විශේෂාංග

මාරක ලිදේ මිනිස්සු

සංදර්ශන භූමියක ඉදිවෙන කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුන්ඩ්, සමනල යානා, ගැලැක්සි, බවුන්සි කාසල් වැනි විනෝද අංග අතරේ මාරක ළිඳට හිමිවන්නේ වෙනස්ම ඉල්ලුමකි. නරඹන්නන්ගේ හිත් සතුටින් විනෝදෙන් පුරවන්නා සේම විටෙක හුස්ම නාල්ලා බලා සිටින මාරක ළිඳේ කෙරෙන ක්‍රීඩාව මාරක කතාන්දරයක් තරමටම බිහිසුණුය. අඩි දහ අටක් විස්සක් උසට සංදර්ශන භූමියක ඉදිවන මාරක ළිඳේ හැමෝටම බයිසිකල්, කාර් පදිමින් සංදර්ශන පාන්නට හැමෝටම බැරිය. ඊට මනා පුහුණුවක් සේම, එඩිතර බවකුත් ඇවැසිමය. ලංකාවේ මාරක ළිංවල දස්කම් පාන්නන් අතරේ පිරිමින් සේම කාන්තාවන්ද සිටීම විශේෂය. ඔවුන් ජීවිතය පරදුවට තබා මිනිස් හිතට විනෝදයක් දෙන්නේ ආසාවට හෝ දස්කම් පෙන්වන්නට නොව ජීවිත අරගලය ජය ගන්නටයි.

මාරක ළිඳ ලංකාවට අවුරුදු අසූවක් පමණ වයසය.

ලංකාවට මුලින්ම ලෑලි මාරක ළිඳක් ගෙන්වා තිබෙන්නේ ඉන්දීය ජාතික කණ්ණයියා ලාල් නමැත්තෙකි. ඒ එක්දාස් නවසිය හතළිස් ගණන්වලදීය. මෙම මාරක ළිඳේ පළමු දර්ශනය බලන්න ගිය කේ.ජී. බෙනට් මෙයට මහත් සේ ඇලුම් කළේය. පළමු දර්ශනයේදීම වළෙන් වැටී කණ්ණයියා ලාල්ගේ කකුල් කැඩීයාමෙන් ඔහු එතැනින්ම මාරක ළිඳේ බයිසිකල් පැදීම නවතා ඇත. එම ලෑලිවළද ඉන්දියාවට රැගෙන ගොස් ඇත. එහෙත් කේ.ජී. බෙනට් නම් ගාල්ල ගිංතොට තරුණයාගේ හිත මේ භයානක වළේ බයිසිකල් පැදීමේ කාර්යයට තදින් බැඳී තිබුණේය.

කේ.ජී. බෙනට් විසින් මාතර දෙවුන්දර දේවාලය පිටුපස පොළොවේ වළක් සාදා ගඩොලෙන් බැඳ වළේ බයිසිකල් පැදීමට ඒ කාලේම ආරම්භ කර ඇත. විලිස් හා බෙල්ටන් යතුරු පැදි දෙකක් කේ.ජී. බෙනට් සතුව තිබී ඇත. මේ වළේ බයිසිකල් පැදීමේ ත්‍රාසජනක විශ්මිත ක්‍රියාව නරඹන්න දෙවුන්දරට ඒ කාලේ වැල නොකැඩී සෙනඟ පැමිණ ඇත. ඔහු හා එහි බයිසිකල් පැදීම කේ.ජී. බෙනට්ගේ බිරිඳ විනීතා පද්මිණිද සම්බන්ධ වී සිට ඇත. එකල ලංකාවේ පළමු වළේ බයිසිකල් පැදි ආරම්භක වීරයා කේ.ජී. බෙනට් ය. විනීතා පද්මිණි එසේ වළේ බයිසිකල් පැදි පළමු කාන්තාවය. පසුව ගඩොලින් බැඳි වළක් වෙනුවට ලෑලි භාවිතයෙන් අඩි 40ක විශ්කම්භයකින් යුතු අඩි 22 උස ලෑලි වළක් කේ.ජී. බෙනට් විසින් නිර්මාණය කරගෙන තිබුණි. කොටස් වශයෙන් ගලවා ඕනෑම තැනකට ගෙන යා හැකි පරිදි එම වළ සැකසීමේ නිර්මාණයද ඔහුගේමය. එය ලංකාවේ පළමු මාරක ළිඳය.

