කතුවැකි

මැතිවරණ කොමිසමේ දවල් මිගෙල් රෑ දනියෙල් රංගනය

අපට යළිත් ස්වාධීන මැතිවරණ කොමිසමේ කෙරුවාව ගැන ලියන්නට සිදුව තිබේ. ඒ කොමිසමේ මැදිහත්වීම මත ලබන ජුනි මාසයට නියමිත රුපියල් 5000 ක ජීවන සහනාධාර දීමනාව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවිනි. කොරෝනා වසංගතයෙන් ආදායම් අහිමි වූ ජනතාවට මෙම රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. එය ලබන ජුනි මාසය වෙනුවෙන් ද ගෙවීමට ආණ්ඩුව තීරණය කර තිබිණ.

මෙම දීමනාව ගෙවීම හරහා ආණ්ඩුව දේශපාලන වාසියක් ලබා ගන්නා බවට විපක්ෂය චෝදනා එල්ල කරන්නට වූයේ එය ගෙවීම ආරම්භ වූ අවස්ථාවේ සිටය. එසේ කියන අතරම විපක්ෂ නායක සජිත් කීවේ ආණ්ඩුව රුපියල් 5000 නොව රුපියල් 60,000 ක් වත් පවුලකට ලබා දිය යුතු බවය. දැන් මැතිවරණ කොමිසම කියන්නේ එවැනි චෝදනා මත පැමිණිලි ලැබීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බවකි. මේ නිසා ලබන මාසයේ කොරෝනා වසංගතය පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පත් වේ නම් තවදුරටත් රුපියල් 5000 දීමනාව ගෙවීමේ අවශ්‍යතාවක් තිබේදැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලිඛිතව ආණ්ඩුවෙන් විමසා ඇත.

රුපියල් 5000 දීමනාව බෙදීම පිළිබඳ කුමන චෝදනා නැගුණත් ඇත්තෙන්ම එය කොරෝනා නිසා ආදායම් අහිමි වූ ජනතාවට මහත් අස්වැසිල්ලක් වූ බවට සැකයක් නැත. අප්‍රේල් මාසයේ පුද්ගලයන් ලක්ෂ 74 කට මෙම දීමනාව ගෙවනු ලැබීය. මේ වන විට ඒ තරම් පිරිසකට එම දීමනාව ගෙවීමට අවශ්‍ය නොවන තත්ත්වයක් තිබිය හැකි නමුත් මුලින් ආධාරය ලැබූ සියලු දෙනාටම ආධාර අවශ්‍ය නොවන තත්ත්වයක් ඇතැයි කිව නොහැකිය. ඊයේ මාලිගාවත්තෙන් වාර්තා වූ සිද්ධිය ඊට හොඳ උදාහරණයකි.

මැතිවරණ කොමිසමේ මැදිහත්වීම නිසා සිදුව ඇත්තේ මේ ජනතාවට බත් වේලක් කන්නට තිබූ, බෙහෙත් පෙත්තක් ගන්නට තිබූ රුපියල් 5000 දීමනාව අහිමි වීමය. දැන් ඒ ජනතාවට කිසියම් සහනයක් සැලසීමේ වගකීම භාර ගන්නේ චෝදනා නැගූ විපක්ෂයද? ඒ චෝදනා මත ආණ්ඩුවට ලිපි යොමු කරන මැතිවරණ කොමිසමද?

ජුනි මාසයේ රුපියල් 5000 දීමනාව ගෙවීම ගැන මැතිවරණ කොමිසම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ ඒ ගැන පැමිණිල්ලක් ලැබීමේ ප්‍රවණතාව ඉහළ යමින් තියෙන නිසාය. එවැනි පැමිණිල්ලක් ලැබී ඇතැයි කොමිසම කියන්නේ නැත. එවැනි පැමිණිල්ලක් ලැබීමටත් පෙර මෙවැනි ලිපියක් ලියන්නට මැතිවරණ කොමිසමට කල්පනා වන්නේ ඇත්තෙන්ම ස්වාධීන ඡන්ද විමසීමක් තහවුරු කිරීම සඳහාද? විපක්ෂය වෙනුවෙන්ද? නැතහොත් ආණ්ඩුව වෙනුවෙන්ද?

