විශේෂාංග

මැණිකක් සේ සිරිකොත රකින ධනපාල කවුද?

මැණිකක් සේ සිරිකොත රකින ධනපාල කවුද?

සිරිකොතේ නොවෙනස් වූ අයෙක් ගැන මාධ්‍ය කරන මුල්ම අනාවරණය

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස්වැනි සමරුව යෙදී ඇත්තේ අනිද්දාටය (6). ගත වූ හැත්තෑ පස් අවුරුද්දේ එජාප මූලස්ථානය තැන් දෙකක තිබුණේය. නායකයෝ හත් දෙනෙක් එජාප පාලනය කළෝය. එනමුත් මේ කාලයේ එජාප මූලස්ථානයේ නොවෙනස් වූ අයෙක් සිටියේය. ඔහු ධනපාලය. මේ ඔහු ගැන මාධ්‍යකින් කරන මුල්ම අනාවරණයය.

සිරිකොතේ ධනපාල යනුවෙන් කී විට ඔහුගේ රූපකාය හෝ වගතුග ගැන රටුන්ට නිච්චියක් නැති බව සහතිකය. එනමුත් කැපුවත් කොළ යනුවෙන් කියත යූඇන්පී කාරයන්ට නම් සිරිකොතේ ධනපාල ගැන කියමින් ගහේ කටු උල් කරන්නට ඕනෑ නැති බව අපට සිතේ. සිරිකොතට යනෙන එජාප නායකයාගේ සිට බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයා දක්වාම ඔහු ගැන දනිති. නොදන්නවානම් ඔහු ඔර්ජිනල් යූඇන්පීකාරයෙක් නොවේ. ගහට පොත්ත නම් සිරිකොතට ධනපාලය.

එක්සත් ජාතික පක්ෂය ආරම්භ වූයේ හරියටම මීට හැත්තෑ පස් වසරකට ඉහතදීය. දිනය කියනවා නම් 1946 සැප්තැම්බර් 06 වැනිදාය. පක්ෂය පිහිටු වූයේ අනගාරික ධර්මපාල තුමාගේ සහෝදර එඩ්මන් හේවාවිතාරණගේ පුතෙකු වූ රාජා හේවාවිතාරණගේ කොළඹ හතේ ෆාම් කෝට් මන්දිරයේය. ඉක්බිතිව සර් ජෝන් කොතලාවල පක්ෂයට කොල්ලුපිටියේ මූලස්ථානයක් අරගෙන දුන්නේය.

එයට සිරිකොත යනුවෙන් නම තැබුවේ ශ්‍රීමත් කොතලාවල යන නම එහා මෙහා කරය. ඒ අසූව දශකයේ මුල සිරිකොත කොල්ලුපිටිය හැරපියා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අලුත් බිමකට ගෙවැදුණේය. සිරිකොතේ බිම මාරු වුණත් සිරිකොතෙන් මාරු නොවුණු එකම පුද්ගලයා ධනපාලය. කොතලාවලගේ සිට සේනානායක, ජයවර්ධන, ප්‍රේමදාස, විජේතුංග, වික්‍රමසිංහ යන නායකයන් වෙනස් වුවත් සිරිකොතේ වෙනස් නොවූ යූඇන්පීකාරයා ධනපාලය.

සිංහල ජාතික ඇඳුමෙන් නිතරම සැරසී සිටින ධනපාලගේ හරි රස්සාව ආරක්ෂක නිලධාරිය. ඔහු කා අතරත් ජනප්‍රියයි. ඔහු විටෙක චණ්ඩියෙකි. තවත්වෙරෙක ජොලි මිනිහෙකි. එජාපය ගැන ඔහුගේ දැනුම කාටත් නොදෙවැනිය.

දෙහෙනගමගේ ධනපාල උපන්නේ ගාල්ලේ අහංගමය. ඒත් ගම වැලිගමය. 1939 ජුලි මස 12 වන දින උපන්නේය. එජාපය උපදින විට ඔහුට වයස අවුරුදු හතකි. ඒ නිසා එජාපයේ බාල කාලය ගැන ඔහුට මතකයක් නැත. අහංගම හොරලුගොඩ මහා විදුහලට ඉස්කෝලේ ගිය ඔහු අධ්‍යාපනය හැදෑරුවේ හයවන ශ්‍රේණිය දක්වාය. දෙහෙනගමගේ මෙන්ඩිස් අප්පුහාමි ඔහුගේ පියාය. හොරලුගොඩ ගමගේ කරුණාවතී මවය. දේශපාලනයේදී දකුණ තිබුණේ වමට බරවය. එකල ධනපාලලාගේ ගම් පළාත අයත්ව තිබුණේ අකුරැස්ස ආසනයටය. පාසල් යන කාලේ තමයි 47 මහ ඡන්දය තිබුණේ. අකුරැස්ස ආසනයට ස්වාධීනව තරග කළේ විල්සන් වික්‍රමසිංහ මහතාය. එජාපයෙන් ඩී. වනිගසේකර මහත්තයාත් ඉදිරිපත්වුණා.

