විශේෂාංග

මාකඳුරේ මධුෂ්ටද දහම් මග සහමුලින්ම විවරය

දහම යනු වරදෙහි ඇති විපාකය මෙන්ම කුසලයෙහි ඇති ආනිශංසය පෙන්වා දෙමින් නරකින් හොඳ වෙන්කර දක්වන ආලෝකයයි. දහමට අනුව ඇත්තේ වැරදි ක්‍රියා මිස වැරදිකරුවන් නොවේ.

පව්කාරයා හෝ සද්ගුණවතා සිටින්නේ චේතනාව සමගය. දහමට අනුව ඒ චේතනාවෙන් මිදුනු තැන පව්කාරයෙක් නැත. එබැවින් වැරදි මාර්ගයෙන් මිදී සද්මගට පැමිණීමට ඕනෑම අයකුට අවස්ථාව ඇත. ඒ සඳහා මාර්ගය දහමේ පැහැදිලිව දක්වා තිබේ. පව්කාරයාව පාපයේ දඬුකදේ ගසා තැබීමක් හෝ පාපයේ දංගෙඩිය මත තබා ගෙල සිඳීමක් දහමේ නැත.

දහම යනු නිවැරදි වීමේ මාර්ගෝපදේශනයයි. නිදහස් වීමේ මගයි. මාකඳුරේ මධුෂ් විසින්, අයථා අන්දමින් උපායගත් මුදල පවා මහත්ඵල ආනිශංස ලැබෙන සේ දන් දිය හැකි බව, දහමේ සඳහන් අදාළ කරුණු ගෙනහැරපාමින් ඉකුත් සතියේ අපි ඔබට කීවෙමු. මෙහිදී ඔහු විසින් කළ පාපකාරී කටයුතු වෙනුවෙන් එයට අදාළ විපාකද, පිංකම් කටයුතු වෙනුවෙන් එයට අදාළ විපාකද ඇති අතර, ආනන්තරීය පාපකර්මය සිදුකර නොමැති නම් මධුෂ් වැනි පුද්ගලයෙකුට පවා මාර්ගඵල ලාභියෙක් බවට පත්වීමේ අවස්ථාව තවමත් විවරව ඇති බවද පිංවත් ඔබට අපි පවසා සිටියෙමු. එය තරමක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලෙසින් ඔබට හැඟී යා හැකිය. නමුත් එහි දොසක් නැත.

සටහන ආරම්භයේ දැක්වූ අයුරින් පාප ක්‍රියා මිස, සදාකාලික පව්කාරයකු ලෙසින් කිසිවෙකු හංවඩු ගැසීම සාධාරණ නැත. මුවින් ගිලිහුණු වචනය ආපිට ගත නොහැකි සේ, සිදුකළ ක්‍රියාව ආපිට හැරවිය නොහැකිය. නමුත් ක්‍රියාවේ ස්වභාවය පාපයේ සිට සද්ක්‍රියාව දක්වා පරිවර්තනය විය හැකිය. ඒ අනුව සදාකාලික නිදහස හෝ සහනය ලැබිය හැකිය.

අපදාන පාලියේ අම්බපාලී පදානයේ කියැවෙන අම්බපාලියගේ භව කථාව දෙස බලමු. ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේගේ රජ කුලයක ඉපිද ඒ බුදුන්වහන්සේගෙන් දම් අසා සිත් පහදවාගත් ඇය රූප සම්පත්තිය ප්‍රාර්ථනා කළාය. භවයේ පසු කලෙක සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ බමුණු කුලයක ඉපිද රහත් තෙරණියකට වෛශ්‍යාවකැයි අපහාස කිරීමේ කර්මය හේතුවෙන් නිරයේ දුක් විඳීමෙන් අනතුරුව නැවතත් මනුෂ්‍ය ආත්මභාවයකට පැමිණේ.

එතැන් පටන් දස දහසක් ආත්මභාවයන්හිදී ඇයගේ ජීවිකාව බවට පත්වන්නේ ගණිකා වෘත්තියයි. ඇය වරෙක කාශ්‍යප බුදුන් සමයේ බඹසර ආරක්‍ෂා කිරීමේ විපාකය ලෙසින් දෙව්ලොව ඉපිද තිබේ. අප ගෞතම බුදුන් සමයේ ඇයගේ අවසන් ආත්මභාවයද ඇයට ගෙවන්නට සිදුවූයේ ගණිකාවක් ලෙසින්මය. නමුත් ඇය ගෞතම බුදු සසුනේ පැවිදිව බවුන් වඩා දිව්‍ය ශ්‍රෝත, අන්‍ය සිත් දැනගැනීමේ ඥානය, පෙර විසූ කඳ පිළිවෙළ දැනගැනීම ආදී ඍර්ධි සහිත මහා උත්තමාවියක් බවට පත්ව පිරිනිවී යන්නීය.

