විශේෂාංග

මහ වැස්සෙ මතක් වුණ මහ වතුරක මරු ගමනක්

1957 දෙසැම්බර් මාසයේදී සිදු වූ ජීවිතයේ දී අමතක නොවන ත්‍රාසජනක සිද්ධිය කුමක්දැයි ප්‍රශ්න කළහොත් ‘‘මහා ගංවතුර’’යි ඔබ පිළිතුරු දෙනු ඇත. එහෙත් මගෙන් එම ප්‍රශ්නය ඇසුවොත් වචන දෙකකින් පිළිතුරු දී නිශ්ශබ්ද වීමට මට බැරිය. ඊට හේතුව මට අමතක නොවන සිද්ධිය වශයෙන් කීමට දිග කතාන්දරයක් තිබීමය.

1958 වර්ෂය සඳහා මුද්‍රණය කරන ලද ‘‘ගල්ඔය පින්තූර දිනපොත’’ හාරදහසක් පටවන ලද වෑන් රථයක් භාරව දෙසැම්බර් 21 වැනිදා කොළඹින් පිටත්ව ගල්ඔය ගිය මා අම්පාරට ළඟා වූයේද සෑහෙන පමණ දුක් විඳගෙනය.
සුපුරුදු කොළඹින් වෙන් වී දින දෙකක් ගත කිරීමෙන් ඇති වූ පාළුවෙන් වෙලී ගිය සිතැ‘ති මා 23 වැනි දා දවල් මගේ නවාතැන්පොළට වී කල්පනා කළේ ආපසු කොළඹට පැන ගන්නේ කෙසේද කියාය.

මා නතරව සිටි ස්ථානයේ හැරියට් නම් තරුණියක් ද නතරව සිටියාය. එදා සවස 2. ට පමණ වන විට හැරියට් ගමනක් යන්නට මෙන් සැරසී සූට් කේසයද සූදානම් කරන බව මම දුටුවෙමි. ඈ ගෙදර යන්නට සූදානම් වන බව කීවේ මා පුදුමයට පත් කරවමිනි. අම්පාරේ කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් නත්තල් නිවාඩුව සඳහා ගම් රටවල් බලා යාම පිණිස ලොරියකින් චවලකඩේ නම් ස්ථානය දක්වා ගමන් කර එතැන සිට මඩකලපුව දිගේ බෝට්ටුවකින් යාමට බලාපොරොත්තු වන බවත්, තමාද ඒ සමග ගමන් ගන්නා බවත් හැරියට් මට විස්තර කර දුන්නාය.

පැය භාගයක් පමණ ගතවන විට ලොකු ලොරියක් අපේ නවාතැන් පොළට ආවේය. හැරියට් සහ මම අපේ සූට්කේස්ද රැගෙන ගොස් ලොරියේ ඉස්සරහ ආසනයේ වාඩි ගනිත්ම ‘ආ සුබ ගමන්’යි නවාතැන්පොළේ සිටි ජීරසිංහ සහ මූර්ති අපට කවටකම් කරන්නට පටන් ගත්තෝය.

ඊළඟට ලොරිය ගමන් ගත්තේ කාර්මික අභ්‍යාස විද්‍යාලයටය. එහි ශිෂ්‍යයන් විසි ගණනක පිරිසක් සූට්කේස්, බෑග් ආදිය ගෙන සෙබළුන් කණ්ඩායමක් මෙන් විනෝද වෙමින් ලොරියේ පසුපසින් නැංගෝය. ලොරිය පිටත් වූ විට වහලට ගසමින් සිංදු කියමින් සිව්රු හඬලමින් ඔවුන් කවටකම් කළේ ඉස්සරහ ආසනයේ වාඩි වී සිටි හැරියට්ටත්, මටත් මට හොඳ හැටි තේරුණි.
සවස හතරට පමණ අප ගමන් ගත් ලොරිය චවලකඩේට ළඟා විය. එහෙත් අප යන විට බලාපොරොත්තු වූ අන්දමින් බෝට්ටුව සූදානම්ව නොතිබුණි.

5 15 ට පමණ යන්තම් බෝට්ටුව අප සිටි තැනට ළඟා විය.
බෝට්ටුව මහ හඬ නංවමින් කලපුව දිගේ යාත්‍රා කරද්දී සමහරු යකඩ ගරාදියට හේත්තු වී සිටි අතර සමහරු බිම වාඩි වූවෝය. මම සූට්කේසයක් උඩින් හැරියට්ට වාඩිවීමට පිළියෙල කර දුන්නෙමි.

