ගොසිප්

මාදිවෙල මන්ත්‍රී නිවාසයේ ගෙවල යක්කු

සාමාන්‍ය ගෙවල් කුලී නීතිය යටතට නොගැනෙන ‘කුලී ගෙවල් 120 කින්‘ යුත් සංකීර්ණයක් මාදිවෙල පැත්තේ තිබේ. කාමර තුනකින්, සාලයකින්, කුස්සියකින් සහ නාන කාමරයකින් සමන්විත වන මෙම ගෙවල් සියල්ලම ‘තට්ටු දෙකේ ගෙවල්‘ ය. වාහන සඳහා ගාල් පහසුකම් ද, පැය 24 විශේෂ අධි ආරක්ෂාවක් ද හිමි මෙම ගෙවල්වල සියලුම නඩත්තු කටයුතු කෙරෙන්නේ ආණ්ඩුවෙනි. සියල්ලටම වඩා පුදුමය වන්නේ, මෙවැනි නිවසක් සඳහා අය කෙරෙන මාසික කුලිය රුපියල් 1000 ක් පමණක් වීම ය.

රුපියල් විසි – තිස් දහස, රුපියල් හතළිස් – පනස් දහස කුලී ගෙවාගෙන කොළඹ පදිංචිව සිටින ඔබට ද මෙයින් ගෙයක් ගැනීමට සිතෙන්නේ නම්, පුදුමයක් නොවේ. එහෙත් ‘හැම කෙනකුටම‘ එයින් ගෙයක් ගන්නට බැරි ය. එයින් ගෙයක් ගත හැකි වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට /වරියකට පමණක් ම වන නිසා ය.

කොළඹ තදාසන්නයේ පිහිටා තිබෙන මෙකී මන්ත්‍රී නිවාස සංකීර්ණය පසුගියදා පුවත් පිට පුවත් මැව්වේය. අලුතින්ම පාර්ලිමේන්තුවට පත්ව ආ දුර බැහැර මන්ත්‍රීවරුන් 65 දෙනකුට මෙයින් නිවාස ගැනීම අවශ්‍ය වුවත්, එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රී සේවා අංශය‘ අපොහොසත් වීම එක් පුවතකි. අනෙක් පුවතින් කියැවුණේ, මහ මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 14 දෙනෙක්, මාදිවෙලින් දී තිබුණු නිවාස තව දුරටත් භාර නොදී තමන්ගේම පරිහරණයේ තබාගෙන සිටින බවකි. මේ අතර නවක මන්ත්‍රීවරුන් ‘මාදිවෙල නිවාසවල සැප මදි‘ යැයි කියන බවට ද, ඒ අනුව පාර්ලිමේන්තුව, ඔවුන් වෙනුවෙන් කුලී නිවාස සොයන බවට ද, පුවතක් විය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අයත්ව තිබෙන, හෝටල් කාමර සංකීර්ණයක් වන රාජගිරියේ ‘සවරින් ගොඩනැගිල්ලේ‘ ඇති සුව පහසු කාමර 50 ක් නිවාස ඉල්ලා ඇති මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නට යන බවට ද පුවතක් අසන්නට ලැබිණ.

ඇත්ත වශයෙන්ම, මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු යන්නේ, මහජනතාවගේ දුක්ගැනවිලි විසඳීමට වුවත්, මෙහිදී පරාජයට පත් වූ හිටපු මන්ත්‍රීවරුන් 14 දෙනකුට ‘උන් හිටිතැන් අහිමි වීමේ ප්‍රශ්නයත්, අලුතින් පත්ව ආ මන්ත්‍රීවරුන් 65 කට ‘ඉන්න හිටින්නට තැනක් නැති වීමේ‘ ප්‍රශ්නයත්, මහජනතාව තුළ ඇති කරන්නේ, ‘කාගේ වුණත් දරුවොනේ.. ‘වැනි සානුකම්පික හැඟීමකි.

මේ ආකාරයට අද දවසේ දැවෙන ප්‍රශ්නයක්ව තිබෙන ‘මන්ත්‍රී නිවාස ප්‍රශ්නය‘ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සොයා බැලීමේ අදහසින්, පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රී සේවා අංශය‘ ඇමතූ අපගේ කනස්සල්ල වඩා වර්ධනය විය.