‘‘කරත්තයක් අරගනිමු

වික්‍රමසිංහ බැඳ ගනිමු

හාමු මහත්තයා නග්ගමු

අකුරැස්සට දක්කමු’’

නාඹර වියේදී ගමට ආයුබෝවන් කියූ ධනපාල සෙංකඩගල පුරවරයට පැමිණියේ මිතුරෙකුගේ මාර්ගයෙනි.

ඔහු දේශපාලනයට අත්පොත් තැබුවේ සෙංකඩගලදීය. සිය මිතුරා මහනුවර පොදු වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරවලට සහයෝගය දෙමින් සිටි ධනපාල එකල මහනුවර එජාප බලවතා වූ ඊ.එල්. සේනානායකගේ රැස්වීමක් බලන්න ගියේය.

සේනානායක මහත්තයා කුඩයක් ඔසවාගෙන කුඩා කණ්ඩායම්වලට රැස්වීම් තියන හැටි බලන්න මම ගියා. මම එතකොට කොල්ලා කාලේ. කොළ පාටට මම හරිම කැමැතියි. 1952 මැතිවරණයේදී මහනුවර ආසනය ඊ.එල්. සේනානායක මහත්තයා දිනුවා. නමුත් ඡන්ද පෙත්සමක් ආවා. ඔහුගේ ප්‍රතිවාදියා මහනුවර ​ජෝර්ජ් ඊ.ද. සිල්වාගේ පුතා ප්‍රෙඩ් ඊ.ද සිල්වා ඡන්ද පෙත්සමින් දිනලා මන්ත්‍රී වුණා. පසුව මහනුවර මහ නගර සභා ඡන්දෙට මගේ මිතුරාත් ඉල්ලුවා. ධනපාල තමන් එජාපයට බෞතිස්ම කළ හැටි මතකයට නැගුවේය.

ධනපාලගේ සිරිකොත ප්‍රේමයට අත්තිවාරම් වැටෙන්නේ 1956දීය. ඒ ඔහු ඉස්සෙල්ලාම සිරිකොතට පැමිණ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගත් දවසේය. එදවස එජාප සම ලේකම්වරුන් වූ උක්වත්ත ජයසුන්දර හා ඇම්.ඩී.එන්. ජයවර්ධනගේ අත්සනින් ඔහු සාමාජිකත්වය ගත්තේය. ඒ වන විට පක්ෂ මූලස්ථානය පිහිටා තිබුණේ 532 ගාලුපාර කොල්ලුපිටිය යන ස්ථානයේය.

අපි ඒ කාලේ සිරිකොත රැස්වීම්වලට එනවා. මම නායකයන්ගේ කතා අහන්න හරි කැමැතියි. ප්‍රේමදාස මහත්තයා තමයි හොඳට කතාව කරන්නේ. 1956 ඡන්දයෙන් පසු කොතලාවල මහත්තයා දේශපාලනයෙන් පැත්තට වුණා. ඒ වෙලාවේ ඩඩ්ලි මහත්තයාත් පැත්තට වෙලා හිටියේ. මම කඳවල වලව්වට ගිහින් කොතලාවල මහත්තයා හමුවෙලා පක්ෂයේ වැඩට එන්න කියලා ආරාධනා කළා. නමුත් එතුමා කීවා බණ්ඩා (බණ්ඩාරනායක) ආණ්ඩුව කරනවානේ. ඔහේ ඉන්න කියලා.

දේශපාලනයෙන් ඉවත්ව සිටි ඩඩ්ලි සේනානායක 1960 දැදිගම ආසනයට යළි තරග ක​ළේය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට දැදිගම ආසනයේදී දායකත්වය දැක්වීමට ද ධනපාල අමතක කළේ නැත. සේනානායකවරු තරම් වටිනා සම්පතක් ධනපාල උන්නැහේට එජාපයේ නැත. ඩඩ්ලි 73 දී හෘදයාබාධයකට ලක්ව ඇතුළත් කළේ කොළඹ ඩර්ඩන්ස් ඉස්පිරිතාලෙටය.

