විශේෂාංග

මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ කනත්ත ඉදිරියේ එක්තරා අසාමාන්‍ය දෙයක් සිදුවිය. එනම් එතැනින් වාහන පදවාගෙන යනු ලබන වාහනවලට කනත්තේ ගේට්ටුව අද්දර සිට සුදෝ සුදු ඇඳුමින් සැරසුණු කාන්තාවක් අතපෑමය. මෙහිදී ඇතැම් රියැදුරෝ තම වාහනය නතර කොට ඇය එහි නංවාගෙන යාමට පෙලඹුණහ. නමුදු ඇතැම් රියැදුරන් එම දර්ශනයෙන් බියපත්ව තිබේ. කෙසේ හෝ එම කාන්තාව කෙරෙහි දයානුකම්පාව හෝ වෙනයම් උණුසුම් හැඟීමක් මුල් කොට ඇය රථයට නංවා ගන්නා රියැදුරන් යළි ගමන් අරඹා මඳ වේලාවකින් රථයේ පිටුපස අසුන විපරම් කිරීමත් සමග එලොව පොල් පෙනෙන, අත්දැකීමක් විඳ ගැනීමට ඔවුන්ට සිදුවිය. එනම් ඒ වන විට එම කාන්තාව රථය තුළ දක්නට නොසිටීමය. එමෙන්ම මහමග සිට එලෙස රථයට අත පොවන කාන්තාව පිළිබඳව සැක සිතී රථයේ වේගය උපරිම ලෙස ඉහළ නංවන රියැදුරන්ට අත් විඳීමට සිදුවනුයේ මීට හාස්පතින්ම වෙනස් අත්දැකීමකි. එනම් තමන් රථයට නංවා නොගෙන අතරමග දමා ආ එම සුදු හැඳගත් ගැහැනිය තම රථයෙ පසුපස අසුනේ වාඩි වී හිඳිනු දැකීමය.

අතීතයේ පුවත්පත් වාර්තා විශේෂාංගවලට පවා පාදක වූ මෙම සුදු හැඳගත් අද්භූත ගැහැනිය බොරැල්ලේ කනත්ත ඉදිරිපිටට පමණක් සීමා වූ තැනැත්තියක නොවේ. පානදුර ගොරකානේ සහ ගාල්ලේ දඩල්ලේ සුසාන භූමි ඉදිරියේදී ද රාත්‍රි කාලයේ වාහනවලට අත පොවන මෙවන් සුදු හැඳගත් අද්භූත ගැහැනියක පිළිබඳ වාර්තා වී තිබේ. මගේ මතකය නිවැරදි නම් එවක පුවත්පත් ලිපි විශේෂාංගවලට අමතරව ශ්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් විසින් ලියන ලද පොත පතෙහි ද රාත්‍රියේදී මගතොට දී හමුවන මෙම සුදු හැඳගත් අද්භූත ගැහැනුන් පිළිබඳව සඳහන් වෙයි.

