කතුවැකි

මාරයා එන්න කලින් බෙහෙත් ගේන්න තැපෑලට පුළුවන්ද?

​කොරෝනා හෙවත් කොවිඩ් 19 නිසා මෙරට සිදුවූ පළමු මරණය පෙරේදා (28 වැනිදා) වාර්තා විය. ඊයේ සවස් වන විට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 115කි. තවත් දහස් ගණනක් නිරෝධායනය මධ්‍යස්ථානවල හා තම තමන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක්වෙමින් සිටිති. සෞඛ්‍ය අංශ පවසන අන්දමට ඉදිරි දිනවල මේ තත්ත්වය තවත් බරපතළ විය හැකිය.

මෙම තත්ත්වය මත කොරෝනා පිළිබඳ සෞඛ්‍ය අංශ ඇතුළු සියලුදෙනාගේ අවධානය දැඩිව තිබේ. මේ ආකාරයට දැන් මාසයක පමණ කාලයක් තිස්සේ අප සියලුදෙනා කොරෝනා ගැන කතා කරමින් සිටීම නිසා කොරෝනා ආසාදිත නොවූ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මරණය පෙනි පෙනී ජීවත් වන්නට සිදුව තිබේ.

මේ අවදානමට ලක්ව ඇත්තේ දිගු කාලීනව ඖෂධ ලබාගනිමින් සිටින හෘදරෝගීන්, දියවැඩියා රෝගීන් ඇදුම රෝගීන් වැනි බෝ නොවන රෝග වැලඳී සිටින ජනතාවය.

අප රටේ වැඩිපුර සිටින්නේ බෝ නොවන රෝගීන්ය. කොරෝනා වෛරසය රට තුළ පැතිර යමින් තිබුණත් තවමත් වැඩිපුර සිටින්නේ හෘද රෝගීන්, දියවැඩියා රෝගීන්, අපස්මාර රෝගීන් වැනි බෝනොවන රෝගයන්ගෙන් පෙළෙන්නන්ය. මේ රෝගීන්ගේ ජීවිත රැකගන්නේ අඛණ්ඩව ගනු ලබන ඖෂධ හේතුවෙනි.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීම නිසා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්නට බාධා මතුව ඇතත් මේ වන විට චූන් පාන් වෙළෙන්දාගේ සිට එළවළු, මාළු පිණි වැනි කනබොන දේ ගේ දොරකඩට එන්නට පටන් ගෙන තිබේ. මේ නිසා මිනිසුන්ගේ කනබොන ප්‍රශ්නය යම්තාක් දුරට විසඳී ඇතත් කිසිවකුත් ගේ දොරකඩට ඖෂධ ගෙනැවිත් දෙන්නේ නැත.

ඇඳිරිනීතිය තිබියදී පෞද්ගලික ඔසුසල් විවෘත කිරීමට අවසර දී තිබුණත් මේ වන විට එම සහනයද අහෝසි කර ඇත. ඊට හේතු වූයේ ජනතාව එම සහනය අවභාවිත කිරීම බරපතළ ලෙස නිසා බව කියන නමුත් ඒ සම්බන්ධයෙන් ජනතාවට පමණක් චෝදනා කළ නොහැකි අතර පොලිසියද බරපතළ ලෙස ඒ සම්බන්ධව වගකිව යුතු බව අප​ගේ අදහසය. වෛද්‍යවරයකු විසින් නිකුත් කරන ලද ඖෂධ වට්ටෝරුවක් ගෙන ආ පළියට වැඩිදුර සොයාබැලීමකින් තොරව ජනතාවට මං මාවත්වල සැරිසරන්නට පොලිසිය ඉඩ නොදුන්නේ නම් ඇත්තෙන්ම ඖෂධ අවශ්‍ය ජනතාව තවමත් නිදහ​සේ ඖෂධ මිලදී ගන්නවා නිසැකය.

පොලිසිය නොසැලකිලිමත් ලෙස ඖෂධ වට්ටෝරුවක් තිබූ පළියට සෑම කෙනෙකුටම නගරවලට එන්නට අවසර දීම, අනතුරුදායක බව සෞඛ්‍ය අංශ කී සැණින් ආණ්ඩුව කළේ වහාම ජනතාවට තිබූ ඒ සහනය අත්හිටුවීමය. ඒ වෙනුවට රාජ්‍ය ඔසුසල් මගින් අවැසි ඖෂධ මිලදී ගත හැකි බව ආණ්ඩුව දැනුම් දුන්නේය. එහෙත් රටටම රාජ්‍ය ඔසු සැල් ඇත්තේ හතළිස් තුනක් පමණක් බව මේ තීරණය ගත් අය නොදන්නවා විය හැකිය.

