ක්‍රීඩා

මාලිගේ පන්දුවට මල් නායකත්වයට ගල්

මෙලෙස ක්‍රීඩාලෝලීන් ‘ගල් අමෝරා’ බලාසිටින්නේ හුදෙක් ලසිත් මාලංගට එරෙහිව නොව, ක්‍රිකට් ලොව සන්නාමයක්ව පැවැති ශ්‍රී ලාංකේය නාමය කුණු කූඩයට යැවීමට කටයුතු කළ ක්‍රිකට් ආයතනයේ මහ පුටුවල ඇත්තන්ට එරෙහිවය. අවාසනාවකට අද ඒ සියල්ල එක්ව ඇත්තේ මාලිංගගේ ගිණුමටය.

මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හී අංක එකේ රැඳී සිටි කණ්ඩායම ඔවුන්ගේ රටේදීම පරාජයට පත්කළ මෙරට ක්‍රිකට් කණ්ඩායමට දැන් වස්වැදී ඇත්දෝයි අපට සිතෙයි. වසර ගණනාවක් එම ශ්‍රේණිගත කිරීම්හි හිනිපෙත්තේ රැඳී සිටි අපට හතේ හත වැදෙමින් එම ශ්‍රේණිගතකිරීම්හි ඇෆ්ගනිස්තානයටත් පහළට ඇද වැටුණි.

සීමිත පන්දුවාර තරග ආකෘති දෙකේම ලෝක කුසලාන හිමිකරගෙන සිටින අප, ඒවායෙහි ලෝක අනුශූරයන් වූ අවස්ථා ගණන හතරකි. එහෙව් අප අද හතරගාතෙන් ඇද වැටුණේ, අදහා ගැනීමටත් නොහැකි ලෙස යැයි ඇතැමෙකුට සිතෙන්නට පුළුවනි. එහෙත් සිදුව ඇත්තේ කුමක් දැයි යළිත් පසු විපරමක් කළ යුතුව ඇත. ඊට හේතුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට තව ඉතිරිව ඇත්තේ මාස හතක් පමණක් වීමය.

ලෝක ශූරතාවක් ආසන්නයේ සිට කණ්ඩායම් සංයුතිය ගැන නිශ්චිත අදහසක්වත් නොමැතිව තවමත් අපි ක්‍රීඩකයන් අත්හදාබලමින් සිටිමු. පුහුණුකරුගේ ප්‍රශ්නය දැන් විසඳී අවසන් නමුත්, නායකත්ව අර්බුධය තවමත් එකතැන පල්වෙමින් පවතී. ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග දිගින් දිගටම නායකයකු වශයෙන් අසාර්ථක වීමය.

මේ සියල්ල මැද අපට ලෝක ක්‍රිකට් පිටියේ යළි හිස කෙළින් කර සිටීමට අවශ්‍ය නම්, වැරුදිකරුවන් අද හෙටම ‘උගත් පාඩම්’ කොමිසමකට කැඳවිය යුතුය. ඉන් අනතුරුව අවශ්‍ය වෙනස්කම් නොපමාව සිදුකිරීමට පසුබට නොවිය යුතුය. කස පහර දිය යුත්තන්ට මල් මාලා නොදමා වරද දුටු තැන පහරදිය යුතුය. එසේ නොකොට තම තමන් කැමැති අයවලුන් ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ නම් වලින් අභිෂේක කිරීමේ පාපය අපට දැන් අත්විඳින්නට සිදුව ඇත්තේය.

ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 128කට සහභාගී වී ඇති අතර, ඉන් තරග 60ක් ජයගෙන තරග 66ක් පරාජයට පත්ව තිබේ. තරග දෙකක් විසඳුමකින් තොරව අවසන්ව ඇත. ඒ අනුව එහි ජයග්‍රාහී ප්‍රතිශතය සියයට හතලිස් හයයි දශම අසූ අටකි. මේ සඳහා ක්‍රීඩකයන් අසූ හතරදෙනකු සහභාගී වී ඇති අතර, දසදෙනෙකු නායකත්වය දරා ඇත.

එම නායකයන් අතුරින් ඉහළම ජයග්‍රාහී ප්‍රතිශතය වාර්තාකර ඇත්තේ දසුන් ශානකය. තරග තුනකට නායකත්වය ලබාදුන් ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය සියයට සියයකි. තිළිණ කණ්ඩම්බි ද එක් තරගයකදී ශ්‍රී ලංකාව මෙහෙයවා එය ජයගෙන ඇත්තේ ජයග්‍රාහී ප්‍රතිශතය සියයට සියයක් රඳවා ගනිමිනි.