‘‘තවමත් ගෙවල් භාර නොදීපු පැරදුණු, හිටපු මන්ත්‍රීවරු 14 දෙනා අපට ඒ අයගෙ දුක් ගැනවිලි කියනවා… ළමයි යන්නේ කොළඹ ඉස්කෝලවල ලු… ඡන්දෙටත් වියදම් කරපු හින්දා, කොළඹින් කුලියටවත් ගෙයක් ගන්න අතේ සල්ලි නැහැ ලු… අම්මට කැන්සර් එකක් ලු… කොළඹින් ගියොත් බෙහෙත් ගන්න නතරවෙන්න තැනක් නෑ ලු… ගෙයක් හොයාගන්නකල් ඉන්න දෙන්න ලු… ‘‘ පාර්ලිමේන්තු ‘මන්ත්‍රී සේවා අංශයේ‘ එක්තරා නිලධාරියකු කීවේ ය.

මේ ආකාරයට හිටපු මන්ත්‍රීවරුන්ගේ ‘ප්‍රශ්න‘ දෙස බලන විට අපට තිබෙන ‘ප්‍රශ්න – ප්‍රශ්න නොවේ‘ යැයි ඔබට ද සිතෙනු ඇත.

‘‘අලුත් පාර්ලිමේන්තුවට දුරබැහැරින් ආපු මන්ත්‍රීවරුන්ගෙ ප්‍රශ්නත් ඊටම දෙවැනි නෑ… සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සතියට ඉන්නෙ ඥාති ගෙවල්වල ලු… සමහර මන්ත්‍රීවරු යාළුවන්ගෙ ගෙවල්වල… තවත් සමහරු දවසට දෙතුන් දාහ ගෙවලා, ලොජ්වල නවතිනවලු…‘‘

ඔවුන් කියන හැටියට, දුර බැහැර ගොඩයෙකු, එසේත් නැත් නම් පිටිසර බයියෙකු, පාර්ලිමේන්තුවට තේරී පත්ව ඒමත්, ‘බණ්ඩා කොළඹ ඒමත් අතර වෙනසක් නැත. නොඑසේ නම්, රැකියාවට හෝ උසස් අධ්‍යාපනයට දුර බැහැර සිට කොළඹ එන නවක මානවක මානවිකාවන් මුහුණ දෙන ‘නවාතැන් ප්‍රශ්නය‘ නවක මන්ත්‍රීවරුන්ටත් පොදු වූ ප්‍රශ්නයකි.

කෙසේවෙතත්, ‘ගන්නන්ට රස ඇති බවත්, දෙන්නන්ට දුක ඇති බවත්‘ දනවන ‘මාදිවෙල මන්ත්‍රී නිවාස‘ පිළිබඳ ‘අප නොදන්නා දේ’ සොයා යාම උනන්දුජනක විය.

මෙහිදී අපට මාදිවෙල ‘මන්ත්‍රී නිවාසවල? තවදුරටත් නැවතී මන්ත්‍රීවරයකු මෙන් ම, මාදිවෙල මන්ත්‍රී නිවාස ගැන දන්නා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද මුණගැසිණ.

‘‘මෙහෙමයි… මේවට මන්ත්‍රී නිවාස කියන නමට වඩා ගැළපෙන්නේ ‘මන්ත්‍රී බහු කාර්ය නිවාස’ කියන නම… මේවා වෙන්කර ගන්නේ මන්ත්‍රීවරුන් නමට වුණාට, මේවා පාවිච්චි වෙන්නේ මන්ත්‍රීවරුන් කොළඹ ආවම නවතින්න විතරක්ම නෙවෙයි… සමහරු මේවා රුපියල් විසි දාහකට වගේ කුලියට දෙනවා… සමහරු මේ ගෙවල්වල තමන්ගේ පෙම්වතියන්ට නවාතැන් දෙනවා… තවත් සමහරු මේවා දෙන්නේ ජාවාරම්කාර මිතුරන්ට… ජේ.වී.පී. මන්ත්‍රීවරුන් නම්, කලා සංගමය වගේ සංගම්වල වැඩවලට දෙනවා… පිට පළාත්වල ඉන්න ජ.වි.පෙ. සහෝදරයෝ කොළඹ ආවම මාදිවෙල ජ.වි.පෙ. මන්ත්‍රීවරුන්ගේ නිවාසවල නවතිනවා… තවත් සමහරු, තමන්ගෙ මහලු අම්මයි තාත්තයි මෙතැන නවත්තල, වැඩකාරයෙකුත් දාලා බලාගන්නේ මෙතැන… කොරෝනා කාලේ පිට රටවල ඉඳන් ආපු ‘මන්ත්‍රී දරුවන්ට‘, එහෙමත් නැත්තං ‘මන්ත්‍රී නෑයින්ට’ නිරෝධායන මධ්‍යස්ථාන වුණෙත් මේවම තමයි….‘‘ මාදිවෙල ජීවත්වන එක්තරා මන්ත්‍රීවරයෙක් කීවේ ය.