මැතිවරණ කොමිසම පෙන්නුම් කරන ආකාරයට මේ මැදිහත්වීම කරන්නේ නිදහස් හා ස්වාධීන මැතිවරණයක් වෙනුවෙනි. මෙම ආධාර බෙදීමේ වැඩසටහනින් කිසිම දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය නොවීමටත්, ප්‍රාදේශීය දේශපාලනඥයන් ඊට සම්බන්ධ වීම වැළැක්වීමටත් පියවර ගන්නැයි කොමිසම සිය ලිපියෙන් ඉල්ලා සිටීමෙන් ඒ බව තහවුරු වේ.

මැතිවරණ කොමිසම ආණ්ඩුවට මෙම ලිපිය යොමු කරන්නේ පසුගිය ඉරිදා (17) දාතමිනි. ඉන් ආණ්ඩුවේ අවදානයට ලක් කරන්නේ ජුනි මාසයේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නම් මැතිවරණ ක්‍රියාදාමයට හානිකර මෙම දීමනාව ගෙවීම අවශ්‍යද යන්නය. මැයි මස 17 දා ජුනි මාසයේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි උපකල්පනය කරන මැතිවරණ කොමිසම මැයි මස 20 දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියන්නේ කුමක්ද? ජුනි 20 දා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවය. ඒ මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයට තවමත් රට පත්ව නැති නිසාය. එසේම ජුනි මස 20 දා වන විටත් මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයට රට පත්වනු ඇතැයි කල්පනා නොකරන නිසාය.

අසරණ ජනතාවට රුපියල් 5000 ක දීමනාව ගෙවීම වැළැක්වීමට ජුනි මාසයේ රටේ තත්ත්වය යහපත් වනු ඇතැයි උපකල්පනය කරන මැතිවරණ කොමිසම, ඒ මාසයේම ඡන්දය පැවැත්වීමට රටේ තත්ත්වය යහපත් නොවනු ඇතැයි සිතන්නේ කෙසේද? මැතිවරණ කොමිසමේ මේ දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තිය අප තේරුම් ගන්නේ කෙසේද? මැතිවරණ කොමිසම මේ දත කන්නේ මහ මැතිවරණය නිදහස්ව හා ස්වාධීනව පැවැත්වීමේ අපේක්ෂාවෙන්ද, වෙනත් කාගේ හෝ අරමුණු ඉටුකිරීමේ වුවමනාවෙන්ද?

මෙහිදී අපට මැතිවරණ කොමිසමෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. රුපියල් 5000 දීමනාව නොගෙවීමට රට සාමාන්‍ය තත්ත්වයට පත්වන බවට උපකල්පනය කිරීමත්, ඡන්දය පවත්වන්නට රටේ තත්ත්වය යහපත් නොවීමත් යන මේ දෙබිඩි ප්‍රතිපත්තිය මැතිවරණ කොමිසමේ සාමූහික මතයද යන්නය. කොමිසමේ සාමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් පවසා ඇති අන්දමට කොමිසමේ සභාපතිවරයා තීන්දු තීරණ ගන්නේ අනෙකුත් සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් තොරව තනි මතයටය. ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවලදී කියන්නේ ඔහුට අවශ්‍ය දේය. කොමිසමේ සභාපතිවරයා මේ චෝදනාව ප්‍රතික්ෂේප කොට නැත. එසේ නම් මේ දවල් මිගෙල් ප්‍රතිපත්තියට වගකිව යුත්තේද කොමිසම නොව සභාපතිවරයා යැයි පිළිගන්නට අපට සිදු වේ. අපේ ඒ අදහසේ දෝෂයක් ඇත්නම් එය නිවැරදි කළ යුත්තේ මැතිවරණ කොමිසම විසිනි.