මහේල ජයවර්ධන තරග 19කින් 13ක් ජයගෙන ඇත්තේ එම ප්‍රතිශතය සියයට හැට අටයි දශම හතළිස් දෙකක් වශයෙන් තබා ගනිමිනි. කුමාර් සංගක්කාර තරග 22කට නායකත්වය ලබාදී ඉන් තරග 13ක් ජයගෙන ඇත්තේ එම ප්‍රතිශතය සියයට පනස් නවයක තබා ගනිමිනි. දිනේෂ් චන්දිමාල්ගේ එම ප්‍රතිශතය සියයට පනහ මට්ටමේ පවතින්නේ තරග 26කින් 13ක් ජයගැනීම හේතුවෙනි. මෙම නායකයන්ගෙන් දුර්වලම ජයගාහී ප්‍රතිශතය ඇත්තේ තිසර පෙරේරාගේය. ඔහු තරග 9කට නායකත්වය ලබාදී ඇතත් ඉන් එකක් හෝ ජයගැනීමට සමත්ව නැත.

විස්සයි විස්ස තරගවලදී ක්‍රීඩකයන් 84දෙනකු ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, එහි ඉහළම පිතිකරණ දක්ෂතා දක්වා ඇත්තේ ටී. එම්. දිල්ෂාන්ය. විස්සයි විස්ස තරග වලදී ලකුණු 1889ක් රැස්කරගෙන ඇති ඔහු, නොදැවී ලකුණු 104ක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ආකෘතියේ වැඩිම ලකුණුලාභියා බවටද පත්වෙමිනි.

මෙහි හොඳම පන්දුයැවීම ලෙස සටහන් වන්නේ අජන්ත මෙන්ඩිස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් බිඳ දැමීමය. විස්සයි විස්ස තරගවල වැඩිම කඩුලුලාභියා වන ලසිත් මාලිංග තරග 84කදී කඩුලු 107ක් ලබාගෙන ඇත. ඊට අමතරව එක්දින සහ විස්සයි විස්ස තරග වලදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් ලබාගත්තේද ඔහු පමණක් බවද අපට අමතක නැත. පන්දු යවන්නෙක් ලෙස ඔහුගේ දක්ෂතාව ගැන අපට ප්‍රශ්නයක් නොමැත්තේ එනිසාය.

වත්මන් විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකයකට මුලින්ම සහභාගී වන්නේ 2006 වසරේ ජනවාරි 15 වැනිදාය. එය ශ්‍රී ලංකාවේ පළමු විස්සයි විස්ස තරගය ද විය. ඒ අනුව මෙරට පළමු විස්සයි විස්ස කණ්ඩායමේ සාමාජිකයකු වූ ලසිත් මාලිංග විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයට මුල්වරට පත්කරන්නේ 2014 වසරේ අප්‍රේල් 23 වැනිදාය. ඊට ආසන්නතම හේතුව වූයේ 2014 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක ශුරතාව හිමිකරගත්තේ ලසිත් මාලිංගගේ නායකත්වයෙන් වීමය. එම තරගාවලියේ උප නායකයා වශයෙන් තරගාවලියට සහභාගී වූ ලසිත් මාලිංග කණ්ඩායම් නායකයා වශයෙන් තරගාවලිය අවසන් කරන්නේ, කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් නවසීලන්තය සමග පැවැති තරගයේදී පන්දුවාර යැවීමේ නියමිත වේගය රඳවාගැනීමට අපහොසත්වීම නිසා ඔහුට තරග තහනමක් පැනවීම හේතුවෙනි. නායකත්වය හිමිවූ මුල් තරග කිහිපයේදී මාලිංගගේ නායකත්ව දස්කම් හොඳ මට්ටමක පැවතියේය. එනමුත් 2019 වසරේදී නැවත විස්සයි විස්ස නායකත්වය හිමිවීමෙන් පසු ඔහුගේ නායකත්ව දස්කම් පිළිබඳව නම් සෑහීමකට පත්විය නොහැකිය. ලසිත් මාලිංග එතෙක් මෙතෙක් නායකත්වය දුන් තරග 24කින් ජයගැනීමට හැකිව ඇත්තේ තරග 7ක් පමණි. 2019 වසරෙදී නැවත නායකත්වයට පත්වීමෙන් පසු ඔහු නායකත්වය දුන් තරග 15කින් ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගයක් පමණි.

මේ සියලු දෑ අතරතුර ඇතැමුන් දසුන් ශානකට විස්සයි විස්ස නායකත්වය ලබාදීමට යෝජනා කරන්නේ කෝඩුකාර නවකයන් රැසක් සමග, එවක පන්දුවාර 20 තරග රටාවේ අංක එකේ පසුවූ පාකිස්තානයට ගොස් ඔහු පෑ පෙළහැර හේතුවෙනි. එහි අතුරුඵලයක් ලෙසින් මෑතකාලීනව පාකිස්තානයේ සිටි සාර්ථකම නායකයා වූ සෆ්රාස් අහමඩ්ට කණ්ඩායම් නායකත්වය පමණක් නොව කණ්ඩායමේ ස්ථානයද අහිමි විය.

