ක්‍රීඩා

මාලින්ද පන්දු යැවීමෙන් ලෝකයේම දෙවැනි තැනට

ගෙවුණු දශකයක (2010-2020) කාලය තුළ ලොව පළමු පෙළ ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවේ මාලින්ද පුෂ්පකුමාර සමත්ව සිටී.

අදාළ දශකය තුළ තරග 110කට සහභාගි වී තිබෙන මාලින්ද එහිදී බිඳහෙළා ඇති මුලු කඩුලු සංඛ්‍යාව 667 කි. එහිදී මාලින්ද විසින් තරගයක කඩුලු 10 බැගින් දවා ගැනීමේ අවස්ථාවන් 21ක් සටහන් කර තිබෙන අතර ඔහු විසින් සටහන්කර ඇති ඉනිමක කඩුලු පහ බැගින් දවා ගැනීමේ අවස්ථා ගණන 59කි.

33 වැනි වියේ පසුවෙන මාලින්ද මුල් වරට පළමු පෙළ ක්‍රිකට් තරගයක් සඳහා සහභාගි වී ඇත්තේ 2006 වසරේදීය. එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ දස්කම් පාන ඔහු තරග 139කදී බිඳ හෙළා ඇති පළමු පෙළ මුලු කඩුලු සංඛ්‍යාව 793 කි.

අවසන් වරට මේ වසරේ ඔහු සහභාගි වූ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදීද ශූරතාව දිනූ සී.සී.සී, කණ්ඩායම වෙනුවෙන් කඩුලු 50 සීමාව පසුකර තිබීම විශේෂත්වයක් විය. කෙසේ නමුත් අදාළ පළමු පෙළ තරගාවලියෙන් පසුව සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිතව තිබුණු ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මාලින්දව ඇතුළත් නොවීම විමතිය දනවන කාරණයක් විය.

ශ්‍රී ලංකාවේ 141 වැනි ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට් වරම් ලද මාලින්ද මේ දක්වා ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග දෙකකට සහභාගි වී තිබේ. අවසන් වරට ඔහු ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් පිල නියෝජනය කර ඇත්තේ 2018 නොවැම්බර් මාසයේ එංගලන්තයට එරෙහිවය.

අදාළ දශකයේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා බවට නවසීලන්තයේ ජීතන් පටෙල් පත්ව තිබේ. තරග 203කට සහභාගි වෙමින් 40 හැවිරිදි ජීතන් බිඳහෙලා තිබෙන මුලු කඩුලු සංඛ්‍යාව 695ක් වේ.

ක්‍රීඩක ලැයිස්තුවට අනුව තෙවැනි ස්ථානය හිමිව තිබෙන්නේ එංගලන්තයේ සුපිරි පන්දු යවන ක්‍රීඩක ජිමී ඇන්ඩ්‍රසන්ටය. එම දශකය තුළ පළමුපෙළ තරග 147කට සහභාගි වී තිබෙන ඔහු බිඳහෙළා තිබෙන මුලු කඩුලු සංඛ්‍යාව 598කි. එහි සිව්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ සිමොන් හාමර්ට හිමිව තිබෙන අතර තරග 140කදී ඔහු කඩුලු 586ක් දවාගෙන තිබේ.

පළමුපෙළ තරග 137කට සහභාගි වී ඇති නවසීලන්තයේ නීල් වැග්නර් කඩුලු 584ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ පස්වැනි තැනට පත්ව සිටී. එම ලැයිස්තුවට අනුව පිළිවෙලින් 6 වැනි, 7වැනි, 8 වැනි, 9 වැනි සහ 10 වැනි ස්ථාන පිළිවෙලින් එංගලන්තයේ ටිම් මුර්ටාග් (574), ඔස්ට්‍රේලියාවේ නේදන් ලියොන් (572), ඔස්ට්‍රේලියාවේ මයිකල් හෝගන් (571), එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් (559) හා ඔස්ට්‍රේලියාවේ පීටර් සිඩ්ල්ට (508) හිමිව ඇත.

ගයාශාන් විතානආරච්චි