‘‘මම ඉස්පිරිතාලෙට ගියා අගමැතිතුමා බලන්න. පුතා මම ජීවත් වෙන්නෙ නැහැ. ඔයගොල්ලො යන්න’’ කියලා එතුමා මට කීවා. ඒ කතාව ඇසූ ධනපාලගේ දෑස කඳුළින් තෙත් වූයේය.

ධනපාල කියන හැටියට මහවැලි ව්‍යාපාරය බණ්ඩාරනායකගේ අදහසක් නොව ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ වැඩකි. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, ගොවිජනපද ඇති කරමින් ඩී.ඇස්. ආරම්භ කළ වැඩපිළිවෙළ එකල හරි ජනප්‍රියය. ‘‘මැලේරියා හදන්න මිනිස්සු ගිහින් දානවා’’ වාමාංශිකයෝ ඔහුට කීය. කෙසේ වෙතත් ඩී.එස්. සේනානායක ගොවිජනපද ව්‍යාපාර නිර්මාණය කිරීමට යන විට පත්තරකාරයන් ද රැගෙන යාමට අමතක කළේ නැත.

‘‘සිංහලේ’’ පුවත්පතේ කර්තෘ පියදාස සිරිසේන ඩී.එස්. සමග ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරන්න ගිය හොඳ පත්තරකාරයෙකි. ඔහු ලියූ ‘‘මහේෂ්වරී’’ කෘතියේ පිටු අංක 133-137 දක්වා මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමට ඩී.එස්. සේනානායක කළ දායකත්වය ඇති බව ධනපාල කියන්නේය. ‘‘ඩී.එස්. අගමැතිතුමා අඹන්පිටිය පාලම ළඟට ඇවිල්ලා සී.පී. ද සිල්වා මහත්තයම කීවා මහවැලි ගඟ හා අඹන්ගඟ එකතු වන ස්ථානයේ සිට වියළි කලාපයට වතුර දෙන වැඩපිළිවෙළ ආරම්භ කරන්න කියලා’’ ධනපාල මහවැලි ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යාපෘති​යක් නොව එක්සත් ජාතික පක්ෂයේ​ යෝජනාවක් බව සිහිපත් කළේ එලෙසිනි.

1970 දශකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියගේ කාලයේ පෝලිම් යුගය ගැන ඔහුට හොඳ හැටි මතකය. කෙසේ වෙතත් ධනපාල මේ කාලය වනවිට පදිංචිව සිටියේ මරදාන මාලිගාකන්දේය. තරුණ වියේ පසු වූ ධනපාල සිය හාල්පොත පවා පක්ෂයට පරිත්‍යාග කළේය. ඒ දුප්පත් පක්ෂ සාමාජිකයන්ට හාල් ලබා දීම සඳහාය.

‘‘මම යහළුවෝ ටිකක් එක්ක ඩඩ්ලි සේනානායක අගමැතිතුමා සිහිපත් කරමින් රාජගිරියේ වැඩිහිටි නිවාසයට දානයක් දුන්නා. එදා මැයි දිනය දවසේ මැයි පෙළපාලිත් කොළඹ තිබුණා. ශ්‍රීලනිපයේ තිස්සමහාරාමයේ මන්ත්‍රී ටෙනිසන් එදිරිසූරියගේ රියැදුරා ඩඩ්ලි සේනානායකගේ පින්තූරයට ගැහුවා. එතුමාගේ පින්තූරයට ගහනවාට වඩා හොඳයි අපි මැරුවා නම්. මගෙත් එක්ක හිටියා සොයිසා කියලා යහළුවෙක්. මේ වැඩේට ඔහු මාරාවේශ වුණා. ඔහු රියැදුරාට පිහියෙන් ඇන්නා. රියැදුරත් මැරෙන්න පෙර දුණු කොළයකින් අපටත් ගැහුවා. අපට මේ ඝාතනයට නඩු වැටුණා. මම මේ ගැන පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධනට කීවා. එතුමා අපට පක්ෂයෙන් නීතිඥ සහාය දුන්නා. නඩුවට කතා කළේ දයා පෙරේරා නීතිඥ තුමා. නඩුව අපි දිනුම්’’ ධනපාල මෙම කතාව කියමින් ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයන් තමන් රැක බලාගත් හැටි සිහිපත් කළේය.

