ බලැති තානාපතියෙකුටය. එහෙත් ලංකාවේ එක්සත් ජාතීන්ගේසංවිධානයට අයත් සාමාන්‍ය නිලධාරින්ද ඩීපීඑල් ලාංඡනය සහිත වාහන පාරේ පදවති. මේ එකකටවත් අවවාද කරන්නට ආණ්ඩුවට හැකියාවක් නැත. ආණ්ඩුව නිදහස වෙනුවෙන් එබඳු අවවාද දීමකට ගියහොත් අත්විය හැකි ප්‍රතිඵල මොනවාද? හමුදා නිලධාරින්ට ඔවුන්ගේ රටවලට ඇතුළුවීම තහනම් කෙරෙයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට ලංකා සෙබළු යොදා ගන්නේ නැති බවට තර්ජනය කෙරෙයි. රටක නිදහස වෙනුවෙන් දිවි පුදන්නට කැප වූවන්ට විදේශයක ජීවත් වීමට යාමට නොලැබීම එතරම් දෙයක් නොවිය යුතුය. අනෙක් අතට එදා මෙන් සාම සාධක හමුදා මෙහෙයුම් දැන් ලොව සිද්ධ වන්නේ නැත. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කරන එබඳු මෙහෙයුම්වලට සෙබළු යැවීමට වෙනත් රටවල් එතරම් වුවමනාවක් නොදක්වති. මේවා අහිමි වීම රටකට එතරම් දෑ නොවේ. ස්වාධීනත්වය, රටක අභිමානය රැකගෙන කෙළින් හිඳීම තරම් සැපක්, යටත් වී බඩ පුරවා ගැනීමෙන් ලැබේද? නැත. මහා බලගතු රාජ්‍යයකට එරෙහිව සටන් කරන්නට අපි ඇස්ට්‍රික් හෙවත් සූර පප්පා වැඩසටහනේ එන ගෝල් දේශය නොවේ. අපට එබඳු හාස්කමක් පාන්නට මැජික් අරිෂ්ටය ද නැත. එසේ වුවද නිවටුන් ලෙස රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිරීමෙන් අපට ලැබෙන්නේ මොනවද?

එබැවින් අප ප්‍රතිපත්තිය ගැන ටිබෙට් දේශයෙන් මෙහි පැමිණ නිදහසේ අගය කියා දුන් එස්. මහින්ද හිමියන්ගේ කවි දෙපදයකින් පැහැදිලි කළ යුතුය.

මිතුරුව එතොත් දුහුවිලි වුව වැලඳ ගනු
සතුරුව එතොත් මෙර ගිර වුව පසිඳලනු
එය හිතුවක්කාරකමකැයි නොඅදහනු
යුතුකම එයයි එබැවින් එය පුරුදු වෙමු