එමෙන්ම මෙම කාන්තාව පිළිබඳ මෙකී අපූරු ප්‍රවෘත්තිය තව ටිකක් දුර දිග ගිය අවස්ථාවන්ද නැත්තේම නොවේ. එවිට මතුවන කතා පුවතේ පොදු ආකෘතියක් ඇත. එය මෙලෙසිනි. මෙලෙස රාත්‍රි කාලයේ බොහෝ විට මැදියම් රැය ආශ්‍රිතව මහමග සිට වාහනවලට අත පොවන සුදු හැඳගත් කාන්තාවන් එම වාහනවල රියැදුරන් හට පවසන පොදු කරුණක් තිබේ. එනම් කිසියම් හදිසි අවශ්‍යතාවක් මත තමන්හට එක්තරා ස්ථානයකට යාමට සිදුව ඇති බවයි. එහිදී යම් රියැදුරකු ඇය කී ස්ථානය ආසන්නයෙන් වාහනය පදවන්නේ නම් හෝ වෙනයම් ළෙන්ගතු හැඟීමක් මත ඇයට උපකාරයක් කිරීමට අදහස් කරන්නේ නම් එම කාන්තාවගේ ඉල්ලීමට අවනත වීම අමුතු දෙයක් නොවේ. ඒ අනුව ඔහු වෙතින් ‘ලිෆ්ට් එකක්’ ඉල්ලා ගන්නා ඇය තමන්ට අවශ්‍ය ගමනාන්තයට ගොස් රථයෙන් බසිනුයේ රථයේ රියැදුරාට මුව නොසෑහෙන සේ ස්තුති කරමිනි. එසේම කිසියම් අයුරකින් නැවත දහවල් කාලයක එම මාර්ගයේ ගමන් කරන්නේ නම් එම ස්ථානයට පැමිණ තමන් මුණ ගැසෙන ලෙස රියැදුරාට මාර්ගය අද්දර ඇති කිසියම් ලකුණක් දක්වමින් ඇය පවසන්නීය. කෙසේ නමුදු එම කාන්තාවගේ කාරුණික බව හෝ ඇගේ නාරි රූ සපුව සිත තුළ ධාරණය කර ගන්නා එම රියැදුරා ඊට පසු දිනයෙක ඇගේ ඉල්ලීම අනුව එම කාන්තාව පෙර දිනයෙක රාත්‍රියේ රථයෙන් බැසගත් ප්‍රදේශයට යාමේ පහසු අවකාශයක් තිබේ. එහෙත් එම රාත්‍රියේ නොපෙනුණද ඒ වනවිට ඇය බැසගත් ප්‍රදේශයේ මිනිස් වාසයක් නැත. ඇත්තේ ගරා වැටුණු පැරණි මැදුරකි. නැතහොත් වල් බිහිවූ පැරණි සොහොන් කොතකි. මෙම දර්ශනයෙන් වික්ෂිප්ත වන රියැදුරා ඉන්පසුව එම ස්ථානය පසු කරන ප්‍රදේශවාසියකුට එම සිදුවීම විස්තර කොට සිටීමේ කිසිදු අරුමයක් නැත. එවිට එම ගැමියා දිගු සුසුමක් ද හෙළා පවසන කතාවක් තිබේ. එනම් මෙවැනි අතිශය අද්භූත අද්දැකීමට මුහුණ දෙන පුද්ගලයන් වරින් වර එහි පැමිණ එබඳු කාන්තාවක පිළිබඳව විමසන මුත් මේ වන විට එවැන්නියක ජීවතුන් අතර නොමැති බවය. එහිදී අතීතයේ එම ප්‍රදේශයේ විසූ කිසියම් ඛේදවාචකයකට ලක්ව අකල් මරණයකට ලක්වූ කාන්තාවකගේ වෘත්තාන්තයක් ගෙන හැර දක්වන ඒ ප්‍රදේශවාසියා සිය මරණයෙන් පසු එම කාන්තාව තමන්ට සිදුවූ ඛේදවාචකය වත්මන් පරපුරට කියාපානු පිණිස වරින් වර මෙලෙස ජීවමාන ස්වරූපයෙන් මෙලොවට පැමිණෙන බව පවසා සිටිනුයේ එම රියැදුරාගේ සියොලඟ ලොමුදැහැගන්වමිනි. හුදෙක් සත්‍ය සිද්ධියක් මත පදනම් වූවක් බව පැවසෙන මෙම සංසිද්ධිය මුල් කොට ලොව පුරා අද්භූත රසය ජනිත කරවන කලා නිර්මාණ දස දහස් ගණන් බිහිවී තිබේ.

ඇතැම් රාත්‍රි කාලවල දී මහමග රැඳී සිටිමින් එහි වාහන පදවන්නවුන් සහ පයින් ගමන් කරන්නවුන් හමුවට එන මෙම සුදු හැඳගත් අද්භූත ගැහැනිය අප රටේදී හඳුන්වන විශේෂ නමක් තිබේ. එනම් ‘මෝහිනී’ යන්නය. නමුදු මධ්‍ය කාලීන යුගයේ සිට යුරෝපාදී රටවලින් පවා වාර්තා වන මෙම ගැහැනු අවතාරය ලොව පුරා ප්‍රසිද්ධව ඇත්තේ සුදු නෝනාගේ අවතාරය (white lady ghost) යනුවෙනි. ඒ අනුව අප මැය තවදුරටත් මෝහිනී යනුවෙන් හඳුන්වන්නේ නම් ඇය බටහිර හෝ යුරෝපීය මෝහිනී ලෙසින් නම් කිරීම වඩාත් සුදුසු බව මගේ වැටහීමය.

