විශේෂාංග

මැණික් හිඟයි – රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ වීදිවල සරිසරමින්, මැණික් පතල්පොළවල ඇවිදිමින් හැසිරුණු ඔවුන්, දවසේ වෙහෙස මහන්සිය මෙන්ම ගෝවුඩ, ඔට්ටු, සිලිකා, දුම්ගල් එදා දවසේ අතපත ගෑ මැණික් පිළිබඳ සමාලෝචනයද දිග හරින්නේ මේ අවන්හලේදී ය. ඇතැමෙක් අඹු දරුවන්ට ගෙන යන්නට රාත්‍රි ආහාර කිසක් මිලට ගන්නේද එතැනිනි.

අවන්හල නම් තවමත් තිබේ. එහෙත් මෑතක පටන් හැන්දෑ කළුවරත් සමග එහි ගොඩ වදින පිරිස බෙහෙවින් අඩුවී ගොසිනි. ඊට හේතුව රත්නපුරය අවට පෙදෙස්වලින් නගරයට ඇදුණු චූල ගණයේ මැණික්කාරයන්ට හැන්දෑසාමිචි ජීවිතය එපාවීමය. එය එපා වී ඇත්තේ අවන්හලේ වරදක් නිසා නොවේ. අතේ මිටේ ඇති තරම් ‘‘මොනර කොළ’‘ නැතිකමය. උදේ වරුව පුරා නගරයේ මැණික් වීදිවලද නගරාසන්න මැණික් පතල් පොළවලද රවුම් ගැසුවද, දැන් ‘‘බිස්නස් එකට’’ මැණික් ගලක් දෙකක් හෝ ‘‘ගල් ලොට් එකක්’’ සොයා ගැනීම බොහොම දුලබ සිද්ධියක් වී තිබේ. ඊට හේතුව, මැණික්වලට ලොව පරසිදු රත්නපුරයේ මැණික් නැතිව යාමයි.

රත්නපුරයට මැණික් නැතිව යාම යනු කිරි ටොයියන් බඳු කාර්වලින් ටවුමට පැමිණි තැනැත්තන් මෝටර් සයිකලයෙන් පැමිණීම ය. මෝටර් සයිකලයෙන් පැමිණි කෙනා, පාරේ බසයක එල්ලී නගරයට පැමිණීමය. නගරය අරා සිටි මහේශාක්‍ය අවන්හල්වලින් කමින් බොමින් සිටියවුන්, ගඟ ඉවුරේ පිහිටි කුඩා අවන්හලට යාමය. අවන්හල ඇතුළට ගොසින් සාමිචි ජීවිතගත කළ අය අවන්හල සමීපයේ ඇති අඳුරු ගස් යට ගාල් කළ වාහන තුළට වී හොර රහසින් මෙන් මීවිතක් තොල ගෑමය. වර්තමාන රත්නපුරය බෙහෙවින් දිළිඳු වෙමින් යන බවට හොඳම නිදසුන වන්නේ ගඟ ඉවුරේ අවන්හල හැන්ඳෑ කළුවරේම පාළුවට යාමය.

අනාදිමත් කාලයක පටන්ම මැණික් සම්පතින් ආඪ්‍යව සිටි රත්නපුරය චූල ගණයේ තරුණ මැණික්කාරයන්ගෙන් පිරී යන්නට පටන් ගත්තේ 1980 දශකය මුල් භාගයේය. එය සිදුවූයේ තායිලන්ත ජාතික මැණික් වෙළෙඳ ගණය, ගෙවුඩ මැණික් මිලදී ගැනීම පිණිස රත්නපුරයට සංක්‍රමණය වීමේ සංසිද්ධිය සමගිනි. ඒ සමගම හෙවුඩ, ඔට්ටු, කොලටි ගල්, සිල්කි ගල් ආදී එතෙක් මහේශාක්‍ය යයි නොසැලකුණු කුඩා මැණික්වල මිල ඉහළ ගිය අතර කළු ගඟ ඉහළ නිම්න වාසී තරුණ පිරිස් බුරුතු පිටින් මැණින් වෙළෙඳාමට එකතු වූහ. ඔවුන්ගේ වෙළෙඳාම්වල කේන්ද්‍රස්ථානය වූයේ රත්නපුරයයි.

රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ බදුලු පාර, තායිලන්ත ජාතික මැණික් වෙළෙන්දන් ලැඟුම් ගෙන සිටි ඉසව්වයි. ඒ ප්‍රදේශය රත්නපුරේ ජන වහරින් ‘‘බයර් රවුම’’ විය. බයර් රවුමට සමාන්තරව රත්නපුර ‘‘ඔර්ලෝසු කණුව’’ ආශ්‍රිතව සහ ‘‘අඹගහයට’’ යන ස්ථානවල මැණික් වෙළෙඳපොළවල් දෙකක් බිහි විය. ඒවා හඳුනවනු ලැබුවේ ‘‘වීදි මැණික් වෙළෙඳපොළවල්’‘යනුවෙනි. ඊට ඉහතද උදෑසනට ඔර්ලෝසු කණුව සහ අඹගහයට හන්දිය ආශ්‍රිතව යම් මට්ටමක වීදි මැණික් වෙළෙඳපොළවල් තිබිණි. එහෙත් ඒවා තරුණ මැණික්කාරයන්ගෙන් පිරී ඉතිරී කැපී පෙනෙන ස්ථාන බවට පත්වූයේ තායිලන්ත මැණික් වෙළෙන්දන් (තායි බයර්ලා) රත්නපුරයට පැමිණීමත් සමගිනි.

මැණික් හිඟවී වීදි මැණික් වෙළෙඳපොළවල් තරුණ මැණික් වෙළෙන්දන්ගෙන් හිස්ව යන්නට පටන් ගත් අවස්ථාවේම සැලවූයේ, එක් තරුණ මැණික් වෙළෙන්දෙක් රත්නපුර මහ නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ සහායකයකු වශයෙන් රැකියාවට ගිය බවයි. මැණික් වීදිය හැර ගිය අය එක්කෝ වෙනත් රැකියා සොයා ගත්හ. නැතිනම් තම තමන්ගේ තේ ඉඩම් ආදිය රැක බලා ගනිමින් ගමේම රැඳුණහ.

රත්නපුරයේ වීදි මැණික්කාරයන්ට පාතරාසය සැපයූ ‘‘ජයසිරි’’, ‘‘ජගත්සිරි’’ සහ ‘‘ජනරංජන’’ යනුවෙන් හෝටල් තුනක්ද ඔරලෝසු කණුව අසල තිබිණි. ඒවාට ඔබ්බෙන් ‘‘සාබි’’ නමින් මුස්ලිම් හෝටලයක්ද විය. දැන් ඒ කිසිදු හෝටලයක් දකින්නටවත් නැත්තේය. ඒවා පැවැති ස්ථානවල අද ළැඟුම්ගෙන සිටින්නේ මූල්‍ය සමාගම් ආදී ආයතනයයි.

ඔර්ලෝසු කණුව අසල බොහෝම ජනාකීර්ණව පැවතුණේ රත්නපුරයේ කච්චේරිය සහ උසාවිය, ඒ ඉදිරිපිට ඇති ලන්දේසි බලකොටු භූමියෙහි ස්ථාපිතව පැවැති සමයේ ය. එකල මේ ඉසව්වේ දහස් ගණන් සෙනඟ ගැවසිණි. 1980 දශකය අග භාගයේදී පමණ කච්චේරිය සහ උසාවිය හිදැල්ලන හැදූ නව නගරයට ගෙන යනු ලැබීය. ඒවා පැවැති ගොඩනැගිලි පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරා දෙනු ලැබිණි. ඉන් පසුවද ඔර්ලෝසු කණුව අවට ප්‍රදේශය පාළුවට නොගියේ වීදි මැණික් වෙළෙන්දන්ගේ ආගමනය නිසාය. දැන් ඔවුන්ගේ සංඛ්‍යාවද කේඩෑරිවී යමින් තිබේ. කොටින්ම වර්තමානයේ ඔර්ලෝසු කණුව අසල ප්ලේන්ටියක් බොන්නටවත් තැනක් නැත.