පැයකටත් අධික කාලයක් යාත්‍රා කළ නමුත් අප සිටියේ කොයි හරියේද, ගමනේ කෙළවර කොපමණ වේලාවකින් සිදු වේද යන්න කිසිවෙක් නොදත්තෝය. වෙනෙකක් තබා බෝට්ටුකරුවන් පවා තරමක් අන්දුන් කුන්දුන් වී සිටි බව පෙනුණි. කාගේ කාගේත් පිළිසඳර කතා ටිකින් ටික අඩු වී ගියේය. සමහරු බලාගත් අතේ බලාගෙන සුසුම් හෙළුවෝය.

වැඩි වේලාවක් යන්නට පෙර බෝට්ටුව අඩියක්වත් කිසිම අතකට යා ගත නොහැකි ව එහෙම ම නතර විය. හේතුව පාර වැරදී ඇති බව දැනගන්නට ලැබුණි. වැස්සත්, මීදුමත් අඩුවනතුරු යාත්‍රා කරන්නට බැරි බවත් සියල්ලටම කලින් මග පෙන්වන විදුලි ලාම්පුව අලුත්වැඩියා කරගත යුතු බවත් බෝට්ටුකරු කීවේය.

මෙසේ ටික වේලාවක් ගතවන විට මෙතෙක් වේලා ක්‍රියා කරමින් තිබුණු බෝට්ටු එන්ජිමට කැස්සක් ඇති වී විනාඩි ගණනක දී සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත විය. ඒ සමගම බෝට්ටුවේ විදුලි බුබුළ ද නිවී ගියේ ය. මෙතෙක් වේලා ළං වී බලා සිටි අඳුර, අප සියලු දෙනාත් සමගම බෝට්ටුව ගිල ගත්තේය. සියල්ලන්ටම එකවර කෑ ගැසුණේ ය. බෝට්ටුකරුවෝද කරුවලේම කතා කරනු අපට ඇසුණි.

‘‘ඩීසල් ඉවර වෙලා..’’
‘‘නෑ… නෑ… තව ටිං එකක් ඇති.’’
කොහොමද හොයන්නේ? ගිනි කූරක්වත් පත්තු කරන්න බෑනේ හුළඟ හින්ද?’’
අපේ නඩයේ කාගේදෝ සූට්කේසයක තිබුණු විදුලි පන්දමක් වැඩි වේලාවක් නොගොස් එළියට ආවේය.
ටිං එක සොයාගත් ඔහු එයත් රැගෙන බෝට්ටුවේ ඉස්සරහ එන්ජිම තිබුණු තැනට ගිය බැවින් විදුලි පන්දමද ඒ සමගම ගියේය. ඉස්සරහ පැත්තේ ටැංකිය ඇරගෙන තෙල් වත්කරද්දී බෝට්ටුවේ පසුපස තනිකර අඳුර පැතිර තිබුණි. මට හිටිහැටියේ ඉමිහිරි සුවඳක් දැනෙන්නට විය. එය යම්කිසි කැවිල්ලකින් නැගුණු සුවඳකි.

හිටි හැටියේ කාගේදෝ සියුම් අතක් මෘදු ලෙස මගේ අත අල්ලා ගත්තේය. මට කතා කිරීමට බැරි තරම් පුදුමයක්, චකිතයක් ඇති විය. ඒ අත කාගේද යන්න ගැන මට සැකයක් නැත. මේ වන්නට යන්නේ කුමක්දැයි තේරුම් ගන්නට බැරිව මම හුස්ම ගැනීම පවා නතර කරගෙන සිටියෙමි. ඇය මොකක්දෝ ගුලියක් වැනි යමක් මගේ අත්ල මත තැබුවාය. මම ගල් රූපයක් මෙන් බලා සිටියෙමි. ගත වූයේ මොහොතකි. තෙත් ගතියෙන් යුත් යමක් මගේ තොල් මත තබා තද කරනු මට දැනුණි.

සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට බැරිව සිටි මම දිවෙන් තොල් ලෙව කෑවෙමි. තොල්වල ගෑවී තිබුණු කේක් කුඩුවල රස මට දැනුණේය. මට කාරණය අවබෝධ විය. ඇඟට යම්තම් පණ ආවේය. ඒ සමගම අතේ තිබුණු ගුලියද නාසයට ළංකර බලා කටේ දමා ගත්තෙමි. මා සිතූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කළුවරේ සිදු වී තිබුණු බව පසුව දැන ගන්නට ලැබුණි.
ඇත්ත වශයෙන් සිදු වී තිබුණේ අනික් අයගේ කතාව අස්සේ හැරියට් සූට් කේසයේ දමාගෙන තිබුණු කුඩා කේක් පාර්සලයක් දිගහැර කෑල්ලක් කා මට ද කෑල්ලක් දීමය. සියලු දෙනාටම බෙදාගෙන කෑමට තරම් දෙයක් එහි නොතිබුණු නිසා ඇය මගේ අතින් කෑල්ලක් තබා කේක් බව ඇඟවීමට පොඩි කෑල්ලක් කළුවරේම කටේ ඇතිල්ලූ බව පසුව දැන ගත හැකි විය.

ඩීසල් දමා එන්ජිම සැර දැමූ විට යළිත් බෝට්ටුවේ එළිය වැටුණේය. වැස්ස තුරල් කළේය.
ඉන්පසු අප ගොඩබැස සිටියේ පදිරිප්පුව නම් ස්ථානයට බව කතාවෙන් දැන ගත හැකි විය. කලපුවේ ඒ මේ අත රවුම් ගැසීම විනා එතරම් දුරක් යාත්‍රා කර නැති බව තතු දත්තෙක් විස්තර කර දුන්නේය. එහෙත් අම්පාරේ සිට එන විට ගංවතුරෙන් පාර යට වී ඇති කල්ලාර් නම් ප්‍රදේශය අප පසුකර සිටි බවත්, වාහනයක් සොයාගත්තොත් පදිරිප්පුවේ සිට ගංවතුරෙන් කරදරයක් නැතිව මඩකලපුවට ගමන් කළ හැකි බවත් අපට දැන ගන්නට ලැබිණි.

රාත්‍රී එකහමාරට පමණ බස්රිය මඩකලපුවට ළඟා විය. හැරියට්ගේ ගෙය පිහිටියේ නගරයෙන් මඳක් ඈත බැවින් රෑ එහි යාමට බැරි බව කියා නගරයේ පිහිටි බාප්පා කෙනකුගේ ගෙදර යාමට ඈ කැමැත්ත පළ කළාය.

හැරියට්ට ආයුබෝවන් කී අපේ පළමු ඕනෑකම වූයේ කෑමට යමක් සොයා ගැනීමය. බස් රිය රෑ කඩයක් ඇති තැනක් සොයමින් නගරය පුරා ඇවිදින්නට විය. එහෙත් අපේ කරුමයට මෙන් කෑම ටිකක් කෑමට එක ද කඩයක්වත් එදා විවෘතව නොතිබුණි.

එහෙත් පාන්දරට මඩකලපුවේ සිට බදුල්ලට යන බස් රියක් ඇතැයි කීප දෙනකුම කීවෙන් අපි එම බස්රියේ නැග බදුල්ල පාරේ කොළඹ ඒමට තීරණය ගත්තෙමු.

අපි දුම්රියපොළ ඉදිරිපිට හිල්මන් කාරෙකක් තුළ සිටි රියැදුරාට කතා කළෙමු. එකිනෙකාගෙන් රුපියල බැගින් දෙතොත් අප සියලු දෙනාම බදුලු බස්රිය ළඟට ගෙනගොස් ඇරලන බව ඔහු කීවේය.

‘‘අර තියෙන්නේ බදුලු බස් එක තමයි. ඉස්ටෑන් එකට යන්නෙ මෙතැනින් පිටත්වෙලා. මහත්තයල නැගල ඉන්න’’යි කාර්කාරයා අපට කීවේය.අපි වැස්සෙම දුවගෙන ගොස් දඩිබිඩි ගා බස් රියට නගින්නට පටන් ගත් විට එහි නිදා සිටි රියැදුරාට කේන්ති ගොස් අපට අගක් මුලක් නැතිව බණින්නට පටන් ගත්තේය. ඔහු සිංහල මිනිසෙකි. අපි ඔහුට කාරණය විස්තර කර දුනිමු.