එනමුත් අවාසනාවට ඉන් අනතුරුව පැවැති විස්සයි විස්ස තරගවලදී දසුන්ට නායකත්වය හිමි නොවූ අතර, ඔහුට ක්‍රීඩකයෙක් ලෙස හෝ සැලකිය යුතු දස්කම් දැක්වීමට අවස්ථාවක් හිමි නොවීය. ඉන් අනතුරුව පැවැති තරග වලදී දසුන් ශානකට පන්දු යැවීමේ අවස්ථාවක් හිමි නොවීම බොහෝ විචාරකයන් පවා පුදුම කරවන්නට සමත්විය. බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය අතරතුර එක් තරගයකදී ඔහුට එක් පන්දුවාරයක් යැවීමට පමණක් අවස්ථාවක් හිමිවූ අතර, එහිදි කඩුල්ලක් දවාගැනීමට ද ඔහු සමත්විය. එම අවස්ථාව පවා ඔහුට හිමිවූයේ වනිඳු හසරංග ආබාධයකට ලක්වීමෙන් පසු පිටියෙන් ඉවත්වීම නිසා පන්දු යවන්නන්ගේ අඩුපාඩුවක් පැවතීම හේතුවෙනි. පිටිය මැද මෙවැනි දේ සිදුවන්නේ, දසුන් ශානක යනු විස්සයි විස්ස කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙක් නොවන බව තේරීම් කමිටුවට ඒත්තු ගැන්වීමට දැයි අපි නොදනිමු. මේ එළැඹ ඇත්තේ පුද්ගල ප්‍රතිරූප වෙනුවෙන් රටේ කීර්තිනාමය බිලි දෙන යුගයක් නොවිය යුතුය.

විස්සයි විස්ස තරග සහ ලසිත් මාලිංග අතර ඇති බැඳීම ගහට පොත්ත වැනි එකකි. ඔහුගේ එක් පන්දුවාරයකින් තරගයක් කණපිට පෙරළා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවූ අවස්ථා තවමත් අපේ මතකයේ ඇත. එකල මාලිංගට මල් මාලා දැමූ අයම අද ඔහුට ගල් ගසන්නට සූදානම් වී ඇත. මෙලෙස ක්‍රීඩාලෝලීන් ‘ගල් අමෝරා’ බලාසිටින්නේ හුදෙක් ලසිත් මාලිංගට එරෙහිව නොව, ක්‍රිකට් ලොව සන්නාමයක්ව පැවැති ශ්‍රී ලාංකේය නාමය කුණු කූඩයට යැවීමට කටයුතු කළ ක්‍රිකට් ආයතනයේ මහ පුටුවල ඇත්තන්ට එරෙහිවය. අවාසනාවකට අද ඒ සියල්ල එක්ව ඇත්තේ මාලිංගගේ ගිණුමටය.

පසුගිය දිනෙක මේ අර්බුද වලට පිළිතුරු ලෙස මාලිංග පැවසුවේ පංතියේ ළමුන් හරියට වැඩ කරන්නේ නැත්නම් පංති නායකයා මාරු කර ඵලක් නොවන බවයි. ඒ අනුව පෙනී යන්නේ ලෝක කුසලාන තරගාවලිය නිමවනතුරු ඔහු නායකත්වයේ ඔටුන්න බිම තැබීමට සූදානම් නොවන බවයි. මේ අතර මාලිංගව නායකත්වයෙන් ඉවත්කළොත්, ඔහුට කණ්ඩායමේ ස්ථානයද අහිමිව යනු ඇතැයි තේරීම් කමිටු සභාපතිවරයා වරෙක ‘අරුණ’ට පැවසීය.

ක්‍රීඩකයන්ගෙන් නිසි ප්‍රයෝජනය ගත යුතුය. ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, අසේල ගුණරත්න, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, වනිඳු හසරංග, ලහිරු කුමාර වැන්නන් විශේෂඥා විස්සයි විස්ස ක්‍රීඩකයන් ලෙස කළමනාකරණය කළ හැකි නම්, අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සමග එක්වූ කළ ඔවුන් ඔවුන්ගේ කාර්යය රට වෙනුවෙන් නිසි ලෙස ඉටු කරනු ඇත.

වඩා වැදගත් වන්නේ සමබර සහ දක්ෂ කණ්ඩායමක් ලෝක කුසලානය වෙනුවෙන් තෝරාගෙන ඔවුනට අවැසි නිසි පුහුණුව ලබාදීමය. අවස්ථානුකූලව පිටිය මැදදී ක්ෂණික තීරණ ගතහැකි නායකයකු ඇත්නම් හතරේ සීමාවෙන් ඇතුළත කාර්යය ඔහු මනාව ඉටුකරනු ඇත. පළමු කාර්ය විය යුත්තේ හතරේ සීමාවෙන් මෙපිට කාරණා නිසි ලෙස ඉටුවීමය. එසේ වුවහොත් අපගේ ක්‍රිකට්වල හෙට දවස වඩා සුබදායක වනු ඇත.

අපට ලෝක ක්‍රිකට් පිටියේ යළි හිස කෙළින් කර සිටීමට අවශ්‍ය නම්, වැරුදිකරුවන් අද හෙටම ‘උගත් පාඩම්’ කොමිසමකට කැඳවිය යුතුය. ඉන් අනතුරුව අවශ්‍ය වෙනස්කම් නොපමාව සිදුකිරීමට පසුබට නොවිය යුතුය. කස පහර දිය යුත්තන්ට මල් මාලා නොදමා වරද දුටු තැන පහරදිය යුතුය.