කතුවැකි

මාසයක පාඩුවකදී සේවකයන් පාරට දාන්නේ ව්‍යවසායකයෝද?

මෙරට රාජ්‍ය අංශය හැරුණු කොට පෞද්ගලික අංශයේ සේවකයෝ කොරෝනා වසංගත අවදානම සමග තවත් අවදානමකට මුහුණ පා සිටිති. ඒ තම තමන්ගේ රැකියා අහිමි වනු ඇතිද යන අවදානමය. ඇතැම් ආයතන දැනටමත් තම සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට තීරණය කර තිබේ. වැටුප් කප්පාදුවට ලක්වීමේද, රැකියා අහිමි වීමේද අවදානමට වැඩියෙන්ම මුහුණ පා සිටින්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ය. මේ වන විට මෙම ක්ෂේත්‍රය මුළුමනින්ම පාහේ අඩපණව ඇති අතර ඇඳිරි නීතිය අවසන් වූ පසුවද සේවයට කැඳවිය හැක්කේ සියයට තිහක පමණ සේවක පිරිසක් පමණක් බව දැනටමත් ප්‍රකාශ වී තිබේ.

දැනට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමික පිරිස ලක්ෂ හතරද ඉක්මවන අතර වක්‍ර රැකියාවල නියුතු පිරිස ලක්ෂ පහළොවක් පමණ වේ. මේ අතුරින් යළි සේවයට කැඳවිය හැක්කේ සියයට තිහක් පමණක් බව කීමෙන් නොකියා කියන්නේ සියයට හැත්තෑවකට රැකියා අහිමි වන බවය. ඇඟලුම් ක්ෂේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ දහනවයක් යනු මෙරට පවුල් ලක්ෂ දහ නවයක් මේ හරහා යැපෙන බවය. ඉන් සියයට හැත්තෑවකට රැකියා අහිමි වුවහොත් පවුල් ලක්ෂ දහතුනකට පමණ යැපුම් මාර්ගය අහිමි වී යනු ඇත. මේ ප්‍රමාණය ඇඟලුම් ක්ෂේත්‍රයෙන් පමණකි. සංචාරක ක්ෂේත්‍රය ඇතුළුව තවත් ක්ෂේත්‍ර ගණනාවක මේ අන්දමට සේවක කප්පාදු සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

සියයට තිහක සේවක පිරිසක් පමණක් සේවයට කැඳවිය හැකි නමුත් ඒ අයටද මාස හයක් යනතෙක් සේවක අර්ථසාධක හෝ සේවක භාරකාර අරමුදල් ගෙවිය නොහැකි වනු ඇතැයිද ප්‍රකාශ වී තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයට මෙම සහනය ලබා දුනහොත් පසුබෑමට ලක්ව ඇති අනෙකුත් ක්ෂේත්‍ර සඳහාද එම සහනය ලබාදීමට සිදුවනු ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටී තිබේ. මේ නිසා බැලූ බැල්මට රැකියා අහිමිවීම, වැටුප් කප්පාදුව නොවැළැක්විය හැකි දෙයක් බව කිව හැකිය. එහෙත් කොරෝනා වසංගතය අප රටට පැමිණ තවමත් මාස දෙකක් හෝ ගතවී නැත. මාස දෙකක් ගතවන්නටත් පෙර තමන්ගේ සේවකයන්ගේ රැකියා අහිමි කරන්නේ නම් එවැනි ව්‍යවසායකයන් ඇත්තෙන්ම ව්‍යවසායකයන්ද යන ප්‍රශ්නය මතුවේ.

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ආරම්භ වී මේ වන විට දශක හතරකට අධික කාලයක් ගතව තිබේ. දශක හතරක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිසකගේ ශ්‍රමයෙන් ඉපැයූ ලාභයෙන් මාසයක්, දෙකක් ඔවුන්ව නඩත්තු කළ නොහැකි යැයි පිළිගන්නේ කෙසේද?

