විශේෂාංග

මාස්ක් කොළඹට මළ වධයක් වෙයි

මීට සිව් මසකට ​ඉහතදී බස් රථයකට මුඛ ආවරණයක් පැලඳ මගියකු ගොඩ වූ සැණින් මගීන් ඔහු දෙස බැලුවේ වපරහිනි. අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා මාරාන්තික බෝවන රෝගයක් වැලඳී ඇති අයකු යැයි ඔහු දෙස අය කල්පනා කළෝය.

නමුත්, දැන් බස් රථයක මුඛ ආවරණ නොමැතිව යන මගියකු සෙවීමට වඩා කිසිවකු නොමළ නිවසකින් අබ ඇටයක් සොයා ගැනීම ලෙහෙසිය.

බස් මගීන් පමණක් නොව ගෙදරින් පාරට බහින හැමදෙනාම පාහේ මුඛ ආවරණ පලඳින්නෝය. මුඛ ආවරණ පලඳින්නට අපට කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශයය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කතාව කීවේය. එහෙත් දැන් දොස්තරලා කියන්නේ මුඛ ආවරණ පැලදීම අපගේ ශරීර සෞඛ්‍යයට එතරම් හොඳ නැති බවය.

දිගින් දිගටම මුඛ ආවරණ පැලඳ සිටීම නිසා නිරෝගී පුද්ගලයන් අතුරු ආබාධයන්ට ලක්වීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩි බවත් විශේෂඥ වෛද්‍යවරු මේ වන විටත් තහවුරු කර ගෙන තිබේ. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් පරිසරට බැහැර කරන මුඛ ආවරණ, ලෝකේ අලුත්ම පරිසර ප්‍රශ්නය බවට පත්ව තිබේ.

මේ කතාබහ ඇති වූයේ චීනයේ බීජිං නුවර කායවර්ධන ස්ථානයකනට ගොස් මුහුණු ආවරණ පැළඳ ව්‍යායාම් කටයුතු කළ පාසල් ළමුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වීමත් සමගය. මුඛ ආවරණ පැලඳ සැතපුමක් දිවගිය කළු යුවළක් මියගොස් තිබුණේ පෙනහළු පුපුරාය.

ඇමරිකාවේ ලින්කන් ප්‍රාන්ත පොලිස් කොට්ඨාසයේදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූයේ ‘N95’ නම් මුඛ ආවරණයක් පැළඳ තම මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී මෝටර් රථය දුරකථන කණුවක ගැටීමෙනි. වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වූයේ N95 මුඛ ආවරණ පැලඳ සිටීම නිසා ඔහුට නොදැනුවත්වම ඔහුගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවී සිහිවිකල්වී ඇති බවය. ඔහු රිය පැදවීමේදී N95 මුඛ ආවරණයක් පැලඳ නොසිටියේ නම් අනතුර වළක්වා ගතහැකිව තිබුූ බවත් ලින්කන් පාක් පොලිසියේ විශ්වාසයයි. කෙසේ නමුත් මේ සා බරපතළ සිද්ධීන් නම් තවමත් ලංකාවෙන් වාර්තා වී නැත.

සැබවින්ම මුඛ ආවරණ පැලඳීමෙන් පමණක් කොරෝනාවෙන් බේරෙන්න හැකිද. ඒ ගැන ජාතික ඇස් රෝහලේ කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කියන්නේ නවසීලන්තය කොවිඩ් 19 වෛසරයෙන් ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථකරණය සහ දෑත් සේදීම යන ප්‍රධාන ත්‍රිත්වයම නිවරැදිව භාවිත කළ බවය. එසේ නැතිව ඔවුන් කිසි විටෙකත් මුහුණු ආවරණයෙන් පමණක් ආරක්ෂාව නොපැතූ බව ඔහු පෙන්වා දේ. මුහුණු ආවරණ පලඳින්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අයකුගේ කෙළ බිඳිති මගින් තවත් අයකුට ආසාදනය වීම වළක්වා ගැනීමටය. නමුත්, මුහුණු ආවරණ පැලඳීමේ වාසිය මෙන්ම අවාසිදායක තත්ත්වයන් ද මේ වන විට පොදු සමාජයෙන්ම සොයා ගැනීමට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය. අද වන විට පුද්ගලයන් බොහෝමයක් ඔසුසල්වලට ගොස් ‘N95’ මුඛ ආවරණය නැතිනම් ශල්‍යාගාරවල භාවිත කරන ශල්‍ය මුඛ ආවරණ මිලදී ගනිති. නමුත්, මුහුණු ආවරණවලට මෙවැනි විශේෂයක් අවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගේ මතයයි. එමෙන්ම, ඒවායින් වෙනත් අනතුරු සහ බලපෑම් එල්ල විය හැකිය.

