කතුවැකි

මාගේ ව්‍යායාමය සම්මාදමේ නොයන ක්‍රීඩා පරපුරක් බිහි කිරීම සඳහාය

 

ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඇති සමාජ ආකල්පය වෙනස් කර ඔහු ව්‍යවසායකයකු ලෙස දකින කාලය එළඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කොට තිබේ. ක්‍රීඩාව තවදුරටත් ආර්ථිකයට බරක් නොකර ආර්ථිකයට ශක්තියක් බවට පත් කිරීම අමාත්‍යවරයාගේ සැලසුමය. මේ තුළින් ඉදිරි වසර පහ ඇතුළත ඩොලර් බිලියනයක් ආර්ථිකයට එක් කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු ක්‍රීඩා ගැනත් එහි වැදගත්කම මෙන්ම ශක්තිය ගැනත් මනා අවබෝධයකින් වැඩට බැස ඇති බවය. ඒ අනුව රටේ ක්‍රීඩාව ගැන අපට සුබවාදී අපේක්ෂාවන් ඇති කරගත හැකිය.

අතීතයේ සිටම ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේ සමාජයේ එතරම් පිළිගැනීමක් තිබුණේ නැත. දෙමාපියන් දරුවන් උනන්දු කළේ පොත පතේ වැඩක් කර ගන්නට මිස ක්‍රීඩාවට නොවේ. ක්‍රීඩාව දිරි ගන්වන රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබුණේද නැත. එල්. එල්. බී. රෝසලා ඔලිම්පික් ගියත් ඒවා අහඹු හා පෞද්ගලික ජයග්‍රහණ විය. මේ තත්ත්වය තරමක් වෙනස් වූයේ අප 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමගය. එහෙත් එහිදී සිදු වූයේ ක්‍රිකට් ගැන උනන්දුව කෘත්‍රිම ලෙස ඉහළ ගොස් අනෙක් ක්‍රීඩාවන්ට තිබූ පුංචි ඉඩත්, සමාජ වටිනාකමත් අහෝසි වී යෑමය. එස්. බී. දිසානායක ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ සුසන්තිකා ජයසිංහ වැනි එක් ක්‍රීඩාවකට හෝ ඔලිම්පික් දක්වා යන ගමනකට පදනම වැටුණු නමුත් එස්.බී.ගෙන් පසු ඒ වැඩසටහනත් අභාවයට ගියේය.

මේ තත්ත්වයෙන් පෙනී යන්නේ ක්‍රීඩා සම්බන්ධ උනන්දුව ඇමැතිවරුන්ගේ නිලධාරින්ගේ උනන්දුව හා ඕනෑකම මත පමණක් රඳා පවතින දෙයක් වී තිබෙන බවය. නමුත් අපට අවශ්‍ය වන්නේ ක්‍රීඩාව පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියකි. නාමල් රාජපක්ෂ නව ක්‍රීඩා අමාත්‍යවරයා ද අලුත් දැක්මකින් ක්‍රීඩාවට අත තබා ඇතත් එයද ඔහුගේ පෞද්ගලික උනන්දුව නිසා ඇති වූවක් බව පැහැදිලිය. එහෙත් මේ ආරම්භයේ සාර්ථක ඵල නෙළා ගන්නට නම් එය අඛණ්ඩ වැඩසටහනක් විය යුතුය. නාමල් ක්‍රීඩා ඇමැති වුවත්, නැතත් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් විය යුතුය.

ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දුවක් ඇති වූවා සේම ඒ හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත් වුවත් දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද අප සිටින්නේ ඉතා දුර්වල තත්ත්වයකය. අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලත් ජාත්‍යන්තර කීර්තිය ක්‍රීඩකයන් සහ නිලධාරින්ට වාසිදායක වූවා මිස රටේ ආර්ථිකයට කියනා තරම් දායකත්වය දැක්වූයේ ද නැත.

එසේ වුවත් තාමත් රටේ ඉල්ලුම ඇත්තේ ක්‍රිකට්වලටය. ක්‍රිකට් ක්‍රීඩකයන් ‘තරු’ බවට පත් වෙද්දී ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් කණ්ඩායමේ නායකයාගේ නමවත් දන්නා කෙනකු සොයා ගැනීමට අසීරුය. ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරන රටවල් ඇත්තේ දෙසිය නවයක් වන අතර අප සිටින්නේ දෙසිය හත්වන ස්ථානයේය. ක්‍රීඩා සංගම්වල කැපවීම සහ මුදල් ශක්තිය මත රගර් හා දැල්පන්දු වැනි ක්‍රීඩාවලින් ආසියානු මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකිව තිබේ. රගර් ක්‍රීඩාවෙන් අප ආසියාවේ දෙවැනි හෝ තුන්වැනි ස්ථානයේ සිටින අතර දැල්පන්දු ක්‍රීඩාවෙන් සිටින්නේ ලෝකයෙන්ම දහහතර වැනි ස්ථානයේය. ඔවුන් ස්වෝත්සාහයෙන් එතරම් දුර පැමිණ ඇතත් රටේ අයටද ඔවුන්ට එතරම් වටින්නේ නැත. වටිනාකමක් දෙන්නට හෝ ඔවුන්ගේ ජයග්‍රහණ ගැන හරිහැටි දන්නේ නැත.