මේ අතරේ මැතිනියගේ ආණ්ඩුව විපක්ෂ නායක ජේ.ආර්. අත්අඩංගුවට ගන්න බවට ආරංචියක් පැතිර ගියේය. ​ජේ.ආර්. ගෙන යන්න වෙන්නේ අපේ මළ කඳන් උඩින් කියමින් එජාප පාක්ෂිකයෝ ජේ.ආර්ට රැකවරණය දෙන්න දිවි හිමියෙන් ආවෝය. ඒ අතරේ ධනපාල ද කැපී පෙනුණේය.

ධනපාල සිරිකොතේ ආරක්ෂකයා බවට පත්වූයේ මේ කැප කිරීම නිසාය. මරාගෙන මැරී හෝ සිරිකොත ආරක්ෂා කරන බව ඔහු අවසන් කැමැත්ත ලීවේය. කොල්ලුපිටියේ තිබූ සිරිකොත පිටකෝට්ටේ ස්ථාපිත කළේ 1977 මැතිවරණයෙන් පසුවය. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර ස්ථාපිත කිරීමෙන් පසු පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධනට සිරිකොත පාර්ලිමේන්තුව ආසන්නයේ ස්ථාපිත කිරීමට අවශ්‍ය විය. ඒ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ද කෝට්ටේ මන්ත්‍රී ආනන්ද තිස්ස ද අල්විස්ය.

1985 තමයි දැන් තියෙන සිරිකොත විවෘත කළේ. 1977 ජයග්‍රහණයෙන් පසු මම ළඟින්ම ඇසුරු කළේ බොරැල්ල ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.​ මොහොමඩ් මහත්තයා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාටත් මම හරිම කැමැතියි. අපෙත් එක්ක හැප්පෙන්න කවුරුත් ආවේ නැහැ. සිරිල් මැතිව් මහත්තයා අපට පක්ෂයට හා සිරිකොතට හොඳ ආරක්ෂාවක් දුන්නා. 1977 මැතිවරණ ජයෙන් පසු මට ඕනෑම රැකියාවක් ඉල්ලන්න කීවා. ඛනිජ තෙල්, සිමෙන්ති සංස්ථාවල රැකියා දෙන්න හැදුවා. මම සියලු රැකියා ප්‍රතික්ෂේප කළා. මම ජනාධිපතිතුමාට කීවේ මම මැරෙනකම් සිරිකොත ආරක්ෂා කරනවා කියලයි’’ ධනපාල තමන් ලැබූ වරප්‍රසාද අහිමි කරගත් අයුරු සිහිපත් කළේය.

පිටකෝට්ටේ සිරිකොතේ ආරක්ෂාව ප්‍රමාණවත් නැති බව ධනපාලට වරෙක හැඟී ගියේය. ඒ සඳහා සුදුසුම යෝජනාව වූයේ උස් තාප්පයක් ඉදි කිරීමය. ඔහු ජනාධිපතිවරයාට පණිවුඩය ඉදිරිපත් කළේ ලංකාදීප පුවත්පතේ කතුවරයා මාර්ගයෙනි. ඉන්පසු සිරිකොතට පොලිසිය මෙන්ම ත්‍රිවිධ හමුදාවේම අරක්ෂාව හිමි වූ බව ධනපාල සිහිපත් කරන්නේය. සිරිකොතේ තාප්පය ද උස් වූයේය.

ඩී.බී. විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයන් එකල ඇසුරු කිරීමට ද ධනපාලට හැකි වූයේය. ​‘‘මම රුක්මන් සේනානායකත් හොඳින් ඇසුරු කළා. වලව්වටත් යනවා. ඩී.එස්. සේනානායකගේ සැමරුම්වලටත් මම මීරිගමට යනවා’’ ධනපාල පැවසුවේය.

1977 න් පසු අද දක්වා තම නිවහන වූ සිරිකොත ජීවිතයේ ධනපාලට අමතක නොවන සිදු වීම් රැසක් ඇත්තේය. ඉන් 1988-1989 භීෂණ කාලය ඉතාම බිහිසුණුය. එකල ඔහු ජීවත් වූයේ මරදාන මවුලානා වත්තේය. මරදානේ සිට සිරිකොතට දෛනිකව පයින් පැමිණෙන යකාට බය නැති ධනපාල ජනතා විමුක්ති පෙරමු​ණට බිය නොවීය. ජවිපෙන් සිරිකොත ආරක්ෂා කිරීමට සමත් වූයේය.