ඉන්දියානු හින්දු පුරාණෝක්තිවලට අනුව මෝහිනී යනු විෂ්ණු දෙවියන්ගේ බලපරාක්‍රමය හඟවන දෙවඟනකි. ශිව දෙවියන් භෂ්ම නම් අසුරයා වෙතින් වැනසීමට ඔන්න මෙන්න කියා තිබිය දී එම විපත දකින විෂ්ණු දෙවියන් විසින් ශිව දෙවියන් විපතින් මුදාලනු පිණිස එවනුයේ අතිශය රූමත් මෝහිනීගේ අවතාරයයි. දුටු දුටුවන්ගේ සිත් උමතු කිරීමට තරම් රූපශ්‍රීයකින් යුතු බැවින් ඇය ‘මෝහිනී’ යන නම ලබා තිබේ. එහෙත් භාරතයේ තිබූ එම මෝහනී නම් දිව්‍යාංගනාවට හෝ අප්සරාවට අප සමාජය තුළ යක්ෂ භාවයක් ආරෝපණය වී ඇත. ඉන්දියාවේ වුවද රාත්‍රි කාලයේ හුදකලාවේ වීණා සහ වස්දඬු පිඹින පිරිමින් ඉදිරියට පැමිණෙන මෝහිනිය ඒ වාදනය අනුව රැඟුම් පාන බවටත් එනිසාම එම පිරිමියාට රැය පහන් වන තුරාවට නොනවත්වාම එම වාදනයේ යෙදීමට සිදුවන බවටත් විශ්වාසයක් තිබේ. මනෝ විද්‍යාත්මක වශයෙන් විමසීමේදී මේ සම්බන්ධයෙන් කිව හැක්කේ එය එම තැනැත්තා සංගීතය මුල් කොට ඇති කර ගනු ලබන ස්වයං මෝහන තත්ත්වයක් (Self hypnosis) බවය. එවැනි ස්වයං මෝහන තත්ත්වයකදී තමන් ඉදිරිපිට යටි සිත තුළින් පැන නගින ව්‍යාජ මනෝභ්‍රාන්තීන් (Pseudohallucination) දර්ශනය වීම පුදුමයක් නොවේ.

නමුදු ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඉන්දියාවේ තරම් ප්‍රබල සංගීත සම්ප්‍රදායයන් දක්නට නොමැති නිසාදෝ ශ්‍රී ලාංකීය මෝහිනිය රාත්‍රි කාලයේ අප රටේ ගැමි තරුණයන්ගේ ‘‘තනි යහන්’ වත පැමිණ ඔවුන් වෙතින් අනුරාගී සංතෘප්තියක් ලැබීමට පෙලඹී සිටින්නීය. එහි ප්‍රතිඵලයක් වනුයේ පැරණි දේශීය වෙදකමෙහි ‘ස්වප්න මෝචනය’ නම් රෝගයක් ලෙසින් හඳුන්වන තරුණයන්ට පොදු අතිශය සාමාන්‍ය සංසිද්ධියකට මෝහිනී දෝෂය යන නම ආරෝපණය වීමය.

දැඩි සංස්කෘතික බැඳීම් මගින් තරුණ වියට උරුම ස්වාභාවික හැඟීම් ආවේග ආයාසයෙන් මැඬගෙන සිටීමේදී තමන් දකින විවිධ සුන්දර කාන්තා රූප සම්බන්ධ නින්දත් නොනින්දත් අතර සංකලනය වී මතුවන අනුරාගී සිහින මායා මෙලෙස මෝහනය නමින් හැඳින්වෙන බව පැහැදිලි කරුණකි.

තම මවගේ හෝ සොයුරිය හැඳසිටි රෙද්දක් චීත්තයක් පොරවාගෙන නිදන විට රාත්‍රියේ මෝහිනිය නොපැමිණෙන බවට පොදු ජන විශ්වාසයක් පැන නැගී ඇත්තේ එවන් ක්‍රියා මගිනි. එම තරුණයාගේ යටි සිත තුළ පැන නගින අනුරාගී ආවේග ස්වභාවිකවම යටපත් වන බැවිනි. එමෙන්ම මෙම මෝහිනීගේ දෝෂයට ලක්වන තරුණයන් නිතර ස්වප්ත මෝචනයන්ට ලක්වීම නිසා අතිශයින් කෙසඟවන බවට ප්‍රබල දුර්මතයක්ද අතීත සමාජයේ පැතිර තිබිණ. එමෙන්ම පිරිමින්ගේ මූත්‍රා තැවරුණු ඉලපතක් ඇඳ පාමුල තැබීමද තරුණයන් පීඩාවට පත් කරවන මෙම මෝහිනි දෝෂයට පිළියමක් සේ අතීතයේ සමහරුන් සලකා තිබේ. එය රාත්‍රි නින්දේදී තරුණ සිතකට පිවිසිය හැකි අනුරාගය මැඬලන නොවිධිමත් මනෝ චිකිත්සාවකි.