ඇගේ භව ගමනේදී ඇයට බුදුවරු ගණනාවක් මුණගැසී තිබේ. විටක පින් ද තවත් විටෙක පාපයන්ද සිදුකරගෙන තිබේ. ඒවාට අදාළව දුක සැප පෙරළි පෙරළී ඇය පසුපස පැමිණියේය. අන්තිම ආත්මභවයේදීද එම කර්මයන් ඇයට දායද විය. ඇයව ගණිකාවක් ලෙසින් හංවඩු ගසා ශාසනයේ සැනසුම ඇයට අහිමි කළේ නම් ඒ සිව්පිළි සිඹියාපත් රහත් උත්තමාවියක් කෙසේ බිහිවන්නද? එදා ඇය සිය සිරුර ඒ පුරවරයේම රජ සිටු දණන් සමග සතපවද්දී මැය එවන් සිව්පිළි සිඹියාපත් රහත් උත්මාවියක් වේ යැයි කව්රු නම් සිතන්නට ඇතිද? කෙලෙස් පිරුණු සමාජයක් විසින් පුද්ගලයෙකුගේ ජීවන චර්යාව දැක, ඒ පුද්ගලයාගේ භවගමන ගැන කෙසේ නම් අනාවැකි කියන්නද?

අද අප හට මේ උතුම් දහම ඇසෙනුයේ ධර්මාශෝක රජුන්ගේ ඒ මහා ශ්‍රද්ධාවේ ඵලයක් වශයෙනි. ධර්මාශෝක රජුන් රාජ්‍යත්වයට පත්වනුයේ සිය භින්නමාතික සොයුරන් (සිය පියාට දාව වෙනත් අන්තඃපුර බිසවුන්ට ලැබුණු දරුවන්) 99 දෙනෙකු මරා දැමීමෙනි. එසේම සිය රාජ්‍යය, අධිරාජ්‍යයක් බවට පත්කිරීමේදී තව කොපමණ නම් පිරිසක් ඒ සටන්වලින් මිය යන්නට ඇතිද? එදා රාජ්‍යත්වය උදෙසා, රාජ්‍යය පුළුල් කිරීම උදෙසා සිය ගණනින් මරණ සිදුකරද්දී මේ සිටින ‘චණ්ඩාශෝක’ මතු අනාගතයේ ශාසනය පතුරුවන, ශාසනය සුරකින, ශාසනය බබුළුවන ‘ධර්මාශෝක’ නම් ගුණකඳ වන්නේ යැයි හිත දියුණු කළ උතුමෙකු හැර අන් කව්රු නම් සිතන්නට ඇතිද?

ධර්මාශෝකයන් පෙර ආත්මභවයකදී පසේබුදුරජාණන් නමකට මී පැණි පූජාකරගත් පුණ්‍ය මහිමය කොතෙක්ද යත් රාජ්‍යත්වය ලැබුණු මොහොතේ පවා අශෝකයන්ට දෙවියන්ගේ උපකාර නොමදව ලැබී තිබේ. එකී ආත්මභාවයේදී කෙතරම් ලේ හැලීම් සිදුකළද අශෝකයන්ගේ පුණ්‍ය මහිමය එම පාපයන්ගෙන් යට නොවීය. මියයෑමට ආසන්න මොහොතේ ද්වේශ සිතකට යටවීම හේතුවෙන් ප්‍රේත පිඹුරු ආත්මයක ඉතා කෙටි කලක් ගෙවීමට සිදුවුවද, සද්ධාතිස්ස රජ සමයේ ශ්‍රී ලංකාවේ ඉපිද කුණ්ඩලතිස්ස නම් රහතන් වහන්සේ ලෙසින් පිරිනිවී යෑම පිණිස භාග්‍යවන්ත වන්නේය. එදා චණ්ඩාශෝකව ඝාතකයෙකු ලෙසට නම් කර ඔහුට මේ දහමේ දොරටු වසා දැමුවේ නම් ඔහු අදත් භවයේය. එසේම අද අපට මේ උතුම් දහම මෙසේ නෑසෙන්නටද ඉඩ තිබිණි.