‘‘දවසක් මම සිරිකොත ඉස්සරහා බංකුවේ වාඩි වෙලා හිටියා. ගේට්ටුවේ හිටපු කෙනා කීවා බෝම්බයක් ගැහුවා දුවන්න කියලා. ආරක්ෂාවට හිටි පොලිසියත් දිව්වා. මම ඉදිරියට ගිහිල්ලා බෝම්බේ අහුලලා පාරට දැම්මා. රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමැතිතුමාගේ රියැදුරාත් අපිත් එක්ක හිටියා. ඔහු ඇමැතිතුමාට පණිවුඩය දුන්නම ඇමැතිතුමා කිව්වා බොම්බ නිෂ්ක්‍රීය අංශයෙන් එවනවා ධනපාල අයින් වෙලා ඉන්න කියලා. මම කීවා සර් මම බෝම්බය අතින් අරන් සිරිකොතෙන් එළියට විසි කළා කියලා.’’ ධනපාල කීවේ සිනාසෙමිනි.

එකල ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සිරිකොත බැම්මේ ද සටන් පාඨ ලියා තිබුණි. ‘‘ඉන්දියන් බඩු ගන්න එපා. ජේ.ආර්. මරමු’’ එවැනි ලියා තිබූ සටන් පාඨ කිහිපයකි. ‘‘දවසක් ජනාධිපතිතුමා සිරිකොතට එනවා කීවා. සටන් පාඨ කළු අකුරෙන් ලොකුවට ලියලා තිබුණා. ජවිපෙට බයේ කවුරුවත් මේක මකන්න ආවේ නෑ. මට ජනතා විමුක්ති පෙරමුණේ යහළුවොත් හිටියා. මම ඔවුන්ට කතා කරලා කීවා අද ජනාධිපතිතුමා එනවා මම සටන්පාඨ මකනවා කියලා. මම යහළුවො දෙන්නෙක් එක්ක තීන්තයි, ලාම්පුතෙලුයි දාලා සටන් පනාඨ මැකුවා. හර්ෂ අබේවික්‍රම සභාපතිතුමා තමයි බඩු ගන්න සල්ලි දුන්නේ’‘ ධනපාල එම කතාව ඉවර කළේ ජනතා විමුක්ති පෙරමුණත් ‘‘මට ආදරෙයි’’ කියමිනි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරණයට පළමුව ඉදිරිපත් වූයේ ද ජවිපෙ භීෂණය මැදය. සමහරු හිතුවේ ජනපතිවරණයෙන් මැතිනිය ජය ගනු ඇති බවය. එසේ වුවොත් සිරිකොතට නිසැකවම ශ්‍රීලනිපය පහර දෙනු ඇති බව සිතූ සිරිකොතේ ඉතිරිව සිටියේ ධනපාල සහ තිස්ස අත්තනායක පමණි.

එජාප පාක්ෂිකයෝ රෑ බෝවෙන්නට පෙර සිරිකොතෙන් ඉවත් විය. අන්තිමේදී මහ රෑ ජාමේ ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ විය. ප්‍රේමදාස පරාද වන ලකුණු මුලින් පෙනුණි. ආරක්ෂාවට සිටි හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ධනපාලට කීවේ ‘‘ප්‍රේමදාස මහත්තයා පරාදයි. ඔයාලත් යන්න’’ යනුවෙනි.

‘‘ඉස්සර වෙලා අල්ලන මාළු කුණු වෙනවා. පස්සේ තමයි හොඳ මාළු ඉතිරි වන්නේ. ඒ නිසා කට පරිස්සම් කර ගත්තොත් හොඳයි කියමින් ධනපාල ආරක්ෂක අංශ සාමාජිකයන් සමග හැප්පුණේය. අවසානයේ ධනපාලගේ කී කතාව ජය ගත්තේය. දිනුවේ රණසිංහ ප්‍රේමදාසය.