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර මෙලෙස සේවකයන්ගේ වැටුප් කප්පාදුවට මෙන්ම රැකියා කප්පාදුවකට සූදානම් වන්නේ ඇත්තෙන්ම කොරෝනා නිසා ඇතිවූ පාඩු නිසාමද යන්න විමසා බැලිය යුත්තේ මේ නිසාය. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය කලෙක පටන්ම අර්බුදයන්ට ලක්ව තිබූ ක්ෂේත්‍රයකි. එවැනි අර්බුද, ලාභ-පාඩු ඕනෑම ව්‍යාපාරයකදී අපේක්ෂා කළ යුතු තත්ත්වයන්ය. ඒ නිසා ඒවාට විසඳුම් සොයා ගත යුත්තේද, එම ක්ෂේත්‍රය තුළින්මය. නමුත් ඇඟලුම් ක්ෂේත්‍රය මෙන්ම අනෙකුත් බොහෝ ක්ෂේත්‍රද, ඔවුන්නොවුන්ගේ ක්ෂේත්‍රයන් තුළ කලෙක පටන් තිබූ අර්බුද, පාඩු සමනය කරගැනීමට මේ අවස්ථාවේ කොරෝනා වසංගතය ප්‍රයෝජනයට ගන්නට සූදානම් වනවා විය නොහැකිද?

මේ ව්‍යවසායකයන් මේ අන්දමට කල දුටු කල වළ ඉහ ගැනීමට සූදානම් වන්නේ ආණ්ඩුව පෞද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා අතිවිශාල බදු සහන පැකේජයක් පවා ලබාදී තිබියදී බවද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුය. වැට් බදු සංශෝධනය ඇතුළු බදු සහන නිසා රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් අහිමි වන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කොට තිබිණ. 1977 න් පසු මෙරට පැවැති සෑම ආණ්ඩුවක්ම පෞද්ගලික අංශය දිරිගැන්වීම සඳහා නොකළ දෙයක් නැති තරම්ය.

සෑම ආණ්ඩුවක්ම පෞද්ගලික අංශයට මේ තරම් දිරි දෙන්නේ එම අංශය රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස සලකන නිසාය. එහෙත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මොහොතක තමන්ට ලාභ උපයා දී තම ජීවිකාව සරිකර ගත් සේවකයන් හෝ රැකබලා ගන්නට නොහැකි පෞද්ගලික අංශයකින් රටේ ආර්ථික සංවර්ධනයට ලැබිය හැකි දායකත්වය කුමක්දැයි යළි සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි අපි සිතමු.

දැන් කරුණු කාරණා සිදුවන ආකාරයට පසුබෑමකට ලක්වන සෑම අංශයකම බර දරන්නට සිදුව තිබෙන්නේද ආණ්ඩුවටය. පෞද්ගලික අංශය විසින් පාරට ඇද දමන සේවකයන්ගේ බර මෙරට සේවා වියුක්තිය ඉහළ නැංවීමට හේතුවනු ඇත. එය ආණ්ඩුවකට දැඩි පීඩනයක් ඇති කරවන කාරණයකි. යළි රැකියා ලබාදෙන සේවකයන්ගේ සේවක අර්ථසාධක, සේවා නියුක්තිකයන්ගේ අරමුදල් නොගෙවීමෙන් එම සේවකයන්ගේ අනාගතය අනාරක්ෂිත වනවා පමණක් නොව රාජ්‍ය මුදල් ප්‍රවාහය තුළ හිඟයක් ඇති කිරීමටද හේතුවේ. මේ අතරම පෞද්ගලික අංශයේ සෑම ක්ෂේත්‍රයක්ම කොරෝනා වසංගතයෙන් පසු තව තවත් බදු සහන, ණය ආදී වශයෙන් පුනරුත්ථාපන සහන අපේක්ෂා කරනු ඇත.

මේ අවස්ථාවේ පෞද්ගලික අංශයේ හැසිරීම අනුව අනාගතයේ යළිත් වරක් රාජ්‍ය අංශයේ රැකියා සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම නොවැළැක්විය හැකි වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ රටේ ආර්ථිකයට උර දෙන්නට නොහැකි, අවම වශයෙන් මාස දෙක තුනක් තමන්ගේ කාර්ය මණ්ඩල නඩත්තු කරන්නට සූදානම් නොමැති පෞද්ගලික අංශයක් තර කරන්නට තවදුරටත් කටයුතු කිරීමෙන් පලක් තිබේදැයි කල්පනා කිරීමට මේ හොඳම අවස්ථාවකි.