කේ.ජී. බෙනට්-විනීතා පද්මිණී යුවළට දරුවන් 6 දෙනෙකි. එයින් වළේ බයිසිකල් පැදීමේ වික්‍රමයට වැඩියෙන්ම ඇලුම් කර තිබුණේ පවුලේ තුන්වැන්නා වූ මොනිකා බෙනට්ය. මොනිකාගේ සහෝදර සහෝදරියන්ද තාත්තා සමග ඉඳහිට මාරක ළිඳේ වික්‍රමයට දායක වුවද මොනිකා තරම් නොවේ. මොනිකා තාත්තා සමග සංදර්ශනවලට නිරතුරු එක්ව තිබුණි. ඇයට ඒ යුගය කිසිවිටෙකත් අමතක වන්නේ නම් නැත.

‘‘තාත්තා ගාල්ලේ ඉඳල නුවර මැණික්හින්නෙ පදිංචියට ආවා. මම වළල මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ කරන කාලෙ තාත්තා එක්ක වළේ දර්ශනවලටත් එක් වුණා. හෙඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තරුණ දුවක් පියා එක්ක විශ්මිත වැඩක් කියලා මිනිස්සු වැල නොකැඩී ආවා. තාත්තයි මායි දවසක් වළේ බයිසිකල් පදිද්දි වළ උඩදි හැප්පුණා. අතත් කැඩුණා මගේ. නමුත් මේ වැඩේ නැවැත්වුණේ නෑ. මම දිගටම තාත්තා එක්ක මේක කළා.’’

මොනිකා තම පියාගෙ අභාවයෙන් පසු වළේ බයිසිකල් පැදීමට තාවකාලිකව සමු දී තිබේ. ඔය අතර මොනිකාගේ තාත්තාගේ වළේ බයිසිකල් ඉගෙන ගත් නෑදෑ මස්සිනා කෙනකු වූ සුනිල් පෙරේරා සමග විවාහ වී තිබේ. ඒ මීට වසර 25කට පමණ පෙරය.

‘‘සුනිල් බැන්දට පස්සෙ අපි මේ වැඩේ ආයෙ පටන් ගත්තා. අපි අලුත් වළක් හැදුවා. තව උත්සව ක්‍රීඩා භාණ්ඩ ටිකක් ගත්තා. රජයෙන් අපට මාලදිවයිනෙ දර්ශන අවස්ථාවක් දුන්න මාස තුනක. ඒක ලොකු අවස්ථාවක් වුණා අපට. සුනිල් මාව බඳින්න කලිනුත් එයාලගෙ බාප්පගෙ තිබ්බ මාරක ළිඳක පැද්දා. එයාට හොඳටම පුළුවන්. මම සුනිල්ව බඳින්න එයා මේ වෘත්තියට දක්වපු කැමැත්තත් හේතු වුණා. සුනිලුයි මායි දෙන්නම මේ වෘත්තියට බොහොම කැමැතියි. මේකේ භයානකකමක් ත්‍රාසයක් තිබ්බත් නරඹන්නන් අත්පොළසන් දෙමින් විසිල් ගහමින් සතුට ප්‍රකාශ කරමින් දිරිගන්වද්දී ඒ සතුට අපව බිය නැති කර ජීවත් කරවනවා.

අදද ලංකාවේ වළේ බයිසිකල් පදින එකම කාන්තාව මොනිකා බෙනට්ය. එකම යුවතිපතීන් යුවළ වන්නේද සුනිල් මොනිකා යුවළය. ඔවුහු ඔවුන්ගෙ නිවසෙහි සිය පියා ලංකාවේ මුලින්ම හැදූ මාරක ළිඳ ටෙන්ට් එකක් ගසා අරන් තබා තිබෙන්නේ සිහිවටනයක් ලෙසය. එදවස කේ.ජී. බෙනට් සමග තම නව යෞවනයේදීම මාරක ළිඳේ දර්ශන නිවේදකයා ලෙස සහායට එක් වූ පී.එස්. පෙරේරා අද වයස 78ක් වුවද තවමත් මොනිකාගේ මාරක ළිඳේ දර්ශන නිවේදකයා ලෙස කටයුතු කරයි. කවි, දෙපද සහිතව දෙමළෙන් සිංහලෙන් හේ කදිම නිවේදන ඉදිරිපත් කරයි.