ක්‍රීඩා අමාත්‍යවරයා කියන්නේ මේ දක්ෂකම් තව තවත් වැඩි දියුණු කරමින් ඒ දක්ෂකම් මුදල් බවට පරිවර්තනය කර ගත යුතු බවය. එයින් ආත්ම තෘප්තියට මේ ක්‍රීඩාවල නිරත තරුණ තරුණියන්ට ද ආර්ථික ලාභයක් ලැබෙන නිසා ඔවුන්ට තවදුරටත් විදේශ තරග සංචාරයකට යන්නට සම්මාදම් එකතු කිරීමට සිදු නොවනු ඇත.

කෙසේ වුවත් මෙවැනි වැඩ පිළිවෙළකදී ප්‍රවේසම් විය යුතු කාරණයක්ද තිබේ. ක්‍රීඩාවන්ට ආර්ථික වටිනාකමක් දෙන්නට යෑමේදී ක්‍රීඩාවේ ජීව ගුණය පිරිහී යන්නට ඉඩ ඇති බැවිනි. ලෝකය පුරාම අද ඔට්ටු තැබීම, තරග පාවා දීම්, තහනම් උත්තේජක වැනි නීති විරෝධී ක්‍රියා විසින් ක්‍රීඩා ලෝකය ගිලගෙන තිබේ. මේ තැන්වල ක්‍රීඩාව සිදුවන්නේ මුදල් සඳහා පමණකි. අද අපේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ අර්බුදයට මුහුණ දීමට සිදුව තිබෙන බව ක්‍රීඩාව ගැන උනන්දු කාටත් රහසක් නොවේ. මේ නිසා ක්‍රීඩාව ආර්ථික භාණ්ඩයක් බවට පත් කිරීමේදී එහි සීමාව නිවැරදිව ලකුණු කර ගන්නට නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේ නොවුණහොත් පිටියේ ක්‍රීඩා හා ඔට්ටු රේස් අතර වෙනසක් නැති වනු ඇත.

රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කර ක්‍රීඩා ජයග්‍රහණ සේම ආර්ථික ජයග්‍රහණ ද අත් කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එය ආරම්භ කළ යුත්තේ පාසලෙනි. එහෙත් අමාත්‍යවරයාම පවසන අන්දමට අද පාසල් දරුවන් ක්‍රීඩාවකට යොමු වීම දෙමාපියන්ට මහා බරකි. මේ නිසා කොතරම් දක්ෂතා තිබුණද, ඇතැම් දරුවකුට ක්‍රීඩාවක නියැළෙන්නට අවස්ථාවක් නැත. ආරම්භයේදීම දක්ෂයන් එලෙස හැලී යන්නේ නම් ජාතික මට්ටමට දක්ෂ ක්‍රීඩකයන් කොයින්ද? කොළඹ පාසල්වල නම් ක්‍රීඩාවන් පවතින්නේම දෙමාපියන්ගේ හා ආදි සිසුන්ගේ හයියෙනි. එවැනි යමක්කමක් ඇති දෙමාපියන් හෝ ආදි සිසුන් නැති පාසල්වල දරුවන්ට තවමත් සිදුව ඇත්තේ චක්ගුඩු පැනීමට පමණය.

මේ නැති බැරිකම නිසා මෙන්ම ක්‍රීඩාවෙන් අනාගතයක් නැතැයි යන ආකල්පය නිසා ඇති හැකි දෙමාපියන්ද, තම දරුවන් ක්‍රීඩා කරනවාට කැමැති නැත. පාසල්වල ක්‍රීඩාව අද ඇත්තේ ශිෂ්‍ය නායකකමක් නිවාස නායක කමක් ගන්නට පමණය. කොළඹ ඇතැම් ජාතික පාසලක් උසස් පෙළ දෙවසරේ දරුවන්ට කිසිම ක්‍රීඩාවක නියැළෙන්නට දිරිමත් කරන්නේ නැත. ක්‍රීඩාව නංවන්නට නම් මේ පසුගාමී සමාජ ආකල්පයද වෙනස් විය යුතුව තිබේ. එය කළ හැක්කේ ක්‍රීඩාවට සමාජ වටිනාකමක්, ආර්ථික වටිනාකමක් ලබා දීමෙනි. රජයේ මැදිහත්වීම අවශ්‍ය තැනදී නිසි මැදිහත් වීම කිරීමෙනි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ක්‍රීඩා ඇමැති පුටුවේ වාඩිවී ඇත්තේ මේ තත්ත්වයන් අවබෝධ කරගෙන යැයි අපි සිතමු.