‘‘හරියට කියන්න බෑ. ඊයේ රෑ අපි එනකොට පාරට යන්තම් වතුර දාල තිබුණ’’ යි රියැදුරා කීවේය. ගංවතුරටත් වැඩිය ඔවුන්ගේ කම්මැලිකම ලොකු බව පෙනී ගියෙන්, ‘‘හොඳයි කමක් නෑ, පාර යටවෙලා නම් අපි බස් එක උස්සල හරි අරන් යන්නම්. අපේ කාණ්ඩේ විසිනව දෙනෙක් ඉන්නවා මොකද කියන්නේ?’යි මම ඇසුවෙමි. ටික වේලාවක් කල්පනා කර බැලීමෙන් පසු අවශ්‍ය වූ විට බස්රිය තල්ලු කිරීමේ පොරොන්දුව පිට රියැදුරා ගමන ආරම්භ කළේ ය.

තේ කෝප්පයක්වත් නැතිව උදේ හයට මඩකලපුවෙන් පිටත් වූ අපට සැතපුම් පහ හයකට වඩා යන්නට ලැබුණේ නැත. චෙංකලාඩියෙන් පාර කෙළවර විය. එතැන සිට වූයේ එකම ජලාශයකි.

කෙසේ වෙතත් බස්රිය දියට දැමීමට පෙර ඩීසල් ටැංකියටත් (මූඩිය කැඩී තිබුණ නිසා) සයිලන්සර් පයිප්පයටත් මූඩි දෙකක් ගැසිය යුතු බව රියැදුරා කීය. විනාඩි දෙකක් යන්නට පෙර රෙදිකෑලි සහ කඩදාසි කෑලි එකට තබා සෑදූ මූඩි දෙකක් ඒ දෙපලටම වැදුණි. ඩීසල් ටැංකියට ගැසූ රෙදි මූඩිය අපේ නඩයේ එකකුගේ බැනියමක් උණ්ඩිකර තැනූ එකක් බව දැන ගන්නට ලැබුණේ පසුවය.

දැන් සියලු ගංවතුර බාධකයන් අවසන්ය. මහඔය තැපැල් කන්තෝරුව අසල අප බස් රිය නතර කළ විට අපේ නඩයේ බොහෝ දෙනෙක් එහි ගොස්, ‘‘ඊයේ කෝච්චිය වැරදුණා. අද එනවා’යි සිය ගෙවල්වලට යැවීමට විදුලි පණිවුඩ භාර දුන්නෝය.
මහඔය පසු කළ වහාම රියැදුරා වේගය වැඩිකළේ ය.
‘‘පාගනවා! පාගනවා!! ලෑල්ලටම පාගනවා!!’යි කවුරුත් විහිළුවට මෙන් කීවෝය. එහෙත් කොතරම් පෑගුවත් ඒ කබල් බස් රථයේ වේගය වැඩි වුණේ නැත. තිගැස්සීමත්, කබල් හඬත් පමණක් වැඩි විය. මහඔය පසුකර මහ කැලේ මැද්දෙන් බස් රිය පැය භාගයක් පමණ ගමන් කළේය. සමහරු ආසනවල ඒ මේ අත ඇලවී නිදි කිරන්නට පටන් ගත් අතර තවත් කොටසක් බස්රියේ ආසනවලට තඩිබාමින් ‘සාජ්ජයක්’ දැමීමට සූදානම් වූවා පමණකි.

බස්රිය ඒ අතටත් මේ අතටත් ගැස්සුනි. අකුල් තලාගෙන පාරෙන් ඉවතට වීසි විය. පැත්තට ඇලවී ගසකට හේත්තු වී නැවතුණි. ‘‘රෝදයක්! රෝදයක්!!’යි එකෙක් කෑ ගැසුවේය. ආසනයේ අස්සේ සිරවී සිටින ගමන් මම කර ඔසවා බැලුවෙමි. බස් රියට ඉදිරියෙන් තාර පාර දිගේ දුවමින් තිබුණු රෝදයක් වේගය අඩු වී බිම පෙරළෙනු මම දුටුවෙමි.