‘‘ආයුබෝවන් දර්ශන අභිලාෂි නෝනාවරුනි, මහත්වරුනි, මාරක ළිඳ තුළ දර්ශනයක් ආරම්භ කරන අවුරුදු 18ක වීර කාන්තාවක්. තමුන්නාන්සේලාගෙ ජීවිතේ අමතක නොවන අමරණීය දර්ශන මාලාවක් මේ මාරක ළිඳ තුළ ඉදිරිපත් කරනවා හිතවත හිතවතිය. අහක බල බල යන්න එපා. අහක බල බල ඉන්න එපා. යන්න මාරක ළිඳේ උස් වේදිකාවට. මේ වීර තරුණ කාන්තාව දඟකාර කෙල්ල මාරයා සමග සටන් කරනවා දර්ශන අභිලාෂි නෝනාවරුනි මහත්වරුනි’’

78 වියැති පී.එස්. පෙරේරා මේ කියන 18 දඟකාර කෙල්ල මොනිකා බෙනට්ය. මාරක ළිඳේ අභීතව කාර් එකෙන් බයික් එකෙන් වැඩ දාන ඇගේ ඇත්තම වයස අවුරුදු 52කද ඉක්මවයි. පී.එස්. පෙරේරාගේ නිවේදනය බොරුවක් නොවන්නේ මොනිකා 18 ටේ කෙල්ලකටවත් බැරි තරමේ නැති තරමේ දක්ෂ හා කුසලතා පිරි යකඩ ගැහැනියක් බැවිනි. බොහෝ විට මාරක ළිඳේ විස්කම් පාන අවසන් කාන්තාව මොනිකා වීමටද ඉඩ ඇත්තේ සුනිල්ගේ සහ මොනිකාගේ එකම දුවද කිසිසේත්ම මෙම වෘත්තියට පිවිසීමට අල්පමාත්‍රයක හෝ කැමැත්තක් නැති බැවිනි.

1960 ගණන්වලින් පසු ලංකාවේ විනෝදාස්වාද ක්‍රීඩා උපකරණ සපයන ප්‍රකට ආයතන කීපයක් තිබී ඇත. කොළඹ ඇලෝසියස් මුදලාලි, වත්තල රොද්‍රිගෝ පවුල, මාලිගාවත්ත ආරියදාස ඉලෙක්ට්‍රිකල්, නුවර බාලසූරිය පවුල හා රාගම සාගර පැලස් යන අය ඒ සඳහා ප්‍රමුඛ වී තිබේ. වර්තමානයේ වැඩිම විනෝදාස්වාද ක්‍රීඩා භෘණ්ඩ සපයන ආයතනය සාගර පැලස් අධිපතිවරයාගේ ව්‍යාපාරයේ වර්තමාන හිමිකරු ඔහුගේ පුත් ජානක ප්‍රශාන්තය. ජානක ගම්පහ උඩුගම්පොළ ලක්ෂාන් උත්සව ක්‍රීඩා භාණ්ඩ සපයන ආයතනය පවත්වාගෙන යයි. ඔහු ඉහත කී ආයතන සියල්ලම ක්‍රියා විරහිත වද්දී එම භාණ්ඩ මිලදී ගෙන තිබේ. අද ඔහු ළඟ මාරක ළිං 03ක් තිබේ. එහෙත් ප්‍රශාන්ත හෝ ප්‍රශාන්තගේ ව්‍යාපාරය කළමනාකරණ කටයුතු කරන පුත්‍රයා මාරක ළිඳේ වික්‍රමයන් පාන්නෙක් නොවේ. ඔවුහු සිය මාරක ළිංහි පුහණුකර පදවන්නන් බඳවාගෙන දර්ශන ඉදිරිපත් කරනු ලබයි. එසේ ප්‍රශාන්තගේ මාරක ළිංවල පැදීම් ක්‍රියාවේ නිරත නිශාන්ත ඇන්තනි රාගම පදිංචි 37 හැවිරිදි අවිවාහකයෙකි.

