පිනි පලස

මාලිනි දොළොස්වෙනි වරටත් ජනතාවගේ නිළිය වෙයි

“සිංහල සිනමාවේ නිළි රැජින” යන විරුදාවලියෙන් හඳුන්වන්නේ ඇයයි. ඒ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන් ඇරඹි සිනමා ජිවිතයට මේ වෙද්දී වසර 50ක් සම්පූර්ණයි. පසුගියදා පැවති ජනතා සම්මාන උළලේදී 12 වෙනි වරටත් “ජනතාවගේ නිළිය” ලෙස සම්මානනීය වීමට මාලනි ෆොන්සේකා සමත්වීය.

මේ දිනවල චිත්‍රපටවල කටයුතු කරනවද?

හොඳින් ඉන්නවා. අලුත් නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්නවා රසික ලියනගේ අධ්‍යක්ෂණය කරන මොනර විලක් කියන චිත්‍රපටයේ.

ජාත්‍යන්තර සම්මාන ඇගයීමක් ලැබුණා නේද මෑතක?

ඔව් ඒ මගේ කලා ජීවිතයට වසර පනහක් සැපිරීම වෙනුවෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර දී බැක් ටු ද සේවන්ටි හිදී ඒ අය ආරාධනා කරලා මට සම්මානයක් ලබා දුන්නා.

ඒ වගේම මේ වසර මුලදී අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියට සහභාගි වුණා නේද?

ඔව් ඒ ගියේ 18 වෙනි පූනේ අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියට. එතැන මම ජූරි මණ්ඩල සාමාජිකාවක් විදියට කටයුතු කළා. ඉන්දියාව, සර්බියාව, හංගේරියාව, ඉරානය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් නියෝජනය කරමින් ජූරි මණ්ඩල සාමාජිකාවන් 18ක් සහභාගී වුණා. ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ හිදී තමා ඒක පැවැත්වුණේ.

12 වෙනි වරටත් “ජනතාවගේ නිළිය’’ ලෙස සම්මානනීයවීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම හරිම සතුටුයි. මමත් මේ ක්ෂේත්‍රයට එනකොට හිතුවේ නැහැ මේ තරම් දුර ගමනක් එන්න පුළුවන් වෙයි කියලා.

ඉදිරියට දකින්න ලැබෙන සිනමා නිර්මාණ මොනවද?

චත්‍ර වීරමන්ගේ ආයු එකේ රඟපානවා. ඒ වගේම මොනර විලක් කියන චිත්‍රපටයෙත් මම රඟපානවා. ඒත් එක්කම ලොකු අඩුවක් දැනෙනවා මගේ හිතේ හැටියට රඟපාන්න පුළුවන් හොඳ චරිතයක් ලැබෙනවා නම් හොඳයි කියලා. සිතුවිල්ලක් බලාපොරොත්තුවත් එක්ක ජීවත් වෙනවා.

ඒ මොනවගේ චරිතයක් ද?

දැන් මම ඉන්න වයස සීමාවේ නිළියක් විදියට කරන්න පුළුවන් චරිත විශාල ප්‍රමාණයක් මේ සමාජය තුළ තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් කවුරු හරි ඉදිරියට අරන් එනවා නම් මම කැමැති මගේ අත්දැකීම් එක්ක ඒ චරිතය කරන්න.

අලුත් පරපුර එක්කත් වැඩ කරනවා, කොහොමද ඒ අයව දකින්නේ?

ඔව්. මම මේ ක්ෂේත්‍රයට එනකොට හිටිය ප්‍රවීණ අය එක්ක වැඩ කරද්දී මම නවකයෙක් නේ. ඉතින් මට ලොකු රුකුලක් වුණා මගේ මේ ගමනට. විශේෂයෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ලෙනින් මොරායස්, එච්. ඩී. ප්‍රේමරත්න, විජය ධර්මශ්‍රී, යසපාලිත නානායක්කාර වගේ අය එක්ක වැඩ කරලා සිනමාවේ පුළුල් අත්දැකීම් රාශියක් ලැබුණා. ඊට පස්සේ ක්‍රමයෙන් අලුත් නිර්මාණකරුවන් එක්කත් මම වැඩ කළා. අද ඉන්න අයගේ සිතුම් පැතුම් වෙනස්. පිටපත තිර රචනය, කැමරාකරණය, සංගීතය අද අලුත්. ඉතින් මම පරණ විදියට හිතුව නම් මට මේ අය එක්ක වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා හැමවෙලේම සිත ඇතුළින් දැනුවත් වීමෙන් මම අලුත් වෙනවා. අලුත් කෙනෙක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා මම දැනුවත්. අපි කතා බහ කරද්දී මම මගේ අත්දැකීම් පවා කිව්වම හුඟක් අය ඒවත් පිළිඅරගෙන කටයුතු කරනවා. මොකද ඒ අය හිතන විදිය මම දකිනවා ඒ නිසා ඒක ලේසියි.

මේ වෙද්දී ඔබෙන් පසු තුන්වෙනි පරම්පරාවත් (රූකඩ පැංචි – කුෂේන්යා ෆොන්සේකා ) සිනමාවට ඇවිත් මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් ආඩම්බරයක් තියෙන්නේ. මට හිතෙන්නේ මගේ අම්මා හිටියා නම් කියලා. මාව බිහිකළේ එයා. එයාගේ තමා ලොකුම බලාපොරොත්තුව වුණේ කලාව තුළ සිනමාව තුළ දකින්න. මේක ඉතින් කලාතුරකින් ලැබෙන අවස්ථාවක් විදියට මම දකින්නේ. මම හරි ආදරෙන් ආඩම්බරෙන් කියන්නේ මගේ මිණිබිරිය ගැන.

ආපු ගමන් මග ගැන මොකද හිතෙන්නේ?

මම එන කාලේ වගේ නෙවෙයි අද හුඟක් වෙනස්. නමුත් මොන බාධක ආවත් මේ ගමන මම ආව ඉතින් මම හිතනවා මගේ මේ ගමන අලුත් පරපුර ආදර්ශයට ගන්නවා නම් හොඳයි කියලා. එක විදියටම නෙවෙයි බාධක එන්නේ නොයෙක් මුහුණුවරින්. ඒ හැම එකකටම පිළිතුරක් තියෙනවා. පිළිතුරක් නැහැ කියලා වැටුණොත් ගමනක් එන්න බැහැ. මම කියන්නේ ධනාත්මක සිතුවිලිවලින් හැම වෙලේම හිතන්න ඕනේ. පළවෙනි දේ සාර්ථක වුණේ නැත්නම් දෙවැනියට කරන දේ සාර්ථක කරගෙන. අපි මේ යන ගමන ඉදිරියට යන්න ඕනේ කියලා තමා මම හිතන්නේ.

අනුෂා රණසිංහ