‘‘අපි කියන්නේ මුහුණු ආවරණවලට විවිධ විශේෂිකරණ එපා කියලා. විශේෂයෙන්ම ‘N95’ වගේ මුඛ ආවරණ අවශ්‍ය වන්නේ කොවිඩ් 19 ආසාදිත රෝගියකුගේ ප්‍රාශ්වාස වාතය සහිත වායු අංශු සමග සෘජුව ගැටෙන පුද්ගලයන් සඳහා පමණයි. ඒ නිසා නැවත භාවිතයට ගත හැකි රෙදිවලින් මැසූ මුහුණු ආවරණයක් භාවිත කිරීම සුදුසුයි.’’

බොහෝ රටවල් මේ වන විටත් නිර්දේශ කරන්නේ රෙදිවලින් මැසූ මුහුණු ආවරණයක් භාවිත කරන ලෙසයි. එමෙන්ම, විශේෂිත මුඛ ආවරණ අවශ්‍ය වන්නේ සාමාන්‍ය ජනතාවට නොව සෞඛ්‍ය අංශ සේවකයන්ට බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය.

එපමණක් නොව ඔහු කීවේ මේ ආකාරයට මහා පරිමාණ භාවිතයේදී වරක් භාවිත කර ඉවත දමන මුඛ ආවරණ එක් පැත්තකින් විශාල පරිසර හානියකට අත වැනීමක් බවයි. ඒ නිසා රෙදිවලින් මැසූ මුඛ ආවරණ වරෙක භාවිතයෙන් පසු ​හො​ඳින් සෝදා වියළා භාවිත කිරීම විශේෂඥ වෛද්‍ය නිර්දේශයයි.

රටේ පවතින තත්ත්වය හමුවේ ඔබ මුඛ ආවරණ පැලඳ ඇවිදීම දිවීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවන්නේ නම් මුඛ ආවරණ නොමැතිව සමාජ දුරස්ථභාවය තබා ගනිමින් තම ව්‍යායාම් කටයුතුවල නිරතවන ලෙස විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය. එහිදී විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගනිමින් කටයුතු කරන්නේ නම් කිසිසේත් මුඛ ආවරණ භාවිතය අවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබිණි.

‘‘සමාජ දුරස්ථභාවය ​සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් මුව ආවරණයක් පැලඳීමේ අවශ්‍යතාව ඇත්නම් වෛද්‍ය උපදේශය වෙන්නේ ඒ තරම් තද නොවන ලිහිල් මුඛ ආවරණයක් පැලඳිය යුතු බවයි. ඒ වගේම ඇතැම් අවස්ථාවල ශ්වසන ක්‍රියාකාරිත්වය වැඩි වන කොට මුව පැලඳ සිටීම ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්.’’

මේ අතර පෞද්ගලික වාහනයක ඔබ පමණක් ගමන් ගන්නේ නම් මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවේ. එයට හේතුව වන්නේ ඔබේ මෝටර් රථයේ ඔබ පමණක් ගමන් ගන්නා නිසා වෛරසය පැතිරීමේ අවදානමක් කිසිසේත්ම නොමැති නිසාය.

කෙසේ වෙතත්, ඔබ දිගු වේලාවක් මුඛ ආවරණ භාවිත කරන්නෙක් නම් එයින් ඔබට අයහපත් බලපෑමක් එල්ල වීමට පුළුවන. එමෙන්ම, ඔබ ඇස් කණ්ණාඩි භාවිත කරන අයෙක්ද? එනම්, ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු පුද්ගලයකු බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය.