ඔර්ලෝසු කණුව අසලින් ඇරඹෙන මහ වීදියත් පල්ලිය පාරත් ප්‍රකටව තිබුණේ ‘‘මැණික් වෙළෙන්දන්ගේ වීදි’’ වශයෙනි. ඒවායෙහි ‘‘මැණික් කඩ’’ විශාල ගණනක් තිබිණි. බොහෝමයක් මැණික් කඩවල ඉදිරි කොටසෙහි පාරම්පරික හණපෝරු පට්ටලයකින් මැණික් කපන තැනැත්තකුද දක්නට ලැබිණි. මැණික් කඩ හිමි ව්‍යාපාරිකයෝ අසල රැඳෙමින් උන්හ. අද ඒ කිසිවක් නැත. එදා මැණික් කඩ පැවැති ස්ථානවල අද ‘‘රෙදිකඩ’’, ෆෝන් කඩ’’ සහ වෙනත් වෙනත් වෙළෙඳසල් දක්නට ලැබේ. පල්ලිය පාරේ මුලහරිය අල – ලූනු වෙළෙඳාම් ආදියට නතුවී තිබෙනු පෙනෙයි.

වර්තමානයේ රත්නපුරයේ ‘‘මැණික් වීදිය’’ සීවලී ක්‍රීඩාංගණය අසලින් දිවෙන ‘‘දෙමුවාත පාරට’’ ස්ථාන මාරුවී තිබේ. පාරම්පරික හණ පෝරු පට්ටලයක මැණික් කපන හැටි දැක බලා ගන්නට නම් අද එහි ඈත කෙළවරට යා යුතුය. ජපානයෙන් පැමිණි නවීන ඉමාෂි මැණික් කැපුම් යන්ත්‍ර ප්‍රචලිතවීමත් සමගම පාරම්පරික ‘‘හණ පොරු පට්ටලය’’ මැණික් කර්මාන්ත ලෝකයෙන් පිටමං විය. එසේ වුවද ප්‍රමාණයෙන් විශාල වටිනා මැණික් ගල් (නිල් රතු සහ ආර්නුල් වැනි) දැනුදු කපා ඔප දමන්නේ පාරම්පරික හණ පෝරු පට්ටලවල ය. විශාල මැණික් ගල්වල ‘‘මස’’ ඉමාෂි මැෂිමට හසුව වැඩිපුර ගෑවී යාමේ අවදානමක් තිබෙන නිසා ඒවා පළපුරුදු විශ්වාසවන්ත ශිල්පීන් ලවා හණපෝරු පට්ටලයේම කපා ඔප දමා ගැනීම, මැණික් වෙළෙඳන්ගේ සිරිතයි.

මැණික්කාරයන්ගේ අලුත් පරපුර මැණික් පිළිබඳ යම් අධ්‍යාපනයක් ලැබූවන්ය. ඔවුන්ගෙන් ඇතැමෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ‘‘රත්න විද්‍යා’’ ඩිප්ලෝමා පාඨමාලාව ආදිය හැදෑරුවන්ය. මැණික් කොතෙක් හිඟවුවද, ඔවුහු බැංකොක් ආදී විදෙස් වෙළෙඳපොළ සමග කටයුතු කරමින් ක්ෂේත්‍රයේ රැඳී සිටිති. ඔවුන්ගේ වෙළෙඳ භූමිය, දෙමුවාත මාර්ගයයි. අන්තර්ජාලය ඔස්සේ මැණික් පිටරටට අලෙවි කර දෙන පිරිසක්ද එහි වෙති.