අපේ ඊළඟ වැඩපිළිවෙළ වූයේ රියැදුරා කෙසේ හෝ බිබිලෙට යවා වෙනින් රථයක් ගෙන්වාගෙන ගමන ආරම්භ කිරීමටය. එහෙත් කිසිම වාහනයක් ඒ පාරෙන් ගමන් නොකිරීම පරහට හිටියේය.

සවස දෙකට පමණ වන විට බස් රියක් අප සිටි තැනට පැමිණියේය. එයද කැඩුණු බස් රිය අයිති සමාගමට අයත් එකකි. මහඔය ගංවතුර තත්ත්වය බලාගෙන යාමට බස්රිය පැමිණ තිබුණු බැවින් අපට එය බදුල්ලට යාම පිණිස පිළියෙල කරගත හැකි විය.

බිබිලෙන් පිටත් වී අපට වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. අඳුර ක්‍රමයෙන් ඝණ වී ගොස් මහ වැස්සක් වසින්නට විය. බස්රියේ වේගය තවත් පහත බැස්සේය. වැස්ස එක දිගට වසී. කන්දෙන් ගලන බොරදිය පාර ගංගාවක් මෙන් පාර දිගට පැතිරෙයි. සමහර තැන්වල පාරට කඩා වැටුණු පස්කඳු ළඟින් බස්රිය ගමන් කළේ ඉතා අමාරුවෙනි. පාරට ඇද වැටුණු ගස් දෙකක්ද වූ නමුත් අපේ ගමන නතර කිරීමට තරම් ඒවා ප්‍රමාණවත් නොවීය.

මෙසේ බඩගින්න, ගංවතුර, වැස්ස, අඳුර ආදී විවිධ බලවේගයන් සමග දෙදිනක් තිස්සේ සටනක යෙදුණු අපි අන්තිමේදී බදුල්ලට ළඟා වීමු.

වේලාව සවස 6.15 යි. දුම්රිය පිටත්වීමට ඇත්තේ විනාඩි නවයක් පමණකි. මඩකලපුවේ සිට කොටුවට නිදන මැදිරියක ගමන් කිරීමට මා අතේ තිබුණු දුම්රිය බලපත්‍රයෙන් පළක් නොවීය. මම ද අතේ තිබුණු මුදල් ටික එකතු කර දී තුන්වැනි පන්තියේ ටිකැට්ටුවක් ලබා ගතිමි. පාරේ තත්ත්වය ගැන නොදැන දුම්රිය ඉතා හෙමින් ගමන් ගත් නිසා හිටගෙන නිදා ගැනීමත් එතරම් අපහසු කරුණක් නොවීය. එහෙත් විනාඩි දහයෙන් දහය පමණ වැසිකිළි යන්නට මට ඕනෑ වූයෙන් මම වැසිකිළිය පැත්තටම වී සිටියෙමි. දින ගණනක් තිස්සේ කෑ පිළිවෙළක් නැති කෑම උඩට වඩේ සහ කෝපි වැටීම නිසා එම තත්ත්වය ඇති වූ බව මට අවබෝධ විය. වැඩි පහසුව තකා මා ඉන්පසු වැඩි වේලාවක් ගත කළේ වැසිකිළිය තුළය. එසේ සිටියදී කොතෙකුත් දොරට ගසමින් ඇතුළට ඒමට තැත් කළ අනික් මගීන් සමගද එක්තරා ප්‍රමාණයක සටනක් කරමිනි.

රැයක් තිස්සේ ගොළුබෙලි වේගයෙන් ගමන් ගත් දුම්රිය පේරාදෙණිය පසුකරත්ම එළිය වැටුණි. නියමිත වේලාවට වඩා පැය පහක් ප්‍රමාද වී කොළඹ කොටුවට දුම්රිය ළඟා විය. දුම්රියෙන් බැසීමෙන් පසු අපේ මරු ගමන ගැන ටික වේලාවක් කතා කරමින් සිටි අපි එතැනදී ඒ මේ අතට විසිරී ගියෙමු. උණ ගැනී සීතලේ ගැහෙමින් සිටි තුන් දෙනාගෙන් එක් අයකු ඉතාමත් අමාරු තත්ත්වයක සිටි නිසා ඔහු බණ්ඩාරගමට යැවීමට කාරෙකක් කුලියට ගන්නට සිදු විය. අනික් දෙදෙනා බස් රියක නංවා පාදුක්ක බලා පිටත් කළෙමු.