‘‘මමත් නැවතිලා ඉන්නේ මාදිවෙල… හෙක්ටර් අප්පුහාමි, විජිත බේරුගොඩ, රන්ජන් රාමනායක වගේ මන්ත්‍රීවරුනුත් මෙතැන පදිංචි වෙලා ඉන්නවා… රන්ජන්ට වතාවක් රාජ්‍ය ඇමති හැටියට වෙනම නිල නිවාසයක් ලැබුණත්, මිනිහා දිගටම හිටියෙ මාදිවෙල… ඒ ඇරුනම සමහර වහල තියෙන ගෙවල්වල කවුරු ඉන්නවද, මොනව වෙනවද කියල නං මාත් දන්නෙ නෑ… එක එක අය එක එක කතා කියනවා… කොහොමත් මම රැස්වීම් ඉවර වෙලා ඇවිල්ලා ගේ ඇතුළට වැදුණම, වෙන කිසි ආස්සරයක් නෑ… ඒ හින්දා වටේ පිටේ වෙන දේවල් ගැන මට නං එච්චර දැනුමක් නෑ…‘‘ මාදිවෙල පදිංචිව සිටින විමලවීර දිසානායක ඇමැතිවරයා කීවේ ය. ඔහු මාදිවෙල පදිංචිව සිටින්නේ හැමදාමත් ගෙදර ඉඳන් පාර්ලිමේන්තු යන්න බැරි නිසාය. විමලවීර දිසානායක ගේ ස්ථිර පදිංචිය අම්පාරය.

‘‘මාදිවෙල මන්ත්‍රී නිවාස අවුරුදු 36 ක් විතර පරණයි… ඕක ඒ කාලෙ හැදුවෙ ව්‍යාපාරිකයෙක්… ඒත් මිනිහට ඕවායින් එකක්වත් විකුණගන්න බැරි වුණා ලු… ඒ ගෙවල් පුංචි හින්දයි, හිර වෙලා වගේ තියෙන හින්දයි… ගෙවල් ගන්න හිතාගෙන එන එන මිනිහා හැරිලා ගියාලු… මිනිහා ආර්.ප්‍රේමදාසගේ යාළුවෙක් හින්දා, පස්සෙ කාලෙක ඒ ගෙවල් ටික පාර්ලිමේන්තුව මාර්ගයෙන් සල්ලි ගෙවලා පාර්ලිමේන්තුවට පවරගත්තලු… ඊට පස්සේ තමයි මන්ත්‍රීවරුන්ට දීලා තියෙන්නෙ… ඉතිං ඔතන පහසුකම් නෑ… මං දන්න තරමින් ඔතන ගෙවල් ගන්න මන්ත්‍රීවරු ඒවා පාවච්චි කරන්නෙ වෙන වෙන අවශේෂ වැඩවලට මිසක් නේවාසිකවෙන්න නෙවෙයි….‘‘ දැනට විශ්‍රාමික වන, හිටපු මන්ත්‍රීවරයා කීවේ ය.

ලබාගැනීමෙන් පසුව කවුරුන් කොහොම පාවිච්චි කළත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙකී නිවාස ලබාදෙන පිළිවෙළක් තිබිය හැකි ය. පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රී සේවා‘ අංශයේ නිලධාරියා ඒ සම්බන්ධයෙන් ද අපට පැහැදිලි කළේ ය.

‘‘සෑම පාර්ලිමේන්තු මැතිවරණයකින්ම පාර්ලිමේන්තුවට පත්වෙලා එන අලුත් මන්ත්‍රීවරුන්ට අවශ්‍යතාව මත මාදිවෙලින් ගෙයක් ඉල්ලන්න පුළුවන්… නමුත් එතැන තියෙන්නේ ගෙවල් 120 ක් විතරයි… එයිනුත් ගෙවල් 8 ක් විතර වෙන් කරගෙන තියෙන්නේ, පාර්ලිමේන්තුවට නොයෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට… ඊට අමතරව පාර්ලිමේන්තුවට ආරක්ෂාව සපයන පොලිසියේ අයට නවතින්නත් දෙන්න… එතකොට ඇත්තටම මන්ත්‍රීවරුන්ට දෙන්න පුළුවන් වෙන්නෙ ගෙවල් 112 ක් විතරයි… ඉල්ලුම් පත්‍ර ලැබෙන පිළිවෙළට, අපි මුළින්ම ගෙවල් දෙන්නෙ ඈත දුර බැහැර මන්ත්‍රීවරුන්ට… එතකොට කැමති නං, ඒ අයගෙ පවුල් පිටින්ම එතන පදිංචි වෙන්න පුළුවන්… නැත්තං තනියම හරි මන්ත්‍රීවරයා‍ගේ/වරියගේ කාර්යය මණ්ඩලයට වුණත් නවතින්න පුළුවන්… එහි නවතින අය, යන එන අය තීරණය කරන්න මන්ත්‍රීවරයාට නිදහස තියෙනවා… ‘‘ නිලධාරියා කීවේ ය.