1980 සහ 1990 යන දශකවල රත්නපුරයේ සරුසාරකම පිටතට පෙනී ගියේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයට කෙරෙන උත්සව කටයුතු මගිනි. කිලෝමීටර් සිය ගණනක බයිසිකල් සවාරියක් ද සහිතව ‘‘මහා අවුරුදු උත්සව’’ සංවිධානය කිරීම මැණික්කාරයන්ගේ සිරිත විය. ඒවාට අත දිගහැර වියදම් කළ ඔවුහු උළෙල අවසානයේ ලංකාවේ ප්‍රකටතම ගායක ගායිකාවන් සහභාගි වන සංගීත සංදර්ශනයක්ද පැවැත්වූහ. ප්‍රකට පාපැදි ශූරයකු වන ඒ.එම්. සුමනවීර රත්නපුරයේ කෙනකු බැවින්, බයිසිකල් රේස් ඉහළින්ම සැලකිණි. දැන් එබඳු බයිසිකල් රේස් හෝ ‘‘මැණික් සංගීත රාත්‍රීන්’’ ගැන අසන්නටවත් නොලැබේ. ඇතැම් ගමක කලාතුරකින් පවත්වන සයිකල් රේස්වල තෑගිද දුප්පත්ය.

තායිලන්ත මැණික් ව්‍යාපාරිකයන්ගේ ආගමනයත් සමගම බොහෝමයක් මැණික්කාරයන්ට ‘‘සල්ලි වැහි’’ වැස්සේය. ඔවුහු උදේ පාන්දරින්ම නගරයට, මැණික් වීදියට එති. තමන්ට ගැළපෙන මැණික් මිලදී ගනිති. ඉන් කොටසක් විකුණා දමන්නේ තායි ජාතික වෙළෙන්දන්ටය. ඇතැම් වටිනා මැණික්වලට රත්නපුරයේදී හොඳ මිලක් වැටෙන්නේ නැත. ඒවා අලෙවි කෙරෙන්නේ කොළඹ තරු හෝටල්වලට එන විදේශික වෙළෙන්දන්ටය. රත්නපුරයේ මැණික්කාරයන්ද දහවල් වනවිට ඔවුන් හමුවනු පිණිස ‘‘ලාන්සර් බොක්ස්’’ කාර්වල ඉගිලී කොළඹ එති. තම තමන් ගෙනා මැණික්ද හොඳ මිලකට විකුණා කොළඹ තරු හෝටලයකින්ද සප්පායම් වී සවසට යළිත් රත්නපුරයේ යති. මෙම ක්‍රියාවලිය මැණික් ජනවහරට එකතු වී තිබුණේ ‘‘දවල්ට කන්නට හිල්ටන් එකට යනවා’’ යනුවෙනි. දැන් නම් දවල් කෑමට කොළඹ එන මැණික්කාරයකු තබා ගඟ අයිනේ අවන්හලට යන කෙනෙකුවත් සොයා ගැනීම දුෂ්කර ය. මැණික් හිඟවීමෙන් පසුව හටගත් තත්ත්වය එබඳුය.

රත්නපුරයේ මැණික් හිඟය කොතෙක් බරපතළද යත් ස්වර්ණාභරණ කර්මාන්තයෙහි නියැළී සිටින ඇතැම් මැණික් වෙළෙන්දෝ තමන්ට හිඟව ඇති මැණික් වර්ග ආනයනය කර ගන්නේ තායිලන්තයේ බැංකොක් නුවරිනි. මැණික් ගල් අල්ලා ස්වර්ණාභරණ නිපදවීමෙන් කර්මාන්තයට අද හුස්ම වැටෙන්නේ එයිනි. මැණික් වෙළෙඳ ලෝකයේ ‘‘ගුලාබි ගල්’’ යනුවෙන් ප්‍රකට කෘත්‍රිම මැණික්ද මෙසේ ආනයනය කෙරේ. ඒවාද මජනයා අතර ජනප්‍රියය. රුපියල් විසි තිස් දහසක් ගෙවා නියම මැණික් ගලක් පලඳිනවාට වඩා, එවන් මැණිකකට හැම අතින්ම සමාන කෘත්‍රිම මැණිකක් රුපියල් දහසකට දෙදහසකට මිලට ගැනීම අතට මිටට හොඳ බව ඇතැමුන්ගේ අදහසයි.