බස්නාහිර පළාතටම රාජ්‍ය ඔසුසැල් ඇත්තේ විස්සක් පමණකි. උතුරු මැද, වයඹ යන පළාත්වලට ඇත්තේ ඔසුසැල් දෙක බැගිනි. ඇතැම් පළාතක ඔසුසැල් දෙකක් හෝ තුනක් ඇතත් ඇතැම් දිස්ත්‍රික්කයක එකම ඔසුසැලක් හෝ නැත. මධ්‍යම පළාතේ ඔසුසැල් පහක් ඇතත් නුවරඑළිය දිස්ත්‍රික්කයට එකම ඔසුසැලක් හෝ නැත. සබරගමුව පළාතට ඔසුසැල් දෙකක් තිබේ. එහෙත් කෑගල්ල දිස්ත්‍රික්කයට එකක් හෝ නැත. උතු​රේ මුලතිව්, වවුනියා, කිලිනොච්චි දිස්ත්‍රික්කවල එකම ඔසුසලක් හෝ නැත.

ඇඳිරිනීතිය තිබියදී රාජ්‍ය ඔසුසැල්වලින් ඖෂධ ලබාගන්නැයි බලධාරීන් ජනතාවට කියන්නේ එසේ තිබියදීය. මෙයට පිළියමක් ලෙස තමන්ට අවශ්‍ය ඖෂධ ලැයිස්තුව පෞද්ගලික ඔසුසැල්වලට වට්ස්ඇප් හෝ වයිබර් වැනි ක්‍රමයක් ඔස්සේ යවන ලෙසත් එවිට එම ඔසුසැලෙන් අවශ්‍ය ඖෂධ නිවෙසටම ගෙනැවිත් දෙනු ඇති බවත් දැනුම් දී තිබේ. මෙය නම් කොළඹට කිරි ගමට කැකිරි තියරියක් බව කිව යුතුය. අද බොහෝ දෙනා අත ස්මාර්ට් ජංගම දුරකථන තිබෙන බව සත්‍යයයකි. එහෙත් ඊට වැඩි ප්‍රමාණයකට නවීන තාක්ෂණයෙන් යුත් දුරකථන නොමැති බව බලධාරීන් දැනගත යුතුය. අනෙක් අතට ලැබෙන සෑම ඇනවුමක්ම නිවෙස්වලට ගෙන ගොස් දීමට ඔසු සැල්වලට පහසුකම් තිබේද යන්නත් ගැටලුවකි.

තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ නිවෙස්වලට ගෙනැවිත් දෙන බව කියන කතාවක්ද පසුගිය දිනවල අසන්නට ලැබිණ. මේ කොරෝනා වසංගතය සමයේ බොහෝ විහිළු කතා පැතිර යන නමුත් තැපෑලෙන් ඖෂධ බෙදීම ඒ සියල්ල පරදවන තරම් හාස්‍ය රසයෙන් යුක්ත බව කිව යුතුය. අපේ තැපැල් දෙපාර්තමේන්තුව, ඔවුන් විසින් කළ යුතු ලියුම් බෙදීම පවා නිසියාකාරව නොකරන තත්ත්වයක් තුළ කලට වේලාවට ඖෂධ බෙදනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කාටද? ඖෂධ බෙදීම තැපැල් දෙපාර්තමේන්තුවට පවරන්නට තීරණය කරන බලධාරීන් මේ බව නොදන්වා විය නොහැකිය. එසේ නම් ඔවුන් මේ ඖෂධ බෙදීමට පිළියම් යෙදෙන්නේ එපා වාහෙට හොදි බෙදන්නා වාගේද?

කොරෝනා වසංගතය හේතුවෙන් අප කිසිවෙකුට සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යෑමට ​නොහැකි බව අප සියලුදෙනා පිළිගන්නා කාරණයකි. එනිසා වෙනදා මෙන් ආණ්ඩුවේ කටයුතු ද කළ නොහැකි බව පිළිගත යුතුය. එසේ වුවත් කොතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ වුවත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා වන වගකීමෙන් ආණ්ඩුවකට නිදහස් විය නොහැකිය.

මේ නිසා අප ආණ්ඩුවට අවධාරණය කර සිටින්නේ කොරෝනා නිසා සිදුවිය හැකි මරණ වළක්වා ගන්නට දරන උත්සාහය මෙන්ම අනෙකුත් රෝග නිසා සිදුවිය හැකි මරණ වළක්වා ගැනීමටද යෙදිය යුතු බවය.

දිනකට තුන්වේලෙන් වේල් දෙකක් අතහැර එක වේලක් හෝ කා ජීවත් විය හැකි නමුත් නියමිත ඖෂධ එක වේලක් ​​හෝ අත්හැර රෝගියකුට ජීවත්වීමට නොහැකිය. ඇතැම් රෝගියෙකු එක ඖෂධ වේලක් නොලැබූ සැණින් මියයන්නේ නොමැති වුවත් ඒ නිසා ඔහු ජීවත් විය හැකි කාලය කෙටි විය හැකිය.