‘‘ඒ වුණාට කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියක වුණු, කොළඹින් ගෙයකුත් තිබුණු රෝසි සේනානායකට පවා, ඇය මන්ත්‍රීවරියකව ඉන්න කාලයේ මාදිවෙල සංකීර්ණයේ ගෙයක් තිබුණා නේ ද…?‘‘ අපි ඇසුවෙමු.

‘‘ඔව්… මමත් දන්න විදියට ඇයටත් මාදිවෙලින් ගෙයක් ලැබිලා තිබුණා… ඒත් ඇය එහේ පදිංචි වෙලා හිටියෙ නෑ… සමහරවිට ඇගේ කවුරු හරි ඉන්න ඇති… නැත්තං කාර්යාලයක් විදියට පවත්වාගෙන යන්න ඇති… ‍මාදිවෙල ගෙවල් දෙනකොට, දුර බැහැර මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාව දුන්නත්, කොළඹ, ගම්පහ කෙනකුට වුණත් එයින් ගෙයක් ගන්න තහනමක් නෑ…‘‘ එම නිලධාරියා කීවේ ය.

මේ අතර ‘මාදිවෙල මන්ත්‍රී නිවාස සම්බන්ධයෙන්‘ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අප කරන ලද විමසීමකදී, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ මෙසේ ය.

‘‘මුල් වටයේදී අපට පෙනුණා, හිටපු මන්ත්‍රීවරුන් 14 ක් තවමත් නිවාස භාර දීලා නෑ කියන එක… ඒක තමයි මාදිවෙල ප්‍රශ්නයට මුල් වුණේ… ඒ අතරෙ 65 ක් අලුතින් නිවාස ඉල්ලලා තිබුණා… දැනට අපිට දැනගන්න තියෙන හැටියට, නිවාස භාර නුදුන් මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙක් මේ වන විටත් පාර්ලිමේන්තුවට වාර්තා කරලා තියෙනවා, ඔවුන් යන බව… ඒත් එක්කම අලුතින් ඉල්ලන මන්ත්‍රීවරුන් 65 ගේ අවශ්‍යතා සලකල බලලා, ප්‍රමුඛතාව අනුව ඒ අයට ගෙවල් දෙන්නත් බලාපොරොත්තු වෙනවා… මේ අතරෙ, ‘මෙතැන පහසුකම් මදිය යන කාරණයත් අපේ සැලකිල්ලට භාජනය වෙලා තියෙනවා… ඉතිං අපි ඒ ගැනත් සැලකිල්ලට අරං තියෙනවා…‘‘

කෙසේවෙතත්, මාදිවෙල මන්ත්‍රී නිවාස ඉදිවෙන්නට කළින් වසර ගණනාවක් තිස්සේ පැරණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ පැමිණි විට නවාතැන් ගත්තේ කොළඹ හතේ ශ්‍රාවස්ති මන්දිරයේය.. එය ඉපැරැණි ගොඩනැගිල්ලකි. එය එකල දුරබැහැර මන්ත්‍රීවරුන්ට නවාතැන් දුන් කාමර සංකීර්ණය වූ අතර එය සමන්විත වූයේ විශාල පරිමාණයේ කාමරයකින් සහ යාබද නාන කාමරයකින් ය.

‘‘පාර්ලිමේන්තු රැස්වීම් දවස්වලට දුරබැහැර මන්ත්‍රීවරු නැවතුණේ ශ්‍රාවස්තියේ… හඟුරන්කෙතින් ආපු මට වගේ ම හම්බන්තොටින් ආපු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාටත් ශ්‍රාවස්තියේ නවාතැන් ලැබුණා… ඒ කාලෙ හරි සුන්දරයි… පාර්ලිමේන්තුවෙ දවල්ට තියෙන වාද විවාද හවස ශ්‍රාවස්තිය දක්වාත් දිග්ගැස්සෙනවා… හැබැයි මොන මොන වාද කළත්, අපි අතරෙ හොඳ සහෝදරකමකුත් තිබුණා… අපි අපේ පවුල් පිටින් ම ඒ කාමරවල නතරවෙලා ඉඳල තියෙනවා… ඒත් ඒවා ගෙවල් කියන හැඟීම ඇති වුණේ නැති හින්දා අනවශ්‍ය බඩු ගොඩගහගත්තෙත් නෑ… පැරදුණු කෙනකුට බඩු ටික සූට් කේස් එකක දාගෙන යන්න ලේසියි… අනික කවුරුවත් තුන්සිය හැටපස් දවසේ ම ඔය කාමරේ හිටියෙත් නෑ… පාර්ලිමේන්තු රැස්වීම්වලට කොළඹ ඇවිල්ලා, ශ්‍රාවස්තියෙ නතරවෙලා ඉඳලා, රැස්වීම් ඉවර වුණා ම ආසනේට ගියා… ඊට පස්සෙ ඉතිං අපි ඔක්කොම හිටියෙ ආසනේ… මිනිස්සුන්ගෙ ප්‍රශ්න එක්ක… නමුත් දැන් එහෙම නෙවෙයි, බාගෙට බාගයක් මන්ත්‍රීවරු ඡන්දෙට විතරයි ගමට යන්නෙ… අනෙක් මුළු කාලෙම ගත කරන්නෙ කොළඹ… මට හිතෙන හැටියට මේ සංස්කෘතියම විසඳෙන්න ඕන…‘‘ කලක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා කීවේ ය.

‘‘පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන කාලේ, මේ කාමරවල කවුරුවත් ඉන්නෙ නැද්ද…?‘‘ අපි ඇසුවෙමු.

‘‘මොකද නැත්තෙ… අපේ ළමයි ඉස්කෝලෙ ගියේ එතන ඉඳන්… බෝඩිමක තියනවට වඩා ආරක්ෂිතයි… අනික වියදමකුත් නෑනෙ… මගෙ ළමයි දෙන්නම ඉස්කෝලෙ ගියේ ශ්‍රාවස්තියෙ ඉඳලා… හරියට ආණ්ඩුවෙ වැඩ කරන අයගෙ දරුවො දෙමාපියන්ගෙ ‘ක්වාටස්‘ වල නැවතිලා ඉන්නව වගේ… මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා, ඉස්සර එයා ඉස්කෝලෙ යන කාලෙත්, එයා නැවතිලා ඉඳල තියෙන්නෙ, එයාගෙ තාත්තගෙ, ඒ කියන්නෙ ඩී.ඒ.රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙ ‘ක්වාටස්‘ එකේ… මන්ත්‍රීවරුන්ට කියල කොළඹ ගෙවල් ම ඕන කියන මතයේ මම නෑ… ‘ක්වාටස් එකක්‘ වුණත් ප්‍රමාණවත්… හැබැයි මාදිවෙල තියෙන්නෙ ඊට වඩා වෙනස් ප්‍රශ්නයක්… ඒවා ගෙවල් වුණාට, ශ්‍රාවස්තියෙ කාමරයක තිබුණු ‘කොලිටි එක‘ ඒ ගෙවල් වල නෑ… ශ්‍රාවස්තියෙ තිබුණු සංස්කෘතියත් එතන නෑ… ‘‘එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේ ය.

මේ ආකාරයට මන්ත්‍රීවරුන් ‘කොළඹින් ගෙවල් ඉල්ලීම‘ ම එක අතකින් ‘විකාර සහගත‘ ඉල්ලීමක් බව පෙනී යයි. ඒ ඔවුන් පසු කාලයේ කොළඹට ම වී ජීවත්වන තත්වයක් උද්ගත වන නිසා ය. සිය දුවා දරුවන් ද කොළඹ ඉස්කෝලවලට දමාගෙන, නෝනා මහත්වරුන් ද කොළඹ ව්‍යාපාරවල කොටස්කාරියන් කරවූ පසුව, ගමෙන් කොළඹ එන මන්ත්‍රීවරුන්ට ගමත්, ගමේ ඡන්ද දායකයාත් සහමුලින් ම අතහැරෙන්නේ ය. එවිට සිය මන්ත්‍රීවරයා මුණගැසීමට නම් ඡන්ද දායකයාට/ මහජනතාවට ‘කොළඹ එන්නට‘ සිදුවන්නේ ය. අවසානයේ ඔහු කෙරෙන් දැකගත හැකි වන්නේ, මැතිවරණයෙන් පරාජය ලැබූව ද, නිවස අතහැර යා නොහැකි ‘ගෙවල යකෙක්‘ මිස අනෙකකු නොවේ.

සුරේඛා සමරසේන