එම ජනාධිපතිවරණ සමයේ ප්‍රේමදාසගේ පෝස්ටර් දකුණට ගෙන යාමට එජාප පාක්ෂිකයන් බිය වූයේ ජවිපෙ තර්ජන නිසාය. අන්තිමේදී සිරිකොතේ සිට පෝස්ටර් දකුණට රැගෙන ගියේ ද ධනපාලය. මම​ පෝස්ටර් අරන් හම්බන්තොට ගියා. ඒක දෙන්න තිබුණේ සිරිල් මහත්තයාටය. මම ළඟ ගෙදරකට ගිහින් ඇහුවා මට බඩේ අමාරුවක් හැදිලා බෙහෙත් දෙන දොස්තර සිරිල් මහත්තයා ඉන්නේ කොහේද කියලා. ඒ මනුස්සයා මට පාර කීවාම මම වහාම සිරිල් මන්ත්‍රීතුමාගේ ගෙදරට ගිහින් පෝස්ටර් දීලා කොළඹ ආවා ජවිපෙට අහුවෙන්නෙ නැතිව.’’

ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පසු රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයට පත් වූයේය. ‘‘මට ගොඩක් උදව් කළා. මම ආරක්ෂක නිලධාරියෙක් ලෙස ඉදිරියට යන්න උදව් කළේ රනිල් අගමැතිතුමා. සිරිකොතෙන් මට පඩියක් ලබා දෙනවා. දැන් වගේ වැඩි පඩි ඉල්ලලා සටන් කළේ නැහැ. දුන්න මුදල ගත්තා. හැබැයි නායකයන් සමග ළං වුණත් කරදරයි දුරස් වුණත් කරදරයි’’ ඔහු සිය අත්දැකීම් ඇසුරෙන් ප්‍රකාශ කළේ දේශපාලන නවකයන්ට ද ආදර්ශයක් ලබා දෙමිනි.

පක්ෂයෙන් කියා ඔහුට ලැබී ඇත්තේ මහවැලි ව්‍යාපාරයේ ඉඩම් කැබැල්ලක් පමණි. ඒ ගාමිණී දිසානායක හිටපු ඇමතිවරයා අතිනි. රැකියා හතක් ද ලැබුණි. සිය හිතවතුන්ට ඥාතීන්ට එම රැකියා ලබා දීමට ඔහු අමතක කළේ නැත.

යහපාලන කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ පත් කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ දවස්වල ධනපාල රකින්න ගියේ රනිල් සිටි අරලියගහ මන්දිරයටය. ‘‘මම රාත්‍රිය වෙනකම් අරලියගහ මන්දිරයේ ඉඳලා පයින් ඇවිල්ලා සිරිකොතේ නිදා ගත්තා. දින පනස් දෙකක් ඔය රාජාකාරියත් කළා’’ ධනපාල පැවසුවේය.

සිරිකොත ජීවිතයේ ඔහු දුක්බර වූ අවස්ථාව ලෙස 2019 මැතිවරණ පරාජය සහ පක්ෂය දෙකඩ වීම බව ධනපාල කියන්නේය. ‘‘සියලු දෙනා එකතු වුණොත් පක්ෂය ජය ගන්න පුළුවන්’’ ධනපාල පසක් කළේය.

පක්ෂයේ, නායකයන්ගේ, සිරිකොතේ සැඟවුණු රහස් කතා ගහමරා ගැනීම් කොතෙක් තිබුණත් ඒවා ධනපාලගෙන් ලබා ගැනීමට වඩා ගලෙන් පට්ටයක් ගැනීමට ලේසිය. සිරිකොතට එජාපයට ඒ තරමටම​ ඔහු ආදරේය.

ධනපාල මංගල වරම් හිමි කර ගත්තේ 1999 වර්ෂයේය. ඔහු හා අතිනත ගත්තේ මහනුවර ප්‍රදේශයේ කාන්තාවකි. ‘‘මට අම්මා ඉන්න කොට බඳින්න කීවා. නමුත් අම්මා මැරුණාම තමයි මම බැන්දේ. නමුත් මම ගෙදර ඉන්නෙ නැහැ. මගේ ගෙදර තමයි සිරිකොත. රෑටත් ඉන්නේ සිරිකොතේ. මම වැලිගම ගමේ ගෙදරකුත් හැදුවා. ඒ සියලු දේපොළ ලියලා දීලා තියෙන්නේ. මැරෙන්න ඕනේ මට දැන් ඕන දෙයක් දාලා ඊළඟ ගමන යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒත් සිරිකොත දාලා යන්න දුකයි. නා රජකු මැණිකක් රකිනා සේ සිරිකොත රකින 82 වියැති ධනපාල කියන්නේ හැඟුම්බරවය.

උදයජීව ඒකනායක