‘‘මේ දවස්වල මැණික් මිල නම් හොඳයි. නිල් කැරට් එකක් (කිලෝ ග්‍රෑමයකට කැරට් 5000කි) රුපියල් පනස්දාහකට ලක්ෂෙකට විතර යනවා. ඒත් දැන් රත්නපුරේට මැණික් එන්නේ බොහෝම අඩුවෙන්. දැන් මැණික් හිඟයි.’’ එසේ කියන්නේ රත්නපුර ඔරලෝසු කණුව අසල මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජාත්‍යන්තර මැණික් වෙළෙඳ ව්‍යාපාරික ජගත් විජේවීර මහතාය.

මැණික් සම්බන්ධයෙන් ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ‘‘ලොව හොඳම නිල් මැණික් හමුවන රට’’ යනුවෙනි. ලංකාවේ ඉස්තරම් නිල් මැණික් වැඩිපුරම හමුවන්නේ පැල්මඬුල්ලේ පාතකඩ, රක්වානේ රඹුක සහ කහවත්තේ නීලගම යන ප්‍රදේශවලිනි. දැන් නිල් මැණික්ද හිඟය.

රත්නපුරයට මැණික් හිඟවීම යනු ‘‘මැණික් පතලයකට ගැරුම් වට්ටියක් නැතිව ගියාක්’’ බඳු තත්ත්වයකි. ඒ සඳහා බලපෑ කාරණාද ගණනාවකි. මැණික් ඉල්ලම් සහිත අලුත් භූමි හඳුනා නොගැනීම, පතල් කැපීම සඳහා අධික වියදමක් දරන්නට සිදුවීම සහ මෙතෙක් දැන හඳුනා ගෙන සිටි මැණික් ඉඩම්වල පතල් කපා ඉල්ලම් හමාර වීම සහ පාරිසරික නීති නිසා මැණික් පතල් කැපීම් සීමාවීම ආදිය ඒවා අතර වෙයි. මහා පරිමාණ ව්‍යාපාරිකයකුගේ පතල්වල මැණික් විවෘත වෙළෙඳපොළට එන්නේ නැත. එසේම ගංගා – ඇළ දොළවල මැණික් ගැරීම්ද දැඩි පාලනයකට යටත් කර තිබේ. එම තත්ත්වය නිසා මැණික් ගල් විවෘත වෙළෙඳපොළට යොමුවීම අතිශයින්ම අවම වී තිබේ.

සුමන සමන් දෙවිඳුන්ගේ ඇරයුමින් බුදුරදුන් වැඩි ශ්‍රීපාදස්ථානයත්, රත්නපුරේ මැණික් කර්මාන්තයත් අතර ඇත්තේ අපූර්ව සබැඳියාවකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද පද්මය පිහිටුවා තිබෙන්නේද ‘‘ඉඳුනිල් මිණක්’’ හෙවත් ඉන්ද්‍රනීල මාණික්‍යයක් මස්තකයේය. එය ඉස්තරම් නිල්මැණිකක් වන්නට ඇත. වර්තමානයේ ද රත්නපුරයේ ජනී ජනයා මැණික් පතල් කැණීම ආදී සෞභාග්‍යවත් කටයුතු ආරම්භ කරන්නේ සමන් දෙවියන්ට බාරහාර වීමෙන් පසුවය.