‘‘ඔබ ඇස් කණ්ණාඩි පාවිච්චි කරන කෙනෙක් නම් ඔබේ මෝටර් රථය තුළ ඔබ පමණක් සිටින විට මුඛ ආවරණ පැලඳීමෙන් වළකින්න. මොකද ඔබ ඇස් කණ්ණාඩියක් පැලඳ මුඛ ආවරණත් පැලඳ මෝටර් රථය ධාවනය කරන කොට ඔබේ වාතය කණ්ණාඩියේ බැඳී දෘෂ්ඨි පථය අපැහැදිලි වෙන්න පුළුවන්. මේ නිසා ලෝකයේ බොහෝ තැන්වල මෝටර් රථ අනතුරු සිදුවුණු අවස්ථා වැඩි වශයෙන් වාර්තා වෙනවා.’’

එපමණක් නොව ශ්වසන රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන්ද මුඛ ආවරණ පැලඳීමෙන් වළකින ලෙස ඔහු වැඩිදුරටත් කීවේය. කෙසේ වෙතත්, එවැනි පුද්ගලයන් මෙම කාලය තුළ ලැබෙන සෑම අවස්ථාවකදීම වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන වෙත සහ සමාජය වෙත නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතුය. කෙසේ වෙතත් තව නොබෝ දිනකින්ම ඉස්කෝලත් පටන් ගැනීමට නියමිතව ඇත්තේය. පාසල් ළමුන්ගේ නිවසින් පාසල කරා පිය මනින ඔවුන්ද මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය වේදැයි අපි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනගෙන් විමසුවෙමු. ඇය කීවේ, පාසල් සිසුන් සඳහා මුඛ ආවරණ අනුමත නොකරන බවයි.

මුඛ ආවරණ පාසල් සිසුන්ට එක දිගට පැලඳ සිටීමත් හුස්ම ගැනීමේ අපහසුතා සහ දිලීර රෝග ඇතිවිය හැකි බව ඈ පැවසුවාය. එයට ප්‍රධානම හේතුව වන්නේ නියම සායනික මුඛ ආවරණ වෙනුවට විවිධ වර්ගයේ මුඛ ආවරණ වෙළෙඳපොළේ අලෙවි වීම නිසාය.

එම නිසා පාසලට පැමිණීමේ දී සහ යළි නිවෙස්බලා යාමේදී හෝ අවශ්‍ය නම් පමණක් මුඛ ආවරණ පැලඳීම දෙමාපියන් සතු තීරණයක් විය යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

මුඛ ආවරණ නිසා ලොකුම කරදරය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවටය. කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක කීවේ, මේ දිනවල නගර සභා සේවකයන් කොළඹ කානු පද්ධතිය පිරිසුදු කරන අවස්ථාවල ඔවුන්ට වැඩි වශයෙන් ලැබී ඇත්තේ මුඛ ආවරණ බවයි. සමහර ස්ථානවල වතුර බසින්නේ නැත්තේ ඇයිදැයි සොයා බැලූ විට දැන ගැනීමට ලැබී ඇත්තේ ශල්‍ය මුඛ ආවරණවල ඇති ‘ප්ලාස්ටික් කූරු’ කානුවල වතුර බැසීමට ඇති ගලිවල හිරවී ඇති ආකාරයයි.

එපමණකන් නොව, මේ ආකාරයට ඉවත දමන මුඛ ආවරණවල වතුර පිරී ඩෙංගු මදුරු අවදානමක්ද ඇති වීමට විශාල කාලයක් නොගන්නා බවත් ඇය මතක් කළාය. තම නිවසින් බැහැර කරනු ලබන මුඛ ආවරණ සබන් මිශ්‍ර වතුරින් සෝදා බහාලුම දමා නිවසට පැමිණෙන නගර සභා සේවකයාට ලබාදෙන ලෙසත් ඇය ඉල්ලීමක් කළාය. ඒ නගර සභා සේවකයන් පවා මනුෂ්‍යයන් නිසාය.

කෙසේ හෝ මධ්‍යම පරිසර අධිකාරිය නම් පවසන්නේ මෙසේ එකතු වන මුඛ ආවරණ ආදාහනාගාරවල දමා පිළිස්සිය යුතු බවයි. නැතිනම් වළ දැමීමද ප්‍රමාණවත් බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය භාර අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර කීවාය.

හර්ෂණී දිසානායක