‘‘මම මාරක ළිඳේ කාර් බයිසිකල් පදින කාර්යය පටන් ගත්තේ මීට අවුරුදු 12කට කලින්. මම මේ වැඩේට බොහෝම කැමැතියි. මාරක ළිඳේ පදින අය දැකලා මේක පුරුදු වෙන්න ආස වුණා. ඉතින් පුරුදු වුණා. මම වළේ කාර්, බයික් පදිද්දි මට ලයිෂන්වත් තිබ්බෙ නෑ.’’

උඩු අතට යාන්තම් ඇළවීමක් සහිත වළක අඩි 22ක් උඩක පැත්තට බයිසිකල් පැදීම, මෝටර් සයිකල් පැදීම, කාර් පැදීම හැබෑම දක්ෂ කාර්යයකි. භයානක කාර්යයකි. නිශාන්ත ඇන්තනි මේ රස්සාව කරනවාට නිවසින් අකමැත්තක් දක්වා නැත. එහෙත් උත්සව අවස්ථා කානිවල් හැමදාම නැත. ඊටත් වැඩ කරන දිනයන් සඳහා ගෙවීමක් සහිත මේ රස්සාව කිසිදු තැවීමකින් තොරව ඔහු කරගෙන යයි.

‘‘මම කානිවල් එහෙම නැති කාලවලදී ප්ලාස්ටික් බඩු තොග අරං මහජන පොළවල්වල විකුණනවා. අපට දවසෙ පඩියක් ලැබෙනවාට අමතරව ප්‍රේක්ෂකයන් වළට සල්ලි දානවා සතුටට. ඒවත් අපේ පිරිස අතරෙ බෙදාගන්නවා. ඒකෙන් මුදලාලි ගාණක් ගන්නේ නෑ. අපේ අම්මා මම මේක කරන්නෙ කියා දන්නවා වුණාට මම පදිනවා බලන්න කවදාවත් ඇවිත් නෑ. අඩුමතරමේ අක්කලවත් බලන්න ඇවිත් නෑ. දවසක් අක්කාගෙ පුත්තු දෙන්නෙක් නම් මම මාරක ළිඳේ කාර්, බයික් පදින හැටි බලන් හිටියා. ඒ හැර ගෙදර අය මේක බලන්න එන්නෙ නෑ. මම වාර දහයකදි වගෙ වළේදි වැටිලා තියෙනවා. වාසනාවකට තුවාලවලට මැහුම් ගහනවා හැර ලොකු ඩැමේජ් එකක් මට සිද්ද වෙලා නෑ.’’

මාරක ළිඳේ බයිසිකල්, කාර් පැදීම අවදානම් බව හොඳින්ම දැන සිටින නමුත් ඇන්තනීට ඒ භයානක වැඩෙන් ඉවත් වෙන්න නම් කල්පනාවක් නැත.

‘‘මේක ක්‍රීඩාවක් වගේ. ඒ වුණාට හැමෝටම කරන්න බැරි වැඩක්නේ. මේකේ ත්‍රාසයට තමයි මගේ නම් කැමැත්ත. මේ අපි පදින වාහන ඔක්කොම ජපන් ඒවා. හොණ්ඩා ආර්.ඩී. 50, සුසුකි එකක් තියෙනවා. ටී.එසෙඩ්.ආර්. තව කාර් එක කවසාකි එකක්. කවසාකි එන්ජිමක් දාලා හදවපු එකක් තියෙන්නෙ. කාර් දෙකක් බයික් දෙකක් ෆුඩ් බයිසිකලයක් එක්ක එකවර වළේ පස් දෙනෙක් පදිනවා. ඉතින් හොඳ කල්පනාවෙන් එන්ජින් කොන්ට්‍රෝල් කරන් පදින්න ඕනෙ.’’

කුරුණෑගල රිදීගම පදිංචි විවාහකයකු වන 33 හැවිරිදි තිලක් නිශාන්ත මාරක ළිඳේ වසර 10ක පමණ කාලයක සිට දර්ශන ඉදිරිපත් කරන්නෙකි. යතුරුපැදි, මෝටර් රථ ආදී සියල්ල ඔහුට පැදිය හැක.