මැණික් කර්මාන්තය ශ්‍රීපාදස්ථානය සමග බැඳී පවත්නා ජන විශ්වාසයක් ද රත්නපුරයේ දී දැකිය හැකිය. ඉන් කියැවෙන්නේ වාර්ෂික ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වීමත් සමගම රත්නපුරයේ මැණික් සම්පත්ද වැඩි වැඩියෙන් මතුවන බවයි. එය සිදු වෙතියි කියන්නේ සිරිපා මළුවෙහි ඇති සුප්‍රකට ‘‘දොළොස් මහේ පහන’’ දැල්වෙන්නට පටන් ගත් පසුවය. මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ කෙරුණේ ඉකුත් (2018) දෙසැම්බරය අග භාගයේ එළඹුණ උඳුවප් පුර පසළොස්වක පොහොයෙනි. එයින් පසුව සිරිත් පරිදි දෙළොස් මහේ පහනද දැල්වෙන්නට පටන් ගත්තේය.

මැණික් මතුවන කළු ගඟ ඉහළ නිම්නවාසී ගැමියන් මේ කාරණය මුවගට නංවන්නේ ‘‘දැන් ඉතින් ඕං, සිරිපාද මළුවේ පාන තියලයි තියෙන්නේ’’ යනුවෙනි.
දොළොස් මහේ පහන අරභයා ජන විශ්වාසය සමග බැඳුණා හෝ නොබැඳුණා වුවද පසුගිය දිනවල කදිම ආරංචියක් අසන්නට ලැබුණේය. ඉන් කියැවුණේ රත්නපුරයට නුදුරු පැල්මඬුල්ල ප්‍රදේශයෙන් විශාල ප්‍රමාණයේ නිල් මැණික් සමූහයක් හමුවූ බවයි. ඒ සම්බන්ධයෙන් රත්නපුරයේ වීදි මැණික් වෙළෙඳපොළ තුළ පවා කතා බහට ලක්ව තිබිණි. ඒවා අලෙවියෙන් පැල්මඬුල්ලේ උදවියට මහත් වාසි සැලසුණ බවද කියැවිණි.
මේ ආරංචිය මැණික් ඉඩෝරයකට හසුව සිටින රත්නපුරයට ‘‘පොද වැස්සක්’’ යැයි ඇතැමෙක් කල්පනා කරති.

‘‘මේ දවස්වල කළු ගඟ බැහැලා. ඉස්සර නම් මිනිස්සු ඇළ දොළ ගංගාවල සාම්ප්‍රදායික විදියට මැණික් ගැරුවා. දැන් ඒවාට තහංචි වැටිලා. සිංහල අලුත් අවුරුද්දත් ළඟම එනවා. වෙනදා මිනිස්සු අලුත් අවුරුද්ද කන්න කීයක් හරි සොයා ගත්තේ ගඟේ, ඇළේ ‍දොළේ මැණික් ගරලයි. දැන් ඒවා තහනම් කරලා. ගංගා, ඇළ දොළවල පාරම්පරික විදිහට මැණික් ගරන්න තහනමක් නෑ කියලයි ආණ්ඩුවත් කියන්නේ. ඒත් මිනිහෙක් ඇදුම්, උදැල්ලක්, මැණික් ගැරුම් වට්ටියක් අරන් ඇළකට දොළකට බැස්සොත් පොලිසිය ඇවිල්ලා අල්ලා ගෙන යනවා. ඉතින් ටවුමට මැණික් එන්නේ කොහොමද? ටවුමට මැණික් ආවේ නැතිනම් අපි අපේ ‘‘ලැපිඩරි’’ (මැණික් කැපීමේ මධ්‍යස්ථාන) පවත්වාගෙන යන්නේ කොහොමද? ඒවායේ රස්සාව කරන ශිල්පීන් ජීවත් වෙන්නේ කොහොමද? අප කළ විමසුමකට එසේ පිළිතුරු දුන්නේ රත්නපුර නගරයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකි.
දැන් ශ්‍රීපාද මළුවේ දොළොස් මහේ පහන දැල්වෙමින් තිබේ. පැල්මඬුල්ලේ යම් පිරිසකට නිල් මැණික් සමූහයකුත් හමුවී තිබේ. මේ තත්ත්වය රත්නපුරය පෙළෙන මැණික් හිඟයට යම් පිළිසරණක් වනු ඇතැයි යන්න වැඩි දෙනෙක් විශ්වාස කරමින් සිටිති.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර