විශේෂාංග

මානසික රෝහලේ සිට ගෙදර යන්න කුරුලු පිහාටු සොයන්නියෝ

කොළඹ අහසට හිරු මුදුන් වුවත් වැහි දෙවියන්ගේ වලාකුළුවලින් නම් හිරුට ගැළවීමක් නොවීය. පසුගිය සතිය පුරාම පැවැති වැහිබර කාලගුණය එදත් අපේ ගමන ප්‍රමාද කරන්නට හේතුවිය. කෙසේ හෝ කාලය හා කාලගුණය සමග පොර බැද අපේ ගමනාන්තය වන අංගොඩට ළඟාවීමු. අංගොඩ යැයි කියූ පමණින්ම අප යන්නේ අංගොඩ පිහිටි මානසික රෝහලට යැයි ඔබට සිතෙන්නට ඇත.

නමුත් අපගේ ගමනාන්තය වන්නේ අංගොඩ ප්‍රදේශයෙන් හැරී කිලෝමීටර පහක් පමණ ගිය පසු හමුවන ‘‘යුනිට් 2’’ වෙතයි. මෙය බාහිරින් බැලූ අයකුට පෙනෙන්නේ දරුවන්ට ශිල්ප ඥානය දෙන පාසලක් ලෙසය. මෙහි ගුරුමාපියන් වන්නේ හෙද හෙදියන් හා කාර්ය මණ්ඩලයයි. ඔවුන් විසින් මෙහි සිටින පිරිසට මවකගේ සෙනෙහසත් පියකුගේ ආරක්ෂාවත් නොඅඩුව ලබා දේ.

මෙසේ ඔවුන්ගෙන් ආදරය, කරුණාව ලැබීමට තරම් වාසනාවන්ත වී ඇත්තේ ‘‘යුනිට් 2’’ හි නේවාසිකව ප්‍රතිකාර ලබන මෙන්ම මානසික රෝගීන්ව සිට යම්තාක් මට්ටමකට සුවය ලැබූ 450කට අධික කාත්නාවන් පිරිසකි. අප ඔවුන්ව යකඩ ගැහැනුන් ලෙස හඳුන්වන්නේ දෛවය සමග සටන් කොට යළි පියවි තත්ත්වයට ආ බැවිනි.

මෙම කාන්තාවන් සිටින නේවාසිකාගාරයට ‘‘අතරමැදි නිවස්නය’‘ යැයිද කියණු ලැබේ. තම හිතාදරයන් විසින් ප්‍රතික්ෂේප කළ ද ඔවුන්ගේ හිසට සෙවණ මෙහි තිබේ. එහෙත් සිය ඥාතීන්ට නම් ඔවුන් තවමත් මානසික රෝගීන්ය. ඒ නිසාම තමනිවසේ ඉඩක් හෝ හදවතේ ඔවුන්ට තවමත් නැත්තේය.

අතීතයේ බුදු හිමියන් අංගුලිමාලට, පටාචාරාවන්ට මෙන්ම නගර සෝබනියන්ට පවා දයාව දැක්වුවද මෙහි සිටින සුවැති ළඳුන්ට නම් තවමත් අබුද්දස්ස කාලයකි. මේ කාලයට ලබුත් තිත්ත යැයි ගැමියන් පවසනවා මෙන් ඔවුන්වද ඔවුන්ගේ ඥාතීන්ට තිත්තය.

නමුත් ඔවුන්ගේ අත මිට කාසි තිබේ නම් ඔවුන් පැමිණෙන්නේ වරක් දෙවරක් නම් නොවන බව හෙද කාර්යය මණ්ඩලය පවසයි. එහි රාජකාරි කටයුතු සිදු කරන හෙද නිලධාරිනියක වන එස්.එම්.සී.ඒ. හියාසින්ත් පවසන්නේ මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබා සුව වූ පිරිස බැලීමට ඥාතීන් පැමිණියත් ඔවුන් පැමිණෙන්නේ මේ පිරිසගේත් යම් කිසි වාසියක් ඇත්නම් පමණක් බවයි.

‘‘මෙහේ මානසික රෝගීන්ව සිට සුවය ලැබූ අය තමයි ගොඩක්ම ඉන්නේ. දැන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ මෙහෙන් ගිහිල්ලා ඥාතීන් එක්ක සතුටින් ඉන්න. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඥාතීන් කැමැති නෑ මේ අයව ගෙදර එක්ක ගෙන යන්න. අපි මේ අයගේ ගෙවල්වලට කොච්චර දුරකථන ඇමතුම් දුන්නත් එන්නේ නැහැ’’ තමන්ගේ ඥාතියා මානසික රෝගියෙක්ව සිට සුවය ලැබූ පුද්ගලයෙක් යැයි කීවත් සතුටු වන පිරිසට වඩා ඇත්තේ ‘‘අනේ, අපොයි’’ යැයි පවසන පිරිසක් බව ඇය කීවාය.

එහි ප්‍රතිඵලයක් ලෙස තම ඥාතියාගේ අවසන් කටයුතු පවා සිදුකිරීමට හෝ පැමිණෙන්නේ කීප දෙනෙකි. ඒ ලෙස පැමිණියත් පැමිණෙන්නේ පටු ලාබ ප්‍රයෝජන සඳහා බව හෙද නිලධාරීන් පවසයි.

‘‘මෙහෙ ඉන්නවා තමන්ගේ ජීවිත කාලයෙන්ම බාගයක්ම අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබලා සුවය ලැබූවන්. ඒ අයට දැන් ඕනේ ඥාතීන්ගේ ආදරයයි. සෙනෙහසයි. ඒත්, ඒ ආදරය සෙනෙහස ලැබෙනවා තියා මේ අය මැරුණට පස්සේ ඒ මිනියවත් බාරගන්න කවුරුවත් එන්නේ නෑ. ඊට පස්සේ අපි මාස තුනක් විතර මිනිය තියාගෙන ඉඳලා අවසන් කටයුතු කරනවා.’’ හියාපත් මහත්මිය කීවාය.

පවුලේ සාමාජිකයක් පිරිවරා ගෙන ජීවත් වූ අතීතයක් ‘‘යුනිට් 2’’ හි සිටින කාන්තාවන්ට තිබිණි. නමුත් ජීවිතයේ අවසාන කාලයේදී පවා ඔවුන්ට මෙහි ජීවත් වීමට සිදුවූයේ පවුලේ ඥාතීන් මානසික රෝගයට දක්වන අයහපත් ප්‍රතිචාරය නිසාය. එහි බලපෑම කෙතරම්ද යත් මානසික රෝගීන්ව සිට සුවපත් වුවත් ඔවුන්ව පවුලේ උදවිය ප්‍රතික්ෂේප කරන්නේ කිළිටි කඩ රෙද්දක් සේය.

නමුත් තමන් වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ඒමට වෙහෙස දරන දිරිය කතුන් බොහෝමයක් මෙහි සිටියි. ඔවුන් බොහෝමයක් මානසික රෝගීන් වීමට පෙර හොඳ අධ්‍යාපනයක් මෙන්ම හොඳ පවුල් පසුබිමකට හිමිකම් කියූ පුද්ගලයන්ය. ඒත්, දෙමාපියන් මියගිය පසු ඔවුන්ට සිටි එකම රැකවරණය ද අහිමි විය. ඒ නිසාම ‘‘යුනිට් 2’’ හි ස්ථිර පදිංචිකාරයන් වීමට ඔවුන්ට සිදුවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගම්පියසක වැඩිමහල් සහෝදරයන් තිදෙනකුට සහ බාල සහෝදරයකුට මැදිව උපත ලැබූ ඇය නමින් ජලිල්ය. නමුත් දෛවය ඇයට ඔවුන් සමග සිටීමට ඉඩදුන්නේ අවුරුදු 35ක් පමණ කාලයකි. ඉන්පසුව ඇය වසර තිහකට අධික කාලයක් ගෙව්වේ අංගොඩ මානසික රෝහලේ සහ අතරමැදි නිවස්නයේය. දෛවය ඇයට මෙතරම් කුරිරු වුවත් එම දෛවය ඇය ජය ගත්තාය. එනම්, දැන් ඇය සුව වූ කාන්තාවකි.

‘‘මගේ ගම බදුල්ල. මම ඉස්සර පෙර පාසල් ගුරුවරියක් විදිහටත් කටයුතු කළා. පස්සේ අවුරුදු 35දී විතර මට මානසික රෝගයක් හැදුණා. ඒක හොඳ කර ගන්න අයියලා තුන්දෙනයි, මල්ලි, අම්මයි, තාත්තයි අපි හැමෝම කොළඹට ආවා. ඒත්, දැන් කාලෙකට කලින් මගේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණා. ඒ දෙන්නම මැරුණට පස්සේ මාව බලන්න කවුරුවත්ම ආවේ නැහැ. ඒත් දැන් ටික දවසකට කලින් දෙවැනි අයියා මාව බලන්න ආවා. ඒත් එයාලට අමතක වුණා එයාලාගේ නංගිට ගෙදර එන්න කියන්න.’’

නමුත්, එදා රෝගියෙක්ව සිටි ඈ අද ශක්තිමත් ගැහැනියකි. ඇයට අද  තමන්ගේ වැඩ කටයුතු මෙන්ම අනෙකුත් අයගේ වැඩ කටයුතුවලට ද සහයක් වීමට හැකිය. ඒ විතරක් නොව තමන්ට මාසිකව අදායමක් ලබෙන රැකියාවක ද ඈ නිරත වී සිටියි. එය නම් රේන්ද ගෙතීමයි.

විවිධ වූ රේන්ද රටාවන් වියා එවා අඩු මුදලකට පිටතට යවා විකුණා එයින් ලැබෙන මුදල පවා අරපිරිමැස්මෙන් වියදම් කිරීමට ඈ දක්ෂය. ඒ පමණක් නොව ඉතා ප්‍රණීත ලෙස වෑංජන ඉවීමේ හැකියාවක් ද සතුය. ඒ නිසාම එහි සිටින බොහෝ දෙනා ඇය සාදන කුකුලු මස් වෑංජනයට මෙන්ම බටු මොජුවටත් බොහෝ ප්‍රිය කරති.  මේ ආකාරයට ඇයගේ දක්ෂතා අතර එක්තරා සුවිශේෂී දක්ෂතාවක් ද සැඟවී තිබේ. එය නම් ගීත ගායනයට ඇති හැකියාවයි.

‘‘මට රසට උයන්න වගේම හොඳට සින්දු කියන්නත් පුළුවන්. මේ රෝහලේ පවත්වපු හැම උත්සවයකටම මම ගීත ගායනා කරලා තියෙනවා. ඒ වගේම මගේ අතින්ම හදපු ගීතයක් ද තියෙනවා. එකේ තියෙන හැම වචනයක්ම මගේ අත්දැකීම්වලට අනුව තමයි ලියවිලා තියෙන්නෙ. ඒ වගේම දැන් මට ඕනේ මගේ අයියලාගේ දරුවෝ ටික බලාගෙන සතුටින් ඉන්න.” තමන්ව බැලීමට නොපැමිණෙන සහෝදරයන් සමග කිසිම අමනාපයක් නොමැති බව ද ඇය අපට පැවසුවාය.

මේ ආකාරයට මානසික රෝගියකුව සිට සුව වී තමන්ගේ පවුලේ අය ඔවුන්ව නිවසට රැගෙන යන තෙක් බලා සිටින තවත් බොහෝ පිරිසක් ”යුනිට් 2” හි පෙර මග බලමින් සිටියි. මේ පිරිස කෙතරම් දුරට සුවය ලබා තිබෙන්නෙ ද යත් ඔවුන් සියලු දෙනාම සිතන්නේ ධනාත්මක අකාරයට ය. ඔවුන් කිසිදු අවස්ථාවක තමන් බැලීමට නොපැමිණෙන අයට දොසක් කීවේ නැත.

එවැනිම ධනාත්මක සිතුවිලි ඇති තවත් කාන්තාවක් ලෙස මේරි කැනන් හැඳින්විය හැකිය. ඇය අංගොඩ මානසික රෝහලට පැමිණෙන්නේ ඇයගේ කුලුඳුල් දරුවා බිහි වීමත් සමගය. ඒ නිසාම ඇයගේ පුතුව SOS ළමා ගම්මානයටත් ඇයව අංගොඩ මානසික රෝහලටත් ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. ඉන්පසුව, වසර 17කට පමණ පසු තම පුතුව හමුවීමේ භාග්‍ය ඇයට හිමිවිය. එතැන් පටන් අද දක්වාම ඔහුගේ සියලුම ඕනෑ එපාකම්වලට වියදම් කරන්නේ ද ඇයයි.

ඇය ඒ සඳහා යොදා ගත් මාර්ගය වන්නේ පිරිසුදු කරන්නියක් ලෙස ”යුනිට් 2” හි සේවය කිරීමයි. එහි දී මෙවැනි සේවාවන් සඳහා යොදවන්නේ මානසික රෝගයෙන් පිඩා විඳ සුව වූ පුද්ගලයන්වය. ඒ නිසාම අද මේරි කැනින් ‘‘යුනිට් 2” රෝහලෙන් ප්‍රතිකාර ලබා හොඳටම සුවවීමෙන් අනතුරුව එයින් පිටවී තම ජීවිකාව කරගෙන යයි.

‘‘මම අංගොඩ මානසික රෝහලට එන්නේ වැදුම් ගෙයි සන්නිය හැදුනට පස්සේ. ඒ නිසාම මම මගේ පුතාව දැක්කේ අවුරුදු 17කට පස්සේ. මම එයාව දකින්න කලිනුත් ප්‍රාර්ථනා කළේ හොඳ උගත් බුද්ධිමත් දරුවෙක් වෙන්න ඕනේ කියලා. මම හිතනවා මගේ ප්‍රාර්ථනාව වැරදිලා නැහැ කියලා. මොකද අද මගේ පුතා හොඳට අධ්‍යාපනය ලබලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වෙලා ඉන්නේ. ඉතින්, දැන් මට වෙන මුකුත් බලාපොරොත්තුවක් නැහැ. එයා හොඳින් එයාගේ ජීවිතය ගෙනිච්චොත් ඇති. මම එයාට කරදරයක් වෙන්න කැමති නැහැ.” තමන්ගේ දරුවාගේ අනාගතයට තමන්ගෙන් යම්කිසි අවැඩක් වේ නම් ඔහුගෙන් ඇත් වී සිටීමට කිසිදු අකමැත්තක් නොමැති බවයි.

‘‘යුනිට් 2” හෙවත් අතරමැදි නිවස්නය” තුළින් මෙහි සිටින සාමාජිකයන්ට ඔවුන්ගේ පවුල්වලින් නොලැබෙන තරම් ආරක්ෂාවක් හා සෙනෙහසක් හිමිවේ. එහි දී නිසි ප්‍රතිකාර ලබා යම්තාක් දුරකට සුවවන රෝගීන්ට රැකියාවක් කිරීමේ සිට මුදල් පරිහරණය කිරීම දක්වාම සියලු දේ අකුරින් අකුර ඉගැන්වීමට කටයුතු සිදු කරමින් පවතී. මෙහි මූලික පියවරක් ලෙස රෝහල තුළම පිරිසුදු කිරීම් කටයුතු සිදු කිරීමට වැඩපිළිවෙළක් පටන් ගෙන තිබේ. එහි නිරතවන කාන්තාවන්ට යම් වැටුපක් ලබාදීමට ද ඔවුන් කටයුතු කර ඇත.

ඒ පමණක් නොව, සුවවූවන්ට පිටතින් නිවසක් මිලදී ගෙන එහි තම ජීවිතය ගෙන යාමට වුවද අවස්ථාව හිමිවේ. නිවසක් තුළ පවතින සියලුම වගකීම් ඔවුන් තුළත් ඇති කිරීම මෙහි ඇති මූලික අරමුණ බව ‘‘අතරමැදි නිවස්නයේ” වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරතුංග පවසයි.

අප කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් බලන්නට නේවාසික වාට්ටු වෙත ගිය විට ඔවුන් අප පිළිගත්තේ ඉතා සුහදශීලී විලසටය. ඒ පමණක් නොව, වාට්ටුවේ වාට්ටුව නම් කර තිබුණේ විවිධ වූ මල් වර්ගවලිනි. ඒ නිසාම, එහි ගමන් කරන අපට දැනුණේ සොදුරු හැඟීමකි. ඔවුන් ඒ වාට්ටුවල ගතකරන්නේ ඉතා ප්‍රීතිමත් ජීවිතයකි. නමුත්, තමන්ගේ නිවාස තුළ හිතවතුන් වටකර ගෙන සිටින ආකාරයේ හැඟීමක් නම් මෙයින් ජනිත නොවේ.

අවසානයේ දී ඔවුන්ගෙන් සමුගෙන එද්දි මානසික රෝගියෙක්ව සිට යම්තාක් මට්ටමකට සුව වූ මවක් කියූ මේ කවි පදවැල්වලින් කියවෙන්නේ ලොකු කතාවක බව වැටහිණි සත්‍ය ලෙසම මේ ඔවුන්ගේ හදවත ගැහෙනා හඬයි.

හර්ෂණී දිසානායක