ඒ චරිත පමණක් නොව, දරුණුම අකුසල් වන ආනන්තරීය පාප කර්ම සිදුකළ අයට පවා සහනය ද සැනසිල්ල ද ඇත්තේ මේ දහම තුළමය. සිය පියා වූ බිම්බිසාර හෙවත් ඒ සෝතාපන්න බුද්ධ ශ්‍රාවකයාව වදබන්ධනයට ලක්කර ඝාතනය කරමින් ආනන්තරීය පාප කර්මය සිදුකළ අජාසත් රජතුමන්ව පවා මේ ශාසනයෙන් ප්‍රතික්‍ෂේප වූයේ නැත. මේ ශාසනය තුළ සිටි සැදැහැවත් කුල පුත්‍රයන් අතර අග්‍ර තැනකට පැමිණීමට අජාසත් රජුට හැකිවන්නේය. බුදුරජාණන්වහන්සේ කෙරෙහි කෙතරම් ආදර ගෞරවයක් තිබුණේද යත්, බුදුන්ගේ පරිනිර්වාණය සැලවීමෙන් අජාසත් රජුන් හත් වරක් ක්ලාන්ත වූ බැව් පැවසේ. පීතෘ ඝාතකයෙකු වුවද දහමේ අනුහසින් මහා ශ්‍රද්ධාවන්තයකු වූ මොහු පළමු ධර්ම සංඝායනාව සිදුකර දහමේ පැවැත්ම පිණිස මහා අනුග්‍රහයක් සැපයීමට භාග්‍යවන්ත වන්නේය.

එවන් මහා පින් රැස්කර ගැනීමේ ආනිශංසය කෙසේවීද යත් ආනන්තරීය පාප කර්මය සිදුකළ අයෙක් මීළඟ ආත්මයේ නියත වශයෙන්ම උපදින්නේ යැයි කියන අවීචි මහා නරකාදියට නොවැටී, කටුක බවින් සහ ආයුෂයෙන් එයට වඩා අඩු ලෝකුඹු නිරයේ අජාසත්තයන් උපදී නිරය මහා අභාග්‍යයක් වුවද ඒ අභ්‍යාග්‍යයේ කටුකම දුක්වලට සාපේක්‍ෂව භාග්‍යවන්ත වීමට අජාසත්තයන්ගේ ශ්‍රද්ධාව විසින් ඔහුට අවස්ථාව උදාකර දුන්නේය. එපමණක් නොව මතු සසරේ ‘විජිතසේන’ නමින් පසේබුදුවරයෙක්ව භවයෙන් මිදීමට අවශ්‍ය මහා ශක්තියක්ද ඒ ශ්‍රද්ධාව මගින් උකහා ගත්තේය.

අපට සැල වන අන්දමට මාකඳුරේ මධුෂ් විසින් ආනන්තරීය පාප කර්මය සිදුකර නැත. අජාසත්තයන් සිය ජීවිතය කිහිපවරක්ම මරණයෙන් මුදාගත් පියාණන්ව කෲර ලෙසින් ඝාතනය කළද, තමන්ව කුඩා කලම හැර ගිය තම පියාගේ අවමගුලට ගුවනින් මල් ඉසින්නට මධුෂ් කටයුතු කළේය.

එසේ කළ පමණින් මධුෂ්ට තමන් කළ පාපකර්මයන්ගෙන් මිදෙන්නට නොහැකිය. නමුත් ගණිකා වෘත්තියෙන් ජීවිකාව සපයාගත් අම්බපාලියට සේම, මහා මිනිස් සංහාරයක් කළ අශෝක රජුන්ට සේම, පීතෘ ඝාතක කර්මය කරගත් අජාසත්තට සේම සසුනේ සැනසුම මධුෂ්ටද උරුමය. මෙහිදී මධුෂ් යන චරිතය යොදාගත්තේ සමාජයට සංවේදී වත්මන් උදාහරණයක් වශයෙනි. තම අතින් සිදුවූ පාපය ගැන පසුතැවෙන, පාපයෙන් මිදීමට සිතිවිල්ලකින් හෝ උත්සහ ගන්නා කවරෙකු වේද, ඒ තැනැත්තාට හෝ තැනැත්තියට මේ සටහන මාර්ගෝපදේශනයක් වේවා…. පවුකාරයාට ගල් ගසන සමාජයට, ගල දමාගැසීමට පෙර නැවත සිතා බැලීමට මේ සටහන හේතුවක්ම වේවා….

මධුෂ් මිනී මැරුම් ගණනාවකට සම්බන්ධ බව කියැවෙයි. නමුත් සියතින්ම ඝාතනයන් දහසක් පමණ සිදුකළ අංගුලිමාලටද නිවනින් සැනසීම දක්වා ශාසනයේ පූර්ණ රැකවරණය ලැබුණු බව අප අමතක නොකළ යුතුය.
නෙළුවේ විමලශාන්ත හිමි