‘‘මේ රස්සාව අපට තියෙන්නෙ කාලයෙන් කාලයටනෙ. ඒ නිසා මම රියැදුරෙක් වශයෙන් රස්සාව කරනවා ප්‍රශාන්ත මහත්තයා ළඟම. මේ දර්ශන ඉදිරිපත් කරද්දි මමත් වැටිලා තියෙනවා. අවස්ථා දහයකදි දොළහකදි. දවසක් කරන්ට් එක ගියා දර්ශන වාරයකදි. අපිව පේන්නේ නැතුව හැප්පුණා. චේන් කැඩිලා එන්ජිම හිරවෙලා වගේ දෝෂයක් උඩදි වුණොත් අපට පරිස්සමට බාගන්න පුළුවන්’’

තිලක්ද මේ ත්‍රාසජනක රස්සාව කරන්නෙ ඉතාම කැමැත්තෙනි. මේ දර්ශන පැවැත්වීමට දින කීපයකට ප්‍රථම පැදිකරුවන් කීප දෙනෙක් සහායකයන් සහිත දහයක පහළොවක පිරිස දර්ශන ස්ථානයට පැමිණේ. ලොරි මගින් ලීයෙන් සාදන ලද කොටස් කර ඇති මාරක ළිඳ ස්ථානගත කර සවි කිරීම අරඹයි. ඒ සඳහා දින දෙකක් පමණ කාලයක් ගෙන ඉතාම සීරුවෙන් පරිස්සමට සවි ශක්තිය සහිතව නිමා කර ගනු ලැබේ.

පොලෝ මට්ටමේ සිට අඩි 23 පමණ උඩට විහිදෙන මාරක ළිඳේ එළියේ පඩි පෙළ මගින් ළඟාවීමට හැකි ලෙස අඩි 18ක් පමණ උඩ මාරක ළිඳ වටා නැරඹුම් වේදිකාව සකසා තිබේ. එක දර්ශන වාරයක් 150-160ක පිරිසකට නැරඹීමට හැකි ඉඩ කඩකින් හා ශක්තියකින් යුතුව වේදිකාව නිමා කර ගනු ලැබේ. නරඹන්නන්ටද මහා ත්‍රාසයක් විඳින්න හැක්කේ තමන් අසලින්ම තමන්ගේ ඇඟට දැන් එතැයි සිතෙන මට්ටමටම සමීපව මහ හඬ නංවමින් වේගයෙන් පැදයන බයික්, කාර් දැක්ම තුළිනි.

එසේ බයිසිකල් කාර් පදින අතර කෙනෙක් තමන් ඇඳ සිටින ටී ෂර්ට් ගලවා අත් ඇතැර විස්කම් පායි. වරෙක අතින් අත අල්ලා ගෙන වේගයෙන් පැද යයි. ටී ෂර්ටයෙන් හෝ රෙදි කඩකින් දෑස් බැඳ වාහනය පැද යයි. බයික් එක මත එකවරම හිටගෙන පැද යයි. මෙවන් විශ්මය හා ත්‍රාසය ගෙනෙන දර්ශන වාරවලදී යම් අනතුරු සිදු වුවද එසේ වැටුණ පැදිකරුවෝ එවලේම නැගිට නැවත පැද්ද අවස්ථාද බොහෝය. මාරක ළිඳේ ත්‍රාසය ගැන නිවේදකයෝ කියන්නෙ මෙලෙසය.

‘‘මාරක ලෑලි ළිඳේ මෝටර් බයික් දෙකයි පා පැදියයි සමානව ඉහළ සිට පහළට පහළ සිට ඉහළට ධාවනය කරමින් ත්‍රාසජනක දර්ශනය දැන් ඇරඹෙනවා. ශීර්ෂය හිස් කබලෙ සිට පාදයෙ සිට මාපට ඇඟිල්ල දක්වා ගලන රක්තවර්ණ රුධිර ධාරාව මොහොතකට සීතල ජල ධාරාවක් බවට පරිවර්තනය කරන මාරක ළිඳේ අති බිහිසුණු දර්ශන වාරය ආරම්භ කරන්නයි සූදානම. ගොඩවන්න ප්‍රදර්ශනාගාරයට හදවත දෙපළු කරමින් පටන් ගන්නයි හදන්නෙ.’’

ජයන්ත සුබසිංහ