එමෙන්ම රාත්‍රි කාලයට නිදි යහනට පැමිණෙන මෝහිනිය විසින් නින්දේ පසුවන තරුණයන් නින්දෙන්ම නිවසින් බැහැරට කැඳවාගෙන යන බවක් සමහරු පවසති. එමෙන්ම ඔවුන් ඉන් වළකාලීමේ කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් උපාය මාර්ග දෙකක් තිබේ. එම තරුණයන්ගේ යහන පාමුල තෙත ගෝනියක් හෝ තුවායක් තැබීම ඉන් පළමු පියවර වන අතර දෙවන පියවර වනුයේ එම තරුණයාට ඉක්මනින් ‘පෙළවහක්’ කර දීමය. මෙය රාත්‍රි නින්දෙන් ඇවිදීම (Somnambulism) නම් තත්ත්වය බව බැලූ බැල්මට පෙනී ගියද දැන් තමන්ට විවාහයකට සුදුසු කලවයස එළඹී අතැයි ගැමි තරුණයන් සිය වැඩිහිටියන්ට කරනු ලබන යටි සිත පදනම් වූ විඝටන ක්‍රියාවලියක් (Dissociative Process) ලෙසට මෙය අර්ථ ගැන්විය හැක.

ඉහත සඳහන් බටහිර මෝහිනියට සහ ශ්‍රී ලංකාවේ දී යක්ෂ ස්වරූපයකට පත් ඉන්දීය මෝහිනියට අමතරව අපේම යැයි කිව හැකි තවත් සුප්‍රකට මෝහිනියක පිළිබඳ ජන විශ්වාසයක්ද තිබේ. ඇය නම් රෙද්දක්, හැට්ටයක් ඇඳ කුඩා දරුවකු ද අතැතිව රාත්‍රි යමෙයේ තනිපංගලමේ යන පිරිමින් වෙතට පැමිණෙන ගම්බද මෝහිනියයි. මෙහිදී තමන් හැඳ සිටින චීත්තය හෝ කම්බාය යළි සකසා ඇඳ ගැනීමට අවශ්‍ය බව අඟවමින් තම අත රැඳි කුඩා දරුවා වඩා ගන්නා ලෙසට තමන් හමුවට පැමිණෙන පිරිමියා වෙතින් ඇය කරන ඉල්ලීම වත්මන් ජන සමාජයේද අතිශයින් ප්‍රචලිතය. වර්තමානයේ ද ඉඳ හිට දැකිය හැකි බව මෙම මෝහිනිය මීට වසර හැට හැත්තෑවකට වඩා පැරණි තැනැත්තියකට වඩා පැරණි තැනැත්තියක බව මගේ වැටහිමය. ඒ අද වන විට සිංහල අලුත් අවුරුදු උත්සවවල අවුරුදු කුමාරියන්ට සහ සිංහල අලුත් අවුරුදු සමයේ සුපිරි වෙළෙඳසල්වල සේවිකාවන්ට පමණක් සීමා වූ රෙද්ද සහ හැට්ටය මෙම මෝහිනිය තවමත් හැඳ සිටින බැවිනි. ඒ කෙසේ හෝ යමකු මෙම මෝහිනියගේ දරුවා වඩා ගැනීමත් සමග ඒ තැනැත්තා ඇගේ ග්‍රහණයට ලක් වන බැවින් අතීතයේ කිසිදු පිරිමියෙක් ඊට පෙලඹී නැත. තත්ත්වය එසේ තිබියදී මෙම දරුවකු අතැති මෝහිනිය වර්තමානයේ දක්නට නොලැබීම හේතුව වරක් විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍රයන් මෙලෙස ප්‍රකාශ කරන ලද්දේ නූතන සමාජය වෙත එල්ල කරන තියුණු උපහාසයක් ලෙසින් ඔහු කී අන්දමය. රාත්‍රි මහමගදී මෝහිනියට හමුවන පිරිමින් වෙතින් තම දරුවා වඩා ගැනීමට ඇය කරන ඉල්ලීම පසෙක ලා ඔවුන් මෝහිනියගේ රෙද්ද ඇන්දවීම කෙරෙහි වැඩි උනන්දුවක් පළ කරන බැවින් දැන් ඇය වත්මන් සමාජයේ සැඟවී ගොස් තිබේ.

තිලක් සේනාසිංහ